
- උතුර, ඊසාන සහ නැඟෙනහිර දිශාවල කැඩුණු බඩු, ඉවතලන දේ තැබීම හෝ ගබඩා කිරීම සුදුසු නැහැ
- හැකිතාක් කැඩුණු දේ ඉවත් කර හොඳ අලුත්, පිරිසුදු දේ භාවිතයට ගන්න
තවත් අලුත් වසරක උදාවට සැරසෙන අවසන් දවස් කිහිපය සෑම නිවෙසකම පාහේ ඉතා කලබලකාරීය. විශේෂයෙන් ගෘහිණියන් නිවෙස පිරිසුදු කිරීම සඳහා දක්වන්නේ දැඩි උනන්දුවකි.
බඩුබාහිරාදිය පිරිසුදු කිරීම, අලුත්වැඩියා කිරීම, පැරණි කැඩුණු බිඳුණු දේ ඉවත් කර නිවෙසට යම් නැවුම් බවක් එකතු කිරීම හැම දෙනාගේම බලාපොරොත්තුවයි. එහිදී බොහෝ දෙනකු එතරම් අවධානයක් නොදක්වන කරුණක් වන්නේ නිවෙස පිරිසුදු කිරීමේදී පාවිච්චියෙන් ඉවත් කරන අබලි ද්‍රව්‍ය නැතහොත්, කැඩුණු බිඳුණු ද්‍රව්‍ය තැන්පත් කරන්නේ නිවෙසේ කිනම් දිශාවේ ද යන්නයි. ඒ මත නව වසරේ සුබ, අසුබ තීරණය විය හැකිය.
ඇතැම් විට මෙසේ ඉවත් කරන ද්‍රව්‍ය පිළිසකර කර ගත හැකි නිසා තාවකාලිකව ඉවත් කරනවා විය හැකිය. තවත් විටෙක තමාට වඩා අඩු ආදායම්ලාභී අයකුගේ භාවිතය සඳහා දීමේ අරමුණින් ඉවත් කරනවා විය හැකිය. කෙසේ වෙතත් එම ද්‍රව්‍ය ඉවත් කර ගබඩා කර තැබීමේදී පරෙස්සම් විය යුතුය. කැඩුණු, බිඳුණු, පළුඳු වු භාණ්ඩවලින් නිකුත් වන්නේ ඍණ ශක්තියකි. අශුභ ශක්තියකි. කැඩුණු පුටු, ඇණ බුරුල් වු මේස, ඇදවුණු ගෘහ උපකරණ, කැඩුණු වීදුරු ඔරලෝසු, අඬු කැඩුණු කෝප්ප ආදිය භාවිතයෙන් දුරස් කර තැබීම සුදුසුය. "කුණු එකතු වෙන්නේ කුණු තිෙයන තැනට" කියා කියමන ඔබත් අසා ඇත. ඒ නිසා හැකිතාක් කැඩුණු දේ ඉවත් කර හොඳ අලුත්, පිරිසුදු දේ ළඟා කර ගැනීමට වෙහෙස වෙන්න.
එමෙන්ම කිසි ලෙසකින් නිවෙසේ උතුර, ඊසාන සහ නැඟෙනහිර දිශාවල කැඩුණු බඩු, ඉවතලන දේ තැබීම හෝ ගබඩා කිරීම කරන්න එපා. ඊසාන දිශාව තුළ තිබෙන ශක්තිය ඔබේ නිවෙස තුළට ගලා එනවා නම්, ඉවතලන දේ කැඩුණු බිඳුණු දේ ඊසානට ආසන්න කාමරයක දමා වසා තැබීමෙන් ඔබේ ජීවිතයත් කැඩුණු බිඳුණු, අපිළිවෙළ තත්ත්වයට පත්විය හැකිය.
ඒ නිසා 2023 වසර සුබ කර ගැනීමට නම් උතුර, ඊසාන, නැඟෙනහිර ඉතා හොඳින් පිරිසුදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න. එමෙන්ම එම දිශාවල නිවෙස සෑදීමට හෝ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනැවිත් ඉතිරි වූ ගඩොල්, ගල්, වැලි, තහඩු ආදියවත් තබන්න එපා. එම දිශාවල සුවඳ හමන මල් බඳුන් තබන්න. පිරිසුදු ජලය තබන්න. බුදුන් වඳින්න. වාසනාව, දියුණුව නිසැකවම ඔබ කරා පැමිණෙනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ආචාර්ය කැලුම් ගුණතිලක