මල් ගොමු අතර මන්මත්ව | සිළුමිණ

මල් ගොමු අතර මන්මත්ව

ල් ගොමු අතර මන් මත්ව’ නම් අද හඳුන්වා දෙන කෘතිය විදෙස් කිවිඳියන් කිහිප දෙනකුගේ කවි පරිවර්තන එකතුවකි. ඒ කිවිඳියන් සෝවියට් දේශය, අමෙරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවලට අයත්ය.

සෝවියට් දේශයේ ප්‍රමුඛ කිවිඳියක වූ ආන්නා අක්මතෝවා (1889 - 1966), අමෙරිකානු අප්‍රිකානු කිවිඳියක වු මායා ආන්ජෙලෝ (1928 - 2014), ඉන්දියානු කිවිඳියක වූ සරෝජනී නායිදු (1879 - 1949) සහ චීන කිවිඳියන් කිහිප දෙනකු විසින් රචිත කවි මෙහි එයි. චීන කිවිඳියන් වනුයේ එරට මහා කිවිඳිය ලෙස සැලකෙන ලී ක්වින් සාහෝ (1081 - 1155), සූ යී (ක්‍රිපූ 5 සියවස), සුයි හුයි (ක්‍රිපූ සිවුවැනි සියවස), තාඕ ක්ඉඇන් (372 - 427) සහ තවත් සදෙනෙකි.

ආන්නා අක්මතෝවා මෑත කාලයේ සිංහල සාහිත්‍ය සේවින් අතර කතාබහට ලක්වූ සෝවියට් කිවිඳියකි. නෝබල් ත්‍යාගවල පළමු වටයේදී සාකච්ඡාවට ලක්ව ඇති මේ කිවිඳියගේ කවි ලොව බොහෝ භාෂාවලට පරිවර්තනය වී ඇත. විප්ලවයෙන් පසු රුසියාවේ ස්ත්‍රීන් වැඩි වැඩියෙන් එරට සාහිත්‍යයේ උන්නතියට කටයුතු කළ ආකාරය ප්‍රකටය. ඔවුනතුරින් වඩාත්ම විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ කිවිඳිය වනුයේ ආන්නා අක්මතෝවාය. මීට හේතු වන්නට ඇත්තේ ඇය සෝවියට් පාලනය යටතේ විඳි අනේක දුක් ගැහැට වන්නට ඇත. 1912 සිට නිර්මාණකරණයේ නිරත වූ ඇය කෙතරම් බාධා සහ තර්ජන පැමිණියත් සිය කටයුත්ත අත් නොහළාය. ස්ටැලින්ගේ සෝවියට් පාලනාධිකාරිය විසින් ඇය ගර්හිත කිවිඳියක ලෙස නම් කරනු ලැබ තිබිණි. මේ නිර්මාණ සෝවියට් පාලනයට විස වීම ඊට හේතුවයි. ඇගේ පළමු සැමියා සෝවියට් රහස් පොලිසිය විසින් අතුරුදන් කරන ලද අතර, ඇගේ දෙවැනි විවාහයේ පුත්‍රයා සිරගත කරන ලදී. සිය පුතාට ආහාර ගෙන යන ඇයට බොහෝ සෙයින් බාධා පැමිණැවිණි.

ඇමෙරිකානු පරිසරයේ මායා ආන්ජලෝට සෝවියට් පරිසරයේ අක්මතෝවාට නොතිබූ ප්‍රකාශනයේ නිදහසක් හිමි වැ තිබිණි. එහෙත් ඇයට වෙනත් ආකාර ප්‍රශ්න තිබිණි. විශේෂයෙන්ම සුද්දන්ගේ වර්ගවාදී ගෝත්‍රවාදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නට ඇය ඇතුළු සියලුම කල්ලන්ට සිදුවැ තිබිණි. ඊට අමතරව පවුලේ ප්‍රශ්න ද තිබිණි. ඇය තුන් හැවිරිදි වනවිට පියා ඔවුන් හැර ගිය අතර, පසුව මව වෙනත් පුරුෂයකු ඇසුරු කිරීම ඇරැඹුවාය. ඔහු අතින් මායා දූෂණයට ලක් වන විට ඇගේ වයස අවුරුදු අටක් පමණි. මේ පුවත දැනගත් ඇගේ මාමලා ඔහු මරා දැමූහ. ඉන්පසු ඇය ගොළු වුවාය. කතා කරගන්නට බැරිව අවුරුදු පහක් සිටි ඕ පසුව යථා ස්වභාවයට පත් වූවාය. ඇය කීවේ අමුතු කතාවකි. ‘මා ඔහුගේ නම කියා කෑ ගැසුවා. එවිට ඔහු මැරුණා. මා සිතුවේ මා යමකුගේ නම කීවොත් ඒ තැනැත්තා මරණයට පත්වන බවයි. ඒ නිසා මා කතා නොකර සිටියා’ කෙසේවෙතත් සොලොසැවිරිදි වියේ තරුණියක ලෙස සමාජයට පිලිපන් ඇයට ජීවිකාව උදෙසා නොයෙක් වෘත්තීන්හි යෙදෙන්නට සිදු විය. ඇතැම් ඒවා අතිශය වෙහෙසකර විය. වරෙක ඇය ලිංගික සේවා සපයන්නියක් ද වූවාය. ඇගේ නිර්මාණ හැකියා ඉස්මතු වීම ඇරැඹුණේ ඉන් පසුවය. නිර්මාණකරණයට පිවිසි ඕ කවි, කෙටිකතා, නවකතා සහ තිර පිටපත් යනාදිය ද රචනා කළාය. කෙමෙන් ඇගේ නිර්මාණවල ගුණාත්මක භාවය ඉහළ ගිය අතර, ඇගයුමට හා බුහුමනට පාත්‍ර වූවාය. 1969 වසරේ එළි දක්වන ලද ඇගේ I Know Why the Caged Bird Sings ස්වයං ලිඛිත චරිතාපදානයෙන් ඇය මේ සියල්ල ලොවට හෙළි කළ අතර ඇගේ නම ඇමෙරිකානුවන් අතර ඇගැයුමට ලක් වූයේ ඉන් අනතුරුවය. 

සරෝජනී නායිදු මේ දෙදෙනාටම වෙනස්ය. ඇය ඉපදෙන විට භාරතය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැතිණි. ඒ වනවිට ඉන්දීය නිදහස් ව්‍යාපාරය ඇරැඹී තිබිණි. 1904 සිට එහි විවිධ අංශවලට සම්බන්ධ වූ ඕ 1917 දී ගාන්ධි ජීගේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට සම්බන්ධ වූවාය. නොයෙක් ස්වදේශීය දේශපාලන ව්‍යාපාරවල නිරත වෙන අතරේම ඇය කවි ද නිර්මාණය කළාය. ඒ කවි අදත් මහත් ඇගැයීමට ලක්වේ. මෙරට ගීත ශ්‍රාවකයන් අතර ද ඇය ප්‍රකටය. මහගම සේකරයන් විසින් රචනා කරන ලදුව අමරදේවයන් තනු යොදා සංගීතය සපයා ගැයූ සන්නාලියනේ ගීතය ඇගේ පැදි පෙළක් ඇසුරින් නිර්මාණය වීම ඊට එක් හේතුවකි.

මෙහි චීන කිවිඳියන් කිහිප දෙනකුගේ ද කාව්‍ය නිර්මාණවල පරිවර්තන අන්තර්ගතය. ඉතා රසවත් අර්ථපූර්ණ නිර්මාණ වන ඒවා ක්‍රි.පූ සිවු වැනි සියවසේ සිට පසුගිය විසි වැනි සියවස දක්වා චීනයේ විසු කිවිඳියන්ගේ නිර්මාණය. මේ කෘතියට නම දී ඇති ‘මල් ගොමු අතර මන් මත්ව’ චීන කිවිඳියක වන තාඕ චියු චියු චින්ගේ නිර්මාණයකි.

මේ සංග්‍රහය අපට ඉදිරිපත් කරන සුධර්මා සුභාෂිණී සිය පෙරවදනේ මෙසේ සඳහන් කරන්නීය. "ගැහැනිය යනු ගැහැනියමය. එහෙත් කාලය, උගත්කම්, දැනමිතිකම්, සංස්කෘතිය, දේශපාලනය හා ඒ අතරින් මහ පොළොවේ ඇය තමා වෙනුවෙන් කෙතරම් ඉඩක් පාදා ගත්තා ද යන්න ඈ අතින් බිහි වූ කවි හා අනෙක් සාහිත්‍යංග තුළින් පැහැදිලි වේ. ගැහැනුකම සිහින් හුයක් පරිද්දෙන් ඒ සියල්ල අතරින් යයි. රටවල් හතරක ප්‍රධාන කිවිඳියන් සිවු දෙනකු මා සම්බන්ධ කර ගන්නේ මගේ ඒ මතය සාක්‍ෂාත් කරනු පිණිසය. මෙහි එන එක් එක් නිර්මාණය තුළ එන ගැහැනුකම ඉදිරිපත් කරන්නට කිසිදු කවියකු (කවි ලියන පුරුෂයකු) සමත් නොවන බව මට විශ්වාසය."

‘මල් ගොමු අතර මන් මත්ව’ සුධර්මා සුභාෂිණීගේ කෘතියකි.

Comments