මැටි වළඳෙන් කිරි උතුරන නව වසර | සිළුමිණ

මැටි වළඳෙන් කිරි උතුරන නව වසර

- මැටි කර්මාන්තයට අලුත් පරම්පරාව එන්නේ නැතිලු
- ලංකාවේ වළං තමිල්නාඩුවටත් යවපු යුගයක් තිබුණාලු
- වෘත්තීය අරගලයක නියුතු මුල්ම ජන කොට්ඨාසය කුඹල්කරුවෝය
- කිරි ඉතිරවීමට ගත යුත්තේ පොල්කිරිද? එළකිරිද?

න යකා කොරහත් බිඳ ගෙන ගියා වගේ යයි කියමනක් තිබේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථා පිරුළ හැදුන කාලයේ ඇලුමිනියම් හා ප්ලාස්ටික් කොරහ තිබී නැතිවා විය යුතුය. එමෙන්ම ඇතා වැහැරුනත් කොරහේ නාවන්න බැහැ යැයි කියමනක් තිබේ. නමුත් කොරහේ නව වසරට කිරි උතුරන පුරුද්දක් නැත. ඒ නිසා නව වසරට කිරි උතුරන්නට හැදූ මුට්ටි හා මැටි ලිප් සොයා අප ගියේ කැලණිය ප්‍රදේශයටය.  

කැලණියට යන පාර දෙපස මැටි නිපදවන කඩ දුටු විට අපිට හිතුණේ මිනිසුන් දැන් මැටි නිෂ්පාදන අමුතුම උනන්දුවකින් මිලදී ගන්නා බවකි. ගෝඨාභය ජනාධිපති යුගයේ මැටි ඇමැති ධුරයක් පිරිනැමීම බොහෝ දෙනාගේ ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය.

කැලණියේ මැටි නිෂ්පාදනයේ නියුතු උදවිය දුටු විට පැහැදිලිවම පෙනී ගිය කරුණක් නම් තරුණ පරපුර මේ කර්මාන්තයෙන් පලා ගොස් ඇති බවය. මැටි නිෂ්පාදනයේ නියුතුව සිටියේ එකම එක තරුණයකු පමණි. කොටින්ම මැටි නිෂ්පාදනයේ නියුතු මවක සමඟ සිටි ඇගේ පාසල් වියේ දරුවාගේ පින්තූරයක් ගන්නට සූදානම් වූ විට ඔහු එතැනින් පලා ගියේ ඡායාරූපයක් ගැනීමට විරෝධය පළ කරමිනි.

"අනේ මහත්තයා කොල්ල කැමැති නෑ පින්තූර පත්තරේ දානවට. ඊට පස්සේ පන්තියේ යාළුවෝ 'කුඹල' කියල විහිළු කරනවා."

අප මේ මැටි නිෂ්පාදනය කරන නිවෙස්වලට ගිය විට අපට දැකගත හැකි වූ වයස්ගතම කාන්තාව වූයේ හැත්තෑ නව හැවිරිදි වියේ වූ ඇම්. සීලවතීය. අප මුලින්ම ඇගෙන් විමසා සිටියේ මැටි භාජන ලෝකයේ නිෂ්පාදනය ආරම්භ වූයේ කෙසේද කියාය.

"මේ කප ආරම්භයේදී ආපස්සර දිව්‍ය ලෝකයක්. පොළොවට බැහැපු දිව්‍ය කුමාරවරුන්ට 'ස්වයංජාත ඇල් හාල්' උයාගෙන කන්ට ක්‍රමයක් නැතිවුණා. අපේ මුත්තා කෙනෙක් වෙන එක දිව්‍ය කුමාරයෙක් සෙල්ලමට වගේ පොළොවෙන් මැටි අරගෙන භාජනයක් හැදුවා. ඒකේ තමයි මුලින්ම මේ දිව්‍ය කුමාරවරු බත් උයාගෙන කෑවේ. පස්සේ එයාගෙම පුතෙක් ගැට්ටක් තියලා වළඳක් හැදුවා. අල්ලන්ට පෙරළන්ට ලේසියට එහෙම හැදුවා. මේ වැඩේ හින්ද එයාට ඝටීකාර කියන නම්බු නාමේ ලැබුණා. මේ පුරාණ කලාවට කර්මාන්තයට ගරු කරන උදවිය තවමත් අපට ඝටීකාරයෝ කියලා ගරු කරනවා. දැන් ඉන්න පරම්පරාව ඔව්ව දන්නෑ."

"මැටි කර්මාන්යේ නියුතු ගෙවල් අතරින් මුලින්ම අප සමඟ කතාබහට එක් වූයේ සරත් ජයතිලකය. මේ නිවාස අසල පාර පුරා වේළෙන්නට දමා තිබුණේ පළන ලද වල් දර කොටන්ය.

"මේ සැරේ අවුරුද්දට කිරි උතුරවන හට්ටියටයි, මැටි ලිපටයි පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ගිය සැරේ කිරි මුට්ටිය තොග දුන්නේ රුපියල් 60/- ගානේ. මේ සැරේ තොග දෙන්නේ රුපියල් 120/-ට."

"එතකොට මෙහෙන් අවුරුද්දට කිරි මුට්ටි, ලිප් ගෙනියන වෙළෙන්දා සීයට දෙසියටත් වඩා ලාභයක් ලබනවා නේද? කෝට්ටෙ පැත්තේ එහෙම ඔය කිරි හට්ටියක් රුපියල් 150/-ටත් වැඩියි නේද?"

"එහෙමම ගණන් හදන්න බෑ උන්නැහේ. මේ මුට්ටිවලට වතුර දැම්මම වතුර යනව නම් ඒවා අයින් කරන්න ඕනෑ. සමහර ඒවා ගෙනියනකොටම හැළිය කැඩෙනවා. ඒ අලාභෙත් ඉතින් අල්ල ගන්න වෙනවා."

මේ මැටි ගම්මානයේ නිෂ්පාදන තබා ඇත්තේ බස් පාර අයිනේ අලෙවිහල්වලය. අවශ්‍ය කෙනකුට උණු උණුවෙම පෝරණුවෙන් බාපු කිරි මුට්ටියක් - ලිපක් මිලදී ගත හැකිය.

"කැලණියට මේ මැටි කර්මාන්තය ආවේ මේවාට ගන්න මැට්ට කැලණියේ තියෙන හින්දද?"

"මේවා අපේ ආච්චිල සීයලට කලින් පටන් ගත්ත පරම්පරාගත කර්මාන්ත. දැන් කැලණියෙන් මැටි කැපිල්ලක් නෑ. ඔක්කොම ඉඩම්වල ගෙවල් හදලා. දැන් පදං කරපු මැටි ගේන්නේ බියගම, බණ්ඩාරවත්තෙන්. එහෙ රජයේ කර්මාන්තශාලාවෙන්. ලෑන්ඩ් මාස්ටරයෙන් එකක් රුපියල් 15,000/=ක් වෙනවා. ගිය අවුරුද්දේ තිබ්බේ රුපියල් 6000/=, අමාරුම හොයා ගන්න වල් දර. වල් දර ලෑන්ඩ් මාස්ටරයක් දැන් රුපියල් 10,000ක් වෙනවා. ඉස්සර රුපියල් 1500යි.

මැටි කර්මාන්තයේ නියුතු මේ නිවෙසියන් බොහෝ දෙනා පවසන්නේ තම දූ පුතුන් මැටි අතගාන්නට මේ කර්මාන්තයට නොයෙන අතර ඒසී කාමරවල ඉන්න රස්සාවල් සොයා ගන්නා බවය.

"ලෙඩක් දුකක් නැතිනම් මාසේ දවස් 20ක් වැඩ කරන්න පුළුවන්. ඉතිරි දහය පෝරණුවේ වැඩට. දැන් අපිට වයසයි. සතියකට දවස් 4 - 5 වැඩ කරන්නේ. අපෙන් පස්සේ මේ කර්මාන්තේ ඉවරයි."

මේ මැටි කර්මාන්තයේ නියුතු වූවන් කියන්නේ මැටි ඇමැති කෙනෙක් සිටිය ද තමන්ට ආණ්ඩුවෙන් මෙලෝ සහනයක ලබා දී නැති බවය.

අමු මැටියෙන් සාදාගත් නව වසරට කිරි උතුරවන මුට්ටිය මෙන්ම කුඩා ලිප් ද අප බලා සිටියදී මේ ගමේ උදවිය නිපදවනු අපට සියැසින්ම දැක ගත හැකි විය. ඒවා පුච්චන්නට අවශ්‍ය පෝරණුව ද හදාගෙන ඇත්තේ මොවුන් විසින්මය.

"පාන්දර හතරේ ඉඳන් රෑ දොළහ වෙනකම් මැටියෙන් හදපුවා පුච්චන්න ඕන. පොරණුවක් කිව්වාට අප මතකයට එන පාන් පෝරණුවක් වගේ එකක් නොවේ. වටේට ගඩොලින් බැඳ එක් පසෙකින් දර දැමීමට සිදුරු දෙකක් තියෙනවා. ඊට පස්සෙ කැඩුණ හට්ටි මුට්ටි ටැංකිය ඇතුළේ අතුරා ඒ මත අලුතෙන් තැනූ භාණ්ඩ අඩුක්කරනවා. ඊට පස්සෙ ඒවාට හානියක් නොවෙන්න ඇතුළේ ගිනි මැලයේ රස්නය ඒවාට වදින විදියට උඩ පැත්ත මැටි ගහලා වහනවා. එළියෙන් තඩි වල් දර දාලා ගිනි තිව්වම ඒකෙ දුම එළියට නොඇවිත් පෝරණුව ඇතුළෙම රැඳෙනවා.

එතකොට කළු වළං මේ පැත්තේ හදන්නේ නැත්ද?

"කාලෙකට කලින් තමිල්නාඩුවෙන් නොච්චියාගමට ආපු පවුලක් තමයි කළු වළං කර්මාන්තයට ප්‍රසිද්ධ. එහේ ගම්මානයක්ම තියෙනවා. ලංකාවටම කළු වළං හදන්නේ එහෙ තමයි. දැන් ඉන්නේ ඒ තෙලිඟු ජනතාවගේ හතරවැනි පරම්පරාව. මෙහෙත් කාලයක් ඒ තෙළිඟු පවුලක් ඇවිල්ල කළු වළං හැදුවා. 83 කෝලාහලයට ඒගොල්ල තමිල්නාඩුවටම ගියා. ගියා ගියාමයි ආවේ නැහැ.

"එතකොට කළු වළං හදන සිස්ටම් එක වෙනස්ද?"

"දෙකේ මිල වෙනස් හැබැයි කළු වළං හදන්නෙත් මේ වළං හදනවා වගේමයි. වෙනසකට තියෙන්නේ කළු වළං පුච්චන විදිය වෙනස්. රතු වළං වගේ පෝරණුවක පුච්චන්නෙ නෑ. අඩි එක හමාරක් විතර යටට පොළොවෙ පස් කපලා අයින් කරනවා. පතුලට දර අඩුක් කරලා ඒ මත වළං අඩුක් කරනවා. ඊට පස්සෙ දරවලට ගින්දර දානවා. පිච්චිලා ඉවර උනාම රස්නය පිට වෙන්න කලිං දහයියා දමලා ඒ උඩින් පිදුරු දාලා පස් දමලා තද කරනවා. දුම පිටවන්න දෙන්නේ නෑ. දහයියා සහ පිදුරුවලට ඇවිළිලා උණුසුම පිටට නොයෑම නිසා වළං කළු වෙනවා. හැබැයි කළු පාට අතේ ගෑවෙන්නෙ නෑ. ඔය මේ පැත්තේ කළු වළං ගණන් වුණාට ඔය වළං වර්ග දෙකේම මිල එකම තමයි.

මේ මැටි නිෂ්පාදකයන් මෙන්ම අලෙවිකරුවන් ද කියන්නේ දැන් මැටි නිෂ්පාදන අලෙවිය ෆුල් ඩිමාන්ඩ් වී ඇති බවය.

මේ කුඹල්කරුවන් අතර එකම තරුණයකු අපට දැක ගත හැකි විය. ඔහු නමින් නිමල්රත්නය. කැලණිය විද්‍යාලයේ උගත් නිමල් මැටි කර්මාන්තයට පිවිසියේ පාසල් යන අවදියේ සිටය.

"ඔය ඒසී කාමර්ක පුටුවක ඉඳගෙන කරන ජොබ් එකකට වඩා ලොකු ගාණක් මේකෙන් හම්බ කර ගන්න පුළුවන්. මේ සැරේ අලුත් අවුරුද්දට කිරි උතුරන මුට්ටි ලිප් වලට ඉල්ලුම වැඩි වෙලා වගේ. මිනිස්සු කොරෝනාවෙන් ගෙවල්වලටම වෙලා ඉඳලා මේ සැරේ අවුරුද්ද ලොකුවට සමරයි වගේ."

මේ මැටි කර්මාන්තයේ නියුතු වූවන් අපට පැවසුවේ ආවාහ විවාහ කටයුතුවලදී තම කුලය බලපාන නිසා බණ්ඩාරගම වැනි පැතිවල ජීවත් වූ කුඹල් කර්මාන්තකරුවන් දැන් කොන්ක්‍රීට් නිෂ්පාදන දෙසට නැඹුරු වෙමින් සිටින බවය.

ඒත් කුඹල්කරුවකුට ඕනෑම වංශවතකුගේ වලව්වකට ගොස් නිවෙසේ කොතලය ගෙන කටට වතුර වත්කර ගැනීමට අවසර ඇති බව එම ප්‍රකාශ කළ පුද්ගලයා නොදැන සිටියා විය යුතුය. ඕනෑම වංශවතකුගේ නිවසකට ගිය අවස්ථාවක පිපාසයක් දැනුණහොත්, නිවසේ පැන් කොතලය ගෙන කටට වත්කර ගැනීමේ සුවිශේෂී වරප්‍රසාදයක් කුඹල් වංශිකයන්ට හිමිව තිබූ බව රොබට් නොක්ස් 'එදා හෙළ දිව" කෘතියේ සඳහන්ව ඇත. සෙසු සුළුතර කණ්ඩායම්වලට නොලැබුණු මෙම වරප්‍රසාදය, ඔවුන්ට ඉබේ හිමි වූවක් නොව වෘත්තීය අරගලයක ප්‍රතිඵලයකි. ඒ අනුව මෙරට වෘත්තීය අරගලයක නියුතු වූ මුල්ම ජන කොට්ඨාසය වන්නේ කුඹල්කරුවන්ය.

අතීතයේ සඳහන් පරිදි වංශවතුන් කුඹල්කරුවන් අවතක්සේරුවට ලක්කිරීමට එරෙහිව පියවරක් ගැනීමට එක්කාසු වී ඇත. අවසානයේ ඔවුන් තීරණය කොට ඇත්තේ කෙමිය ඇති කොතල තමන්ගේම පාවිච්චිය සඳහා පමණක් තැනිය යුතු යයි ද ඒවා වංශවතුන් හට නොවිකිණිය යුතු බවත්ය. මෙම තීරණ වංශවතුන්ට දැරිය නොහැකි පාඩුවක් වූ බැවින් ඔවුන් එය වෙනස් කරවා ගත්තේ කෙමිය ඇති වංශවතුන්ගේ මන්දිරයේ කොතලයෙන් ඕනෑම විටක දිය වත්කොට බීමේ අවස්ථාව කුඹල් කාර්මිකයන්ට හිමිකර දීමෙන් පසුවය. 

මෙයින් වසර හැට හැත්තෑ එකකට පෙර අවුරුද්දට කිරි උතුරවන්නට මැටි මුට්ටි හදපු හැටි ගැන අපට මතකය අවදි කළේ හැත්තෑනව හැවිරිදි ඇම්. සීලවතී මාතාවය.

"මං කියන්නේ ඔය නිදහසටත් කලින් යුගයේ අපේ ආච්චිල සීයල මැටි ගෙනාවේ අත් කරත්තේ නැත්තං ගොං කරත්තේ. වළං වෙළඳාමේ ගියේ ගොන් බාන බැඳපු කරත්තේ. මාස ගණන් යනවා. ඒ කාලේ ගොං කරත්තවලින් යාපනේට වළං ගෙනිහිං එතැන ඉඳන් වල්ලම් වලින් තමිල්නාඩුවට යනවා. තමිල්නාඩුවේ වළං හදන්න මැට්ට සවුත්තුයි. සමහරු කැලණි ගඟ දිගේ පාරුවලින් තැන් තැන්වලට වළං ගෙනියනවා. ඒ කාලේ තනි වළං වික්කේ නෑ. වළං සැට් එකක් සති 10යි. ලොකු ගුරුලේත්තුවක් සත 7යි. ඔය ප්‍රේමදාස මහත්තය අගමැති කාලේ තමයි අත්කම් නිවාස යෝජනා ක්‍රමය හැදුවේ." ඉතිහාසය යළි කියවීමේදී ලංකාවේ පිහිටි කුඹල් ගම්මාන පිළිබඳව මහාවංශය, මාතලේ වෙහිරි දේවාලයේ සෙල් ලිපිය සහ සද්ධර්මාලංකාරය යනාදී මූලාශ්‍රවල ද සඳහන් වන බව තහවුරු කර ගත හැකිය. ගින්නෙන් පුලුස්සා කෑම සහ අමුවෙන් කෑම වෙනුවට රසවත් ලෙස උයා කෑම සඳහා උචිත භාණ්ඩයක් හැටියට ආදිකාලීන මානවයා විසින් නිර්මාණය කරන ලද මැටි වළද, ක්‍රමයෙන් විවිධත්වය හැඩය සහ කලාත්මක බව අතින් සියුම් මෙවලමක් බවට පත්වූයේ කාලයත් සමඟය. එදා දර ලිපෙන් උයන්නට තැනූ ඝනකම මැටි වළද වෙනුවට ගෑස් ලිපේ තබන තුනී වළඳ දක්වා වළං සංක්‍රමණය වූයේ ඒ අතීත උරුමය සිහි ගන්වමින් විය යුතුය. තමන් ගෑස් ලිපක තබා ඇලුමිනියම් මුට්ටියක නව වසරට කිරි උතුරන්නේ නැත්තේ මේ නිසාමය.

ඩී. ගුණදාස අපට හමුවූයේ කැලණි පන්සලට යන අතරතුරේ විසිතුරු ලෙස සැරසූ මැටි භාණ්ඩ කඩයක් කරමින් සිටියදීය.

"මට වයස 75යි. ඉස්කෝලෙ ගියාට පස්සේ මේ රස්සාවට බැස්සේ. ජීවිතේ එකම ආදායම් මාර්ගය මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් අවුරුදු උදාවට අපෙන් පොඩි මැටි මුට්ටියක් අරන් ගිහිං කිරි උතුරනවා. ඒකට ගන්නේ නෑඹුල් මුට්ටියක්. මේ සැරේ දැනට කිරි මුට්ටි එක්ක ලිප් 600කට වැඩිය විකිණිලා තියෙනවා.

අපට තවත් මැටි නිපදවන අලෙවි කරන වෙළෙන්දකු හමුවූයේ කැලණි පන්සල ඉදිරිපිටදීය. නව වසරට කිරි මුට්ටි සහ ලිප් ගොඩ ගසා ඒවායේ ගණන් සඳහන් බෝඩ් ලෑල්ලක් ද ඔහු ගසා තිබුණි. ඔහු නමින් ජේ. චන්ද්‍රදාසය.

"මම මෙහෙ ගංකාරයෙක්. ගල්බොරැල්ල මගේ ගම. මුට්ටියයි ලිපයි මේ සැරේ රුපියල් 200/-යි. දරමිටිය රුපියල් 50යි. මිනිස්සු කැලණි පන්සල වැඳලා ඉවර වෙලා ගෙදර කිරි උතුරවන්න මුට්ටියයි ලිපයි අරන් යනවා. ඒ නිසා ජනවාරි 1 වැනිදාට එක මුට්ටියක්වත් ඉතුරු වෙන්නේ නෑ. අපේ ළමයි කවුරුත් මේ බිස්නස් එකට එන්නේ නෑ. මම මිනුවන්ගොඩින් ගෙනාපු මැටි බඩු තමයි විකුණන්නේ. කිරි උතුරන්න සමහරු පොල් කිරි දානවා. සමහරු එළකිරි පැකට් දානවා."

ජනවාරි 1 වැනිදා එළඹෙන නව වසරට ජාති බේදයක් - ආගම් බේදයක් නැත. ඒ වගේම නව වසරට කිරි උතුරවන්නට ද ජාති භේදයක් ආගම් භේදයක් නැති බව ඒවා අලෙවිකරුවන් කළ ප්‍රකාශවලින් වඩාත් තහවුරු විය. 2023 ජනවාරි 1 වැනිදාට අපත් කිරි උතුරවමින් ප්‍රාර්ථනා කරන්නේ මෙසේය.

කල්වැසි වසීවා 
කෙත්වතු සාර වේවා!

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments