
ලංකාවේ හොඳම උද්භිද උද්‍යානය තිබුණේ කොහිද? උත්තරය කොම්පඤ්ඤවීදියයි. එහෙත් ඒ උත්තරය ඇසු විට ඔබ මුවඟට සිනහවක් නැගෙනු ඇත්තේ නිතැතිනි. එහෙත් අධිරාජ්‍යවාදීන් මුලින්ම උද්භිද උද්‍යානයක් බිහි කරන ලද්දේ කොම්පඤ්ඤ වීදියේ බව කිවහොත් ඔබ මවිතටය පත්වනු ඇත. එය නමින් 'කිව් පාක්ය' අද ද කොම්පඤ්ඤවීදියේ කිව්පාක් නමින් පාරක් ඇත. ඉන් පසු අදියර කිහිපයකදී කොළඹ ජනාකීර්ණ වීමත් සමග පේරාදෙණියට ගෙන යන ලද්දේ මේ උද්භිද උද්‍යානයයි.
ලංකාවේ ඇති ප්‍රධාන උද්භිද උද්‍යාන හතර පිහිටියේ පේරාදෙණිය, හග්ගල, ගම්පහ සහ මිරිජ්ජවිලයි. 2014 ඔක්තෝබරයේ මේ උද්භිද උද්‍යාන අතරට එක් වූයේ සීතාවක උද්භිත උද්‍යානයයි. සීතාවක උද්භිද උද්‍යානයේ විශේෂත්වය වන්නේ කොළඹ කොටුවෙන් දුම්රියෙන් නැඟී ගොල්ෆ් පිටියක් හරහා ගොස් අඩුම වේලාවකින් ළඟා විය හැකි ලංකාවේ එකම උද්භිද උද්‍යානයක් වීමය.
දැන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ අදහසකට අනුව සීතාවක උද්භිද උද්‍යානය සහිත ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනයට පියවර ගෙන ඇත. බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවාපතිරණ සිළුමිණට පවසා සිටියේ ගුවන් මාර්ගයෙන් හෝ නැව් මගින් ලංකාවට එන සංචාරකයන් දිනක් තුළ කොළඹ රඳවා ගෙන ඔවුනට නුවරඑළියට නොදෙවෙනි විනෝදාස්වාදයක්, සොබා සෞන්දර්ය විඳිනටත් කදිම තෝතැන්නක් බවට සීතාවක උද්භිද උද්‍යානය ඇතුළු සීතාවක පුරවරය පත් කිරීම අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන්ගේ අදහස බවය. එමෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධනගේ උපන් ගම් පළාත වන බොරලුගොඩ අයත් වන්නේ මෙම සීතාවක රාජධානියටම බැවින් මෙම සීතාවක සංචාරක පුරවරය ගොඩනැඟීමට අග්‍රාමාත්‍ය වරයාගේද පූර්ණ අනුග්‍රහය ලැබී ඇත.
රටට විදේශ විනිමය ගෙන ඒම, දේශීය විදේශීය සංචාරකයන්ට කොළඹ ආශ්‍රිතව කෙටි කාලයකින් ළඟා විය හැකි සංචාරක පුරවරයක් බිහි කිරීම මෙන්ම මෙම පළාතේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ප්‍රදේශවාසීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට ද සීතාවක සංචාරක පුරවරයේ අරමුණු අතර වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ එකම උද්භිද උද්‍යානය සීතාවක උද්භිද උද්‍යානයයි. කොළඹ පිහිටා තිබුණ ද දේශීය හෝ විදේශීය සංචාරකයකුට ඇතැම් දිනවල හිමිදිරි පාන්දර මීදුමින් වැසෙන මෙම භූමියේ දිස්වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශගුණය බව අමුතුවෙන් පුන පුනා කිව යුතු නොවේ. සීතාවක උද්භිද උද්‍යානයේ නැරඹිය යුතු දේ අතර මී වන උයන, පුෂ්පෝදානය වැව් පොකුණු, ජපන් උයන වන උද්‍යානය කුඹුක් උයන ඖෂධ උයන , රෝස උයන මෙන්ම නැරඹුම් මැදිරියද සංචාරක ආකර්ෂණය දිනා ගනු නියතය. සරුසාර ලෙස වැඩුණු තණකොළ, තැනිතලාව, වනාන්තරය, පොකුණු පහක්, වැව් දෙකක් ආදියෙන් සමන්විත සීතාවක උද්භිද උද්‍යානය වටා සැරිසැරීමට අවම වශයෙන් කිලෝ මීටර් දෙක තුනක් පමණ දුරක් යා යුතුය. නමුත් ගමන් විඩාවක් නොදැනෙන්නේ රෑස්ස ගස් සෙවණේ ගමන් මාර්ගය සාදා ඇති නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සීතාවක උද්භිද උද්‍යානය, ලබුගම හා කලටුවාන ජලාශ හා එම ප්‍රදේශවල ඇති සුන්දර සහ ඓතිහාසික ස්ථාන මුල් කරගෙන ගොඩනගා ඇත. සීතාවක සංචාරක පුරවරය ගැන කියන විට සීතාවක රාජධානිය ගැනද සඳහන් නොකළ හොත් බලවත් අඩුපාඩුවකි. ඊටත් වඩා ඒ රාජධානියේ අද ඉතිරිව ඇති නෂ්ටාවශේෂ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ කදිම නාරඹුම් ස්ථානයක් වනවාටද සැක නැත.සීතාවක රාජධානිය ඉතිහාසගතව ඇත්තේ සියවස් හතර හමාරකට පෙර එක් වකවානුවක මේ රටේ පැවති ප්‍රබල රාජධානියකි. මේ රාජධානිය බිහි වන්නේ කෝට්ටේ සිදු වු විජයබා කොල්ලයෙන් පසු මායාදුන්නේ කුමරුගේ මූලිකත්වයෙනි. පෘතුගීසින්ගේ ප්‍රහාරක බලය නිසාම සිංහලයේ රාජධානිය මහනුවර කරා ගෙන යන්නට පෙර ඒ දැවැන්ත පෘතුගීසි බලයට අභියෝග කරමින් කොළඹට නුදුරුව ස්ථාවර වන සීතාවක රාජධානිය මායාදුන්නේගෙන් අනතුරුව ඔහුගේ පුත් සීතාවක රාජසිංහ විසින් රජ කිරුළට උරුකම් කියන ලදී. මේ රාජ කාලවලට සහ ඊට පෙර අනුරාධපුර යුගයේ මුල් අවදියේ දක්වා දිවෙන පෞරාණික නටඹුන් බොහොමයක් අදද සීතාවක අවට විහිදී ඇත්තේය. අද බොහෝ නටබුන් නිසි සංරක්ෂණයක් නැති නිසා වන වැදි ඇත. සීතාවක සංචාරක පුරවරය වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග එම පුරාවිද්‍යා ස්ථාන නිසි ලෙස එළිපෙහෙළි කොට එම ස්ථානයන් අවට යටිතල පහසුකම් දියුණු කොට දේශීය හා විදේශීය සංචාරකයන්ට නිරාවරණය කරන්නට සැලසුම් කොට ඇත. සීතාවක රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක කොටුවය. බටහිරින් හා නැගෙනහිරින් සීතාවක නදියටද නිරිත දිගින් ගැටහැති ඔයටද උතුරින් කුඩා කඳු ගැටයකට ද, ඊසාන දෙසින් තැඹිලියාන කන්දට මායිම් වූ සීතාවක කොටුව පිහිටන්නේ ස්වාභාවික ගිරි දුර්ග සහ ජල දුර්ගවලින් සුරක්ෂිත වූ භූමියකය. සීතාවක රාජසිංහයන්ට සිහසුන අහිමි වීමෙන් පසු මෙම මාලිගාව පිහිටි බලකොටු භූමිය මත ලන්දේසීහු සිය බලකොටුව ගොඩනැඟූහ.
සීතාවක ලන්දේසි කොටුව ලෙස ප්‍රකටව තිබූ එම ඓතිහාසික භූමියේ කළ පුරාවිද්‍යා කැණීම්වලදී ලන්දේසීන් විසින් වළලා දැමු රාජසිංහ රජුගේ මාළිගාවේ සැඟවී ගිය අතීත උරුමය නැවත ගොඩගන්නා ලදි. ඉතිහාසයේ ලිඛිතව සඳහන් පරිදි එම මාළිගා පරිශ්‍රය රාජ සභා ශාලාව, සක්මන් මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය, බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් සමන්විත වී ඇත. මාලිගා පරිශ්‍රයට කිලෝමීටර් හතරක් නුදුරින් එවකට සීතාවක රාජධානියේ මහා බෞද්ධ පුද බිම වු මානියංගල රජ මහා විහාරය දැක ගත හැකිය.
සීතාවක සංචාරක පුරවරයේ නැරඹිය හැකි ඓතිහාසික ස්ථාන එපමණක් පමණක් නොවේ.
සීතාවක රාජසිංහයන් බුදු දහම අත්හැර ශිව දහම වැලඳ ගෙන ඔහුගේ වන්දනාවට ලක් වූ ප්‍රමුඛ පුදබිම වුයේ බැරැන්ඩි කෝවිලය. පැරණි තුරඟ තරග පිටිය ඇත්තේ ගුරුගල්ලේය. එය පසු කර පසු සීතාවක රාජසිංහ සොහොන පිහිටි ස්ථානය දැක ගත හැකි වනු ඇත. මේ සියල්ලම සීතාවක සංචාරක පුරවරයට එන දේශීය විදේශීය සංචාරකයන් සීතාවක උද්භිද උද්‍යානය බලන්නට එන විට දැක ගත හැකි කදිම පුරාවිද්‍යා ස්මාරකයන්ය.
මේ සීතාවක උද්භිද උද්‍යානය නැරඹීමට යා හැකි විසිතුරුම මාර්ගය කැලණිවැලි දුම්රිය මාර්ගයයි. එදා එය හැඳින්වූයේ 'පුංචි කෝච්චිය' නමින්ය. වාහන තදබදයකින් තොරව මේ සීතාවක පුරවරයට පැමිණිය හැකි පහසුම මඟ වේ. "කල්‍යාණි ද්‍රොණි දූම රථයයි". සීතාවක සංචාරක පුරවරය ගැන කියන විට කැලණිවැලි දුම්රිය මඟ ඉතිහාසය සඳහන් නොකළ හොත් එයද අඩු පාඩුවකි.
කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනි දින අවිස්සාවෙල්ල දක්වා ගමන් ඇරඹු "පුංචි කෝච්චිය " 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩ කටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අප්‍රේල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත. 1919 මැයි මස දෙවැනි දින ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික් විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට "කැලණි වැලි රේල්වේ කොමිටි" නම් වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පල දැරුවේ නැත. කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිදු කලබලයක් නැතිව නිවී හැනහිල්ලේ ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මෙඟ් මුළු දිග සැතපුම් අසූහතක් විය. " කැලණිවැලි රේල්වේ කෝච්චියට" රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළ ද සිදු වූයේ ඉදි කළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. දැන් මේ දුම්රිය මඟ ඇත්තේ අවිස්සාවේල්ලට පමණකි.
සීතාවක සංචාරක පුරවරයට යන ඔබට රාමා සීතා කතාව සීතා දේවිය සඟවාගෙන සිටි ලෙනට ද පිවිසිය හැකිය. අද නගරාශ්‍රිතව පර්චස් දෙක තුනක නැත්නම් වැඩිම පර්චස් දහයක ගෙදරක හුදකලාව සිටින නාගරික ජීවිතයක් ගත කරන ඔබට සීතාවක උද්භිද උද්‍යානය සහ සීතාවක සංචාරක පුරවරය මානසික ආතතියෙන් මිදීමට තෝතැන්නක් වනු ඇත. ඊටත් වඩා කුමාරි ඇල්ල, රන්මුතු ඇල්ල, වැවේ කැලේ වනාන්තරය, රාජසිංහ රජ මාලිගාවත් අස්මඩල, අංගම් පොර පිටිය මෙන්ම වක්ඔයේ අලංකාරයද මේ සීතාවක සංචාරක පුරවරයේදී ඔබට පහස ලබා ගත හැකිය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ අදහසක් අනුව දැන් මේ සීතාවක උද්භිද උද්‍යානයට යෑමට කොළඹ කොටුවෙන් විශේෂ දුම්රියක් සැලසුම් කොට ඇත්තේ සීතාවක ඔඩිසි යන නමිනි. වග දුම්රිය ස්ථානයේ සිට සීතාවක උද්භිද උද්‍යානයට යාමට බස් රථ සේවයක් දැන් ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් සැලසුම් කොට ඇත. සෙනසුරාදා සහ ඉරිදා මුලින්ම මේ දුම්රිය සේවා ආරම්භ වන අතර වායුසමනය කළ දුම්රිය මැදිරි ඊළඟ අදියරේදී යොදා ගැනීමට සැලසුම් කොට ඇත.
බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මේ සියලු සැලසුම් සකස් කොට ඇත්තේ පාරිසරික ආරක්ෂණ විදි අනුගමනය කරමින් බව එහි සභාපති සුගත් හේවා පතිරණ අපට පැහැදිලි කළේය.
එමෙන්ම දුම්රිය හා බස් රථ එක්කොට උද්භිද උද්‍යානයේ ඇතුළු වීමේ ගාස්තු, ආහාරපානාදී සියලු වියදම් එක්කොට පැකේජයක් සකස් කොට දේශීය විදේශීය සංචාරකයන්ට ඔන්ලයින් වෙන් කරවා ගත හැකි පහසුකම් දැන් සැලසුම් කොට හමාරය.
මේ සියලු කටයුතු කෙරෙන්නේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් රාජ්‍ය මුදල් භාවිතයෙන් තොරවීම සුවිශේෂිතාවයකි. ඊටත් වඩා මේ එන සංචාරකයන්ගේ ඉවත ලන පොලිතින්, සොපින් බෑග්, බෝතල් පරිසරයට අහිතකර ලෙස පරිසරයට මුදා හැරීම වළක්වා ඒවා එක් රැස් කර ප්‍රතිචක්‍රීකරණයට දැනටමත් සැලසුම් කොට ඇත. සීතාවක උද්භිද උද්‍යානයත් සංචාරක පුරවරයත් දේශීය විදේශීය සංචාරකයන්ට විනෝදාස්වාදයට, අධ්‍යයනයට මෙන්ම අධ්‍යාපනයට සුරපුරයක් මෙන්ම විදේශ විනිමය උල්පතක් ද වනු නියතය.