විදුලි අර්බුදයට විසඳුම පුනර්ජනනීය බලශක්තිය වැඩිදියුණු කිරීමයි | සිළුමිණ

විදුලි අර්බුදයට විසඳුම පුනර්ජනනීය බලශක්තිය වැඩිදියුණු කිරීමයි

විදුලි බිල ඉහළ දැමීමක් අවශ්‍ය වී තිබේ. එයට හේතුව වියදම සහ ආදායම අතර වෙනසක් තිබීමයි. ඒ වෙනස පියවා ගැනීම සඳහා අපි යම් කිසි වැඩි කිරීමක් සිදු කළ යුතුයි. මේ වන විට රජයෙන් සහනාධාර නොලැබෙන බව සඳහන් කර ඇත. එනම් සම්පූර්ණ වියදම විදුලිබල මණ්ඩලය විසින් දැරිය යුතුයි. රජයෙන් සහනාධාර නොලැබීමත්, විදුලි ජනන වියදම අධික ලෙස වැඩි වීමත් නිසා විදුලි බිල යම් කිසි ප්‍රමාණයකට වැඩි කිරීමට සිදු වී ඇත. ඒ සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව සඳහන් කරන්නේ කෙසේදැයි අපිට පැහැදිලි නැත. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට පෙර මූලිකවම කළ යුතු වන්නේ, මේ වසරේ විදුලිය ජනනය කිරීමට කොතරම් මුදලක් වැය වන්නේ දැයි ඇස්තමේන්තු ගත කිරීමයි. එහිදී ඇස්තමේන්තු ගත කරන ක්‍රමවේදයක් ඇත. එම ක්‍රමවේදය තාක්ෂණිකය. මේ තාක්ෂණික මෘදුකාංග සියලු දේ පාවිච්චි කර මේ වසරේ විදුලිය කෙසේ නිෂ්පාදනය කළ යුතු දැයි තීරණය කළ යුතු වෙයි. මේ වසරේ කිනම් බලාගාර ද ක්‍රියාත්මක වන්නේ, එසේම බලාගාර කෙතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ යුතු ද, වර්ෂාව කොතරම් ලැබේ ද, මේ වසරේ ගල් අඟුරු නැව් කොතරම් ප්‍රමාණයක් ගෙන්වා ගත හැකි ද, මේ වසරේ පිරිපහදුව ක්‍රියාත්මක කර පිරිපහදුවෙන් නැප්ටා ලබා දිය හැකි ද යන මේ සියල්ල සලකා බැලිය යුතු වේ. රජයේ ප්‍රතිපත්තිය අනුව ඉදිරියේදී වසරේ විදුලිය කප්පාදුවකින් තොර විය යුතුයි. ඒ රජයේ සියලු ප්‍රතිපත්ති ලබන වසරේ කෙසේද ක්‍රියාත්මක කළ යුත්තේ සහ විවිධ උපකල්පන යටතේ වියදම කොතරම් ප්‍රමාණයක් වැය වන්නේ ද යන නිගමනයන්ට පැමිණිය යුතුය.ඒ වියදම අප ඇස්තමේන්තු කළ යුතුයි. එය මුළුමනින්ම තාක්ෂණික කටයුත්තකි. විශාල ඉංජිනේරු පිරිසක් හා මූල්‍ය කළමනාකාරවරු පිරිසක් එකතු වීමෙන් මේ ගණනය සිදු කරති.

ඊළඟට අපි දැනුම්වත් විය යුතු වන්නේ ලබන වසරේ ආදායම කොපමණ ද යන්න ගැනයි. දැනට පවතින අය ක්‍රමය යටතේ ආදායමයි වියදමයි අතර පරතරය බලාගත හැකියි. එතැන විශාල පරතරයක් පවතී. මේ පරතරය පියවා ගැනීම සඳහා අප උත්සාහ කළ යුතුයි. එයට හේතුව වන්නේ අපට සහන නොලැබීමයි. එබැවින් ආදායමයි වියදමයි අතර පරතරය අපි පියවා ගත යුතුයි. ඒ සඳහා අපි අය ක්‍රමය වැඩි කිරීමක් සිදු කරන්නෙමු. ලබන වසරේදී ඊට සමානුපාතිකව අපේ වියදම අඩු වෙයි. අප සතු සියලු මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකර වියදම හැකි තරම් අඩු කිරීම අපේ අභිලාෂයයි. අපේ වියදම්වලින් වැඩිම වියදම ජනන අංශයේ 86% ක් වන වියදමයි. සේවක වියදම 7% ක් පමණ වෙයි. බෙදා හැරීම සහ සම්ප්‍රේෂණ වියදම 10% ක් පමණය. අපි මේ සියලු වියදම් අවම කිරීමට බලාපොරොත්තු වෙමු.

ඒ අතරම අපි අපේ ආදායම වැඩි කර ගත යුතුයි. ආදායම වැඩි කර ගැනීමට අපිට තිබෙන එක ක්‍රමයක් වන්නේ අය ක්‍රමය වැඩි කර ගැනීමයි. ඒ සඳහා අාදායමයි වියදමයි අතර පරතරය බලා එයට සරිලන ලෙස අය ක්‍රමය වැඩි කර ගැනීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටියි. එය තාක්ෂණික ක්‍රමවේදයයි. වියදම හරියට ගණනය කර ගත යුතුයි. ඒ වියදම ඇස්තමේන්තු ගත කළ යුතුයි. ඒ සඳහා බලාගාර කොතරම් ක්‍රියාත්මක වන්නේ දැයි දැනුම්වත් විය යුතුයි. ඒ සඳහා වැය වන තෙල් මිල ගල් අඟුරු සඳහා වැය වන මුදල එසේම නැප්ටා සඳහා වැය වන මුදල පිළිබඳ දැනුම්වත් වී ඊට අනුව වියදම සකස් කළ යුතුයි. ආදායම සකස් කරන්නේ අය ක්‍රමයෙනි. ඒ දෙක අතර පරතරයක් පවතින්නේ නම් පරතරය පියවා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ නිසා මහජන උපයෝගිතා කොමිසම වියදම් සහ ආදායම් සම්බන්ධයෙන් කෙතරම් දැනුම්වත්ද යන්න සලකා බැලිය යුතු වේ. ඒ මක් නිසාද යත් වියදම් හා ආදායම් අතර සියලු දත්ත විදුලිබල මණ්ඩලය සතු නිසාය. එසේ නම් විදුලිබල මණ්ඩලයේ දත්ත පරිශීලනය කිරීමෙන් මේ ඇස්තමේන්තු සකස් කිරීම සිදු වේ. මහජන උපයෝගිතා කොමිසමත් මේ දත්ත පරිශීලනය කිරීමෙන් මේ සම්බන්ධව ඇස්තමේන්තු සකස් කළ යුතුයි. විදුලිබල මණ්ඩලය වියදම් ආදායම් අතර සියල්ල මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙයි. ඒ අයත් ඒවා ගණනය කර සුදුසු විදියට කටයුතු කළ යුතුයි.

විදුලිබල මණ්ඩලය ලෙස අපි නිරන්තරයෙන් අඩු වියදම් බලාගාර සකස් කළ යුතුයි. පුනර්ජනනීය බලය ලබා ගත යුතු වේ. මේ කරුණු දෙක ජනන වියදම අඩු කර ගත හැකි ක්‍රමවේද දෙකයි. පුනර්ජනනීය බලය ලබා ගත යුතුයි. උදාහරණයක් ලෙස ගල් අඟුරු බලාගාර, ගෑස් මඟින් සහ ස්වාභාවික වායු මඟින් අඩු වියදම් බලාගාර සැකසිය හැකිය. නමුත් පසුගිය කාලයේ ගල් අගුරු බලාගාරවත් ස්වාභාවික වායුවලින් ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් ඒ වෙනුවට ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීමට සිදු වෙයි. ඒවා වියදම් අධිකය. එසේ නම් අපි හැකි තරම් කළ යුත්තේ ඉන්ධන භාවිතයෙන් වියදම අඩු කර ගල් අඟුරු, ස්වභාවික වායු සහ පුනර්ජනනීය බලය උපරිම ලෙස ලබා ගැනීමයි. පසුගිය කාල පරිච්ඡේදයේ රටේ ආර්ථික අර්බුදයක් ඇති විණි. එවිට ඩොලරය 371 දක්වා වැඩි විය. විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සියලු උපකරණ, ට්‍රාන්ස්පෝමර් පිටරටින් අානයනික මිල දෙගුණයක් විණි. එසේම මිල වැඩි වීමට පෙර ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 80කට පැවතුණත් අද ඩොලර් 250ක් වේ. ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල විශාල ලෙස ඉහළ ගියේය. ඒ මිල වැඩිවෙන අතරම ඩොලරය වැඩි වීම නිසා රුපියල් ද ඉහළ ගියේය. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පර්නස් ඕයිල් ලීටරය එකල 70 ට ලබා දුන්නත් දැන් එය රුපියල් 275ක් දක්වා ඉහළ ගොස් ඇත. ඩීසල් ලීටරයක් 110 සිට මේ වනවිට 400 දක්වා වැඩි වී ඇත. එසේ නම් විදුලිය ජනනය කිරීමට යන වියදම් ඩොලරයේ ඉහළ නැඟීම, තෙල් වැඩිවීම, ගල් අඟුරු, අමතර කොටස් වැඩි වීම, උපකරණවල වියදම දෙගුණ වීම, එම ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම ආදී කරුණු නිසා විදුලිය ජනනය කිරීමේ වියදම ලෝකේ හැම රටකම සාපේක්ෂ වශයෙන් ඉහළ ගොස් ඇත.

ඇතැම් පර්ශ්ව සඳහන් කරන අන්දමට ජනන වියදමට සාපේක්ෂව විදුලි ඉංජිනේරුවන් අධික වැටුපක් ලබන බව කියති. එය සම්පූර්ණ අසත්‍යයකි. විදේශ රටක විදුලි ඉංජිනේරුවකුට ඩොලර් 5000 ක වැටුපක් ලැබේ. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ ඩොලර් 500ක් වැනි වැටුපක් හිමි වෙයි. මේ කණ්ඩායම විදෙස් රටවල අය සේම දක්ෂ කණ්ඩායමකි. ඒ අයට සරිලන වැටුපක් ලබා දිය යුතුයි. ඒ සරිලන වැටුප ලබා නොදී ලංකාවේ රඳවා ගන්න අපහසුයි. දක්ෂ ඉංජිනේරුවරු මේ වන විට රට හැර යන්නේ ඒ නිසයි. ඒ මෙන්ම ඉදිරියේදී අය වෙන බදු ක්‍රමය අනුව එම වැටුපෙන් පනස් දහසකට අධික ප්‍රමාණයක් බදු ලෙස අය වීමටත් නියමිතයි.

කැබිනට් මණ්ඩලය යෝජනා කරන අන්දමට ජනවාරි 01 සහ සෑම වසරකම ජුලි 01 දාට විදුලි බිල සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තිබේ. වියදමට සරිලන විදියට ආදයම සකස් කර සහන ලබා දිය යුතුයි. පැය 24 ම විදුලිය ලබා දිය යුතුයි. මේ වසරේ සිට එය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව අපි වියදම් හැටියට ආදායම හා වියදම් අතර පරතරය සංශෝධනය කළෙමු. රජයක් වශයෙන් ගත් විට ඒ රජයට ප්‍රතිපත්ති තිබේ. රජයක් ප්‍රතිපත්ති දෙස බලන්නේ සියලු අංශ දෙස බැලීමෙනුයි. එහිදී විදුලි ක්ෂේත්‍රය දෙස පමණක් හුදෙකලාව බැලීමට නොහැකියි. කර්මාන්ත ක්ෂේත්‍රය, අඩු ආදායම්ලාභීන්, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම මේ සියල්ල සැලකිය යුතුයි. IMF කොන්දේසි ඇතුළු සියලු පාර්ශ්ව දෙස බැලිය යුතු වේ. ඒ අනුව සලකා බලා ඉදිරියේදී පැය 24 ම විදුලිය ලබා දිය හැකි වෙතැයි විශ්වාසයක් ඇති කර ගත හැකියි. එමෙන්ම භාණ්ඩාගාරයට මුදල් නැති නිසා සහන ලබා නොදිය හැකි බවත් අපි විසින්ම වියදම් දැරිය යුතු බවත් පැවසේ. එසේම විදුලිය ජනනය කිරීමට යන වියදමට සරිලන ලෙස ආදායම සකස් කළ ගත යුතු බව ද නියතයකි. එසේම ජනවාරි 01 සහ ජුනි 01 වැනිදා මිල ක්‍රමය සංශෝධනය වෙයි. ඒ අනුව ගල් අඟුරු මිල පහත වැටුණොත් සහ තෙල් මිල අඩු වුවහොත් වර්ෂාව වැනි හේතු නිසා ජුනි 01 වැනිදාට මිලෙහි වෙනසක් කළ හැකියි. අඛණ්ඩව විදුලිය සැපයීමට නම් ගල් අඟුරු සහ අවශ්‍ය තෙල් ලැබිය යුතුයි. එසේම අපිට අවශ්‍ය නැප්ටා ලැබිය යුතුයි; අමතර කොටස් උපකරණ ලැබිය යුතුයි; එසේම අවශ්‍ය මුදල් ලැබිය යුතුයි. මුදල් නැත්නම් මේ කිසිම කර්තව්‍යයක් කළ නොහැකියි.

ඇත්තවශයෙන්ම රජයේ ප්‍රතිපත්තිය අනුව 2030 වසරේදී විදුලිය 70% ක් පුනර්ජනනීය බලයෙන් විදුලිය ජනනය කළ යුතු වෙයි. අපි ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීමේදී පුනර්ජනනීය බලය විශාල වශයෙන් මේ පද්ධතියට ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සකස් කරමින් පවතී. ඒ සඳහා ඉදිරි වසර 4 ඇතුළත මෙගාවොට් 2,500 ක් වැනි පුනර්ජනනීය බලයක් යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු. එයින් මෙගා වොට් 600 ක් පමණ පියස මත ඉදිකරන බලාගාර මඟින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. පියස මත ඉදිකරණ බලාගාර මඟින් මෙගාවොට් 700 ක් පමණ විදුලිබලය හිමිවෙයි. වහල මත සූර්ය බලාගාරවල එකතුව ගත් විට එය 45,500 ක් පමණ වේ. එමඟින් මෙගාවොට් 700ක් පමණ ජනනය වේ. අපට දිවා කාලයේ අවශ්‍ය වන්නේ මෙගාවොට් 2000ක් පමණකි. රටක් වශයෙන් අපි ඒ ගැන සතුටු විය යුතුයි. මෙය ඉතා සාර්ථක ව්‍යාපෘතියකි. මේ සඳහා නායකත්වය දුන්නේ විදුලිබල මණ්ඩල යයි. එය මේ වන විට තවත් කඩිනම් කර තිබේ. 2021 වසරේදී අපි 51% පුනර්ජනනීය බලයෙන් විදුලිය ජනනය කළෙමු. 2022 වසරේදී 50% අපි ජනනය කර තිබෙන්නේ පුනර්ජනනීය බලයෙනි. පුනර්ජනනීය බලයෙන් විදුලිය ජනනය කරන ලෝකයේ රාජ්‍යයන් කිහිපයක් තිබේ. නමුත් ඉදිරියේදී අපේ ඉලක්කය පුනර්ජනනීය බල ශක්තිය 70% දක්වා වැඩි කර ගැනීමයි. මේ මොහොත වන විට තාප බලාගාරවලින් පුද්ගලික අංශයට අයිතිය තියෙන්නේ මෙගා වොට් 270ක වෙස්කෝස් නම් වන බලාගාරය පමණකි. එය මෙගාවොට් 270ක් නිපද වන අතර එහිද කොටස්වලින් 90% ආණ්ඩුවට අයත් වෙයි. ඉන්ධනවලින් ක්‍රියාත්මක වන කිසිදු බලාගාරයක් පුද්ගලික අංශය සතු නැත. අනිත් සියලුම තාප බලාගාර අයත් වෙන්නේ විදුලිබල මණ්ඩලයටයි.

අපි සමස්ත රටේ ජනතාවගෙනුයි අපේ කාර්ය මණ්ඩල වලිනුයි කරන පළමු වැනිම ඉල්ලීම වන්නේ කාරණාව විදුලිය සංරක්ෂණය කිරීමයි.

‘විදුලිය අවභාවිත කරන්න එපා. විදුලිය සංරක්ෂණය කර ගන්න. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක එය ඉතා වැදගත්. විදුලිය සංරක්ෂණය කිරීමෙන් තමන්ගේ විදුලි බිල අඩු වීම වගේම රටේ අර්බුදයක් පවතින අවස්ථාවක රටෙන් ඩොලර් යෑම අඩු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් විදුලිය සංරක්ෂණය කරන්න. අපේ කාර්ය මණ්ඩලවල සියල්ලම උපරිම වියදම් අඩු කළ යුතුයි. ජනන වියදම අඩු කළ යුතුයි. ඒ සඳහා ගල් අඟුරු වැඩි වශයෙන් පාවිච්චි කළ යුතුයි. අනතුරුව පර්නස් ඔයිල්, නැප්ටා පාවිච්චි කළ යුතුයි. අවසානයේ දී තාප බලය අවශ්‍ය නම් පමණයි අපි ඩීසල් පාවිච්චි කළ යුතු‘

මේ ආකාරයට අපි ජනන වියදම අඩු කළ යුතුයි. එසේම පුනර්ජනනීය බලය අපි උපරිම වශයෙන් යොදා ගත යුතු වේ. දැනට නතර වී තිබෙන ව්‍යාපෘති ඉතා වැදගත්ය. ඒවා නැවත ආරම්භ කළ යුතුය. විදුලි කප්පාදුව නතර කළ යුතු වේ. පාරිභෝගිකයාට හොඳ සේවාවක් ලබා දිය යුතුයි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්ව එකතු විය යුතුයි.

Comments