ප්රකාශනය, මුද්‍රණය, මුද්‍රණ කඩදාසි ආනයන සීමා වීම,මුද්‍රණ කඩදාසි, තීන්ත හා මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යෑම, විදුලිය සැපයීම් කප්පාදුව ආදී වූ හේතු රාශියක් නිසා පසුගිය වසරෙහි මෙරට ප්‍රකාශන ක්ෂේත්රයෙහි විසාල බිඳ වැටීමක් වූ බව නොරහසකි.
සාහිත්‍ය ක්ෂේත්රයට අදාළ පොතපත පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ පෙළ පොත් මුද්‍රණයේ සිට පාසල් දරුවන්ගේ දෛනික ලිපි ද්‍රව්‍ය අවශ්‍යතා දක්වා මිල ඉහළ නැඟි අයුරු අපි දුටුවෙමු. මෙවන් අතිශය අර්බුදකාරී හා දුෂ්කර, අභියෝගාත්මක ප්‍රශ්න ඉදිරියේ නිර්මාණකරුවන් මුහුණ දුන් මූලිකම ගැටලුව වූයේ මුද්‍රණ වියදම හා මුද්‍රිත කෘතියක මිල නියම කිරීමේ ප්රශ්නයයි. මෙහිදී ද මේ ප්‍රශ්නයෙන් දැඩි ලෙස බැට කෑවේ ආධුනිකයන් ලේඛක ලේඛිකාවන් බව අපගේ විශ්වාසයයි. කවිය තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරා ගෙන සිටින ආධුනිකයන් පමණක් නොව ප්‍රවීණ කවි කිවිඳියන් ද දරා ගත නොහෙන මුද්‍රණ වියදම හා මිල නියම කිරීමේ ගැටලුව හමුවේ අසරණ වී සිටින බව නොරහසකි.
තතු එසේ වුවත්, නිර්මාණ කෘතියක් පළ කිරීමේ ආසාවෙන් මඬනා ලබන කවි කිවිඳියන් කෙසේ හෝ තම කාව්‍ය කෘති සිය රසිකයන් වෙත පිරිනමන්නට උත්සාහ ගෙන ඇති බවට සාක්ෂි සපයන පද්‍ය කාව්‍ය කෘති රාශියක්ම 2022 වසරේදී ප්‍රකාශයට පත්ව ඇති බව පෙනේ.
2022 වසරේ පළ වූ පද්‍ය කාව්‍ය කෘති බොහොමයක් කියවන්නට මට අවස්ථාව ලැබුණු අතර, ඇතැම් කෘති කවියා හෝ කිවිඳිය පරිත්‍යාග කළ ඒවාය. බොහෝ කෘති මවිසින් මිලට ගත් අතර, 2022 දෙසැම්බරයේ පළ වූ කාව්ය ග්රන්ථයක් හෝ කිහිපයක් මිලට ගැනීමට නොහැකි වූයෙන් එම නිර්මාණ රස විඳීමට ඉඩක් නොලැබිණ. එහෙත් කියවා රස විඳි කාව්‍ය ග්‍රන්ථ රාශියක් අතරින් 2022 වර්ෂයේ පළ වූ මා සිත් ගත් කවි එකතු කිහිපයක් පිළිබඳ කියැවීමට අදාළ සංක්ෂිප්ත සටහනක් ලෙස මේ රසවිඳුම හැඳින්වීමට කැමැත්තෙමි.
මා මෙන් දහස් ගණනකි ඔබ
- කර්තෘ - අර්ථ සඳෙස් රත්නායක
මේ තවමත් පාසල් ශිෂ්‍යයකුව සිටින කවියාගේ කුලුඳුල් නිර්මාණ ප්රයත්නයයි. කාව්ය නිර්මාණ හතළිස් පහකින් සමන්විත් මේ කවි එකතුවෙහි එන තරණය නම් නිර්මාණය 2022 ජූලි මාසයේ දී රචනා කරන ලද්දකි. එවකට ඔහු ඉගෙනුම ලැබුවේ 9 ශ්‍රේණියේය. සිංහල බසින් රචිත නිර්මාණ සමුච්චයට අමතරව ඉංග්‍රීසි බසින් රචනා කරන ලද පද්‍ය නිර්මාණ අටක් ද මේ කෘතියට ඇතුළත්ය. ශිෂ්‍ය මට්ටමින් බැහැරව වුව මේ සංග්රහයෙහි කවි කියවා බලන්නකුට හැඟී යන්නේ සඳෙස් රත්නායක තුළ අපූරු කවි සංකල්පනා සතු දීප්තිමත් කවියකු ජීවත් වන බවය. ඔහු විසින් මෙරට කවීන්ගේ නිර්මාණ ද එතෙර සාහිත්‍යකරුවන් හා දාර්ශනිකයන් ආශ්රයෙන් මුවහත් කොට ගත් පරිකල්පනීය ශක්‍යතා ප්රතීයමාන වන නිර්මාණ රැසකි. කවිය යනු කුමක්ද යන්න පිළිබඳ මූලික දැනුමකින් හා අවබෝධයකින් යුතුව රචනා වූ නිර්මාණ බොහෝය. අත්දැකීම් තෝරා ගැනීමේදී සහ උචිත කවි භාෂාව තෝරා ගැනීමේදී කවියාගේ ප්‍රතිභාව ආධුනික බව ඉක්මවයි.
සංක්ෂිප්ත කවියෙහි ද හපන්කම් පාන අර්ථ සඳෙස් ගේ මේ නිර්මාණය බලන්න.
ඔබ මෙන් මා මෙන්
සයුර කියයි දිය බිඳට
'ඔබ මෙන් දහස් ගණනකි මම'
දිය බිඳ කියයි සයුරට
කවි සිතම දම් පාටයි
කර්තෘ - නිලූෂා මනෝරත්න
මේ කාව්ය සංග්‍රහය නිලූෂා මනෝරත්න කිවිඳියගේ ප්‍රථම කවි එකතුවයි.කවි සිතම දම් පාටයි නිර්මාණයෙන් වුව කිවිඳිය සතු නිසඟ කවිතාව මතු වී පෙනෙන්නේ යයි හඟිමි. ඈ අපූරු සංකල්ප රූප නිමවයි.
වලා දරු කැල
තුරුලු කරගෙන
අහස් කුස නිල් පාටයි
රැල්ල වෙහෙසී
රැයක අවසන
හෙමින් වෙරළට ගාටයි
කියඹු වැල්
තාලයට නළවන
මඳනලත් දැන් ඈතයි
සොඳුරු උදයක
පැහැය තවරන
කවි සිතම දම් පාටයි ( පිටුව 50)
ඇප් එකක් හැදුවා මං නිර්මාණය ඔස්සේ වර්තමාන සමාජ සංස්ථාව විද්‍යුත්කරණය වී ඇති අන්දම දෙස සෝපාහාසයෙන් බලන කවිකාරියක් හමු වේ.
මිදුලෙ කොළ අහුලන්න - හැමදාම වැහි දෙන්න
බඳුන්වල මල් මවන - ඇප් එකක් දැන් මෙන්න
දඟ පැටවු මෙල්ල වන - පැයෙන් පැය කෑම දෙන
හෝම්ව(ර්)කුත් කරන - ඇප් එකක් දැන් මෙන්න
(පිටුව 44)
නිලූෂා මනෝරත්න අනාගත බලාපොරොත්තු රඳවා ගත හැකි කවිකාරියක ලෙස දකිමි.
ප්රාණයාම
කවි පොත් ප්රකාශනය හා ඒවායේ මිල තීරණය කිරීමේ දුෂ්කර අභියෝගය හමුවේ සාම්ප්‍රදායික ග්‍රන්ථ සැකැස්මෙන් මිදී, වටිනා මුද්‍රණ කරදාසියෙහි වර්ණ චිත්‍ර හා ඡායාරූප ද ඇතුළත් කාව්ය සංග්‍රහයක් 2022 වසරේදී මා අත පත්විණ. මෙම කවි එකතුවෙහි මා දුටු විශේෂත්වයක් වන්නේ බොහෝ නිර්මාණ සඳහා පද අරුත්, ගැටපද විවරණ මෙන් ම පරිකතා ද ඇතුළත් කොට තිබීමයි. කිවිඳියගේ කුලුඳුල් කාව්ය සංග්‍රහය වුවත් ඒ ප්රයත්නය තුළ අගය කළ හැකි නිර්මාණ කිහිපයක්ම ඇතුළත්ව තිබෙනු පෙනිණ. මේ කෘතියෙහි එන පොන්සිනා හාමි නිර්මාණය රුචීගේ කාව්ය සංග්රහයෙහි අගනාම නිර්මාණය ලෙස මම දකිමි. ශ්‍රී ලාංකික කම්කරු අරගල හා බැඳුණු ස්ත්‍රී චරිතයක් ලෙස නිරූපිත පොන්සිනා හාමි රචනයේදී කිවිඳියගේ කවිතාව අපූරුවට දක්නට ලබෙන බව කිව යුතුය. කිවිඳිය පොන්සිනා හාමි ඓතිහාසික කාන්තා නාමාවලිය අතරෙහි රඳවන්නී, කරදාසි කුට්ටමෙහි තුරුම්පු කාඩ් එක ලෙසිනි.
ලීලා
අනුලා
සුගලා
කරදාසි කූට්ටම් උඹලා
දහදිය සුවඳ දන්නා
තුරුම්පුව පොන්සිනා.....
ට්‍රෑම් රථ හඬ ගෑ
හුස්ම මැද ආ මෑ
ගෙන්දගම් පොළොවේ
ගිනි යකඩ රැජිනි ඈ ( පිටුව 64 )
සුරඟන කතා කරළිය නිර්මාණයෙහි කතා නායිකා සින්ඩරෙල්ලා පිළිබඳ අප දන්නා කතාවට නව අර්ථ කථනයක් කිවිඳිය විසින් දෙනු ලබන්නීය.
රජ කුමරා
හෙළුවැලි සිරුර ඉරලා
ලෙව කාලා
සුර සැපත් විඳලා
කළු තුරඟා පිට නැගලා
මිරිවැඩි සඟලත් උස්සා
මාළිගාවට පැන්නා
සින්ඩරෙල්ලා (පිටුව 27 )
රුචී නෙත්මා අබේවර්ණ කිවිඳියගේ ප්රාණයාම කවි එකතුව ද 2022දී පළ කෙරුණු කාව්‍ය සංග්‍රහ අතර මා සිත් ගත් කෘතියක් ලෙස මතකයේ රැඳී ඇත්තේ කිවිඳියකගේ පළමු කවි එකතුව ලෙස ඇගේ අනුභූතීන් තෝරා ගැනීමෙහි සුවිශේෂත්වය නිසාය.
කෙතරම් දුෂ්කරතා මැද වූව ද සිංහල කවිය නිහඬව ගලා යන නදියක් සේ සෙමින් ඇදී යනු දක්නට ලැබීම කවියට සිතැති රසික ජනයාගේ අමන්දානන්දයටම හේතු වනු නිසැකය.
කර්තෘ- රුචි නෙත්මා අබේවර්ණ
සඳ බිඳුණු ගොවිඳුහෙල
කර්තෘ - චමිලා මැණික්ගමගේ
චමිලා මැණික්ගමගේ කිවිඳිය කවි එකතුව 2022 පළ වූ කාව්‍ය සංග්‍රහ අතර මා සිත් ගත් කෘතියක් ලෙස සටහන්ව ඇත. ආදරය ප්‍රධාන වූ යෞවන ජීවිතය වසා ගත් අත්දැකීම් කවියට නැඟීම කිවිඳිය දක්වන අභිරුචිය මේ කවි එකතුවේ බොහෝ නිර්මාණ තුළින් විශද වේ.පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වූයෙමි, ආදරණීය මිනිසෙකුට, ලිවින් ටු ගෙදර්, මිහිරිය තෙමුණු හැටි මතකද අපි වැස්සේ, ප්‍රේමයේ කළු කුහර, වැනි කාව්‍ය ප්‍රේමයේ චමත්කාර අත්දැකීම මෙන්ම වියෝව ද සටහන් කරන්නේ වෙයි. අතීත ආදර මතක මාවතේ සරන කිවිඳිය පෙම්වතියක් හා වැස්සක තෙමුණු පෙම්වතකුගේ මතකාවර්ජනයකට පිවිසෙන්නීය.
නිල් මොණරැස්ස මල් පීදුණ මඟ ඔස්සේ
මිහිදුම් කළු වලාවන් පහළට බැස්සේ
මිහිරිය තෙමුණු හැටි මතකද අපි වැස්සේ (පිටුව 26)
කාව්‍යෝක්ති නිර්මාණයෙහි ද හපන්කම් පාන්නී චමිලාගේ අපූරු නිර්මාණයකින් ආදරයේ වියෝව සිතුවම් වන්නේ මෙලෙසය.
දීගයයි අමු අඹෙයි
සෝමෙ මං ආදරෙට වහ වැටුණ
රහක් නැති ජීවිතේ හති වැටුණ
රන්හූයෙ නූල් ටික ගැට ලිහුණ
සාරියේ කට්ට තනියෙන් ගැහුව (පිටුව 50)
රැඩිකල් සිතුම් පැතුම් පිරි යෞවනියක විවාහ ජීවිතයෙහි අර්ථශූන්‍ය බව පැවසීමට ලිවින් ටු ගෙදර් Living together සුන්දර යැයි පවසන්නීය.
ගීතයක් මුමුණමින්
තුරුලු වී නින්දකට වැටුණාම
හඳ ඇවිත් සිදුරකින් එබුණාට
කමක් නෑ අපි දකිමු අපෙ හීන
දිවුරලා කොළේකට අත්සන
නැති වුණත් සාක්ෂියෙ විස්තර
ඇහුවමත් ඇස්පියන් උසස්වෙන
'ලිවින් ටු ගෙදර් ' තමයි සුන්දර (පිටුව 21)
චමිලා මැණික්ගමගේ කිවිඳිය තම කවියට විෂය කරගන්නා අත්දැකීම් මගේ සිත පැහැර ගන්නේ යයි මට සිතේ. ඈ තම අත්දැකීම් නිර්භීතව කවියට නඟන්නීය. ඇගේ අනන්‍යතාව එය වේ.
සහස් කඳු තරණ මංපෙත්
කර්තෘ - කෞශල්‍යා ජයලත්
කෞශල්‍යා ජයලත් කිවිඳිය විසින් 2018දී පළ කරන ලද කහට ගවුමක අයිතිකාරිය කවි එකතුවෙහි අපූරු නිර්මාණ රැසක් වූ බව මතකය. වසර හතරක් ඇවෑමෙන් කෞශල්‍යා සහස් කඳු තරණ මංපෙත් නමින් තම දෙවැනි කවි එකතුව 2022දී පළ කරන්නීය. 2021 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කෘතියක් ලෙස ද මේ කවි එකතුව සටහන් වී ඇත. කෞශල්‍යාගේ කවියෙහි අනන්‍ය ලක්ෂණය ලෙස මා දකින්නේ ඇය විසින් භාවිත කාව්ය භාෂාවෙහි භාවපූර්ණ, ධ්වනිපූර්ණ ගුණයයි. නීත්‍යානුකූල සෙරකට නිර්මාණය ඊට නිදසුනකි.
එබී මුදුවතරින්
බැලුම් ලී මිණ මා දෙස
බියෙන් සසැලිණි රතැඟිලි
දැදුරු හද සඳුන් තවරන
බියෙන් සසැලුණ රතැඟිලි ( පිටුව 33 )
තහනම් කිරීම තහනම් නිර්මණයෙහි භාෂා භාවිතය ද කෞශල්‍යාගේ කාව්‍යෝචිත භාෂාවට නිදසුන් වේ.
විසල් විල මැද සුපුල් නෙළුම නෙළා
පුදනු රිසි වුව නුහුරු පීනනයුරා
ළඳක බැත්) ඉ පෙම් හද ඉවුර උතුරා
විල් තෙර ම හිඳ ගයන ගාථා ඇසෙයි විල එතෙරා (පිටුව 24)
පඬුරු (ජීවිතේ ලිහෙන කවි)
කර්තෘ- භාග්‍ය සමීර ජයසේකර
මේ කෘතිය භාග්‍ය සමීර ජයසේකර විසින් 2022දී පළ කරන ලද, පසුගිය වසරේ පළ වූ කවි පොත් අතර මා මතකයෙහි රැඳුණු තවත් එක් කෘතියකි. භාග්‍ය සමීර ජයසේකර කවියාගේ කුලුඳුල් කෘතිය මඟින්ම ඔහු කවිය හඳුනා ගත්, කවියෙහි දිගු ගමනක් යා හැකි තරුණ කවියකු ලෙස හැඳින්වීම නිවැරැදි යැයි සිතමි. සංක්ෂිප්ත කාව්ය ආකෘතිය තෝරා ගන්නා කවියා ඒ තුළින් තම භාව ප්රකාශනය සඳහා ප්‍රබල සංකල්ප රූප නිර්මාණය කරයි. සංක්ෂිප්ත ගුණය රකින අතරම සීමිත වදන් කිහිපයකින් විශාල කැන්වසයක චිත්‍රයක්
අඳියි. ඇත්තු යන නිර්මාණය නිදසුන් කොට දක්වමි.
තරු ගැට ගහපු අහසක
හඳත් එල්ලා අයිනක
හිරුත් ගිල්වා සයුරක
කඳුත් ඇන්දා ඈතක
ඒත් අඩුවක් දැනුන හන්දා
තාත්තා හුන් පැල යට
ඇතෙක් ඇන්දා තනියට ( පිටුව 61 )
ඇතෙක් ඇන්දා තනියට යන්න මතු කෙරෙන උත්ප්රාසය වචන රාශියකින් හෝ කීමට අසීරුය. කවියා ගේ රූපකාර්ත භාෂාව ද මේ කාව්ය සංග්‍රහය පුරාම කැපී පෙනේ.
මන්දාරම් එනුවර
කර්තෘ- ගාමිණී නිශාන්ත කරුණාරත්න
2002දී දුක් කන්ද පාමුල සිටි අම්මා කවි එකතුවෙන් පසු වසර දොළහකට පසු වප් මඟුල නම් දෙවැනි කාව්ය සාංග්රහය පළ කරන කවියා 2022 දී තම තුන්වැනි කාව්ය සංග්‍රහය පළ කර ඇත. දශකයක පමණ කාලයක් තුළ පරිපාකයට පත් කවිත්වයක් පළ කිරීමට කවියා සමත් වී ඇති බව මන්දාරම් එනුවර කවි එකතුව සනාථ කරයි. රිදුම වූ කලී කවියේ උල්පතය. ඒ කවර රිදුමක්ද යත් අනේකවිධ සමාජ මානව අනුභූතීන් අභිමුව අත්විඳින රිදුමකි. කවියාගේ මේ ප්‍රකාශයට සාක්ෂි සපයන නිර්මාණ රැසකි. නිර්මාණ සැටකින් යුත් කවි එකතුව විවිධ ආකෘති භාවිත කරමින් අත්දැකීම කීමට වඩාත් සුදුසු ආකෘතිය තෝරා ගැනීම මඟින් කවියට ආලෝකයක් එක් කර ගැනීමට කවියා සමත් වී තිබීම ලක්ෂණයකි. ගාමිණී නිශාන්ත කරුණාරත්න කවියා උපහාසය හා හාස්‍යය මතුකිරීමෙහි හපනෙක් බව මැයි දින සාදය, විමල් මි - සීගිරි නො ආමි වැනි නිර්මාණ ඔප්පු කරයි.ගෑස් පුපුරා මියගිය කිඳුරිය සමාජ විඥානයෙන් යුත් සමාජ නිරීක්ෂකයකුගේ විරෝධාකල්පී නිර්මාණයකි. කවියා සාම්ප්‍රදායික සිවුපද ආකෘතිය ඔස්සේ තම විරෝධය පුපුරුවා හරින්නේ මෙලෙසය.
සාර සදිසි කොම්පැනිවල තේජ බලැති යකුනේ
මාර වියත් මණ්ඩපවල බාල බොළඳ රජුනේ
තාර පාර පුපුරාගෙන හෙණ පිට හෙණ නැගුණේ
කාරණාව නොදැනෙයි මගෙ තාරකාව නිවුණේ ( පිටුව 72 )
ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මිය ගිය බිරියක් පිළිබඳ තැවෙන සැමියකුගේ හදවත වේදනාව හෘද සංවේදී බසකින් පවසන්නේ මෙලෙසය. කවියා ඒ සඳහා ජන කවියේ ආභාසය මැනවින් උපකාරයට ගනී.
කන්නඩි කැඩපත් බලමින් හිස පීරපු ළඳුනේ
වංග දෙවංගී අලුයම බත තම්බපු ළඳුනේ
හංග හංග ඔඩොක්කුවේ දංකුඩ කෑ ළඳුනේ
මාළිගාව අද අඳුරුයි පැටවුන් හාමතිනේ ( පිටුව 72)
මෙවන් කාලීන අත්දැකීම් කවියට නැඟුණු නිර්මාණ බොහොමයකි. පාඨක හද සසල කිරීමට කවියාගේ අත්දැකීම් බෙහෙවින් ඉවහල් වී ඇති බවට තවත් නිදසුනකි මිනී කපන තාත්තාට නම් නිර්මාණය.
මෝචරියෙ ගොඩ ගසා ඇති මිනී කඳු අතර
දෑස් යවමින් සොයමි තාත්තේ ඔබ සිරුර
කාත් කවුරුත් නැතිව උඩු බැලිව සිටි වැතිර
හඳුනන්ට බැරිවුණා ඔය මුහුණ එක පැහැර (පිටුව 39)
වෘත්තියෙන් මිනී කපන තම පියාගේ සිරුර හඳුනා ගන්නට නොහැකි වූ කථකයාගේ මනෝ භාවය කවියා අපූරුවට චිත්රණය කරන්නේ පාඨක හද සසල කරමිනි.