කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

නිවහල් සිහිල

සුවදන සුවඳයි සුවඳයි නිදහස් මල් පිපි මුළු සිංහල පොළොවේ 
උදහන සුමඟුල් සැණකෙළි සොම්නස හදවත හදවත බැඳ නැළවේ
ලෙළදෙන ජාතික සිහ බොදු කොඩිවැල් නිරලඹ අඹරත සිඹ සෙලවේ
ජන මන නව චින්තනයෙක පිළිරුව පිළිබිඹු කළ අසිරිය පළවේ

තුන් රට වටකොට මුහුදු ඉමට කඳුකර මැද වනමල මඩුලු දිනා
තැන්පත් කළ ජාතික අනුරාගය අනුභාවය ජීවයට අනා
සන් නාහකයට බලවේගයකට යට කරගන්නට නොදී ගෙනා
සිංහලයේ ජනතා පරමදිපති බව සුරකිමු ජය ධජය වනා

චින්තන භාෂණ ලේඛන හරහා රජයා පොදු ජනතා පේමේ
යුගයෙන් යුගයට දුතිමත් කෙරෙමින් හෙබැවිණ හර පද්ධති දාමේ
නොනසනු නොමරනු නොම කෙලෙසනු මැන සිරි ලක්දිව සිංහල නාමේ
සුරකිමු සුරකිමු සම මෙත් සම ගුණ අනුසස් බල මහිමෙන් සාමේ

කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දර


හැත්තෑපස් නිදහස් දින අප සැම

ලංකා මවගේ ළමැදෙන් කිරි බී
වැඩුණ දනන් කැල එක්සත්වී
සියවස් ගණනක් සතුරන් පරදා
බේරාගත් ලක්මව ජයතූ ...

සැම ජාතියටම අයිති අපේ
සුර සිංහ ලකුණ යට එක් රැස්වී
දසතින් එන සුළි සුළංවලට
බාධාවන් ගෙන දෙමු පවුරක් වී ...

බෙදී නොගොස් පිල්වලට සැවොම
මේ සැමරුම ලක් ඉතිහාසේ ලියා
ආදර්ශය දෙමු පොතක් ලෙසට
දියුණුව පෙන්වීමට එකතු වෙලා ...

ජගත් ප්‍රසන්න කුරුගම


සැබෑ නිදහස් ඵලය ලදිමුද?

රට දැය එකලු කළ රුපුසෙන් බලය මැකූ
තම දිවි පුදා ලක් මෑණිගෙ දිවිය රැකූ
සුද්දගේ කෙරුම් තඹ දොයිතුව විලස තැකූ
සිරිලක් පුතුන් දැක නොරැඳුණි සතුරු යකූ

එකලත් අමනයෝ සැම තැනැකම විසුවා
සුද්දට ගතු කියා විරුවන් කැල නැසුවා
කළු සුද්දන් වෙලා දෙරණම ගඳ ගැසුවා
උන්ගේ පරපුරත් දිගටම වින කෙටුවා

ලැබු නිදහසින් අපි ඵලයක් ගත්තාද
විරුවන් නාමයන් නිරතුරු රැක්කාද
පිනටම යමක් දෙනකන් දත මැද්දාද
සිත නම් දනී හදවත එය දැක්කාද

චන්දන ගුණසේකර


සැබෑ නිදහස


නිදහස සමරමින් කේසර සිහනාදේ
ගයති වයති රඟදෙති වෙඩි වරුසාවේ
දෙවියන් ගෙනත් දුන් නිදහස ඒ කාලේ
තැටියේ තියා අයිසින් කර කමු රාලේ

අනුනගෙ බඩේ ගින්දර දැනෙනා දාට
තවකෙකු දුකට කඳුළක් උනනා දාට
මිනිසුන් අදම ගති ගෙල සිඳලූ දාට
ලංකා මවුන් වැජඹෙන නිදහස ඈත

සියොතුන් ගයන ගී අසමින් විඳගන්න
ඉපිද පණ ගැහෙන බිම මගෙ සනසන්න
මිහිමත නිදහසේ හුස්මක් අරගන්න
හැකි වුණදාට කාහල නද පතුරන්න

චින්තා ඩීන්


දිනූ නිදහස

මුළු රටම ගිගුම් දී - සිංහ කොඩි එසවුණා
සියලු පන්සල් පුරා- ඝංඨාර හැඬවුණා
කළුවලා පැන ගොසින්- අහස්කුස දිළිසුනා
නිදහසේ රන් කිරුළු- දරා අපි රජවුණා

බටහිරින් ආ සිරිත්- එකින් එක ගිලිහුනා
උරුමයන් ඉතිහාසෙ- සුවඳ දී හිනැහුනා
දේශීය ශිල්පීන් - පණ ගසා පිබිදුනා
නිදහසක් නිදහසක්- සිත්පුරා පැතිරුනා

ඕෂධී දීප්තිකා පතිරත්න


හුරු පුරුදු පෙරහැරේ නොදුටු දසුන්


හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මලබැඳුණු සමරු සටහන් ඉතිරි

අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර නොදිටි?

හිරු රැසින් බබළමින්
පදක්කම්, වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මඟ දිගට,
දෑස් ගිනිකන වැටුණු

කිසි තැනෙක ලියැවේද
කුරුල්ලකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?

සෞම්‍ය සඳරුවන් ලියනගේ


නිදහසේ උදානය

බඩසයින් පීඩිතව හඬන
කිරි දරුවන්
කිරි ශිරා වියැළි ගත්
සුසුම් ලන මවුවරුන්
ඉම් නොමැති කල්පනා
ලොවක සිර පියවරුන්
හමුවෙනා සඳ කොහිද
නිදහසක් දිවිමඟින්...

විසිතුරුම නේක සලු
පැලඳ හිනැහෙමින් එන
කඳ පිරුණු හිස් නොපිරි
හිස් මිනිස් කැලක් අස
නැඟී ඉහළට අහස
අඩකුඹුව සුසුම් ලන
සිංහ රුව අදත් ඇත
දුක් ළයම සඟවගෙන...

සසිරි බර ඉසුරු පිරි
ධාන්‍ය ධනයෙන් සුසැඳි
මවු වත්කමේ සුවඳ
සිර කරම යදම් බැඳ
කෙසේ සමරම්ද මේ
නිදහසේ සුබ සිරිය

කෙසේ ගයනෙම් ද අප
නිදහසේ උදානය...

ගයාන් අබේසිංහ


ජාතික නිදහස

අසිපත් නිදන කොට
සතුරන් රඟති රිසියෙන්
හෙළයන් ගොඩනැඟූ මේ විස්මිත දේශයේ
ලේ කැටිය හද පතුල
දෙපලු කර
මුතුන් මිත්තන්ගේ
හුස්ම වැටෙනවා
නිවටයන් රඟන විට
ජාති ආගම් කුල භේද
මොකටද
එක්ව ඇවිදිමු ජය ගන්න

මංජුල සෙනෙවිරත්න 


නිදහස

නිදහසක් නැති වෙලාවක
සැමරිය හැකිද
නිදහස ?
බන්දේසි නිදහස
දෙස බලා
රට වැසියනි
පවසන්න
ඔබ කොහොම
නඟන්නද මඳහස ?

කාංචනා ප්‍රියකාන්ත


පිබි­දෙව් නිද­හසෙ අරුත මත

විරු­වන් දිවි පුදා රැකි ලක් දෙරණ මත
හැත්තෑ පස් වසක අබි­මන අප­රි­මිත
එය නොවැ­ටහී තාමත් අඩු­ලු­හුඬු ඇත
පිබි­දෙව් මෙව­ර­වත් නිද­හසෙ අරුත මත

බන්දා විජය දද සිවු කොණ ලක් දෙරණේ
සින්ඳා සතුරු බල­මුළු නොබි­යව පොරණේ
මන්දා කුමට දැන් පර­ගැති ගී වරුණේ
වැන්දා උන්ට ඇති නැගි­ටිව් ලක් පුතුනේ

කුල ගොත් ජාති ආගම් පිල්ව­ලට බෙදී
සිටි­යොත් තවත් දියු­ණුව පසු­ප­සට අදී
එක­සිත් ඇතිව පුර­වැ­සි­යන් රටට ලැදී
එක්වුණ විටදි මවු­බිම උස් තැනක හිඳී

පුබුදු චින්තක විජේ­සේ­කර


නිදහස් මනසත් කූඩුවෙලා

හිරුරැස් තුරුළෙත් තුරුවැල් බුම්මාගෙන නිබඳ විසුම
සඳරැස් වැදුණත් ඇළදොළ කළුවරේම ගලයි මබිම
කිතුගොස් නැඟුවත් සැමකල් පරදෙසේට වහල් සැවොම
නිදහස් මනසත් පුදුමයි කූඩුවෙලා නිදිය තවම

ඇගෙ ගත රුසිරෙන් උමතුව විඳගන්නට පහස වරක්
ඇඳිවත සිරුරෙන් ගැලවුව වහලුන්හට නැතිය හොඳක්
සරුකෙත නිවටුන් ගැරහුව බේරගන්ට ලබන දිනක්
සිරිකත හඬමින් ලක්මව සනසන්නට සොයයි මඟක්

කැලඹෙති අබැටක නුවණක් හංගාගෙන සිටින එකත්
දැනුමැති පිරිසක හදවත් ඉවසනු නෑ ඉතින් තවත්
කකියති තතු දැක සැබැවින් රවටනු බෑ උන්ව හෙටත්
පිබිදෙති සිරිලක නිදහස පෙරලාගෙන අමන රැළත්

අජන්ත සෙනෙවිරත්න


මාල ගිරවි

මම ආසයි ඉගිල්ලෙන්න
ඉමක් කොනක් නැති
පරක් තෙරක් නොපෙනෙන
හිස් ම හිස් ආකාසෙ පුරා

දන්නැද්ද මම මාල ගිරවියක්
එම්.එස්.ප්‍රනාන්දුගෙ බයිලාවෙ ඉන්න
මාල ගිරවි
රන් කූඩුවෙ ඉන්න මාල ගිරවි
රස ආහාර අඩු නැති මාල ගිරවි
අහන් නැත්තෙ ඇයි මගෙන්
කූඩුවෙ දොර ඇරියොත්
ඔබ දාල යනව නේද කියල
ඔව්
කූඩුවෙ දොර ඇරියොත් ඔබ
මම ඉගිල්ලිලා යනවාමයි
මගෙ රෑන සමඟ එකතුවෙන්න
එකතුවෙලා පියාඹන්න
හිස් ම හිස් ආකාසෙ පුරා
නිදහසේ පියාඹන්න

බුද්ධදාස ගලප්පත්ති


නිදහසක අදහස


කාලයේ රවුම
ගෙවී මොටව ඇත
නිදහසක හුස්ම
පෙර මෙන්ම බර ද

නිදහසේ දලු ලෑව
තුරු මුඳුන් මත තැවරි
ලපටි හිරු කිරණ මත
නිදහසක දුර සිහින
තැවරිලා දකිනව ද

පැරණි ඉතිහාසයක
ප්‍රෞඩ අභිමානයක
නිදහසක ස්වර්ගය
භුක්තියෙන් තවම අප විඳිනව ද

නිදහසක අරුත රැඳි
ජීවිතයේ සිහින මැද
නිදහස් සිතුවිලි අතර
නිදහසක් දකිනව ද

පරාක්‍රම ඒකනායක


නිවහල් සිතුවිලි

හැත්තෑපස් වසක් ගෙවා මර නින්ද
උජාරුවකින් වයා මහා බෙර සද්ද
සැමරුවත් පුරුදු ලෙස නඟා ණය කන්ද
ඇත්තටම නිදහසක් තියෙනවද නැද්ද

මතු රැකෙන ශිල්පය ම රැකගැන්ම යුතු ය
පොත පෑන පැන්සලය මිලත් බලගතු ය
තුටු නූණ නෙත පුරා උණු කඳුළු වැල් ය
පැටි උන්ගෙ හෙට දවස අහෝ කම්මුතු ය

ජාති ආගම් බෙදී නොමැත කුසගින්න
එකම ධජයක සෙවණ සැනසිලා ඉන්න
දහඩියෙන් කඳුළකින් රුහිරු හලමින්න
දිවි පුදපු විරුවන්ව පෙමෙන් සමරන්න

දමුදරී මල්ලවආරච්චි


මගේ පුතුට

ඇඟ පත හයිය දුන්නේ මං හැංගෙන්න නෙමේ
හිස මත කිරුළ පැලඳුවේ බිමලන්න නෙමේ
කඟපත නුඹට දෙන්නේ එය මොටලන්න නෙමේ
රට දැය සමය රැකපන් උඹ උපන් බිමේ

තැන තැන පිපෙන මල් සුවඳත් කර තියාගෙන
ඔබමොබ දුවන සුළඟත් ළඟ ළඟ පුරෝගෙන
හැපි හැපි වැටෙන වැහි දිය බිදු සිප වැලඳගෙන
පුත උඹ බබළපන් මේ බිමෙ දණ ඔබාගෙන

දිනිති දීපිකා


ලක් මව දිනේවා!

යුද ගිනිදැල් නැත සිත සැනසුම ඇත
පිබිදෙයි සාමයේ මල් කැකුළු
බැලු බැලු හැම අත මතුවෙයි මිණි කැට
ඒවා ඔප කළ යුතු නැතිලු

දිය ඇලි බැස යයි දිය රැලි විසිරෙයි
පිණිබිඳු වාගෙයි මුතු පබළු
ලොවෙන් උතුම් රට ලොවට උතුම් රට
සිරිලක් දිවයින මගෙ රටලු

ලීවේ එම කවිය ටික කලකට පෙරය
දැන් එය වහා කනපිට හැරවිය යුතුය
ඇගෙ දූ පුතුන් තම රට වනසන විදිය
විඳ ගන්නට ඇගේ හදවත ඉඩ මදිය

නිදහස් අරුණැල්ල විඳ ගන්නට රිසිය
එහි සොමිගුණෙන් හදවත පුරවනු රිසිය
බෝ ලොබ සිතින් රට දැය නිති සිහි වේය
ලක් මව දිනේවා නිති සිත හැඬ වේ ය

වැලිමඩ සුමනා නවරත්න


ලක්මවගේ පැතුම

පුතුනේ අපි පරදෙසුනගෙ
පාද බරින් ලැබ නිදහස‍
සැත්තෑ පස් වසරක් වේ
ඇසැර බලනු මැන ආපසු

මගෙ පසුපස සිටි රටවල්
දියුණුවෙ හිනි පෙත මුඳුනේ
මා එහි පාමුල තවමත්
වාවනු කෙලෙසද පුතුනේ

බලගතු රටවල් සම්පත්
මගෙ සූරාගෙන යද්දී
මගෙ දරු කැල ධන නිධාන
නැත රැක ගැනුමට වෙහෙසී

දෑසේ නිදිගැට පිස හැර
නවමු ලොවක් දෙස බල මැන
පරගැති සිතුවිලි බිඳදා
ඉදිරියටම යමු පුතුනේ

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ


නිදහස් අදහස්

පින් බිම වෙතට ලද නිදහස් සුවය දැනී
සුන්දර හැඟුම් සැම සිත්තුළ ජනිත වුනී
නින්දෙහි සිටිය අය වෙත නිල් අහස පෙනී
පෙන්වූ හපන්කම් ලොව මුල් තැනක් ගනී

පෙර තිබූ දියුණුවේ අරුණලු දැකගන්න
සොර සතුරනට වැට බැඳ රට රැකගන්න
සරුබිම අපේ මේකයි එය දැනගන්න
දරුවනි සැවොම අද දින පෙරටම යන්න

කරුණාදාස සපුතන්ත්‍රි


නිදහස් සුළඟ

නිදහස ලබා හැත්තෑපස් වසරක් සපිරේ
මඳහස නඟන්නට හැකි වෙද මේ වසරේ
පදනම දමා දැය නැංවුවහොත් මිතුරේ
සදහම තුළින් යළි නැඟිටිමු පැතුම් පිරේ

ජේ.ඒ. සුවිනීතා ජයකොඩි


අඳුර දුරලන නිදහසක්

අරුණලු වැටී ඇත ලක් දිනිතියට මගේ
වැඩමුළු තැනින් තැන සොම්නස සිතට නැගේ
ලිහිලූණු නූල් බෝලයෙ ගැට පිනට වගේ
යනවලු සැකක් නැත හරි මාවතෙහි දිගේ

නිදහස වටිනකම සැමටම වැටහේවා
සිව්දෙස සැනසුමේ ඉන්නට හැකිවේවා
ගහදොස සියලු මෙරටින් ඉවතටයේවා
මුනිදස බලධාරි සිරිලක රැකදේවා

අමුවල අමරසේන


නිදහසේ ප්‍රභාතය

ගොයම් ගොල්ල ගයන සිංදු අසනවාද පුතේ
සුළං රැල්ල තමා සවන් සිඹී නිසංසලේ
කුරුල්ලන්ට නිහඬවන්න නොහැකිය මහකැලේ
වයන තුඩින් තුඩ සත්සර සුසර වෙමින් ඇසේ

කුසුම් කෙල්ලො සුවඳ සලා පිපුනයි ගහවැලේ
පරිසර සිරි සොඳුරු අසිරි කාටද මගේ මලේ
ගං හෝ වැව් තාවල්ලේ සොබා සසිරි රසේ
අඳුන් උලා පිබිද වරෙන් නිල් කටරොල් ඇසේ

ඉර සේවය බලා හිඳිමු රන් රන් සමනොලේ
උදාරවත් උදානයයි සුබ මංගල උදෑසනේ
නිදහස් කලඑළි පෙහෙළිය පෙර මංදොර දිසේ
සියපත් මුවරොන් විකසිත සුවඳ දසත ඉසේ

ජයම්පති අල්ගම


රට නඟමු

ලක පාලනය ගත් බිරිතනියන් අදමින්
සිය වස් එකහමාරක් බිය සැක මවමින්
අත පය දෙකම බැඳ තැබුවා සේ යදමින්
නිදහස ලක්දනගෙ නැත්තට නැති කරමින්

එළවන සටන පාලකයන් අමන කමේ
ගෙන ගිය බැවින් නිබඳව පා එඩිය ළැමේ
ආවා අප රටට නිදහස් සුවඳ සමේ
ඇත එය තවම තැන රැක ලක් මවගෙ නමේ

නිදහස් සුවඳ විඳි හැත්තෑපස් වසර
අයිතින් දිනන සටනට හිත දුනි නිතර
පොදුවේ හැමම ඇත යුතුකම් පැහැර හැර
දැන්වත් රට නඟමු නොබෙදී නොම විසිර

ඩී.සී. වැලිකල

Comments