
මූලික වශයෙන් පැවති ආර්ථික දුෂ්කරතා යම්තාක් දුරට මඟහැරී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. මේ කරුණු පැහැදිලි කිරීමේදී උද්ධමනය අනුපාතිකව පහත යෑම, සංචිත වැඩි වීම, සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩි වීම, යන ආදිය පිළිබඳ අවධාරණ කෙරිණ. අපි පිළිගත යුතු කරුණක් නම් යම්තාක් දුරකට ආර්ථිකය මේ වනවිට ගොඩ නැඟෙමින් පවතින බවයි. සාමාන්‍යයෙන් ආර්ථිකයක් බිඳ වැටුණු විට ගොඩනැඟිය හැක්කේ මූලික කරුණු දෙකක් හේතු කොටගෙනය. මූලික කරුණ නම් ආර්ථිකය ස්වයංක්‍රීයව නැවත යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය බලවේග ක්‍රියාත්මක වීමයි. එනම්, AUTO RECOVERY ආර්ථික කටයුතුවලත් වෙනස්කම් සිදුවීමෙන් අනතුරුව එය නැවත යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය වටපිටාව සකස් වීමයි. එසේම රජය ස්වයංක්‍රීයව ආර්ථිකය නිවැරැදි වීමට අමතරව එය නිවැරැදි වීමට අදාළ යම් යම් තීන්දු තීරණ ගනිමින් සිටීමයි. එහිදී මූලික වශයෙන්ම බදු ආදායම ශක්තිමත් කිරීමට පියවර ගැනීම, වියදම් කප්පාදුවට අදාළව පියවර ගැනීම යන දේ මූලික වශයෙන්ම සටහන් කර ඇත. ඊට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, උද්ධමන පාලනය වැනි කරුණුවලදී රජය යම් ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් සිදු කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරයි. එහි යම්තාක් දුරකට සත්‍යයක් ගැබ් වී ඇත.
ස්වයංක්‍රීයව ආර්ථිකය නිවැරදි වීමට අමතරව රජය විසින් පසුගිය කාලයේදී ජනප්‍රිය නොවුණත් යම් තීන්දු තීරණ ගෙන ඇත. විශේෂයෙන්ම බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් කප්පාදුව වැනි අදාළ තීන්දු ගැනීමෙන් ඒ හරහා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම් නිවැරදි දිශාවකට රට හැරවීමට හැකිය. පසුගිය කාලයේ බැංකු අංශ යම් අස්ථාවරත්වයක තිබුණි. ඒ අස්ථාවර තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරෙමින් පවති. ආර්ථිකය සම්බන්ධයෙන් මේ දක්වා ගොඩ නැඟුණු ධනාත්මක තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වුවහොත් ඒ හරහා රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයට යම් සහන ලබා දීමේ හැකියාවක් පවතින බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
විශේෂයෙන් රජයේ ආදායම වැඩි කිරීමට ගත් පියවර කලෝචිතයි. විශේෂයෙන්ම බදු ආදායම් වැඩි කිරීමට රජයට සිදු වී ඇත. එහිදී ජනාධිපතිවරයා විසින් යම් මට්ටමකට පිළිගෙන ඇති කරුණක් නම් බදු ව්‍යුහයේ තවමත් පවතින්නේ නැති බැරි පුද්ගලයාගෙන් බදු අය කරගනු ලබන ක්‍රමවේදය බවයි. එය නිවැරදි විය යුතුයි යන කාරණාව ද මෙහිදී ඉදිරිපත් වී ඇත. වෘත්තිකයන්ට අදාළව ඇති බදු සම්බන්ධයෙන් විවේචන පවතී. වෘත්තිකයෝ ධනපතියෝ නොවෙති. සමාජයේ සැලකිය යුතු පිරිසක් මාසික ආදායම ලෙස ඉතා විශාල ආදායම් ලබති. බදු දැලට හසු නොවන ඒ පිරිස් ක්‍රමානුකූලව හසු කර ගැනීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම බදු ගෙවන සාමාන්‍ය ජනතාව වැට් බදු හා සමාජ ආරක්ෂණ බදු වැනි බදු හරහා විශාල පීඩනයකට ලක් වී ඇත. එහෙත් ඒ අතර යම් පාර්ශ්ව රැසක් වෙයි. විශේෂයෙන්ම ව්‍යාපාරික කොටස් වෙනත් ආදායම් ලබන ඇතැම් වෘත්තිකයන් වැනි පිරිස බදු දැලට හසු කරගත යුතුයි යන කාරණාව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙයි. මා සිතන ආකාරයට ජනාධිපතිවරයා ඒ පිළිබඳ යම් ධනාත්මක බලාපොරොත්තුවක් දී ඇත. ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම සිදු වීමට ඉඩ ලැබුනොත් යම් මට්ටමකට ආර්ථිකයේ මේ තියෙන අසීරුකම් ක්‍රමානුකූලව ඉවත්ව යෑමට ඉඩ ඇත.
විශේෂයෙන්ම රට තුළ සමාජ,දේශපාලනික අස්ථායිතාවක් ඇති නොවුණොත් මේ ලබා ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ක්‍රමානුකූලව වැඩි දියුණු වීමට වැඩි ඉඩක් ඇත. ලෝකයේ ආර්ථිකය බිඳ වැටුණු සෑම රටවලම ආර්ථිකයන් යථා තත්ත්වයට පත් වීමට පෙර සාමාජ, දේශපාලනික බිඳ වැටීම් විශාල වශයෙන් සිදු වී ඇත. විශේෂයෙන්ම මේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමට නම් දේශපාලනයෙන් ඔබ්බට ගොස් සියලු පාර්ශ්වයන් විසින් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද යන කරුණ පිළිබඳ අවධාරණය යොමු කළ යුතුයි. රජය ඊට අදාළ තීන්දු තීරණ හරියාකාරව ගනිතැයි අපි බලපොරොත්තු වෙමු.
ජනතාවට හුදෙක් අනාගත බලාපොරොත්තු පමණක් ලබා දීම යෝග්‍ය නොවෙන අතර කළ යුත්තේ රජය මේ මොහොතේ මහජනතාවගෙන් ද ඉල්ලීමක් කිරීමයි. මක්නිසාද යත් මේ අමාරුකම් විඳ දරාගෙන වැඩ වර්ජන, උද්ඝෝෂණ පෙළපාළිවලින් තොරව යම් තාක් දුරකට ස්ථායිතාවක් ඇති කර දීම සඳහා මහජනතාවගෙන් ඉල්ලීමක් කළ යුතු වීම අත්‍යවශ්‍ය වෙයි. සම්ප්‍රදායික දේශපාලනයේ මෙතෙක් පැවැති එක කණ්ඩායමකගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට යෑම තුළ සමස්ත ආර්ථිකයටම විශාල බලපෑමක් එල්ල වෙයි. ඒ නිසා දැන්වත් දේශපාලනඥයන් පොරොන්දු දෙන, බලපොරොත්තු දෙන දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.
මේ වනවිට වෘත්තිකයන් මූලික වශයෙන්ම උපයන විට අය කරන බද්ද පිළිබඳ කතා කරයි. වෘත්තිකයෝ බද්ද සම්පූර්ණ ඉවත් කිරීමට අදාළ ඉල්ලීමක් නොකරන අතර, මූලික තර්කය බද්ද සාධාරණ අගයකින් යුතුව සංශෝධනය විය යුතු බවයි. රජය බදු අහෝසි කිරීමට වඩා මහජනතාව බලපොරොත්තු වන්නේ බද්දට හසු වන සියලු දෙනාම හරියාකාරව හඳුනාගෙන ඒ පිරිසෙන් බද්ද අය කරන ලෙසයි. විකල්ප බදු වැඩි නොකරන්නේ නම් ණය ගැනීමට සිදු වෙයි.
විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට අසීරු වෙයි. දේශීය ණය වශයෙන් ගත් විට පොළිය ඉහළ යයි. අනික් පැත්තෙන් මුදල් මුද්‍රණය කළහොත් උද්ධමනය වැඩි වෙයි. මේ සන්දර්භය තුළ රජයට බදු අනුපාත වැඩි නොකර වෙන විකල්පයක් නැත. කුමන රජයක් බලයට පත්වුවත් ලෝකයේ මේ හා සමාන අර්බුදවලට ගොස් තිබු රටවල් බදු ආදායම ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත. රජයට මුදල් නැති, බදු ලෙස ආදායම් නොලැබෙන තත්ත්වයක් තුළ රජය බොහෝ විට විදේශ ණය ගැනීමේ දිශාවට ගමන් කරයි. ඒ නිසා තව දුරටත් අපට රටක් ලෙස ඒ ගමන යා නොහැකියි. විශේෂයෙන්ම මේ බදු දැලෙන් ඉවත්ව සිටින පිරිස හරියාකාරව බදු දැලට හසු කරගැනීම දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කළ යුතුයි. බදු දැලෙන් පැන සිටින පිරිසගේ බදු ආදායමත් මේ රජය ඉතාමත්ම ඉක්මනින් ගත යුතුව පවතී. වෘත්තිකයන් මතු කරන චෝදනාව නම් බදු ගෙවිය යුතු කොටසින් එක්තරා සුළු කොට්ඨාසයක් පමණක් ඉලක්ක කර ගෙන බදු අය කිරීම අසාධාරණ බවයි.
මේ වනවිට රටේ ආර්ථිකය ධන ආර්ථිකයක් දෙසට ගමන් කරමින් පවතී. රටක ආර්ථිකයක් වැටුණ විට ස්වයංක්‍රීයවම යථා තත්ත්වයට පත් වීමේ තත්ත්වයකුත් ක්‍රියාත්මක වෙයි. රජය ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තින් ද යම් හේතුවක් වෙයි. මේ ආර්ථිකය යම් ආකාරයකට නැවත ස්ථායි වීමෙන් පසුව ක්‍රමානුකූලව ඉදිරියට ගමන් කරයි. මේ වනවිට පවතින්නේ යම් ස්ථායිකරණයකි. එනම් උද්ධමනය පාලනය, ගෙවුම් ශේෂ පාලනය, රුපියල අවප්‍රමාණය වීම පාලනය කරමින් ආර්ථික වර්ධනය දෙසට ගමන් කරයි. ඒ අනුව රජය විසින් රටේ ආර්ථීකය තව දුරටත් කඩාගෙන වැටීම වළක්වා ඇති බව ඉතා පැහැදිලියි. මේ තත්ත්වය මත අත්‍යවශ්‍ය වන්නේ ඉදිරියට ආර්ථිකය ගොඩ නඟන්නේ කෙසේද යන කරුණයි.
කෙසේ වුවත් ගෙවුම් ශේෂය ඉඩ ලබාදෙන ප්‍රමාණයට සරිලන ආකාරයට අපිට ආර්ථිකය ගොඩනඟා ගෙන ඉදිරියට යා හැකියි. රජය සංචිත වැඩි කිරීමට ගත් තීන්දුව ඉතා වැදගත් තිරණයකි. සංචිත නොමැති වීම ප්‍රධාන වශයෙන්ම රටට බලපෑම් කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට නොහැකි වුණේ ඒ නිසාය. රජය ක්‍රමානුකූලව සංචිත ඇති කර ගැනීම යෝග්‍ය වෙයි. එමෙන්ම සංචිත සම්බන්ධයෙන් නිවැරදි විශ්ලේෂණයක් සිදු කිරීම වැදගත් වෙයි. මෑතකාලීනව යළිත් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් ඇත. දැනට ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ ගොස් ඇත. පෙබරවාරි මාසයේ පළමු වැනි සතියේ පමණක් සංචාරකයෝ 25,000ක් මෙරටට පැමිණ ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට ලංකාව පත් වෙමින් පවතියි. එහෙත් යම් ධනාත්මක තත්ත්වයක් අත් කර ගැනීමට සංචිත ප්‍රමාණය මිලියන 500ට ගොඩ නැංවීම ඉතාමත් වැදගත් වෙයි.
දැනට පවතින යහපත් ආර්ථික සමාජ වටපිටාව ඉතාමත් අනපේක්ෂිත ආකාරයට වෙනස් වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම උද්ඝෝෂණ, වැඩ වර්ජන වැනි දේවල් සමඟ ඉදිරියට යෑම ඉතා අසීරු කරුණකි. මේවා වැළැක්වීමට පියවර ගත යුතුයි. රජය මේ අපහසුතාව කුමක්ද? කෙතරම් බදු ප්‍රමාණයක් අය කිරීමට බලපොරොත්තු වෙනවාද යන යෝජනා ලබා දිය යුතුව තිබේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රාජ්‍ය වියදම් කළමනාකරණය තිබිය යුතුයි. විශ්ෂයෙන්ම අනවශ්‍ය ඇමති මණ්ඩල, අනවශ්‍ය උත්සව මේවා නවතා රාජ්‍ය වියදම් අවම කළ යුතුයි.
බදු විෂමතා නිවැරැදි කිරීම තුළ ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ වක්‍ර බදු අනුපාතය අඩු කර ඍජු බදු නැතහොත් ආදායම් බදු ආකාරයට වැඩි කිරීමටයි. ඒ ආකාරයට පුද්ගලයන් ලබන ආදායම තක්සේරු වන ආකාරයේ යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතු වෙයි. මෙහිදී සුළුතරයක් මත අති විශාල බදු බරක් පටවා ගෙන යෑම අවශ්‍ය නැත. උපයන විට ගෙවීම් බද්ද එකක 36%කට යා නොහැකියි. ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි සියලු දෙනා බදු ගෙවීමට යටත් වීමට අවශ්‍ය නැත. රජය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන නිසි ආකාරයෙන් බදු අය කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගෙන නැත.
රාජ්‍ය වියදමට අදාළ අදායම රජය උපයා ගැනීමට රජය නිවැරැදි ප්‍රතිපත්තියක් ගෙන ඇත. ඒ ප්‍රතිපත්ති සාමාන්‍යයෙන් කෙටි කාලයේදී ඉතාමත් වේදනාකාරී විය හැකියි. එහෙත් ඒ ප්‍රතිපත්තිය ඉවසා දරාගෙන හිටියොත් මේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒමට හැකියාව ලැබෙයි. විපක්ෂයේ සිටින විට සම්ප්‍රදායිකව සෑම යෝජනාවකටම විරුද්ධ වීම යන මතයේ නොසිට කටයුතු කළ යුතුයි. ඕනෑම රජයකට නිවැරැදි තීන්දු තීරණ ගැනීමට බාධා කරන ලක්ෂණය ඉවත් කළ යුතුයි. දේශපාලඥයන් පමණක් නොව සෑම සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ පවතින තත්ත්වයට වගකිව යුතුයි.
ඩොලර් සංචිත වැඩි වීම සඳහා රජය ආනයනය සීමා කිරීම බලපා තිබේ. එසේම සැලකිය යුතු ආකාරයට විදේශ ශ්‍රමිකයන්ගෙ ප්‍රේරණ වැඩි වී ඇත. සංචාරක ව්‍යාපාරය නැවතත් ගොඩ නැඟෙමින් පවතියි. ණය ගෙවාගෙන යෑමට සංචිත පවත්වා ගෙන යා යුතුයි. මේ මඟින් දේශීය විදේශීය ව්‍යාපාරිකයන්ට යම් විශ්වාසනීයත්වයක් ගොඩනැංවීමට සමත් වී ඇත. බැංකු යම් ස්ථාවර තත්ත්වයක් කරා ගමන් කර ඇත. බැංකු කඩාගෙන වැටුණේ නම් එයින් විශාල ආර්ථික ඛේදවාචකයක් කරා ගමන් කිරීමට තිබුණි. බැංකු අංශය ශක්තිමත් කිරීම සඳහා රජය මෑතකාලීනව විවිධ පියවර ගෙන ඇත. සාමාන්‍යයෙන් රටවල්වල ඇති වන සිදුවීම නම් ගෙවුම් ශේෂ අර්බුදයක් පැමිණීමෙන් අනතුරුව මූල්‍ය අර්බුදයක් පැමිණීමයි. බැංකු අර්බුදය, බැංකු කඩා වැටීම අවසාන අදියර වෙයි. නමුත් රජය සහ මහ බැංකුව විසින් එවැනි බැංකු අර්බුදයකට යෑම වළක්වාගෙන ඇත. එය ඉතාමත්ම යෝග්‍ය ක්‍රියාවලියකි.
මේ වනවිට උද්ධමනය පාලනය කිරීම සිදුවී ඇත. ආර්ථිකය තුළ නිවැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රථිපත්ති නියමාකාරයෙන් හැසිරවීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට මුදල් අච්චු ගැසීම සීමා කිරීමෙන් උද්ධමනය පහත වැටීමක් වී තිබේ. එය තවදුරටත් පහත වැටීමට ඉඩ ඇත. එය තනි ඉලක්කමක් දක්වා ගමන් කළ හැකියි. උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට මෙන්ම ආර්ථික කටයුතු ප්‍රසාරණය කිරීමත් දැන් ඉතා වැදගත් වෙයි. ගෙවුම් ශේෂයේ ඉතා සීමාසහිත ඉඩකඩ ඉවත් කළ යුතුයි. උද්ධමනය අඩු වීම නිසා බඩු මිල ඉහළ යන වේගය අඩු වෙයි. රජය විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අදාළව හැකි ඉක්මනින් කටයුතු කළ යුතුයි.