ලිහිල් වුණු උප­යන විට බද්ද ගැන විද්වත් මත | සිළුමිණ

ලිහිල් වුණු උප­යන විට බද්ද ගැන විද්වත් මත

 

මේ වනවිට මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පුද්ගලයන්ගේ උපයන විට බදු අය වන ආකාරය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළව නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇත. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නව සංශෝධිත චක්‍රලේඛයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මෙම නව බදු සංශෝධනය යටතේ නිවාස, වාහන, ඉන්ධන, ගෘහභාණ්ඩ, දුරකතන සහ සහනදායි පොලී සඳහා සංශෝධන එක් කර තිබෙන අතර, දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ. එසේම ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ප්‍රතිලාභය චක්‍රලේඛය මඟින් ඉවත් කර ඇත. මෙම නව බදු සංශෝධනය සම්බන්ධයෙන් සිළුමිණ අප ආර්ථික ක්ෂේත්‍රයේ සිටින ප්‍රාමාණික විද්වතුන්ගෙන් විමසීමක් කළෙමු.

සිළුමිණට අදහස් දැක් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසා සිටියේ “ ආර්ථික අර්බුදයකට රට මුහුණදී ජාතික වශයෙන් ව්‍යසනයකට පත්ව ඇති මොහොතක රජයේ ආදායම් සහ වියදම් හැඩගස්වා ගැනීම තවත් ඉදිරිය යා යුතු බවත්, එසේම ආර්ථික මූලධර්ම අනුව පළමුව බදු අය කිරීම සාධාරණ විය යුතු බවත් හෙතෙම පවසයි.

“ මේ රටේ සියලුම දෙනා බදු ගෙවිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. ලංකාවේ බොහෝ අයට බදු ගෙවල පුරුද්දක් නැහැ. සියලුම ආයතනත් පුද්ගලයන් වශයෙනුත් සියලුම දෙනා බදු ආදායම් ගෙවිය යුතු වෙනවා. නමුත් අපි තවම ඒ තත්ත්වයට පැමිණ නැහැ.

මේ රටේ පෞද්ගලික බදු ගෙවන්නේ ලක්ෂ පහක පමණ ජනතාවක්. මිලියන 22ක් ජනගහනය ඉන්න රටක ලක්ෂ පහක් බදු ගෙවුවම ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය එනවා. මෙතනදි සියයට 79 වක්‍ර බදු වෙලා; සියයට 21 ඍජු බදු වී තිබෙන්නේ ඍජු බදු අය කරගන්න ආණ්ඩුවට ක්‍රමයක් නොමැති නිසයි.

ආණ්ඩුව මිනිස්සුන්ගේ ආදායම සහ වත්කම දන්නේ නැහැ. අාණ්ඩුව දැනගන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප පමණයි. මේ අය තමයි අර ලක්ෂ පහට අයිති වෙන්නේ.

නමුත් මිලියන ගාණක් බදු ගෙවන්නේ නැහැ. අලුත් බදු ක්‍රමය අනුව ලක්ෂයේ සීමාව ගත්තොත් ලංකාවේ බදු ගෙවිය යුතු විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් ගෙවන්නේ නැහැ. ඒකට හේතුව ඒ අය හසු කරගන්න අණ්ඩුවට සැලැස්මක්; ක්‍රමයක් නැහැ.

නමුත් ලක්ෂයේ සීමාව ගැන මගේ එතරම් පැහැදීමක් නැහැ. මගේ අදහස අනුව සෑම පුරවැසියෙක්ම රුපියල් දහයක් හෝ ඍජු බදු ගෙවිය යුතුයි. එහෙම වුණොත් අපට වක්‍ර බදු අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඒකට යන්න නම් අපට ලොකු ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ සඳහා රජයට ජනතාවගේ ආදායම සහ වත්කම දැනගන්න පුළුවන් ක්‍රමයක් සකස් කළ යුතු වෙනවා.

අපේ රටේ නැති වුණාට අනික් බොහෝ රටවල ඒ තත්ත්වය තිබෙනවා. තමන්ගෙ ආදායමයි වත්කමයි පැහැදිලි කර දීම සම්බන්ධයෙන් සමහරුන්ට ගැටලුවක් ඇති. ලක්ෂ දෙක තුනක පඩියක් අරන් මිලියන් ගණන් වියදම් කරන්නෙ කොහොමද කියන එක ගැන උත්තර නැති බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා නිශ්චිත ක්‍රමවේදයක් නිර්මාණය කර ගන්නකම් මෙවැනි බදු ප්‍රතිපත්ති සංශෝධන කිසිසේත්ම හරියන්නේ නැහැ.

අනෙක් කාරණය තමයි වියදම් පැත්තෙන් බැලුවම ප්‍රමාණවත් කැපකිරීමක් අපි මේ රට වෙනුවෙන් කරල තියෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. තමන්ට (මැති ඇමැතිවරුනුත් ඇතුළත්ව) වාහන ලැබෙනව නම්, තමන්ට ගෙවල් දොරවල් ලැබෙනව නම්, ආරක්ෂකයන් ඉන්නව නම්, රියදුරන් ඉන්නව නම්, ඉන්ධන ලැබෙනව නම්, දුරකතන දීමනා ලැබෙනව නම් මේ සෑම දෙයකටම බදු ගෙවන්න ඕන. නමුත් ඒක මේ සංශෝධනය හරහා අයින් කර තිබෙනවා.

එහෙම නම් ඒක අසාධාරණයි. උදාහරණයක් ලෙස ලක්ෂ 3ක පඩියක් ගන්න කෙනකුට රුපියල් 35,000 ක් ආදායම් බදු ගෙවන්න ඕන. ඒවගේම තවත් කෙනෙක් ලක්ෂ තුනක වැටුපට අමතරව වාහනයක්, රියදුරෙක්, ඉන්ධන, දුරකතන දීමනාවක්, නිවෙසක් මේ හැමදේම ලබාගෙන බදු වශයෙන් ගෙවන්නෙත් 35,000යි. ඉතින් ඒක සාධාරණ නැහැ. මේ බදු ක්‍රමය හොඳයි නමුත් මෙවැනි දුර්වලකම් නිවැරැදි කරගෙන තව ඉදිරියට යන්න ඕන.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම නව සංශෝධනය යටතේ මූල්‍යමය නොවන වැටුප යටතට නොගන්නා ප්‍රතිලාභ වන නිවාස, වාහන, ඉන්ධන, ගෘහභාණ්ඩ, දුරකතන සහ සහනදායි පොලී වැනි දෑ සඳහා රාජ්‍ය සහ පුද්ගලික කියන දෙඅංශයේම සේවකයන්ට සහන සලසා දී ඇති බවයි.

“විශේෂයෙන්ම පුද්ගලික අංශයේ අය සඳහා පොලී සහ නිවාස සඳහා සහනයක් සලසාදී තියෙනවා. අනික් ඒවා බොහෝමයක් ලබා දී තිබෙන්නේ රාජ්‍ය අංශයේ කටයුතු කරන උදවිය සඳහායි. එහිදී ‘මේ දක්වා පමණයි‘ යනුවෙන් යම් යම් සීමා පනවා තියෙනවා. එහෙම කියල තිබුණට රජයේ සහ පුද්ගලික අංශයේ විවිධ ආයතනවල බහුතරයක් දෙනා පාවිච්චි කරන්නේ එක වාහනයක්; එක රියදුරෙක් හා නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක්.

මෙහි කොතැනකවත් ගරු ඇමැතිවරු මන්ත්‍රීවරු කියල සඳහන් වෙන්නේ නැහැ. ඒවගේම මින් මේ අය උපයන කොටසක් නොවන ආකාරයට සලකා ඇති නිසා බදු සහනත් ලැබෙනවා.

සමහර අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල විශ්වවිද්‍යාල කුලපතිවරුන්ට පීඨාධිපතිට වහනයක් ලබාදී තිබෙනවා. නමුත් ඒවා ලබාදී තිබෙන්නේ පුද්ගලික ගමන් බිමන් යන්න නෙමෙයි. එම අයතනවල අවශ්‍යතා සඳහා. ඒ නිසා ඒවා ඒ අයගේ වැටුපට එකතු කිරීම අසාධාරණයි. නමුත් ඒවා එක වාහනයක් එක රියදුරෙක් ආදී ලෙස සීමා කළාට කමක් නැහැ.

ඒ නිසා මේ බදු සහනයෙන් සුවිශේෂ වරප්‍රසාද ලබන්නේ ඔය කියන සේවකයන් නෙමෙයි. සුවිශේෂ වරප්‍රසාද ලබන; නිවාස නිතර නිතර අලුත්වැඩියා කරන; අසීමිත ලෙස පණිවිඩ හුවමාරු සඳහා වියදම් කරන, ප්‍රවාහනය සඳහා සීමා රහිතව වියදම් කරන; වාහන පහ හය හත අට දොළහ පාවිච්චි කරන උදවියටයි. ඒ අය මේ චක්‍රලේඛනයෙන් ආවරණය වී නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා පෙන්වා දුන්නේ”

මේ චක්‍රලේඛයෙන් දක්වා ඇත්තේ මුදල් නොවන ප්‍රතිලාභ ගැනයි. ඒවා ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි. ඒකත් ලැබෙන්නේ වරප්‍රසාද ලත් පිරිසකට. වාහනයක් දෙන්නේ කටද ? ඉන්ධන දීමනාවක් දෙන්නෙ කාටද? ගෙවල් දොරවල් ගෘහ භාණ්ඩ දෙන්නෙ කාටද? ඒවා දෙන්නේ ලොකුම නිලධාරි පෙළැන්තියට.

ඒ නිසා මේ බදු සංශෝධනය මඟින් කර තිබෙන්නේ නැවත ඒ අයගේ වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීමයි. රජයේ නිලධාරීන් ගත්තොත් මේ දීමනාව ලැබෙන්නේ දිසාපති කෙනෙක්, කුලපති කෙනෙක් වගේ ඉතාම අතළොස්සකට පමණයි. ඒ නිසා මෙහි වැඩි වරප්‍රසාද හිමි කරගෙන තියෙන්නේ වරප්‍රදාද ලත් පිරිසකට කියන කාරණාව පැහැදිලියි.

වැටුපට විශාල බද්දක් එකතු කිරීම තමයි ලොකුම අසාධාරණය බවට පත්ව තිබෙන්නේ. නමුත් අප කොයි මොහොතකවත් බදු අය කරගන්න එපා කියන්නේ නැහැ. අපි කැමැතියි බදු ගෙවන්න. නමුත් මේ ආර්ථික තත්ත්වය තුළ මෙවැනි බදු අනුපාතයක් දරා ගන්න බැහැ.

ඒව මේ බොරු පැලැස්තර දාල වහන්න හදන්නේ. ඒවට කවුරුවත් රැවටෙන්නේ නැහැ. මෙච්චරකල් අපි බදු ගෙවුවා. නමුත් සීයට 36 කියන්නේ මිනිස්සුන්ට යන එන මං නැතිවෙන්න ගහපු බද්දක්. ඒ නිසා මේක සියයට විස්සක පමණ ප්‍රතිශතයකට ගේන්න ඕන කියලයි වෘත්තීයවේදීන් සිතන්නේ. රාජ්‍ය සේවයේ ඔය කියන තරම් මහකෝටිපතියෝ නැහැ. ඒ අය දුක්විඳල ඉ‍ෙගනගෙන ඉහළට ඇවිත් ඉඩමක් අරන් ගෙයක් හදල වාහනයක් එහෙම ගන්නවා. ඒ අය මේ දේවල් කරන්න ඒ අයගෙ වැටුපට සරිලන විදියට සියයට හතළිහ දක්වා ණය වෙලා. මේ බදු ප්‍රතිපත්තිය නිසා ඒක සියයට හැටක විතර ඉහළ මට්ටමට ඇවිත් තියෙනවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ගවලින් ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මගේ අදහස නම් බදු ප්‍රතිශතය සියයට විස්ස දක්වා තියාගත්තා නම් ඇති.

මොකද මෙච්චර කල් බදු ගෙවුවේ 4-8-12-16 -20 කියන ප්‍රතිශතවලනේ. ඒ මට්ටමට ගියා නම් ඇති. ඒකෙන් සමස්ත රටේම පුරවැසියට වාසියක් වෙනවා. සාමාන්‍යයෙන් රටක ආර්ථික අවපාතයක් තිබෙනවිට රජය මේතරම් බදු අය කරන්නේ නැහැ. රජය මැදිහත් වෙලා ආර්ථිකය යම් මට්ටමකට ගෙනාවයින් පස්සේ තමයි බදු ගහන්නේ. අනික එහෙම කරන කොට නිකම්ම රජයේ බදු ආදායම ඉහළ යනවා. අපේ අදහස තමයි බදු පදනම වෙනස් කරන්න කියන එක.

විශාල කෝටිපති ව්‍යාපාරිකයන් ඉන්නවා බදු ගෙවන්නේ නැහැ. බදු පැහැර හරිනවා. මින් අය කර ගැනීමට රජය බලාපොරොත්තු වෙන්නේ බිලියන නවයක් වගේ ප්‍රමාණයක්. නමුත් බිලියන හත්සීයක් අටසීයක් කොටිපති ව්‍යාපාරිකයන් බදු පැහැර හැර තිබෙනවා. අන්න ඒ අය ආරක්ෂක දැලකට හසු කර ගැනීමයි රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕන.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ “අපි මුලින්ම රටක් ගෙනයන්න රජයකට ආර්ථිකයක් තියෙන්න ඕන කියන කාරණාව පිළිගන්න ඕන. රජයක් මේ ආදායම උපයන්නේ රජය විසින් ලබාගන්නා බදු මුදල්වලින්.

සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 90ක්ම තියෙන්නේ මේ බදු මුදල්. අනෙක් සියයට දහය වෙනත් මාර්ගවලින් ලැබෙන්නේ. මේ බදු ඍජු හා වක්‍ර බදු ලෙස කොටස් දෙකකට බෙදෙනවා. අපේ රටේ වක්‍ර බදුවල අර්බුදයක් තියෙනවා.

ඒ තමයි මේ රටේ සියලු දෙනා එක හා සමානව එය ගෙවීමට සිදු වීම. පොහොසතයි දුප්පතයි දෙන්නම ගෙවන්නේ එකම බදු මුදලක්. සාමාන්‍යයෙන් බදු ප්‍රතිපත්තියක් හදන්න ඕන වක්‍ර බදු අඩු කර ඍජු බදු වැඩි කර ගත හැකි ආකාරයෙන්. ලංකාවේ දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය අනුව සියයට 79ක් තියෙන්නේ වක්‍ර බදු. ඍජු බදු තියෙන්නේ සියයට 21යි. ඒ නිසා තමයි පසුගිය කාලේ සියයට 60ක් වක්‍ර බදු අරගෙන සියයට 40 ඍජු බදු ගමුයි කියන යෝජනාව ආවේ.

ඒ නිසා ඍජු බදු ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් ආර්ථික වශයෙන් අපි විශාල අර්බුදයක ඉන්න වෙලාවක. ජනතාවගේ ආදායම කිසිම විදියකින් වැඩි නොවුණු පසුබිමක, විශාල ලෙස භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් වැඩි වී තිබෙන වෙලාවක, රුපියල කඩා වැටුණ වෙලාවක බදු වැඩි කිරීමට යාම නිසා ජනතාව පීඩනයට ලක් වුණා. සියයට 4 සියයට 20 අතර බදු අනුපාතය අපි සියයට 36 වෙනකම් ගෙනාවා. ලක්ෂයට වැඩි සියලු දෙනා බද්දට යටත් කළා. මෙහිදී මූල්‍ය නොවන ප්‍රතිලාභවලින් බදු අය කරන්න කියලා යෝජනා වුණා. මේ තත්ත්වය තුළ වෘත්තීයවේදීන් පාරට බැස්සා.

ඊට පස්සේ රජය නැවත වතාවක් මූල්‍ය නොවන ප්‍රතිලාභවල බදු ගණනය කිරීම නැවත වතාවක් සංශෝධයක් කරලා චක්‍රලේඛනයක් නිකුත් කළා. ඒ සං‍ශෝධනය තුළ අපි දැක්කේ වහනයක් නම් ඒක කලින් ආදායමක් හැටියට පිළිගත්තේ දැන් ඒක රුපියල් 50000 උපරිමයට සීමා කර තිබෙනවා.

කලින් පෙට්‍රල් කොච්චර ගැහුවුවත් දැන් ඒ දෙන ප්‍රමාණය රුපියල් 20,000ට සීමා කර තිබෙනවා. මේ ආකාරයට මූල්‍ය නොවන ප්‍රතිලාභවල වටිනාකම් විශාල ලෙස අඩු කර තිබෙනවා. එහි වාසිය කාටද අත්වෙන්නෙ කියල බැලුවොත්; ඒවා හිමි වන්නේ ඒ දේවල් ලැබෙන අයට පමණයි. රාජ්‍ය සේවකයින්ට හෝ පෞද්ගල්ක අංශයේ බහුතරයකට ඒ ප්‍රතිලාභ හිමි වන්නේ නැහැ.

නව බදු සහනය යටතේ වාහන එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියැදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් ලෙස වෙනස් කර ඇත. ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරි සඳහා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේදී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියැදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත. 100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මඟින් සලකනු ලබයි. සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලන අතර මේ වෙනස් කිරීම් මඟින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමිකරදී ඇති බව පෙනේ.

 

Comments