ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා වෙන්න නිවෙසේදීම පැවැත්විය හැකි පුද පූජා | Page 3 | සිළුමිණ

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා වෙන්න නිවෙසේදීම පැවැත්විය හැකි පුද පූජා

නිවෙසේ නිතිපතා උදේ සවස බුදු පහන දල්වා මල්, සුවඳ දුම්, පැන් පූජා කරන්න

අඩුම තරමින් සතියකට වතාවක්වත් ගමේ පන්සලේ බෝධීන් වහන්සේ අබියස මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ අබියස සුළු වේලාවක් ගත කරන්න

 

lවාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්වහන්සේ

ලොව පුරා බොහෝ ස්වාභාවික විපත් ඇතිවන මහා විනාශකාරී අවස්ථාවක එහි අනිටු බලපෑම් යම් තරමකට ශ්‍රී ලංකාවට ද බලපෑ හැකි තත්ත්වයන් හමුවේ මේ දිනවල පවතින ග්‍රහ බලපෑම් ද සැලකිල්ලට ගනිමින් ලොව සහ රටට පත්ව ඇති මේ තත්ත්වයන් මනාව තේරුම් ගැනීම ගෙන නිවැරදි පුද පූජා වත්පිළිවෙත්වල යෙදෙමින් අපට මුහුණ දීමට සිදුවන විවිධ පීඩා අවම කර ගැනීමට මඟ පෙන්වීම සඳහා ද වැදගත් වන කරුණු කිහිපයක් සිළුමිණ පාඨක පින්වත් ඔබට ලබා දීමට ගරු ස්වාමීන් වහන්සේ අදහස් කරති.
 

"යක්ෂ,භූත,ප්‍රේත,පිසාච පීඩා, අසත්පුරුෂ මිනිසුන්ගෙන් එල්ලවන ඇස්වහ, කටවහ පීඩා, ග්‍රහ පීඩා, කාය චිත්ත පීඩා යනාදී වශයෙන් අපට අපේ ජීවිත කාලය පුරා විවිධ වූ පීඩාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. විශේෂයෙන්ම ග්‍රහචාරයේ ඇතිවන විෂමතා වගේම මේ විශ්වය පවුකාර සිතිවිලි සහ ක්‍රියාවන්ගෙන් දූෂිත වන විටත් අපට විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. විශ්වය එසේ අපවිත්‍ර වන විටදී අප සහ රට රකින සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ වාසයට සුදුසු පරිසරය අහිමි වෙනවා. එහෙත් ඒ පරිසරයට යක්ෂ, ප්‍රේත, භූත, පිසාචා දී පහත් පෙළේ භූත බලවේග ඉතා ප්‍රියයි. විසාලා මහා නුවර තුන් බිය වර්ධනය වුණේ ද මෙවැනි වාතාවරණයක් තුළයි. මේ අවස්ථාවල තමන් කෙතරම් ප්‍රතිපත්ති ගරුකව සිල්වත්ව ගුණවත්ව සිටියත් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නොලැබී යන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල තමන්ට පින් අනුමෝදන් කරන පුද පූජා පවත්වන අය වෙනුවෙන් පිහිට වීමට අවස්ථාවක් නොමැති වීම පිළිබඳ දෙවියන් ද පසුතැවිල්ලට පත්වෙනවා.මේ සඳහා ප්‍රධාන හේතුව පහත් පෙළේ විවිධ බලවේගවල බලපෑමයි. මෙහිදී අප කළ යුත්තේ අපේ ජීවිත වඩ වඩාත් යහපත් කර ගැනීමයි. දැහැමි වීම සහ නිතර නිතර වත් පිළිවෙත් පුද පූජා පැවැත් වීමයි. ඒ සඳහා විශාල ලෙස මුදල් වැය කර මහා පූජා පැවැත්විය යුතු නැහැ. තම නිවෙසේ, ගමේ දායක පන්සලේ ඉතා සරලව පුද පූජා පැවැත් වීම ප්‍රමාණවත්. නිවෙසේ නිතිපතා උදේ සවස බුදු පහන දල්වන්න. මල්, සුවඳ දුම්, පැන් පූජා කරන්න. දවසකට එක් වතාවක්වත් එදා විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්නට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනු දැන වදාළ රතන සූත්‍රය සහ සියලු ලෝක සත්ත්වයාට මෙත් පතන කරණීයමෙත්ත සූත්‍රය සඡ්ඣායනා කරන්න. ඉන් ජනිත කුසල් ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයා ඇතුළු දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරන්න. අඛණ්ඩව ටික දිනක් මේ ආකාරයට පුද පූජා පවත්වාගෙන යන විට ඔබටත් නොදැනීම ඔබේ ජීවිතයේ ඇති බොහෝ පීඩාවන් දුරුවී සිතට සැනසුමක් සැහැල්ලුවක් දැනේවි. ඔබේ දියුණුවට එරෙහි බොහෝ බාධක අවම වේවි. අඩුම තරමින් සතියකට වතාවක්වත් තමන්ගේ ගමේ දායක පන්සලේ බෝධීන් වහන්සේ අබියස මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ අබියස සුළු වේලාවක් ගත කරන්න.

ලබන සතියේ සිට මෙවැනි අභියෝගාත්මක කාලයකදී සිතට සැනසීම උදා කර ගැනීමට පැවැත්විය හැකි ඉතා සරල, එහෙත් ප්‍රබල, අප විසින් පවත්වා ප්‍රතිඵල අත්විඳි පූජාවන් කිහිපයක් ඔබට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.

සකස් කළේ සුනිල් පොරමඬල

 

Comments