ගොඩ එන්න දැන් IMF නොගිහින්ම බෑ | සිළුමිණ

ගොඩ එන්න දැන් IMF නොගිහින්ම බෑ

- අපේ රටේ තවමත් ලී ක්වාන් යූ කෙනෙක් බිහිවෙලා නෑ
- ලී ක්වාන් යූ විවාහ නොවූ කෙනෙකුට ටැක්සි රියැදුරුකමක්වත් දුන්නෙ නෑ
- පෝට් සිටි එක හරියට කළොත් ලංකාවෙ ආර්ථිකය නංවන්න ඒකම ඇති
- ලංකාව පාලනය කළ කාටවත් හොඳ ටීම් එකක් හිටියේ නෑ
- රට වැටුණු තැනින් ගොඩගන්න සුදුසුම කෙනා රනිල්

ර්තමානයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය උසුලන්නේ බෙල්ලන්විල ධම්මරතන හිමියන්ය. 1938 දෙසැම්බර් 13 බණ්ඩාරගම උපන් උන්වහන්සේගේ පියා ඔමන්තගේ පෝල් පෙරේරාය. මව දෝන බුත්සිලිනාද සිල්වාය. අපවත්වී වදාළ බෙල්ලන්විල විහාරාධිපති බෙල්ලන්විල විමලරතන හිමියෝ උන්වහන්සේගේ බාල සොහොයුරුය. සහෝදරයන් හය දෙනෙක් සිටින පවුලේ උන් වහන්සේ තෙවැනියා විය. වෑවිට මහ විදුහලෙන් ද, පසුව නිකපේ පාසලෙන් ද අධ්‍යාපනය ලද උන්වහන්සේ වයස අවුරුදු 12 දී එනම් 1950 දි පැවිදි දිවියට පත්වූ අතර ගුරු දේවයන් වූයේ බෙල්ලන්විල සෝමරතන නාහිමිය. පැවිදි ජීවිතයේ මූලික අධ්‍යාපනය මොල්ලිගොඩ ප්‍රචනෝදය පිරිවෙනෙන්ද පසුව විද්‍යාලංකාර පිරිවෙනෙන්ද ලද උන් වහන්සේ අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. උන්වහන්සේ 1970 වසරේ සිංගප්පූරුව බලා ගියේ එහි මංගල විහාරයේ ආරාධනාවකට අනුවය. ඒ එරට දක්ෂ අගමැතිවරයකුව සිටි ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු රාජ්‍යයක් කිරීමේ මූලික අඩිතාලම දමද්දීය. වසර 50ක් සිංගප්පූරුවේ වාසය කළ උන්වහන්සේ සිළුමිණ සමඟ සම්බන්ධ වූයේ කාලීන සංවාදයකට මුල පුරමිනි.

ඔබ වහන්සේ වසර 50ක් සිංගප්පූරුවේ වැඩවාසය කළා. එහි ගත කළ කාලය ගැන සඳහන් කළොත්..?

1970 දෙසැම්බර් මගේ සිංගප්පූරු ගමන යෙදුණේ අහම්බෙන්. ඒ වනවිට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවනේ උගන්වමින් සිටියේ. බෙල්ලන්විල විමලරතන හිමියන්ට තමයි මේ ඉල්ලීම මුලින්ම ලැබුණේ. නමුත් උන්වහන්සේ ලන්ඩන් ගිහින් ලංකාවට පැමිණි අතරවාරයේදී මේ ආරාධනාව ලැබුණු නිසා මට එය පැවරුවා. සිංගප්පූරුවේ මංගල විහාරයේ ගත කිරීමේ ආරාධනය ලැබුණේ මාස 6කටයි. ඒ අනුවයි මම සිංගප්පූරු ගියේ. මෙය විදේශ රටකට ගිය මුල්ම අවස්ථාව. ධර්මධූත සේවාව, විදේශීය රටකට ගොස් කළ යුත්තේ කුමක්ද කියා ලොකු දැනුමක් වගේම ඉංග්‍රීසි භාෂා දැනුමවත් මට තිබුණේ නැහැ. එය විශාල අභියෝගයක් වුණා. චීන සිංගප්පූරු ජාතිකයන් සමඟයි කටයුතු කරන්න සිදු වුණේ. මුල්ම කාලයේ අමාරුවෙන් කටයුතු කළේ. කොහොම හරි මම භාෂාව ඉගෙන ගත්තා. වසරක් එක දිගට ගත කර නැවතත් ලංකාවට ආවත් යළිත් මම සිංගප්පූරු ගියා. ඒ මගෙන් ඉගෙන ගත් පිරිසක් සිංගප්පූරුවේ අලුතෙන් ආරම්භ කළ බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය පාලනය කරගෙන යෑමට මට ආරාධනා කිරීම නිසා. නමුත් විමලරත්න ස්වාමීන් වහන්සේගේ හදිසි අභාවය නිසා මේ සියල්ල බාර ගැනීමට ලංකාවට ඒමට සිදු වුණත් තවමත් සිංගප්පූරුවේ ඒ කටයුතුවල රැඳී සිටිනවා.

සිංගප්පූරුව අපිට පිටුපසින් සිටි රාජ්‍යයක්. නමුත් දැන් ඔවුන් සිටින්නේ අපිටත් බොහෝ ඉදිරියෙන්. ඔබේ අත්දැකීම් අනුව ඊට හේතු වූ කරුණු කාරණා මොනවාද?

එදා සිංගප්පූරුව ගැන තිබුණේ යහපත් ආකල්ප නෙමේ. එය දෙවැනි යුද්ධ කාලයේ විනාශ වූ රටක්. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී තිබුණා. මම එරටට යනවිට ලී ක්වාන් යූ අගමැති පදවියට පත්වී රට වෙනස් කර ගොඩනැඟීම ආරම්භ කර තිබුණා. ඔහු විශේෂ චරිතයක්. නීති ගරුක සේම නීතිය තදින්ම ක්‍රියාත්මක කළ කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් නීති කඩ කරන්න, දූෂණ සිදු කරන්න ඔහු ඉඩක් දුන්නේ නැහැ. නව ආණ්ඩුවක් පිහිටුවා රටේ දියුණුව ආරම්භ කළා. රටේ ප්‍රශ්න හඳුනා ගෙන ඊට වැඩපිළිවෙළක් යෙදුවා. කම්පොං( නොදියුණු ගම) නමින් විශාල වශයෙන් රටේ පැල්පත් තිබුණා. ඔහු රටට housing board සංකල්පය හඳුන්වා දුන්නා. අලුතෙන් තට්ටු ගෙවල් ඉදිකර ඒ නිවාස ඔවුන්ට ලබා දුන්නේ පහසු මුදලට හා 99 අවුරුදු පදනම යටතේ. ඊට ගෙවීමේ පහසුකම් ද ලබා දුන්නා. දූෂණ අඩු කිරීම සිංගප්පූරුවේ දියුණුවේ රහසක් වුණා.

සිංගප්පූරුවේ දූෂණ නැති කළ ආකාරය ගැන සඳහන් කළොත්?

ලී ක්වාන් යූ පොලිසිය යටතේ වෙනමම දූෂණ ගැන අංශයක් පිහි‍ෙටව්වා. දූෂණවලට විරුද්ධ තීරණ ගැනීමේ වගකීම අදාළ අංශවලට පැවරුවත් ඒ සියල්ල අගමැති ලී ක්වාන් යූට දැනුම් දියයුතු වීමේ දැඩි ප්‍රතිපත්තියක් ගෙන ගියා. වැදගත්ම දේ ඔහු කිසිම දූෂණයකට සම්බන්ධ නොවීමයි.

ලී ක්වාන් යූ ආර්ථිකය ගොඩනැඟූ මොඩලය කුමක්ද?

ඔහුට සහය වූ ඉතාම දක්ෂ ඇමැතිවරු සිටියා. Goh Keng Swee නම් දක්ෂ ඇමැතිවරයාට ඔහු මුදල් ඇමැතිකම දුන්නා. ආර්ථිකය ගොඩනැඟීමට ගුවන් තොටුපළ ඉතා හොඳින් ශක්තිමත් කළා. එයින් රට පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තරය තුළ ඇති කළා. ලී ක්වාන් යූ අගමැතිගේ ප්ලෑන් පවා ක්‍රියාත්මක කළේ මේ මුදල් ඇමැති. මගේ මතකයේ පමණට ඔහුට සිටි ඇමැති මණ්ඩලය 18ක් වුණා. ඇමැතිවරු ගැන අගමැතිට සමීපව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. වැරදි අයට නිදහසක් දුන්නේ නැහැ. වැඩ නොකළොත් ඉවත් කරනවා. මේ නිසා ඇමැතිවරු තම කාර්ය ඉතා හොඳින් කළා.

අගමැතිගේ මේ ක්‍රමයට විරුද්ධ මතවාදි අරගල තිබුණේ නැද්ද ?

බලයට ආ මුල් කාලයේ විවිධ වෘත්තීය හා වාමාංශික අරගල තිබුණත් ඔහු ඒවා දක්ෂ ලෙස මර්දනය කළ ආකාරය පුදුමයි. Anti UC නම් වෘත්තීය සමිතිය ඔහු පිහිටුවා ඔහුට හිතවත් සියලුම වෘත්තිය පිරිස් මේ යටතට උපක්‍රමශීලිව සම්බන්ධ කර ගත්තා. වෘත්තීය අරගලයක් කරනවා නම් මෙයින් පිටස්තරව කරන්න බැහැ. මෙහි තනතුරු ගත්තේ ලී ක්වාන් යූගේ අය. වෘත්තිය ඉල්ලිම්වලට කන් දුන්නා වගේම සාකච්ඡාවන්ට කෙලින්ම සම්බන්ධ වුණේ ලී ක්වාන් යූයි. පඩි වැඩි කිරීමේ අරගල කළොත් ඔහු පවසන්නේ මම වැටුප් වැඩි කරන්නම්. නමුත් එවිට අපිට පාඩු සිදු වෙන්න පුළුවන්. එහෙම වුණොත් සේවකයන් අස් කිරීමට සිදු වේවි කියාය. කුමක්ද තීන්දුව? මෙවැනි තර්කයි ඔහු ඉදිරිපත් කළේ.

සිංගප්පූරුවට ඉදිරියෙන් සිටි අපට ඇයි මේ ගමන යන්න බැරි වුණේ. අපිට වැරදුණ මුල කොතැනද?

අපි මුලදීම වරද්දා ගත්තා. අපේ වෘත්තිය සමිතිවලට ඕනෑ තරමටත් වඩා නිදහස ලැබුණා. ඒ අය ඇති වෙන්න දූෂණ කළා. එදා සිංගප්පූරු වරායටත් වඩා දියුණුවට තිබුණේ කොළඹ වරාය. වරායේ ශක්තිය වැඩ වර්ජන නිසා බිංදුවට බැස්සුවා. පාඩුව දරුණුවට සිදු වුණා. මේ නිසා අවසානයේ ලොව නරකම වරායක් ලෙස ප්‍රසිද්ධ වී නැව් ඒම අඩු වුණා. වරායේ කම්කරුවෝ බඩු විනාශ කළා. සිංගප්පූරුවේ ලබන ධනයෙන් වැඩි ප්‍රමාණයක් ලබන්නේ ඔවුන්ගේ වරායෙන්. අපේ වරායන් වැටෙන කොට ඒවා දියුණු වෙන්න පටන් ගත්තා. ලොව හොඳම වරාය වුණා. ලී ක්වාන් යූගේ වැඩපිළිවෙළත් ඊට හේතු වුණා. නැවක් එද්දි ඒ නැව ගැන සියලු විස්තර රටේ නායකයා එදා දැනගෙන හිටියා. ඒ කාලයේ සිංගප්පූරු එයාර් ලයින් තිබුණේ නැහැ. මැලේසියා සිංගප්පූරු එයාර් ලයින් තිබුණේ. රටවල් වෙන්වීමේදි තිබුණු කුඩා ගුවන් යානා මැලේසියාව ගත්තා. විශාල ගුවන් යානා කිහිපය සිංගප්පූරුව ලබා ගත්තා. ලී ක්වාන් යූ සිංගප්පූරු එයාර් ලයින් ලොව හොඳම ගුවන් සේවා අතරට එක් කළා. ඔවුන්ගේ ගුවන් යානාවල ඇණයක් ගැලෙව්වත් නැවත සවි කරන්නට අලුත්ම ඇණයක් ගන්නවා. ඒ තරමට හොඳ සේවාවක් ලබා දෙනවා. නමුත් අවුරුදු 50කට පෙර මම සිංගප්පූරු යද්දි අපේ ගුවන් තොටුපළ තිබුණට වඩා අද විශාල වෙනසක් සිදුවී නැහැ.

ඔබ කියන්නේ ලී ක්වාන් යූ කෙනෙක් තවමත් අපේ රටේ බිහිව නැති බවද?

තාම අපේ රටේ එවැනි කෙනෙක් බිහිවී නැහැ. ලී ක්වාන් යූට වැඩ කරන්න හොඳ ටීම් එකක් හිටියා. ලංකාව පාලනය කළ කාටවත් එවැනි ටීම් එකක් නොසිටීම ලංකාව කඩා වැටෙන්න හේතුවක් වුණා. ටිකක් හෝ හොඳ ටීම් එකක් හදා ගැනීමේ ශක්තියක් තිබුණේ ජේ. ආර් ජයවර්ධන මහතාට. ඒ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, රන්ජන් විජේරත්න වැනි අය නිසා. පසුව ආ කාටවත් හොඳ ටීම් එකක් හිටියේ නැහැ. අද අපේ අය කරන්නේ භාර දෙන වැඩ නොවෙයි.

අපේ එවැනි හොඳ ටීම් එකක් බිහි නොවීමට හේතුව කුමක්ද?

එය අපේ සංස්කෘතියේ වරදක් වෙන්න පුළුවන්. මොන වරදක් කළත් Never mind ප්‍රතිපත්තියක් අපිට තියෙන්නේ. ලී ක්වාන් යූට Never mind ප්‍රතිපත්තියක් නැහැ. ඔහු වැඩක් බාර දෙන්නේ කළ යුත්තා තීරණය කිරීමෙන් පසුවයි. චරිතය පවා හොඳ නැතිනම් ඔහු ඉවත් කළා. විවාහ නොවූ කෙනකුට ටැක්සි රියදුරුකමක්වත් ගන්න ඔහු ඉඩ දුන්නේ නැහැ.

අපේ රටේ හිටපු නායකයන්ට රට හැදීමේ උවමනාවක් තිබුණේ නැහැ කියලද ඔබ වහන්සේ පවසන්නේ?

නොතිබුණාමත් නෙමේ. රට හැදීමට වඩා මුල්තැන දුන්නේ තමන් හැදීමට. අද සමහරු තම රාජකාරිය පවා හරි හැටි දන්නේ හැහැ.

වර්තමාන දේශපාලන අර්බුදයේදි සමහරු චෝදනා

කරනවා හිටපු නායකයෝ ඊට වගකිව යුතුයි කියා.

ඇයි රට මේ තත්ත්වයට පත්වුණේ?

ජනාධිපතිවරු පමණක් නොවෙයි, මේ අය තෝරපු අපිත් මීට වගකිව යුතුයි. ලංකාවේ අගමැතිකම් කළ අය අතරින් සිරිමාවෝ බණ්ඩාරනායක හොඳ කෙනෙක්. ඊට ඉන්දිරා ගාන්ධිගේ බලපෑම ලැබුණා. මැතිනිය ලංකාවේ දේශීය දේ නිපදවීම ආරම්භ කළා. ඒ දේ හරියට කරගෙන ආවා නම් අද අපේ රට මීට වඩා දියුණු වීමට ඉඩ තිබුණා.

අද අපිට IMF යෑමට සිදු වෙලා. ඔබ මීට එකඟද?

සමහර විට අපිට නොකරම බැරි දේවල් තියෙනවා. අපි IMF යන තැනට ආවා. එතැනට ගෙනා එක වරදක්. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට දැන් IMF නොගිහින් බැහැ. නමුත් ඒ ණය හරියට යෙදුවේ නැතිනම් ඒකත් ප්‍රශ්නයක්. IMF ගියා කියන්නේ අපි වහල් තත්ත්වයකට පත් වෙනවා කියන එකයි. IMF යෑමට මමත් විරුද්ධයි. නමුත් වෙන කරන්න දෙයක් නැහැ.

අපේ රටත් සිංගප්පූරු මොඩලයට දියුණු කළ හැකි නායකයෙක් නැද්ද?

දැන් පෙරහැර ගිහින් ඉවරයි. වරාය දියුණු කළ යුතුයි. පෝට් සිටි එකට විවිධ බාධා එනවා. පෝටි සිටි එක හරියට කළොත් ඒකම ඇති ලංකාවේ ආර්ථිකය නැංවීමට. මෙය හැදෙන්න තිබුණේ මීට වසර 20කට පෙරයි. එහෙම වුණා නම් අද ලංකාව ගොඩ. ලංකාවේ නිලධාරීන් වැඩි දෙනෙක් දූෂිතයෝ. ද්‍රවිඩ ජාතික ප්‍රශ්නත් තියෙනවා. ඒ අයත් එක්ක ප්‍රශ්න තියාගෙන රට ගොඩ නඟන්න බැහැ. අද සිටින සමහරක් ද්‍රවිඩ නායකයෝ සමඟ මේ ගමන යන්න අමාරුයි. ඒ අය අන්ත ජාතිවාදීන්. 

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

මම 13 වැනි ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. 13 සාධාරණ ලෙස ඇති කරගත්තක් නෙමේ. ජේ. ආර්. ජයවර්ධන රජීව් ගාන්ධිට බය වුණා. මර බයෙන් සිටින අවස්ථාවේ ඇතිකරගත් ගිවිසුමක්. එවැනි ගිවිසුමක් හොඳ වන්නේ කොහොමද? අපි නිදහස ලබාගත් දින සිට කළේ වැරැද්දක්. අපිත් දෙමළ ජාතීනුත් අතර වෙනසක් නැහැ. සහෝදරත්වයෙන් වැඩ කළ යුතුය යන අදහසින් එකතු වී වැඩ කළ යුතුයි.

වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

මෙය ටිකක් අමාරු ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අතින් හෝ මා සමඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් හමු වී කතා කර තියෙනවා. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා අද අපි වැටුණු තැනින් ගොඩ ඒමට යමක් කළ හැකි හොඳම කෙනායි. අද අපි මුහුණ දී ඇති ප්‍රශ්නයේ කොටසක් තමයි, බටහිර රටවල්. මේ තත්ත්වට අපිට ඇද දැමීමට ඔවුන් වැඩපිළිවෙළක් කළා. ඒ අයගේ සහය නැතුව මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න බැහැ. බණ්ඩාරනායක රජය පිහිටුවා පිලිප් ගුණවර්ධන, විලියම් සිල්වා වැනි වාමාංශකයන් කැබිනට් මණ්ඩලයට ආ දවසේ සිට බටහිර රටවල් මේ දරුණු පළි ගැනීම කරනවා. කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝ මැරෙනකම්ම සහනයක් දුන්නේ නැහැ. මහින්ද මහත්තයාත් වාමාංශික කඳවුරෙන් බිහි වූ කෙනෙක්. එතුමාගේ වැඩ බිඳ වැට්ටවීමට බටහිර රටවල් විශාල වැඩ කොටසක් කළා. මේ තත්ත්වය මඟ හරවා ගෙන වැටුණු තැනින් ගොඩ ගැනීමට සිටින සුදුසු පුද්ගලයා ජනපති රනිල් වික්‍රමසිංහයි.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments