
අනාවැකි ගැන, පුරෝකථන ගැන සත පහකවත් විශ්වාසයක් නැති අයට පවා දැන් ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් යනු බේගල් ඇද බාන්නකු නොව දිවැසිවරයකු ලෙස පෙනෙන බැවින් 54 හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍යජාලා අතරට මුදා හරින භු කම්පන පුරෝකථන කියවනතුරු ඔවුන්ට ඉවසිල්ලක් නැත. ෆ්‍රෑන්ක් ගැන තියා භූ කම්පන ගැනවත් උනන්දුවක් නැති අයට නම් වගේ වගක් නැති ගාණය. එහෙත් සැබෑව නම් ඔහුගේ අනාවැකියක් සඵල වීම නිසා තුර්කියේ සහ සිරියාවේ ජීවිත හතළිස් දහසකට වඩා පොළොවට මිහිදන් තිබීමය.
මෘදුකාංග සම්පාදක, පර්යේෂක යැයි අන්තර්ජාලය ඔස්සේ තමාව හඳුන්වා දෙන මේ පුද්ගලයා පැවසූ ‘ටක්කෙටම හරිගිය‘ අනාවැකිය ගැන ලොව පුරා කතාබහට ලක්වී තිබේ. පසුගිය සතියේ දකුණු දිග තුර්කිය සහ උතුරු දිග සිරියාව මුළුමනින්ම උඩුයටිකුරු කළ භූ කම්පනය සිදු වූයේ පසුගිය 6 වැනිදා අලුයම 4.00ට පමණ ය. ඔහු සිය ‘ට්විටර්‘ පිටුවේ ඒ ගැන පුරෝකථනය කර තිබුණේ 3 වැනිදාය. ඒ මදිවට යූ ටියුබ් චැනලය ඔස්සේ
‘ඉක්මනින් හෝ පසුව මේ කලාපයේ (දකුණුදිග තුර්කියේ, ජොර්දානයේ, සිරියාවේ, ලෙබනනයේ) රිච්ටර් මාපකයේ 7.5ක අගයක් පෙන්නුම් කරන භූ කම්පනයක් සිදු වේවි.‘
පුරෝකථනය සැබෑ වීමට දින තුනකට වඩා ගත නොවීය. වෙනසකට තිබුණේ භූ කම්පනය සිදුවන්නේ යැයි ඔහු ප්‍රකාශ කළ අනාවැකියට ඇතුළත් රටවල් අතුරින් හානිය සිදු වූයේ තුර්කියට හා සිරියාවට පමණක් වීම සහ 7.5ක් යැයි කී රිච්ටර් මාපකයේ අගය 7.8ක් ලෙස සටහන් වීමය. එහෙත් විනාශය නම් සුළුපටු නොවීය. තවමත් මෙහෙයුම් කණ්ඩායම් සියයකට වැඩි සංඛ්‍යාවක් දිවා රෑ නොබලා විනාශ වූ ගොඩනැගිලි හයදහසකට වැඩි සංඛ්‍යාවක සුන්බුන් පීරමින් මළ සිරුරු පිටතට අදිමින් සිටී. පණ ගැහෙන ජීවිත තිබේදැයි තවමත් සොයා බලමින් සිටි.
මේ විමතිය දනවන සුලු ප්‍රකාශය සිදු කළ ෆ්‍රෑන්ක්ගේ ‘ට්විටර්‘ ගිණුමට ලොව පුරා අන්තර්ජාල සැරිසරන්නන් මිලියන ගණනාවක් සම්බන්ධ වීමට පටන් ගත්තේ භූ කම්පනයෙන් පැයක් ගත වීමටත් පෙර ය. ඉන් නොනැවතී ලෝක ප්‍රජාව තවමත් එම පුරෝකථනය ලොව පුරා බෙදා හරිමින් එහි වටිනාකම දෙගුණ තෙගුණ කරමින් සිටි. ෆ්‍රෑන්ක් විසින් එසේ ඉදිරිපත් කළ ට්විටර් පුරෝකථනය කියැවූ වාර ගණන මිලියන හැටකට ආසන්නය. තවත් හැත්තෑපන්දහසකට වැඩි වාර ගණනක් එය හුවමාරු ලොව පුරා හුවමාරු වී හමාරය. පුරෝකථනයට ප්‍රතිචාර දැක්වූ වාර ගණනත් දෙලක්ෂයකට ආසන්නය. ඊට ප්‍රතිචාර දක්වමින් සටහන් කර ඇති කොමෙන්ටු ද අටදහසකට වැඩිය.
තුර්කියේ සහ සිරියාවේ ජන ජීවිත දහස් සංඛ්‍යාවක් පණ පිටින් වළලා දැමූ මේ භූ කම්පනයෙන් ලෙබනනයට හානියක් නොවූවද එහි ප්‍රතිකම්පන එරට ජනතාවට හොඳින්ම දැනී තිබිණි. භූ කම්පනයෙන් පැය කිහිපයකට පසු ලෙබනන් ජාතිකයකු ෆ්‍රෑන්ගේ පෝස්ටුවට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසය.
‘ලෙබනනයේ අපේ ගෙවල් හෙල්ලෙන්නට පටන් ගත්තා. අපි පාරට දිව්වා. ඔබ කොහොමද මේක දැන ගත්තේ ? ඇයි කවුරුවත් මේ පුරෝකථනය සමාජ මාධ්‍ය ජාලා අතර බෙදා හැරියේ නැත්තේ ? අපිට දැනුණේ මර බියක්.‘ සැබෑව නම් භූ කම්පනය සිදුවනතුරු ෆ්‍රෑන්ක්ගේ පුරෝකථනයට වටිනාකමක් නොලැබී යෑමය. අනෙක් අතට භූ කම්පන වැනි ස්වභාවික විපත් පිළිබඳ පුරෝකථනය කිරීමට මෙතෙක් ලොව කිසිදු විද්‍යාඥයකු සමත් නොවීම නිසා මෙවැනි අනාවැකි සම්බන්ධව ජනතාවගේ වැඩි උනන්දුවක් ද නැති වීමය. ඇතැමුන් සමාජ මාධ්‍ය ජාලාවේ තම ගිණුම ඉහළ දමා ගැනීමේ අරමුණින් සාවද්‍ය අනාවැකි ද පළ කරමින් සිටින අතර, ෆ්‍රෑන්ක්ගේ පුරෝකථනය ද ඒ ගොඩටම වැටී තිබිණි.
දැන් සිදු වී ඇත්තේ ලොව පුරා ජනතාව තුර්කි භූ කම්පනය පසු විපරම් කිරීම නොව ‘ටක්කෙටම හරි ගිය‘ අනාවැකිය ඉදිරිපත් කළ ෆ්‍රැන්ක් හූගර්බීට්ස්ජගේ මීළඟ අනාවැකිය කුමක් දැයි සොයා දැන ගැනීමටය. ඉස්පාසුවක් නැති අන්තර්ජාල සැරිසරන්නන් මිලියන ගණනාවක් වරින් වර ඔහුගේ ‘ට්විටර්‘ ගිණුමට එබිකම් කිරීමට පටන් ගැනීමය. වැඩි දෙනකු දෑස් නළල් තලයේ තබාගෙන තවමත් කල්පනා කරන්නේ ලොව කිසිදු භූ විද්‍යාඥයකුට නිශ්චිතව කිව නොහැකි භූ කම්පන ගැන මේ පර්යේෂකයා පුරෝකථනය කරන්නේ කෙසේ දැයි කියාය. එය සැබැවින්ම විස්මයජනකය.
‘ඉන්දියා ටුඩේ‘ පුවත් සේවය මේ විස්මිත පුද්ගලයා සම්මුඛ කරගත්තේ ඉන් අනතුරුවය. ඊට හේතු වූයේ ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වන විශාල භූ කම්පනයක් පාකිස්තානය සහ ඉන්දියාව හරහා ඉන්දියන් සාගරයෙන් අවසන් වන බවට ඔහු විසින් නිකුත් කරනු ලැබූ පුරෝකථනයකි. ඔහු එය නිකුත් කරනු ලැබුවේ පසුගිය 9 වැනිදාය. තුර්කි භූ කම්පනය සම්බන්ධ අනාවැකිය නිවැරැදි වීම හේතුවෙන් ඉන් පසුව ඔහු පළ කළ මේ අනාවැකියට ඉක්මනින්ම තටු ලැබුණු අතර, රටවල් ත්‍රිත්වයම තැති ගන්වමින් එය ලොව පුරා වේගයෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකාවේ ජනතාව අතර නම් ඒ ගැන කතාබහක් සිදු වූයේම නැත.
‘පොඩි අවුලක් තියෙනවා මොකද පුරෝකථනයේදී අපි දම්පාට තීරුවකින් තමයි මේ ගැන සඳහන් කළේ. ඇෆ්ගනිස්තානයේ සිට පහළට ඉන්දියන් සාගරය දක්වා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඉරිතැලීම් කලාපයක් වෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඇෆ්ගනිස්තානයෙන් පටන් අරගෙන ඉන්දියන් සාගරය දක්වා විශාල භූ කම්පනයක් ඇති වෙනවා කියලා. ඒක වායුගෝලයේ ලොකු වෙනසක් ඇතිවෙන තීරුවක් විදිහටයි අපි නම් කළේ. ඒ කියන්නේ විශාල භූ කම්පනයක් සිදු විය හැකි කලාපයක් කියලා විතරයි. සමහර විට ඇෆ්ගනිස්තානය හෝ පාකිස්තානය හෝ සමහර විට ඊට නැගෙනහිරෙන්, සමහර විට ඉන්දියාවේ 2001දී සිද්ධ වුණා වගේ භූ කම්පනයක් වෙන්නත් පුළුවන්. නිශ්චිතභාවයක් නෑ සම්භාවිතාවක් විතරයි.‘ ඔහු ඉන්දියා ටුඩේ පුවත් සේවයට එසේ කියන්නේ දකුණු ආසියාතික ජනතාව සැනසීමට දැයි එක අතකට සැකයක් උපදී.
දකුණු ආසියාව කේන්ද්‍ර කරගෙන සිදුවිය හැකි බවට ෆ්‍රෑන්ක් ඉදිරිපත් කළ පුරෝකථනය ඉන්දීය ජනතාවට නම් තැතිගැන්මට කාරණාවක් වනු සහතිකය. 2001දී ඉන්දියාවේ සිදුවූවාක් මෙන් භු කම්පනයක් යැයි ෆ්‍රෑන්ක් කියන්නේ 2001 ජනවාරි 26 වැනිදා ගුජරාට් ප්‍රාන්තයේ සිදු වූ රිච්ටර් මාපකයේ 7.6ක අගයක් ගත් භූ කම්පනයයි. පුද්ගලයන් විසිදහසකට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ මේ භූ කම්පනයෙන් තවත් එක්ලක්ෂ හැටහත් දහසක් තුවාල ලබා තිබිණි. භූ කම්පනයෙන් විනාශ වූ ගුජරාට් ප්‍රාන්තයේ ගොඩනැගිලි ගණන තුන්ලක්ෂ හතළිස් දහසකට අධිකය.එබැවින් ගුජරාට් භූ කම්පනය මතක ඇති ඉන්දීය ජනතාවට ෆ්‍රෑන්ක් ඊයේ පෙරේදා නිකුත් කළ දකුණු ආසියාව සම්බන්ධ පුරෝකථනය නම් තැති ගැන්වෙන සුලු එකක් වීම සාධාරණය.
‘දෙයියනේ මොනවද මේ මිනිහා කියන්නේ...?‘ නිසැකවම මේ රටවල් ත්‍රිත්වයේ ජනතාව එසේ සිතනවා ඇත්තේ ෆ්‍රෑන්ක්ගේ තුර්කි අනාවැකිය හරි නොගියා නම් ඔහුගේ මේ අනාවැකිය උපහාසයට ලක් කරමින් හිත හදා ගන්නට තිබුණු බව වන්නට ඇත.
හද ගැස්ම මොහොතකට නතර කළ ෆ්‍රෑන්ක්ගේ නවතම අනාවැකිය ගැන අනාවැකි කියන්නට වේලාසන වැඩි වන්නට ද ඉඩ තිබේ. ඒ ගැන අනාවැකි හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට හෝ වේලාවක් නොලැබෙන්නට ද ඉඩ ඇත. කෙසේ වුවත් විද්‍යානුකූලව මේ ගැන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ෆ්‍රෑන්ක්ගේ පුරෝකථනය හෑල්ලුවට ලක් කෙරෙන විවිධ සංවාද පසුගිය දින කිහිපය පුරා ඉන්දියාවෙන් මෙන්ම පාකිස්තානයෙන් ද වාර්තා විය.
‘මා මේවා පවසන්නේ සිදුවීමේ හැකියා, සම්භාවිතා ගැන කල්පනා කරලයි. එවැනි නිශ්චිතභාවයක් නෑ. ග්‍රහලෝකවල සහ චන්ද්‍රයාගේ පිහිටීම් දෙස බලා, පෙබරවාරි 4 සිට 6 දක්වා වූ පරිදි තීරණාත්මක කාල රාමුවලට අනුවයි. ඒ මිස 100% ක්ම හරියටම කියන්න බෑ.‘
ඔහු එසේ කීවද පසුගිය වසරේ ජුනි මස ඇෆ්ගනිස්තානයේ සිදු වූ රිච්ටර් මාපකයේ 5.9ක අගයක් ගත් භූ කම්පනයෙන් ජීවිත දහසකට වැඩි ප්‍රමාණයක් අහිමි වූ බව ලොවට රහසක් නොවේ. එබැවින් ෆ්‍රෑන්ක්ගේ මේ පුරෝකථනය හුදු ප්‍රලාපයක් ලෙස බැහැර කිරීමට තරම් නොවේ.
නෙදර්ලන්තය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන සෞරග්‍රහ මණ්ඩලයේ ජ්‍යාමිතික දර්ශක ( Solar System Geometry Index ) පර්යේෂණ ආයතනයේ සේවය කරන ෆ්‍රෑන්ක් තුර්කි භූ කම්පනයෙන් ලොව පුරා වැඩි කතාබහට ලක් වූවත් භූ කම්පන ක්‍රියාකාරකම් සම්බන්ධව ආකාශ වස්තූන්ගේ ජ්‍යාමිතිය නිරීක්ෂණය කරන පර්යේෂණ ආයතනයක් වන සෞරග්‍රහ මණ්ඩලයේ ජ්‍යාමිතික දර්ශක පර්යේෂණ ආයතනයට එක්ව ඔහු මෙවැනි පුරෝකථන ඉදිරිපත් කරන්නේ බොහෝ කාලයක සිටය.
‘පෙබරවාරි 3 වැනිදා ට්විටර් පණිවිඩය මා නිකුත් කළේ දීර්ඝ පර්යේෂණයක් පදනම් කරගෙනයි. ඊට පදනම් වූයේ එම කලාපයට අතීතයේදී බලපෑ මාරාන්තික භූ කම්පන කිහිපයකුයි. පෙබරවාරි 3 වැනිදා එම කලාපයේ යම් යම් භූ කම්පන ක්‍රියාකාරකම් මට නිරීක්ෂණය වුණා. මම කල්පනා කළේ ප්‍රබල භු කම්පනයක් ඕනෑම වේලාවක මේ කලාපයට බලපෑ හැකි බවට ජනතාවට අනතුරු ඇඟවිය යුතු බවටයි. ඒත් ඇත්තටම ඒක ඒ විදිහටම දින තුනකට පස්සේ සිදුවේවි කියලා නම් මම හිතුවේ නෑ.‘ ෆ්‍රැන්ක් එසේ ප්‍රකාශ කර තිබිණි.
‘පෙබරවාරි 3 වැනිදා ග්‍රහලෝක පිහිටීමේ යම් වෙනසක් ඇති වුණා. ඒක ඇති වුණේ හරියටම ඊට දින තුනකට පස්සේ භූ කම්පනය සිදුවුණු කලාපයේමයි. ඒකයි මම ඒ වගේ අනතුරු ඇඟවීමක් කළේ‘
කෙසේ වුවද, භූ කම්පන න්‍යාය පුළුල් ලෙස පිළිගැනීමක් ලොව කොතැනකවත් සිදු නොවන බැවින් ෆ්‍රෑන්ක්ගේ පුරෝකථන පවා මතභේදයට තුඩු දෙන ඒවාය. එමෙන්ම ඔහු ඒ සඳහා ගෙන හැර දක්වන තර්ක පවා මතභේදාත්මකය. එහෙත් ෆ්‍රෑන්ක් කියන්නේ ඔහු ඇතුළු පර්යේෂණ ආයතනය ලොව පුරා අතීතයේදී සිදු වී ඇති භූ කම්පන පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කර ඇති බවය. විශේෂයෙන් ග්‍රහලෝකවල පිහිටීම අනුව යම්කිසි රටාවක් සොයාගෙන අනාගතයේදී ලොව සිදුවිය හැකි විශාල භූ කම්පන සඳහා ඒවා බලපාන අයුරු ගැඹුරින් නිරීක්ෂණය කිරීම ඔහුගේ න්‍යායාත්මක වැඩ පිළිවෙළ බවට පත් වී තිබේ. ඒවා බටහිර විද්‍යාඥයන් පිළිගන්නේ නැත.
කොටින්ම කියන්නේ නම් ෆ්‍රෑන්ක් යනු ජ්‍යෝතිර්වේදියෙකි. ලොව ඉහළම කීර්තිය හා ගෞරවය දිනා සිටින විද්‍යාඥයන්ගේ ගොන්නට ඔහු අයිති නොවන්නේ එබැවිනි. ග්‍රහලෝක තුළින් ඇතිවන බලපෑමක් නැතැයි ප්‍රධාන ධාරවේ විද්‍යාඥයන් අතර සම්මුතියක් ඇතැයි ඔහු කියයි. එබැවින් ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය පදනම් කරමින් පර්යේෂණ පැවැත්වීම තියා හිස ඔසවා අහස දිහා බලන්නේවත් නැති බව ෆ්‍රෑන්ක් ඉන්දියා ටුඩේ පුවත් සේවයට කීවේය. එහෙත් සෞරග්‍රහ මණ්ඩලයේ ජ්‍යාමිතික දර්ශක පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ ග්‍රහලෝකවල සැබෑ බලපෑමක් ඇති බවය. ඔහු ඒවායේ පිහිටීම සහ ගමන් කිරීමේ රටාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නේ එබැවිනි. ඒ අතින් ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් හැම අතින්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෝතිර්වේදයට ගැළපෙන පර්යේෂකයෙකි. ග්‍රහලෝකවල බලපෑම්, ඒවායේ පිහිටීම, රටට ජනතාවට සිදුවන ග්‍රහ අපල ගැන අපේ රටේ විශ්වාසයක් පවතිනුයේ අතීත රජ සමයේ සිටය. අනාගතයේදී සිදුවිය හැකි අපල උපද්‍රව, මාරක අනතුරු කල් තියා හඳුනා ගැනීමට මෙරට ජ්‍යෝතිර්වේදීන් සමත් වී ඇත්තේ ද නවග්‍රහයන්ගේ ගමන් රටාව මත පදනම්වය. නෙදර්ලන්තයේ නොව ලොව කොතැන සිටියත් ඔහු ශ්‍රී ලංකාවට නෑකම් කියන්නේ එබැවිනි.
‘ඒ නිසා මම ග්‍රහලෝක දිහා බලලා ප්‍රධාන භූ කම්පන ක්‍රියාකාරකම් තිබිය හැකිද යන්න තහවුරු කර ගන්න උත්සාහ කරනවා. නමුත් ග්‍රහලෝක මත පදනම්ව ඒවා සිදුවන නිශ්චිත ස්ථානය තක්සේරු කිරීම තරමක් දුෂ්කරයි.‘