
- හෙළ වෙදකම කියන්නේ රෝග නම් කරන එකට නෙමෙයි. ශරීරයේ ඇති වාත, පිත, කප සමබර නොවීම නිසා උත්සන්න වන විවිධ රෝගී තත්ත්වයන් සමබර කර නැවත ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමයි
- අංශභාගය, සියලු ස්නායුගත රෝග, ගුද රෝග, සන්ධි රෝග, චර්ම රෝග, ගෙඩි, වණ, පිළිකා, කැඩුම් බිඳුම්, මානසික රෝග, කාන්තා රෝග, ළමා රෝග සහ වෛද්‍ය උපදේශන සේවා සඳහා විශේෂයි
- වැරදි ආහාර රටාව, අධික ව්‍යායාමය, මානසික ක්‍රියා, බඩගින්නේ ඉඳීම, වැටීම, නිදි වැරීම, මල මුත්‍ර පිට නොකර රඳවාගෙන සිටීම, සීතල, මානසික ආතතිය, අධික ලෙස කල්පනා කිරීම, ඍතු කාල වලදී ඇතිවන බලපෑම නිසා වාත කෝප වෙනවා
මෙවර ඉසිවර අරණ තුළින් අපි ඔබ හමුවට පමුණුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යවේදී උපාධිය හිමිකරගත් පාරම්පරික හා ජ්‍යේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය එච්.එම්. කුසුමානන්ද ය. හෙතෙම සංර්වාංග රෝග බොහොමයක් සඳහාම විශේෂ වූ දේශීය ප්‍රතිකාර සිදු කරයි. අංශභාගය, සියලු ස්නායුගත රෝග, ගුද රෝග, සන්ධි රෝග, චර්ම රෝග, ගෙඩි, වණ පිළිකා, කැඩුම් බිඳුම්, මානසික රෝග, කාන්තා රෝග, ළමා රෝග සහ වෛද්‍ය උපදේශන සේවා ඉන් කිහිපයකි. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වැඩිපුරම පැමිණෙන්නේ අංශභාග, ස්නායුගත රෝග, සන්ධි රෝග, ගුද රෝග, ඇදුම, පීනස, චර්ම රෝගවලින් පෙළෙන්නන් සහ කැඩුම් බිඳුම්වලට ලක්වූවන්ය. කලක් ජඹුරලිය මඩපාත ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නේවාසික වෛද්‍ය නිලධාරී වශයෙන් කටයුතු කළ හෙතෙම මේ වනවිට නාවින්න ජාතික ආයුර්වේද පර්යේෂණායතනයේ දේශීය වෛද්‍ය ක්‍රම අංශයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.
ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම්පත්තුවට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වූ අකුරැස්ස, ඕපාත, තලංගල්ල ග්‍රාමයේදී 1963 මැයි මස 17 වැනිදා හෙතෙම මෙලොව එළිය දුටුවේය. ඒ හේවා මයිනාත්තුගේ නන්දියස්ට සහ රොසලින් විජේතුංග ට දාවය. නිවසේදී උපන් මේ කොලු පැටියාට වින්නඹු මාතාව වූයේ ඔහුගේම මිත්තණියයි. දරුවාගේ වේලපත්කඩය සාදා පලාපල දැන නමක් ගැනීමට මවුපියන් දිවගියේ පාරම්පරික ජ්‍යෝතිෂශාස්ත්‍රඥයකු වූ විල්මන් වික්‍රමසිංහ වෙතය. වේලපත්කඩය අතට ගත් වික්‍රමසිංහ මේ දරුවා කෙදිනක හෝ රටේ ප්‍රසිද්ධියටපත් අයකුවන බව අවබෝධ කර ගත්තේය. මලක සුවඳ විඳ ආනන්දයට පත්වන්නාසේ මොහුගේ පිහිටෙන් මිනිසුන්ට සෙතක් සැලසෙන බව දුටු හේ කුසුමානන්ද යැයි නම් තැබීය. සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුතු පවුලේ පස්වැන්නා වූයේ කුසුමානන්දය. තලංගල්ල කණ්ෂ්ඨ විදාලයෙන් මුලකුරු කියැවූ හෙතෙම පහේ පන්තිය සමත් වී ඕපාත මහ විද්‍යාලයට ඇතුළත් වන්නේය. ගමේ පළමු උපාධිධාරි දෙදෙනා අතර එක් අයෙක් වූ කුසුමානන්ද ගේ වැඩිමහල් සොහොයුරා එච්.එම්. දයානන්ද ඒ වනවිට පන්නිපිටියේ පදිංචිව සිටියේය. ඔහු කුසුමානන්දව කොළඹට ගෙන්වා පන්නිපිටිය ධර්මපාලයට ඇතුළත් කළේය. නවවැනි ශ්‍රේණියට ඇතුළත් වූ කුසුමානන්දට එහිදී අතිජාත මිතුරන් දෙපලක් මුණ ගැසිණි. ඒ උබේසිංහ සහ තුසිත සුගතපාලයි. අධ්‍යාපනයට හිත යොමු කළ මේ තිදෙනා අපොස සාමාන්‍ය පෙළ විභායේ ප්‍රතිඵල අනුව උබේසිංහ ආනන්ද විද්‍යාලයටත්, තුසිත රාජකීය විද්‍යාලයටත් කුසුමානන්ද නාලන්ද විද්‍යාලයටත් තේරිණි. එහෙත් ඔවුන්ගේ මිතුදමට එය බාධාවක් නොවීය. මෙලෙස අධ්‍යාපනය ලබමින් සිටින අතර තුර උබේසිංහට ලියුකේමියා රෝගය වැලඳුණි. තුසිතත් කුසුමානන්දත් වෙනත් මිතුරනුත්, මාරුවෙන් මාරුවට මහරගම පිළිකා රෝහලේදී ඔහු අසලම රැඳුණි. නමුත් කෙටි කාලයකින්ම උබේසිංහ මෙලොව හැරගියේය. එදින කුසුමානන්ද දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. ඒ “මම කෙදිනක හෝ වෛද්‍යවරයෙක් වී මෙවැනි අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබා ගන්නවා” කියාය. එම අධිෂ්ඨානය පෙරදැරිව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ හෙතෙම විශ්වවිද්‍යාල වරම් ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුළත් වන හෙතෙම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය උපාධිය හිමිකර ගන්නේය. එහිදී රටේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා වසර එකොළහක කාලයක් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන කටයුතුවල නිරත වීමට කුසුමානන්දට සිදු විය. නමුත් ඔහු එය සලකන්නේ තමන්ට ලැබුණු වාසනාවක් ලෙසය.
හෙතෙම ඒ පිළිබඳව ඉසිවර අරණට පැවසුවේ මෙවැනිනකි. “දේශීය වෙදකම හා බටහිර වෙදකම පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබුණු වෛද්‍ය ලෙනෝරා විසින් තමයි කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව මේ ආයතනය පිහිටුවනු ලැබූවේ. මෙහි බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම ඉගැන්වීමට කටයුතු කළා. නමුත් බොහෝදෙනා මින් අධ්‍යාපනය ලබා බටහිර වෛද්‍යවරුන් වීමට වැඩි නැඹුරුවක් දැක්වූවා. නමුත් අපේ කණ්ඩායම දේශීය වෛද්‍ය පරපුරක් ඇතිකර ගැනීමට පෙරට ආවා. ඒ අනුව මේ වසර එකොළහ තුළ යම් යම් කැපකිරීම් කරමින් දේශීය වෛද්‍ය ක්‍රමය දියුණුවට කළ හැකි බොහෝ දේ එකතු කළා. පසුව අප රජයේ රැකියා ලබාදීමේදී බටහිර වෛද්‍යවරුන්ට වගේම දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ටත් අවස්ථාව ලබාදෙන්න කියන ඉල්ලීම කළා. 84-85 කාලයේ එදා අප කළ ඒ කැපකිරීමේ ප්‍රතිළුලයක් විදියට ඉන්දියාවෙන් බටහිර වෛද්‍යවරු පැමිණ අපට ඉගැන්වීම් කටයුතු කළා. ඉන් අනතුරුව අපට ආයුර්වේද වෛද්‍යවරු ලෙස රජයේ පත්වීම් ලැබ කටයුතු කිරීමේ හැකියාව ලැබුණා.”
දේශීය ආයුර්වේද වෛද්‍ය එච්. එම්. කුසුමානන්ද කිරිනැළියේ වෙදපරපුරට ද උරුමකම් කියන්නෙකි. ඔහුගේ මවගේ ඥාති සොහොයුරා කැඩුම් බිඳුම් වෙදකමට ම උපන් කිරිනැළියේ වෙද පරම්පරාවෙන් පැවත එන්නෙක් වීම ඊට හේතුවය. ගාල්ලේ තනිපොල්ගහ හන්දියේ කිරිනැළියේ වෙදරාලහාමි ලෙස හේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එනිසා කුඩා කල සිටම කැඩුම් බිඳුම් වෙදකම ගැන ඔහුට දැනීමක් තිබුණද විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතරුව එය වඩාත් විධිමත්ව අධ්‍යනය කිරීමට හෙත ම යොමු වී තිබුණි. මීට අමතරව පස්යාලේ රද්දල්ගොඩ වෙදමහතාගෙන්ද හේ ගුරුහරුකම් ලැබීය.
වෛද්‍ය එච්. එම්. කුසුමානන්දට පළමු පත්වීම ලැබෙන්නේ උඩුගම ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාවටය. හෙතෙම එහි යන විට ප්‍රතිකාර ගැනීමට රෝගීන් පැමිණියේ 30 ක් 40 ක් වැනි සුළු පිරිසකි. නමුත් වසර වසර තුනක් නිමවී ඔහු ඉන් සමුගන්නා විට එය මධ්‍යම බෙහෙත් ශාලාවක් බවට පත් කර දිනකට රෝගීන් 200- 260 අතර පිරිසක් පැමිණ ප්‍රතිකාර ගන්නා වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කර තිබුණි. මේ සමත් කම නිසාම හෙතෙම කොළඹට කැඳවා නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයට අනුයුක්ත කළේය. එහි කථිකාචාර්යවරයෙකු ලෙස වෛද්‍යවරු පුහුණු කිරීම, පාරම්පරික වෛද්‍යවරු දැනුමින් යාවත්කාලීන කිරීම කරන ලදි.
හෙතෙම නවසිය අසූ පහ වසරේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි නිශානි වජිරා මාරසිංහ සමඟ විවාහ පත් වන අතර ඇය ගුරුවරියක වූවාය. ඇය මේ වනවිට කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කරන්නීය. විවාහයෙන් දරුවන් තිදෙනකු සිටින අතර ලොකු දුව රුසියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරයි. පුතා මෘදුකාංග ඉංජිනේරුවකු වන අතර බාල දියණිය මෙවර සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක් ලබා කොළඹ විශාඛා විද්‍යාලයෙහි උසස් පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටින්නීය. දරුවන් තිදෙනාම තම වෙදකම පිළිබඳව ඉතා මැනැවින් අධ්‍යනය කරන බව හෙතෙම ඉසිවරණ අරණ ට පැවසීය. “අපේ ලාංකීය ආයූර්වේද හෙළ වෙදකම කියන්නේ අලුතින් රෝග නම් කර ප්‍රතිකාර කිරීමම නෙමෙයි; මනුස්ස ශරීරයට ඇතුළුවන්නා හෝ බාහිරින් පීඩා කරන රෝග කාරකයක් නිසා ශරීරයයේ ඇති වාත, පිත, කප අසමබර වීමෙහි උත්සන්න වන විවිධ රෝගී තත්වයන්වලදී ඒවා සමබර කර නැවත ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමයි. අපේ සැබෑ ඉතිහාසය, බුදු දහම සහ ලාංකීය ආයූර්වේද හෙළ වෙදකම මේ තුනම එක තැනකට රැගෙන එමින් ලෝක සත්ත්වයා කෙරෙහි මෛත්‍රිය කරුණාව පෙර දැරිව දෙස් විදෙස් රෝගීන් සුවපත් කිරීම මගේ එකම අරමුණයි. ”
මින් පෙනී යන කාරණය වන්නේ ත්‍රීදෝෂ කෝප වීම තුළින් ඕනෑම අයකු රෝගී තත්ත්වයට ගොදුරුවනවා සේම නිවන් මඟ ද අවුරන බවයි.”
“රාකක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ - නිබ්බාණං, මෝහක්ඛයෝ - නිබ්බාණං යනුවෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේෂය සහ මෝහය සහමුලින්ම උදුරා දමා සිත නිදහස් කර ගැනීම සඳහා චතුරාරක්ඛා නමැති සතර කමටහන් තරම් උපකාර වන තවත් දෙයක් නැහැ. සත්ත්වයා සංසාර ගැටලුවට බැඳ තබන බැමි තුනම මේ අයුරින් කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරැදිම සහ පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිත කිරීමයි. එය කෙනකුගේ නීරෝගි භාවයට හේතු වේ.
“බුද්ධානුස්සති මෙත්තාච, අසුබා මරණස්සුති ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛා භාවේයීය සීලවා” යනුවෙන් බුද්ධ දේශනාවේ වදාළ සතර කමටහන් වන්නේ අසුබානුස්සතිය රාගයේදී, මෙත්තානුස්සතිය - ද්වේශයේදී, මරණානුස්සතිය - සහ බුද්ධානුස්සතිය - මෝහයේදී වැඩීම තුළින් රාග, ද්වේශ, මෝහ ප්‍රහානය වනවා සේම පුද්ගලයාගේ ත්‍රිදෝෂ කෝපවී ඇති කරන රෝගද ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී ඔවුන්ට නීරෝගි සුවය ඇති වීමට පටන් ගනී. ("ආරෝග්‍යා පරමා ලාභා.
සංතුට්ඨි පරමං ධනං - විශ්වාසා පරමා ඥාති - නිබ්බාණං පරමං සුඛං" යනුවෙන් ධම්ම පදයේ ද සඳහන් වේ.)
මේ කරුණු අනුව පෙනී යන්නේ ආයුර්වේදය සහ බුදුදහම අතර එකිනෙකට බද්ධ වූ සම්බන්ධතාවක් පවතින බවයි. ඒ අනුව බුදු දහම සහ මෙම වෙදකම අතර පැහැදිලි සම්බන්ධතාවක් එදා සිට පැවත එන බව පෙනීයයි.
“අද බොහෝ දෙනකුට තිබෙන වාතරෝග තත්ත්වයක් තමයි අත ඔසවන්න බැහැ වේදනාවක් දැනෙනවා. මෙය සාමාන්‍යයෙන් වයසට යාමේදී ඇතිවන රෝග තත්ත්වයක් වුණත් දැන් දැන් තරුණ අය අතරත් බහුලව මේ රෝග තත්ත්වය දකින්න පුලුවන්. අවබාහුක; අපබාහුක යන නම්වලින් අප මෙය හඳුන්වනවා. සිංහල යෝගරත්නාකරයේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ ‘එක්පළුවෙක සඳ ගැලවුණ විලසට ගත අවබාහුව නමි ඒ වාතෙට’ කියලා; ඒ අනුව එක පැත්තක අතක් ඔසව ගන්න බැරි වීම අවබාහුක කියලා මෙහි හඳුන්වා තිබෙනවා. මෙහෙම වෙන්න එක හේතුවක් තමයි; ආඝාත රෝගතත්ත්වයක පෙරනිමිත්තක් වීම. වාතය කිපීම හේතු කොටගෙන ඒ සන්ධියේ ඇති වෙන්නා වූ අවරෝධ වීම මඟින් මේ ආශ්‍රිත පේෂි ස්නායු තරල කොටස්වලට ඇති වන්නා වූ දෝෂ තත්ත්වය මඟින් ස්ථානිකව එම ස්ථානය අක්‍රීය කෙරෙනවා. මෙහිදී වාතය පමණක් නෙමෙයි ඒ සමඟ කප නැත්නම් සෙම් දෝෂයත් සම්බන්ධ වීමෙන් තමයි මේ තතත්ත්වය ඇති වන්නේ. සාමාන්‍යයෙන් කපජ ස්ථාන ලෙස තමයි සන්ධි හඳුනා ගැනෙන්නේ. එවැනි ස්ථාන අවරෝධ වීමෙන් තමයි ඒ ස්ථානය අපට ක්‍රියාකරවීමට අපහසුතාවයක් ඇති වන්නේ. එහිදී රෝග ස්ථානය විදියට ගන්නේ බාහු දෙකයි. සමහරුන්ට එක අතක් වගේම අත්දෙකම උස්සන්න බැරුව යනවා. එතකොට බාහු දෙකයි බෙල්ලයි කියන ස්ථානවල තමයි මේ රෝග තත්ත්වය මතුවන්නේ. එතනදී සුශ්‍රැතය කියනවා‘ ශිරාශ්චාතුංච්ය තත්ත්‍රස්ථෝ ජනයේත් අවබාහුකම්’කියලා. ඒ අනුව මේ ප්‍රදේශයේ තිබෙන වාතය යම් යම් හේතු නිසා කුපිත වුණාම එනම්; ආහාර දෝෂ නිසා, ඇවතුම් පැවතුම් නිසා, මිථ්‍යා ආහාර උපචාර විධි නිසා විශේෂයෙන් මස් මාංශ ආහාර භාවිතය නිසා, ඒහෙමත් නැත්තම් අභිඝාතයක් නිසා, මානසික දෝෂ නිසා වාතය කෝප වුණාම ස්ථානිකව ඇතිවන දෝෂ තත්ත්වය නිසා එම ප්‍රදේශයේ ඇති ස්නායු තරල කොටස් සියල්ල වියලීමට පටන් ගන්නවා. වාතයේ ප්‍රභේද අනුව ; උදාන වාත, ප්‍රාණ වාත,සමාන වාත, ව්‍යාන වාත, අපාණ වාත යන කොටස් පහ ගත්තොත් මින් උදාන වාතයෙන් තමයි ගෙල ප්‍රදේශය, උරහිස් ඇටය ප්‍රදේශයේ පවතින්නේ. කතා කිරීම, මතක තබාගැනීම වැනි ක්‍රියාවලියට මුල් වෙනවා.
ප්‍රාණ වාතය උරහිස ගෙල ස්වාසනාල යන තැන්වල ස්ථානගතවෙලා තියෙනවා. කිවිසුම් යාම; ආශ්වාස ප්‍රාශ්වාසය මේ ප්‍රාණ වාතයේ ක්‍රියාවන් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. ඊළඟට සමාන වාතය ගත්තොත් ආමාශය පපු ප්‍රදේශය තමයි ඊට මුල්වන්නේ. කුසගින්න ඇතිකිරීමට, ආහාර ජීර්ණයට මෙය බලපානවා ඒ වගේම මේ කෝප වූ වාතය හේතුවෙන් සන්ධිවල ආමතත්ත්වය ඇති වෙලා රෝගී වෙන්න පුළුවන්. මේ ආකාරයට වාත රෝග 80ක් ගැන සඳහන් වෙනවා. ඒ අනුව මෙයත් වාත රෝග ගණයට ගැනෙන ආබාධයක්. මෙන්න මේ ක්‍රියාවලිය තමයි රෝගයක් ඇතිවෙන්න බලපාන්නේ. මෙතනදී ව්‍යාන වාතය ගත්තොත් හෘදය ප්‍රදේශය ආශ්‍රිතවයි පවතින්නේ. සම්පූර්ණයෙන්ම දේහය චලනය කිරීම තමයි එමඟින් සිදු වන්නේ. ඒ අනුව අතපය ඉහළට යාම, ඇසි පිය හෙළීම ආදිය ව්‍යාන වාතයේ කාර්යයන් ලෙස පෙන්වාදිය හැකියි. අපාණ වායුව ගත්තොත් ශ්‍රෝණි ප්‍රදේශයේ සහ ලිංග ප්‍රදේශයේ පවතින මූත්‍ර, මල ආදිය පිට කිරීමට හේතු වෙනවා. ශරීරය පුරා පස් ආකාරයකින් මේ අනුව වාත දෝෂය විසිරිලා තියෙනවා. මේ ආකාරයට විසිරිලා තියෙන උදාන වාතය තමයි උර හිස සහ ගෙල ආශ්‍රිතව පවතින්නේ. මේ වාතය කෝප වීමට වැරදි ආහාර රටාව, අති ව්‍යායාමය, අධිකව ශාරීරික මානසික පීඩාවීම් , බඩගින්නේ ඉඳීම, වැටීම, නිදිමැරීම, පහරක් වැදීම, මල මුත්‍ර පිට නොකර රඳවාගෙන සිටීම, මානසික ආතතිය, අධික ලෙස කල්පනා කිරීම, ඍතු කාලයන්වලදී ඇතිවන බලපෑම ආදිය නිසා වාත කෝප වෙනවා. මෙලෙස වාත සමඟ සෙම කෝප වීම නිසා ස්ථානිකව මෙවැනි රෝගී තත්ත්වයන් හට ගන්නවා. පක්ෂාගාතයේ අතුරු ආබාධිත තත්ත්වයක් හේතුවෙනුත් අත් එසවීමට නොහැකි වෙන්න පුලුවන්. ඒ නිසා මේ කුමන හේතුවක් නිසා රෝගී තත්ත්වයට පත් වී ඇතිද යන්න පරික්ෂාකර බැලිය යුතු වෙනවා. ඒ සඳහා පලපුරුදු වෛද්‍යවරයකුගේ සහය ලබා ගැනීම ඉතාමත් වැදගත්.”
ඔබටත් දේශීය ආයුර්වේද වෛද්‍ය කුසුමාන්නද හමුවී ප්‍රතිකාර ගැනීමට අවැසි නම් ‘ගුණරුවනී ආයුර්වේද සුව අරණ’ නො. 120/5/ජී, පළමු පටුමඟ, ලූල්වල පාර, ජඹුරලිය, මඩපාත කියන ස්ථානයට පැමිණෙන්න.
කොළඹ සිට පැමිණෙන්නකුට කැස්බෑව හන්දියෙන් බණ්ඩාරගම පාරේ කිලෝමීටර් 5 පමණ පැමිණි පසු හමුවන පළමු පාලමට ප්‍රථම( ඒ අසලම දකුණු පැත්තට) ලූල්වල පාර හමුවේ. එහි මද දුරක් ගිය තැන පළමු පටුමඟ හමුවේ. දකුණු පළාතේ සිට පැමිණෙන්නකුට කළුතර බණ්ඩාරගම පාරේ කොළඹ දෙසට පැමිණෙන විට ජඹුරලිය පාලම් තුන පසුකරනවාත් සමඟ වම් පැත්තේ ලූල්වල පාර හමුවේ.