
වත්සුනු නොගෑ රත්පැහැ දෙතොලිනුත්, තරුණ ගැබ්බර මවකට හිමි පිරුණු ළැම පෙදෙසකිනුත් යුතුව සැහැල්ලු ගවුමකින් සැරසුනු පියකරු ගැහැනිය මහා දිග සුසුමක් තානායමේ පිළිගැනීමේ කවුන්ටරය මත මුදා හැරියා.
“මගේ මහත්තයාගෙ නම සුරේෂ්... එයා ගෙදරින් තරහා වෙලා ගිහින් දැන් සතියකට කිට්ටුයි... ආගිය අතක් නෑ....පොලිසියටත් පැමිණිලි කරලයි තියෙන්නේ. අපි දැන් දවස් ගාණක් තිස්සෙ එයාව හොයනවා....
මහත්තයාගෙ යාළුවො කීවා අපේ මහත්තයා බිස්නස් යාළුවො කට්ටියක් එක්ක කීප ගමනක්ම මේ තානායමට ඇවිත් ගිහින් තියෙන නිසා කාමරයක් අරන් මේ තානායමේවත් ඉන්නවද දන්නෑ කියලා..... මම හරි අමාරුවෙන් මේ ආවේ......”
ගැබ්බර ඇගේ දෑසේ කඳුළක තෙතමනය දිලිසුණා.
එසැණින් තානායමේ දෛනික අමුත්තන් පැමිණීමේ ලේඛන ෆයිල් කවරය දිග හැර ගත් මා ඇය විමසන කරුණට වහා එළැඹුණා.
“සේල්ස් රෙප්ලා දෙන්නෙක් හැර අපේ කාමරවල දැනට කවුරුවත්ම නෑ.....මෙන්න අපේ මේ අවුරුද්දෙම නේවාසික දෛනික අමුත්තන් පැමිණීමේ ෆයිල් එක... මිස් කියන නම මෙතැන නෑ... සාමාන්‍යයෙන් අපි මේ ලේඛන අමුත්තන්ට පෙන්වන්නේ නෑ...”
“අනේ තැන්කියු සර්... මගේ මහත්තයා මා එක්ක පොඩි අමනාපයකිනුයි ඉන්නේ... වරදවා වටහා ගන්න එපා... ඒක මේ ගෑනු පලහිලව්වක් වගේ දෙයක් නෙමෙයි... අක්කර ගාණක ඉඩමක් විකුණපු සල්ලිත් එක්කත් පැටලිච්ච, තවත් ලක්‍ෂ ගාණක සීට්ටු සල්ලි කේස් එකක්...”
ගැහැනිය කඳුළු අතරින් මතුකරගත් එඩිතර ස්වරයකින් කීවා.
“බොන්න මිස්... ආටිෆිෂල් නෙමෙයි ෆ්‍රෙෂ් ලයිම්”
මා නිකුත් කළ සංඥාවකට අනුව වේටර් අමල් රැගෙන ආ සීතල දෙහි යුෂ වීදුරුව ඇය ඉතා ආසාවෙන් දෝතට ගත්තා.
එය රසවිඳිනා අතරේත් ඇය සිය සැමියා සොයා ගිය අනිකුත් තැන් ගැනත් සිදු කළ භාරහාර ආදිය පිළිබඳවත් දීර්ඝ විස්තරයක් කළා.
“හොඳමයි මිස් එහෙනම් ගොහින් එන්න... අපිටත් බොහොම කනගාටුයි....”
මා එසේ කියද්දි ඒ පියකරු මුහුණ අහිංසක හිනාවකින් එළිය වැටුණා.
“අමල්... මේ මිස්ව ගේට්ටුව ළඟට ඇරලවලා ටවුම පැත්තට යන වීල් එකක් නතර කරලා නග්ගවලා යවන්න...”
ඊට පැයකට විතර පස්සෙ තානායමේ දුරකතනයට ඇමතුම් ගලා එන්න පටන් ගත්තා.
ඒවායින් කියැවුණේ තානායමෙන් පිටත්වූ ත්‍රීරෝද රථයක් ටවුමේදී අනතුරකට ලක්ව එහි රියදුරු රෝහල් ගත කරද්දී මිය ගිය බවයි.
එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවකුත් බරපතළ තත්ත්වයෙන් රෝහගල්ගත කර ඇති බවත් අනතුර සිදු වුණේ තානායමේ සිට නගරයේ ප්‍රධාන බස්නැවතුමට යන අතරතුරදී බව කාන්තාව ප්‍රකාශ කර ඇති බවත් එම පණිවුඩවලින් වැඩිදුරටත් කියැවුණා.
“හරි හරි... අපි බලන්නම්... මොකද්ද චැනල් එක...”
වේටර් අමල් කඩා බිඳගෙන ඇවිත් රෙස්ටුරන්ට් ටෙලිවිෂන් එකේ රිමෝට් කන්ට්‍රෝලර් එක අතට ගත්තා.
“මෙන්න සර් අර ත්‍රී වීල් ඇක්සිඩන්ට් සීන් එක... අම්මටසිරි අර ඉන්නෙ හවස රෙස්ට් හවුස් එකට ආව ඒ මිස්... අර ඉස්පිරිතාල මිසීලා කට්ටියක් ට්‍රොලිය වටේ වටවෙලා සේලයින් දෙන්නේ... අර රෝස පාට වගේ ගවුම ඇඳපු ... අර බඩත් එක්ක ඒ මිස් හොඳට පේන්නේ බන්...”
අමල් දොඩවන්නේ ආවේස වූවකු වගේ. මා තූෂ්නිම්භූත වී රූපවාහිනි තිරය දෙස බලා සිටියා.
“මේ දැන් මට වීල් පාක් එකේ යාළුවෙකුගෙනුත් කෝල් එකක් ආවා. වීල් පාක් එකේ කොල්ලන්ටත් මාර අප්සට්ලු සර්... ඩබ්ලිව්. පී. වීල් එකක්... කොළඔ ඉඳන් හයර් එකක් ඇවිත් යන ගමන්ලු.. නවත්තපු කන්ටේනර් එකක පිටිපස්සෙ වැදිලා තියෙන්නෙ... වීල් එකේ ඉස්සරහ කුඩේ කුඩුලු.. ඩ්‍රයිවර් එළියට ගනිද්දිත් බෙල්ල කඩා වැටෙනවලු...”
මම පපුව පුරවලා හුස්මක් ගත්තා.
ටෙලිවිෂන් තිරයේ රෝහල් ට්‍රොලිය මත සේලයින් බෝතලයක් ඇමිණු ඇගේ අතෙහි ඇඟිල්ලක දිලිසෙන්නේ තානායමේදී මා දුටු ඇගේ මංගල මුදුවයි.
සැමියා සොයා තානායමට පැමිණි ඇය මා හා පැවසුවේ සැමියා අතුරුදහන්ව තිබෙන්නේ ගෑනු පලහිලව්වක් නිසා නොවන බවයි. එසේ නම් ඒ මංගල මුදුවේ උරුම කාරයා මෙම දර්ශන ටෙලිවිෂනයෙන් දැකීමෙන් පසුව හෝ ඇය සොයා පැමිණේවිද?
තානායමෙන් සමුගන්නා මොහොතේ ඇය මවෙත පෑ සිහින් මඳ සිනාව මගේ දෑසේ මැවී පෙනෙන්නට පටන් ගත්තා.
එසැණින් මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවා.
“ඔබතුමා නේද ඕකෙ මැනේජර්?”
කටහඬ ගොරෝසුය.
“ ඔව්..කතා කරනවා” මම පිළිතුරු දුන්නා.
රුදුරු කටහඬක් ප්‍රශ්නයක් නැඟුවා.
“මං මොකා වුණත් තමුසෙට අදාළ නෑ... හැබැයි හොඳට මතක තියා ගන්නවා... ගෑනිට හරි, බඩේ ඉන්න දරුවට හරි මොනවත් වුණොත් තමුසෙලාට තවත් තානායමේ බත් කන්න වෙන්නෑ හරිද?... ”
ඇමතුම විසන්ධි වී ගියා. මා තූෂ්නිම්භූත වුණා.
ගෑනිට හෝ දරුවාට අගතියක් වුවහොත් අපෙන් පළි ගන්නා බවට තර්ජනය කරන්නේ එකත් එකටම ඒ අර කාන්තාවගේ සැමියා විය නොහැකිද?
එසැණින් මම ඒ ඇමතුම පැමිණි දුරකතන අංකය සටහන් කර ගත්තා.
එම තර්ජනාත්මක දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මෙන්ම සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් මගේ පාර්ශ්වයෙන් ද කිසියම් පියවරක් ගත යුතුයි.
“ඒ මනුස්සයා ඇක්සිඩන්ට් වෙච්ච වීල් එක කොළඹ එකක් නිසා අනිවාර්යෙන් උඹත් සීන් එකේ කොනකට ගෑවෙනවා... ඇයි තානායම ගාව වීල් පාක් එකෙන් වීල් එකක් කතා කර නොදුන්නේ කියලා.. හොඳයි නැද්ද බලපං..”
මගේ මිතුරන් මට අනතුරු ඇඟෙව්වා.
“ මං වැඩි ඉක්මනට එහෙම කළේ. ඒ මනුස්සයා ප්‍රෙග්නන්ට් නිසා..” මා මිතුරන්ට උත්තර බැන්දා.
වහා හුනස්නෙන් නැඟී සිටි මා වෙනත් කමිසයක් ඇඳ ගැනීමට මගේ නේවාසික කුටිය වෙත යෑමට තානායමේ මුළුතැන්ගෙය පසුකර ඉදිරියට පිය මැන්නා. තානායමේ මුළුතැන්ගෙය අසල පිඟන් කෝප්ප සෝදන සින්ක් එක තුළ ඉඳුල් පිඟන් කෝප්ප ගොඩ ගසා තිබුණා.
ඒවා අතර ඇය පානය කළ නොසේදූ හිස් දෙහියුෂ වීදුරුවත් තිබුණා.
මගේ පපුව හෝස් ගා ඇවිළී ගියා. එම වීදුරුවේ ඇගේ දෙතොලේ ස්පර්ශය ලද ස්ට්‍රෝ බටය මතට කළු කූඹින් රැස්වී සිටියා.