පොත් පුවත් | Page 2 | සිළුමිණ

පොත් පුවත්

පසිත් ඒකනායකගේ

පිරිමි තමයි පිරිමි

 

කෘතිය - පිරිමි තමයි පිරිමි - ඕ තොමෝ පිරිමි ජාතිය ගැන අනුකම්පා සහගත දෘෂ්ටියක් හෙළන්නීය.

කර්තෘ - පසිත් ඒකනායක

ප්‍රකාශක - කර්තෘ ප්‍රකාශනයක්

මිල- රුපියල් 600

 

පසිත් ඒකනායක විසින් රචිත ස්ත්‍රීවාදී යථාර්ථයකින් යුත් මෙම නවකතාව, සිංහල නවකතාව තුළ හැරවුම් ලක්ෂ­්‍යයක් නිරූපණය කරන්නේය. මෙහි ස්ත්‍රීවාදි දෘෂ්ටියක් හරහා පිරිමි පක්ෂය සියුම්ව විග්‍රහයට බඳුන් කෙරෙන අතර පිරිමින් හමුවේ අනවරත පීඩනයට ගොදුරු වන ගැහැනිය විසින් මෙම අධිපතිවාදි පිළිවෙත දැඩිව විවේචනයට බඳුන් කෙරෙයි. මෙහි කේන්ද්‍රීය චරිතය වන ඉදුවරී බුදු දහම මැනවින් අධ්‍යයනය කරන අතර, ත්‍රිපිටකය ඇසුරෙන් බුදු දහම තේරුම් ගැනීමට උත්සහ ගන්නියකි. ඇය පැතූ ලෝකය තුළ මේ සම්මත පිරිමි ඇයට හමුවේද? මෙම කෘතිය සරල බස් වහරක් ඇසුරෙන් නිර්මිතය.

පන්හිඳට පෙම් බැඳි

නුඹට ලියූ කවි

 

කෘතිය - පන්හිඳට පෙම් බැඳි නුඹට ලියූ කවි

කර්තෘ - කේ ශානිකා දුලාංජලී

ප්‍රකාශක - සදීපා ප්‍රකාශන මන්දිරය

මිල- රුපියල් 950/=

විමසීම් - 0112 686114

 

කේ. ශානිකා දුලාංජලී විසින් රචිත ‘ පන්හිඳට පෙම් බැඳි නුඹට ලියූ කවි ‘ අපූර්වත්වයෙන් යුතු නිර්මාණාත්මක කාව්‍ය පෙළ ගැස්මකි. මෙම නිර්මාණ සඳහා කර්තෘවරිය අත්විඳි සත්‍ය අත්දැකීම්, ඇය අන් අයගෙන් දුටු සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් මෙම කාව්‍ය නිර්මාණය කර ඇත. මියැදුණු පෙම, කතරක වැස්ස, ඉඩොරෙක පිපි සිහිනය, සැබැ අවුරුදු, මායාවෙන් එහා ආදි විවිධ විෂය පථයන් හරහා ඇයගේ කවි පන්තින් අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කර ඇත. සමාජයේ විවිධ පැතිකඩයන් හා ආගමික මුහුණුවරින් යුක්ත මෙම කාව්‍ය නිර්මාණයන් නිදහස් ආකෘති මෙන්ම කවි රීතින් ඇසුරෙන් ගෙත්තම් වී ඇත.

විශේෂඥ වෛද්‍ය විද්‍යාතිලකගේ ඒ. ඊ ගුණසිංහ චරිතාපදානය

 

කෘතිය - ඒ. ඊ ගුණසිංහ චරිතාපදානය

කර්තෘ - විශේෂඥ වෛද්‍ය බි.ජී. ඒ විද්‍යාතිලක

ප්‍රකාශක - සී/ස සරසවි ප්‍රකාශකයෝ, නො 23, ඒකනායක මාවත , නුගේගොඩ

මිල- රුපියල් 2,250

 

විශේෂඥ වෛද්‍ය විද්‍යාතිලකගේ ඒ. ඊ ගුණසිංහ චරිතාපදානය ප්‍රධාන කොටස් තුනක් හරහා කරුණු විග්‍රහවෙයි. පළමු කොටසේ ඔහුගේ ජීවිතය හා ශ්‍රමය පිළිබඳ ස්වයං චරිතාපදානයක්, දෙවැනි කොටසේ රට වෙනුවෙන් කැප වූ ජිවිතත් අන්තර්ගත කර ඇත. ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ආරම්භය, කළු අඟහරුවාදා, මැතිවරණ සටන් මෙන්ම සර්ව ජන ඡන්ද බලය ලැබීම ආදිය පිළිබඳව කරුණු ඇතුළත්ව ඇත. තෙවැනි කොටසේ ලංකාවේ මතු වූ විශිෂ්ට චරිත හා විවාදාත්මක චරිත වන එඩවඩ් හෙන්රි පේදිරිස්, අධිනීතිඥ ඊ. ටී. ද සිල්වා, සී. ඊ. වික්ටර්, ඇස්. කොරයා ආදි චරිතාපදාන රාශියකින් සැදුම් ලත්තකි. කර්තෘවරයා සඳහන් කරන්නේ මේ ග්‍රන්ථය පාඨකයා අතට පත් කරන්නේ වසර 31කට පෙර තමන් දුටු සිහිනයක ප්‍රතිපලයක් වශයෙන් බවයි.

රටට මඟ කියන ප්‍රතිපත්ති මාලාව

ඉදිරිමඟෙන් ඉදිරියට

 

කෘතිය - ඉදිරිමඟෙන් ඉදිරියට

කර්තෘ - ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය

ප්‍රකාශක - ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය - ආසියා ප්‍රගති සංසදය

මිල- රුපියල් 400

විමසීම් - 011 2695328

ශ්‍රි ලංකා කොමිනියුස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් අනුව ඉදිරිපත් කළ විකල්ප සංවර්ධන වැඩ පිළිවෙළ ඇතුළත් ග්‍රන්ථයකි. මේ සඳහා විද්වතුන් රැසක් ලිපි සඳහා සහය දක්වා ඇති අතර, මෙම කෘතිය ලිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙරට පත්ව ඇති ප්‍රබල ආර්ථික අර්බුදයයි. ආර්ථික සංවර්ධනයේහිලා ලංකාව පසුපසින් සිටීමට පසුබිම් වූ කරුණු කාරණා මොනවාද, දූෂණය, අකාර්යක්ෂමතාව මෙන්ම කළමනාකරණය ඊට කෙසේ බලපෑවේද යන්න මෙම ග්‍රන්ථයේ විස්තර වේ. මෙම කෘතිය හරහා නව ආර්ථික වැඩ පිළිවෙළක් යෝජනා කර ඇති අතර, ඒ සඳහා නව ගෝලිය ප්‍රවණතා හා වර්ධනයන් සැලකිල්ලට ගෙන ඇත.

ජයතිලක කම්මැල්ලවීරගේ

ඒ සිහින් ගී නද

 

කෘතිය - ඒ සිහින් ගී නද

කර්තෘ - ජයතිලක කම්මැල්ලවීර

ප්‍රකාශක - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

මිල- රුපියල් 450

විමසීම් - 011 2696675

‘ඒ සිහින් ගී නද’ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. ගත වූ වසර නවයකට ආසන්න කාලය තුළ ඔහු අතින් ලියැවුණු කවි ඇසුරෙන් මෙම ග්‍රන්ථය සමන්විතය. ඔහු විසින් සිය පළමු කාව්‍ය සංග්‍රහය 2014 වසරේදී ඉදිරිපත් කළේ ‘ කාගෙද වසන්තය ‘ නමිනි. ‘අපේ අම්මා මැතිනිය‘, ‘සොදුරු අභියෝගයක්‘, ‘ ගුරු ගෝල‘, ‘බැංගලෝරයේ කිවිඳිය මම්තා සාගර්ට‘, ‘ කිරි අම්මාගේ උදානය‘ ආදි මාතෘකා හරහා නිර්මාණය වූ කවි පන්ති 36කින් මෙම කුඩා පොත් පිංච නිර්මාණය වී ඇත.

Comments