කුඩුවලින් රට බේරන සුවඳවත් මල් හැමදාම විකසිතයි | සිළුමිණ

කුඩුවලින් රට බේරන සුවඳවත් මල් හැමදාම විකසිතයි

හලාවත මුතුපන්තියේදී අල්ලාගත් කෝටි 212ක් වටිනා කුඩු තොගය

 මත්කුඩු වැටලීමක් සඳහා යමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්ක කැර ඉකුත් දා පිළියන්දල සුවාරපොළදී සිදු වූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමි වී බන්ධනාගාරගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක් බවට පොලීසියට දැන් දැනගන්නට ලැබී තිබේ.

මේ වෙඩි තැබීමෙන් දුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල් චමින්ද අබේවික්‍රම මහතා මියගිය අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දක්ෂ නිලධාරියකු වන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව හා පොලිස් කොස්තාපල් (67055) චමින්ද යන නිලධාරීහු බරපතළ තුවාල ලැබූහ. නියොමාල් මහතා මරා දැමීමට තැත් කළ තෙවැනි අවස්ථාව මෙයයි.

තමන්ට විරුද්ධව ඇති බරපතළම සාක්කිය නිහඬ කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අදහස විය හැකිය.

මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් පිළිබඳ ඔත්තුකරුවකුගේ සති දෙකක පමණ සිට ලැබුණු තොරතුරු මත සිදු කළ මෙහෙයුමකට අනුව 9 වැනිදා රාත්‍රියේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා සහ අනෙක් නිලධාරීන් දෙදෙනා පෞද්ගලික මෝටර් රථයකින් පිළියන්දල ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකැර තිබිණ.

මේ රට දැන් ආසියාවේ ප්‍රධාන කුඩු තිප්පළක් වී හමාරය. රට පුරා කුඩු ගෙන යන ක්‍රම හඳුනාගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැට බඳිද්දී, ඔවුහු මුහුදු මාර්ගයෙන් දැන් ජාවාරම කරති.

ඊට ආසන්නම නිදර්ශනය පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගයෙන් හලාවත මුතුපන්තිය දූපතට ගෙනැවිත් එතැන් සිට ප්‍රවාහනය කරද්දී හසුවූ රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පුත්තලම් දිස්ත්‍රික් පොලිස් බුද්ධි අංශය මඟින් වැටලීමෙන් පෙනී යයි.

මෙසේ හලාවත ප්‍රදේශයේදී (11) දා අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හිමිකරු සහ ජාවාරම දිගු කලක සිට මෙහෙයවන පුද්ගලයා ඩුබායිහි සිටින්නකු බව පොලීසිය කියයි.

පොලීසිය රට පුරා වේගයෙන් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය වැටලීම් ජාලය ගැන සතුටු විය හැකි අතර එනිසාම ජාවාරම්කාරයෝ තම කුඩු සඟවා ගැනීමට අලුත් ක්‍රම පාවිච්චි කරති.

රුපියල් කෝටි 3 1/2ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 3 1/2ක තොගයක් කොටුව ඩී. ආර්. විජයවර්ධන මාවතේ කුණු ගොඩකින් සොයා ගැනීමට මරදාන පොලීසිය සමත් වූයේ එනිසාය.

පිළියන්දල පාතාල ප්‍රහාරයේදී මියගිය චමින්ද අබේවික්‍රම මහතා එතෙක් දැරු පොලිස් කොස්තාපල් ධුරයෙන් පොලිස් සැරයන් ධුරයට වහා උසස් වීමක් ලබාදුන් පොලිස්පතිවරයා සමාජ පිළිලයක්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර මඬින තුරු පොලීසියේ ක්‍රියාමාර්ග කිසිසේත්ම අඩපණ නොකරන බව ද කියයි.

චමින්ද අබේවික්‍රම මහතා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ සූරයෙකි. ඔහු ඒ වෙනුවෙන් 112 වතාවක් ප්‍රශංසාවට පාත්‍ර වූ නිලධාරියෙකි. චමින්ද මහතා පිළිබඳ ඔහුගේ පියා ජේ. ඒ. ඩී. අබේවික්‍රම මහතා හැඬු කඳුළින් මෙසේ කීවේය.

“වංචා දූෂණවලට පුංචි කාලෙ ඉඳලාම මගේ පුතා විරුද්ධයි. එයාට රැකියා අවස්ථා කීපයක් ලැබුණා. ඒත් එයා ආරක්ෂක අංශයට ගියේ වැරැද්දට විරුද්ධව කටයුතු කරන්නමයි. මීට පෙර ග්‍රීස් ටින්වල අසුරා එවපු මත්කුඩු කන්ටේනරය අල්ලන්නත් පුතා ගිහින් තිබුණා. රටට ජාතියට මේ තරම් සේවාවක් කරපු මගේ රත්තරං පුතා අඩු වයසින් මියයාවි කියලා මා කවදාවත් හිතුවේ නෑ.

පුතා ගොඩබිම් වගේම සාගර මෙහෙහුම්වලටත් සහභාගි වුණා. හෙරොයින් තොග ගණන් අත්අඩංගුවට ගත් බව කීවා. එයා අවංකවම රටට සේවය කළා.

එහෙත් මේ මෙහෙයුම්වලදී කිසිම විශේෂ දීමනාවක්, ගමන් වියදම් හෝ ආරක්ෂාවක්වත් මේ අයට ලැබුණේ නෑ. ඒ නිසා තමයි එයා මේ තරම් ඉක්මනින් අපෙන් වෙන් වුණේ. මා කියන්නේ මේක ආදර්ශයට අරගෙනවත් මේ රැකියාව කරන අයට ආරක්ෂාව වගේම විශේෂ දීමනා ගෙවා හෝ මේ මත් උවදුර රටින් දුරු කරන්න කියලයි” ඔහුගේ ඉල්ලීම සාධාරණය. මේ මත්කුඩු ජාවාරම නැති කරන්නට අවශ්‍ය පහසුකම් නිලධාරින්ට ද ලබා දිය යුතුය.

මියගිය අයගේ බිරිය ශානිකා මධුවන්ති ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ මේ වෙසක් මාසයේ සිටවත් ඔය ජරා වෙළෙඳාම නවත්වන්නැයි කියාය.

හලාවත මුතුපන්තිය මුහුදු තීරයේදී හසුවූ කෝටි 200ක කුඩු තොගය ගෙනාවේ කළුබෝවිල ව්‍යාපාරිකයකු බවත් ඒ පිටුපස මහ මෝරෙක් ද සිටින බවත් අලුත්ම වාර්තාවකින් හෙළි වේ. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් ප්‍රවාහනය කළ මේ කුඩු තොගය විශාල රහසිගත මුහුදු මාර්ගයක් ඔස්සේ මෙරටට ගෙනැවිත් තිබිණ. පෞද්ගලික ඔත්තුකරුවකු විසින් මීට මාස 3කට පෙර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාට ලබාදුන් තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කැරිණ.

මෙහිදී අත්අඩංගුවට පත් පුද්ගලයා දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළෙඳපොළ දෙකක් හිමි පුද්ගලයෙකි. ඔහු කලෙක සිට මේ ජාවාරමේ යෙදී සිටින බව ද හෙළි වී ඇත. අදාළ කුඩු ප්‍රවාහනය කළ ඩිෆෙන්ඩරය ද ඔහුට හිමි එකකි.

අතීතය අපේ මුතුන් මිත්තන් විසින් නිම වන ලද්දේය. වර්තමානයේ අප අත්විඳින්නේ ඒ සුරු විරුකමේ ප්‍රතිඵලය. අනාගතය නිර්මාණය කරන්නේ කවුරුන් ද? මෙය පාලකයන් විසින් සැලකිය යුතු විශේෂ ප්‍රශ්නයකි.

කුඩුකාරයන්ට ගිය රටක් වශයෙන් රට පිරිහෙන්නට දෙන්නට බැරිය. හෙට අනාගතය බාර ගන්නා අද තරුණ පරපුර හා බාල පරපුර මත්ද්‍රව්‍යවලින් වැසී යන්නට පෙර, ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ගන්නා මහත් උත්සාහයට ජනතාවගේ ආචාරය හිමි වනු ඇත.

වඩාත් සුන්දර මත්ද්‍රව්‍යයෙන් තොර හෙටක් සඳහා සටන් වදින ලෝකයක ඒ වෙනුවෙන් මියයන චමින්ද වැනි වීරෝදාර පොලිස් නිලධාරීන් සුවඳවත් මල් ලෙස සදාතනික වටිනාකමකට පත් වනු ඇත.

 

Comments