කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

මා නොවෙයි පිංගු­ත්තර

සමා­වෙ­යන් මට උදු­ම්බරා නුඹ
තනි­කොට තැබු­වට දිඹුල් ගසක් උඩ
මරුත්තු කර­නට ඉඩ දුන්නෑ සිත
ශිල්ප සොඳින් කළ ආචා­රින් ළඟ

පොපි­යන ඉඳු­නිල් මැණි­කක් විල­සින්
රූපත් ශ්‍රීයෙන් ඔද වැඩි නුඹෙ මන
පැතුම් පුර­න්නට හැකි­වෙද සිතු ලෙස
යාවි ඇදිලා තැන් තැන්වල සිත

සසර කතර යන කෙටි මඟ වසලා
කටු අතු දැක­ලයි සසල වුණේ
ඒ අතු අර­ගෙන නුඹෙ රුව වැසු­වට
සමා­වෙ­යන් මට උදු­ම්බරා

කර­ගැට දෑතින් දාහය පිසි­මින්
කටු කොහො­ලින් හැර පාරක් තැනු­වට
පිංගු­ත්ත­ර­යෙක් වෙන­වද ඒ ලෙස
සිනා­සුණේ ඇයි ඔද වැඩිලා

වෛර කර­න්නට මගෙ හිත ඉඩ නෑ
නුඹ ලත් ඒ ගැන දැන­ගන්නේ
ගෑනුන්ගේ රුව දුටු­විට ලොල් වී
අවල කෙළියෙ යන රජු­නට නොව මා
නිවුණ සිත­ක­ටයි පාර සැදුවේ


හේරත් පලා­ප­ත්වල


එත­රම් මිහි­රි ය

වේග­යෙන්
එන­මුත් තාල­යට
නටන තුරු ලතා­වන්
කිවි­සන පුංචි මල් කැකුළු
පින්බර උද­යක දීප්තිය...

ගිරි ශිඛර තර­ණය කර­මින්
පැමිණි හිරු කිරණ
කඩි­මු­ඩියේ ඔතා­ගෙන ආ
සාරි­යෙන් වැටුණු
පුංචි සේපා­ලිකා මල්
ගුරු­පාර පුරා­වට
ගුරු­තු­මිය පමා නැහැ තව­ම‍
­ළ­මයි මග බලා­ගෙන...

උදෑ­සන බසය කඩි­න­මින්
දුවයි නග­ර­යට
ගම තවම පුංචිය
විශ්වයේ තිතකි
වේගය තවම තුනීය
කිසිදු ජාල­යක
නොපැ­ට­ලවී තව­ම‍
­අ­ඟුරු කැට­යෙන් මැද­ගෙන
කිරි පාට සිනාව
නැවු­මින් දොළ පාරේ
වතුර සීත­ලය
හිමි­හිට ගැහෙන හද­වත
තව­මත් කාට­වත් ඇසී නැත
එත­රම් මිහි­රිය...


මේදනී මැණි­ක්කු­ඹුර


රැය පහ­න් වන තුරු

නිව­සින් බැහැර වී ලද කනි­ස­මට හයේ
බිම් කරු­ව­ලට පෙර මඟ දත යුතුව තියේ
දරු පැට­වුන්ගෙ බිරි­ඳගෙ සෙනෙ­හ­සට ළයේ
සුපු­රුදු මෙහෙ­ව­රට මම පිය­න­ගමි රැයේ

තනිවූ රජෙකු මෙන් උස පලු ගහ මුදුනේ
බඹ ගණ­නක් උසින් මගෙ පැල්පත හැදුණේ
අට්ටා­ල­යයි ඉණි­පෙත දිවි­යට බැදුණේ
ඔබ­ලගෙ අනා­ග­ත­යයි මෙය තුළ රැඳුණේ

අලි රැල මහ කැලේ අතු ඉති කඩන හඬ
දෙස­වන සිසාරා එයි බිය ගතිය මැඬ
ගිනි දැල් නැගෙන විට අට්ටා­ල­යෙහි උඩ
අහ­වර කර ගතිමි අත­පසු කෙරුණු වැඩ

කුළු මීමුන් මුවන් ගෝනුන් උදේ සිට
එබි­කම් කරයි පිට වැට ළඟ බලා වට
සුව­ඳින් කිරි වැදුණ කුර­හන් බුදී මට
එන්නට එපා ඒවා හිමි මගේ ගෙට

දරු­වන් තුරුලු කර­ගත් බඩ ඉරිඟු පෙලයි
අහ­සට නැගෙන මල් සුළ‍ඟේ පහස බලයි
මිහි­කත වෙළී ගෙඩි පිරි පැණි කොමඩු වැලයි
පිවි­තුරු නැවුම් සුව­ඳක් පැළ තුළට ගලයි

ටක පෝරුව වදිද්දී බිඳ නිහඬ කම
බියවී මොනරු හඬ­ලති මා අවට හැම
පළ­ඟැටි රැහැයි නද පරයා රිදෙන ළැම
මූසල හිවල් හූ හඬ ගම් නොමැත නිම

නිදි­මත මක­න්නට හප­මින් බුලත් විට
ආදර සොඳුර හා දරු­වන් මතක් කොට
පඬු­රක් ගැට ගසා අතු ඉති පෙළක් යට
මෙය බාර­යකි හමු වෙන්නට යළිත් හෙට

පිය­සේන හේවගේ


සඳ­ම­ඬල ඇය

පුන්ස­ඳක් වී පායා
ජීවිත ගන­ඳුර මකා‍
­මුළු දිවි­යම එළිය කළ
කිසිදා බැස නොයන
සඳ­ම­ඬල ඇයයි

මන­හර මහින්ද වෑකඩ


මනා­ලි­යක් වන ප්‍රේම­ව­න්තිය

ගඟ ගලයි ගල් පර මතින්
මල් පිපෙයි කටු අතු අගින්
තරු දිලෙයි රෑ නිල ඹරින්
හිරු නැඟෙයි හෙට මෙ ලෙසින්

උර මතින් සුදු පිරු­ව­ටින්
ජය මඟුල් ගී නද මැදින්
දෝවා දෑගිලි අත පැනින්
මනා­ලිය වී නුඹ ඉතින්

පෝරු මත නුඹ සුදු වතින්
අතී­තය සුදු දෝ ඉතින්
දරා­ගෙන අට ලෝ දමින්
මනා­ලිය වී නුඹ ඉතින්

කුමාර අබේ­රත්න


මලේ කතාව

පිපී වැනෙන විට මල්වල සුවඳ කරා
ඇදෙයි බමර කැල ඉඟි බිගි නෙතග පුරා
නුරා බැලුම් අතො­රක් නැති ලෙසින් පෙරා
ළඟා වුණා දහ­සක් සිත පැතුම් දරා

සරා සඳක් සේ දිලෙනා මල් ගොමුවේ
නුරා බැලුම් නැත සුකො­මල බව හමුවේ
විදා නෙතු කැලුම් දස දෙස­ටම යොමුවේ
සනා­ත­නික දහ­මක් සිත යට ගොනුවේ

ගෙවී යන ලෙසින් හිරු මල සේ අහසේ
පිපී වැඩී විය­පත් වී යයි නොලසේ
දරා දුක් කඳුළු නෙත­ඟින් හොර රහසේ
මිලා­නවී යයි ලෝ දහ­මක් විලසේ

විදා පියා­පත් දස­තින් ආ බමරූ
දරා විරහ ගින්දර හද­කින් මහරූ
පැතූ සියක් දේ බොඳවී යන අයුරූ
බලා සුවඳ වින්දා සිහි­නෙක තැවරූ

ගසේ ඉපල් බේරී මල් තිබුණු තැනේ
ගලා ගියපු මක­ර­න්දය සුවඳ දැනේ
එදා සපිරි වර සිටියා ලකුණු පෙනේ
සෙනෙහෙවන්ත­යින් තව මල් සොයයි වනේ

සෝම­රත්න හර­ස්ගම


දේවා­රා­ධ­නාව

සතර පේරු­වෙන් එපි­ටහ ජන­යි­න්ටත් පින් පුරන්ඩ
තොට­ගමු වෙහෙරේ සහ ගණ උක් සතු­ටින් පුද දෙවන්ඩ
ලද ඉඩ­වර සිහි කට­යුතු නියං­ග­මට ගොඩ වදින්ඩ
නොලැ­බුණි නම් ලියැ­වුණේ ද කර­දි­යරේ මිය ඇදෙන්ඩ

කොලු නඩ­යත් එක්කල කළ නෝබි­න­කම් මකා­ලන්ඩ
අප්ප­ච්චිට වූවයි මා එතෙ­රින් පිටමං කරන්ඩ
පැටි­කි­රි­යම දැනං හිටිය පත්තිනි මව් වරං ගන්ඩ
බැරි තැන වූවයි එද­වස ගිනි ජාලා මැදින් එන්ඩ

මුදු­ක­රෙන් ගංක­රේට රට මැද්දා­වට දැනෙන්ඩ
කන්ද කදිර සුමන සමන් විල­සින් වැඩ වදා­රන්ඩ
පර­දේ­ස­ක්කාර වුණත් රැටි­යකු සේ සැප ලබන්ඩ
ලැබුණු නමුත් තව­මත් බෑ අතී­ත‍යක් වළ දමන්ඩ

මා කළ කම් අද කරනා නරු­ම­යන්ට පළි­ග­හන්ඩ
දෙනෝ­ද­හක් නිති එනවා මා බලන්ඩ සරණ ගන්ඩ
ඒ සුද­නනි මේ ආත්ම වංචා­වෙන් මට මිදෙන්ඩ
දෙවි­යෙක් දෙවො­ලක් වේ නම් මටත් පාර කියා දෙන්ඩ


රංජිත් මල්ලි­යා‍වඩු


ඇරි­යු­මකි... එන්න!

පේන තෙක් මානයේ කෝ... කිසිම කෙනෙක් නැත
හාත්පස දැඩි නිහ­ඬ­තා­ව­යම පම­ණක්ය...
එන්න, ඇවි­දින් මා ළඟට
ජීවිතේ ලස්ස­නම කවිය මුමු­නනු මැනැව!

රැය කෙටිය... මන­රම්ය සුන්ද­රය
මල් සුවඳ පාව යයි... හැම තැනම
එන්න, ඇවි­දින් මලක් සේ... මුදුව
ජීවිතේ සුග­න්ධය මගෙ හිතේ තව­රන්න!

රැයේ ස‍ීත­ලම හෝරාව දැන් එළැඹ ඇත
සීත පිනි කැට වැටෙයි... සීරු­වට
ඇඟිලි තුඩු මතින් ඇවි­දින එන්න...
පිනි පොදක් සේම... සිහිලැ’ති වදන් පව­සන්න
හෙට උදේ බල­න්නට මගේ කවු­ළුව ළඟම

ලස්ස­නම... මල් පොකුරු පිපෙ­න්නට
සිනාවේ ආද­රය තබා පිටවී යන්න
එන්න, හෙට රැයේ... ලොවට රහ­සින් එන්න...
ඒ සොඳුරු රැය අපේ කර­ගන්න!

රංජි අමරා


අහස

වැසි
දිය
කළ
කම්
සේදී
ගියා
ගැහි
ගැහී
පණ


ශාන්ත කුමාර අපොන්සු


සම්ම­තය බිඳුණ දා

දරු හැවින් උමතු වී ඇඟේ ඇඳි­වත ලිහුණ
අබ මිටක් සොය සොයා ගෙයක් ගානේ දුවන
මුහුද හිස් කර­න්නට දුක් වින්ද මව් ලෙහෙන
‘මමය ඒ මෑණි­යන්’ කිව්වෙ නුඹ­මය එදින

මුහුණු පොත­ටම එබී දුටිමි හිනැ­හෙනා යුරු
දුර බණුවෙ ගී නදට දිලුණ නුඹෙ වත රුසිරු
සම්ම­තය බිඳුණ දා ගෙට ආවෙ ගල් අහුරු
නුඹ අපේ ‘අම්මාය’ දොසක් කීවත් කවුරු

රාගයේ උණු­සු­මින් ගිනි තියා රන් මුදුව
වෛරයේ ගින්ද­රින් දල්වලා කැණි­ම­ඬල
රඳ­වලා සා පැටව් රාහු ගිලි සඳ­ව­තක
නපුරු සිහි­නෙක මෙදා රජ­වුණේ නුඹ කොහොම

ප්‍රභා මාධවී අභ­ය­ගු­ණ­සේ­කර


වැස්ස

හැදෙන දලු හා
කැකුළු පිරි­මැද
පැන් බිඳක් ඉස
පිරි මතු­රන වැස්ස­මව

පසුව සපැ­මිණ
රකුසු වෙස් ගෙන
තළා පොඩි­කර
මහා ගස් පෙරළා දමයි

හොඳක් නර­කක්
මොකුත් දන් නැති
නුඹත් හරි­යට
පෙළක් මිනි­සුන් වාගේ­මයි

ශාන් දිසා­නා­යක


ගංව­තු­රින් පත් විපත්

මහ වැසි නිසා වට ඇළ දොළ මහ ගංගා
උතුරා ගලා ජල කඳ ඉහ­ළට නංගා
අස­රණ දනගෙ සම්පත් මිහි­තුළ හංගා
ජන දුක් වේදනා උප­රි­ම­යට නැංගා

ගොඩ­කර පහත් බිම් කර පරි­සර හානි
සිදු­ කොට දූෂ­ණය ජල­යට වුව පානි
දිගු ඉති­හ­සක් රැඳි ලක්බිම පර­වේනි
කත­රක් වේද හෙට මවු බිම අභි­මානි

ඇඳිවත පමණි සම­හ­ර­කුට ඉතිරි වුණේ
සිය ගණ­නක් ම වැළ­ලුනි කඳු අතර අනේ
ඊරි­සි­යාව වපුරා රට හතර කොනේ
ලද අස්වැන්න වද මෙවි­පත් කැටුණේ විනේ

විප­තින් රටේ පිරි­සක් දැක දුකිනි නෙක
දෙස් හා විදෙස් දෙති සහ­නය නැතිව වක
ඒවා පත් විපත් අය­ගෙම රැදුණ දුක
කර­නට තුනී ලැබ දිය යුතු නිසිසේ රෑක

මුළු පරි­ස­රය ජන­තාව ද ලෙස රැකෙන
කට­යුතු කර­න්නට ඉදි­රි­ය­ටත් ඇඳෙන
‘සම්මා සංකල්ප’ අයු­රුම හිමි දෙසුන
යහ­පත දකීවා සැම ‍ලක තුළ වසන

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන


එතෙර කවිය

මා සමඟ සිටින්න - Stand by me

තරු­වල දිලි­යුම
දිය­වෙනු ඇර­ඹෙත
සඳ­වත බැබ­ළුම
අඩු­වෙනු ඇර­ඹෙත
නොග­නිමි බිය, සොව
ඇති තෙක් ඔබ ළඟ‍‍

­පෙ­ර­ළෙත ගග­න­ත‍
­ග­මින් නග­ර­යට
තබ­මින් බිය­කරු
අනි­ය­ත­යක අප
ඉච්ඡා බිඳු­මක
නොගි­ලෙමි කිසි විට
ඇති තෙක් ඔබ ළඟ

වීදි කැරලි නැඟූ
ගිනි­දළු හා දුම්
ලොව වසනා කල
බිය, සැක නැති දන
‍අනුන් නසන කල
නොහ­ඬ­න්නෙමි මම
නොහෙ­ළමි කඳු­ළක්
ඇති ඔබ ළඟ

ඕ! විශ්වා­සය,
සිටින්න මා ළඟ
සදා­කල්ම ඔබ

ටෙඩී කිමති - Teddy Kimathy
නයි­ජී­රි­යාව


කවියේ මැය දුටු සැණින් ම කිය­ව­න්න­කුට හැ‍ෙඟ­නුයේ, කථ­ක­යාගේ ඇම­තුම සිය අද­රැ­ති­ය­කුට කියාය. කවියා ඒ කුතූ­හ­ලය කවියේ අව­සන් පදය දක්වාම පාඨ­කයා තුළ රඳ­වයි. කොතැන, කව­රක් සිදු වුවද, නොහ­ඬමි යනු­වෙන් කථ­කයා තිර­ස­රව පව­සයි. ඒ ‘ඔබ’ නම්, සිය සිතේම විශ්වා­සය බව හෙළි කෙරෙන්නේ අව­සන් පද­යෙනි. කවිය කූට ප්‍රාප්ති­ය­කට එළැ­ඹෙන්නේ ද, හුදු ප්‍රකා­ශ­න­යක් විය හැකිව තිබ‍ූ පද එක­තු­වක් කවි­යක් වන්නේ ද ඒ අව­සන් පද­යෙන් ම යැයි කිය හැකි ය.ටෙඩී කිම­තිගේ කවි දැන් බොහෝ වාර ප්‍රකා­ශන, සඟරා ආදි­යෙහි කිය­විය හැකි ය. ‘The Milky way in words’ (කවි) හා Eve and other sci – fi stories (ප්‍රබන්ධ) යන ඔහුගේ කෘතීන් Booktango නම් ප්‍රකා­ශ­කයන් විසින් පළ කරනු ලැබ ඇත.

දේ.වි. ගාල්ලගේ

Comments