වැරදි ආහාර විහ­රණ නිසා මතු­වන ආම­වා­තය | සිළුමිණ

වැරදි ආහාර විහ­රණ නිසා මතු­වන ආම­වා­තය

ආයු­ර්වේ­දයේ දැක්වෙන ආකා­ර­යට වාත , පිත , කඵ ලෙස ප්‍රධාන දෝෂ­යන් තුනකි. මින් වාතය ප්‍රධාන කර­ගත් රෝග 80 කි. මිනිසා දව­සින් දවස වය­සට යත්ම වාත රෝග වැළ­ඳීමේ ප්‍රව­ණ­තා­වය ද වැඩිය. එකී වාත රෝග අතු­රින් වර්ත­මාන සමා­ජයේ කාගේත් කතා බහට ලක්වන මෙන්ම ඉතා සුල­බව දැකිය හැකි රෝග­යකි, ආම­වා­තය. ආම­යෙන් යුක්ත වූ වාතය ආම­වා­තය ලෙස ආයු­ර්වේ­දයේ අර්ථ දක්වා ඇත. නවීන වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය රුම­ටො­යිඩ් ආත­ර­යි­ටීස් Rheumatoid Arthritis ලෙස දක්වයි.

හොඳින් පැසුණු ආහාර රසය ලේ ධාතුව හා එක් වී රුධිර නාල වල හොඳින් ගමන් කළද, රුධි­ර­යට සාපේ­ක්ෂව උකු හා බර නොපැ­සුණු ආහාර රසය හෙවත් ආමය ලේ නහර තුළ පහ­සු­වෙන් ගමන් නොක­රයි. එබැ­වින් එය රුධිර සංස­ර­ණ­යට බාධා පමු­ණු­ව­මින්, විශේ­ෂ­යෙන් සන්ධි­වල රැඳී පවතී. එවිට සන්ධි බල­වත් පීඩා­වට පත් කර­මින් පම­ණක් නොනැ­වතී ඉදි­මුම ද ඇති කරයි.

ආම­වාත රෝග­යට මූලි­කව හේතු වන්නේ වැරදි ආහාර පුරු­දුය. එකි­නෙ­කට නොගැ­ළ­පෙන ආහාර ( ඌරු­මස් සමඟ කිරි, මාළු සමඟ කිරි, මඤ්ෙ­ඤාක්කා සමඟ ඉඟුරු වැනි) හා ඇව­තුම් පැව­තුම් නිසාද බඩ­ගිනි අඩු­කම, අල­ස­කම නිසාද, අධික ලෙස තෙල් සහිත ආහාර ගැනීම නිසා ද, ආහාර ගත් විගස ව්‍යායා­මය නිසාද අැති­වන තත්ව­යන්ට දිගු­කා­ළී­නව මුහුණ දීමෙන්, ශරී­රයේ ආම­වාත ලක්ෂණ ඇති­ක­රයි.

ආම­වාත රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වන්නේ ඇඟ­පත පොඩි කර­න්නාක් බඳු වේද­නාව, අරු­චිය, පිපා­සය, කම්මැලි ස්වභා­වය, ඇඟ­පතේ බර බව, කෑ දෙය නොදි­ර­වීම, අත්පා ඉදි­මීම සහ උණ ඇති­වී­මය. ආම වාතය උත්සන්න වූ කල අත්පා, හිස, බොලැට, තුන­ටිය, දණ­හිස්, කලවා යන සන්ධීන් වේදනා සහිත ඉදි­මු­මක් පෙන්වයි. මෙකී ස්ථාන­වල තව­දු­ර­ටත් ආමය රැස් වූ කල ගෝනු­ස්සන් විසින් විදිනු ලබ­න්නාක් වැනි වේද­නා­වක් ගෙන දෙයි. මෙවැනි උත්සන්න වූ පසු අව­ස්ථා­ව­කදී ආම වාතය සුව­කි­රීම තර­මක් අප­හ­සුය.

ආම­වා­තය රෝගි­යාගේ ශරි­රයේ වා, පිත්, සෙම් ක්‍රියා­කා­රී­ත්වය මත වෙනස් රෝග ලක්ෂණ මතු­ක­රයි. වාතා­ධික ආම වාත­යේදී දැඩි වේද­නා­වද, පිත්තා­ධික වූ කල්හි දාහය හා රක්ත වර්ණය සහිත බවද, කඵා­ධික වූ විට තෙමැ­රිය, බර බව හා කැසී­මද, ඇති වේ. ශරී­රයේ එක් දෝෂ­යක් ප්‍රබල වූ ආම­වාත රෝගය සුව කළ හැක. ද්වී දෝෂ ජනිත ආම­වා­තය ආහාර, ඖෂධ හා විහ­රණ (ඇව­තුම් පැව­තුම්) මගින් පාල­නය කළ හැක. නමුත් ත්‍රිදෝෂ ජනිත ආම­වා­තය සුව කළ නොහැක.

ආම­වාත රෝගයේ මුල් අව­ස්ථා­වේදී ආමය සහ සෙම කෝප­වීම හේතු කොට ගෙන සන්ධීන් තුළ ඇති ශ්ලේෂක කඵ ජලය සාමාන්‍ය ප්‍රමා­ණ­යට වඩා වැඩි වේ. ඒ හේතු­වෙන් සන්ධි කෝෂ ඉදිමේ. වේදනා උපදී. රෝගය කල් යත්ම සන්ධි ආශ්‍රිත සෙම් කොටස් වියැලේ. ක්‍රම­යෙන් සන්ධි ඝන වේ. ඒ හේතු­වෙන් කොර බව පැන නගී.

ප්‍රති­කාර සඳහා යොමු වීමේදී මෙම රෝගය නිවැ­රැ­දිව හඳුනා ගැනීම ඉතා­මත් වැද­ගත් ය. ආම­වාත රෝගය හා සමාන රෝග වන සන්ධි­ගත වාතය, වාත රක්තය, කෝෂ්ටුක ශීර්ෂය යන මේවා­යින් ආම­වා­තය වෙන්කර හඳු­නා­ගැ­නීම පළ­පු­රුදු ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යෙ­කුට පහසු කට­යු­ත්තකි.

රෝගි­යාගේ රෝග තත්ත්වය නිවැ­රදි ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යකු ලවා පරීක්ෂා කරවා වෛද්‍ය උප­දෙස් මත ක්‍රියා කිරී­මෙන් රෝග සහ­නය ළඟා කර ගත හැකි වේ. නිසි ප්‍රති­කාර වලින්ද ඉක්මන් සහ­න­යක් අපෙක්ෂා කළ නොහැක. එසේම මෙවැනි සංකිර්ණ රෝග­ව­ලදී හිතු මතේට ඖෂධ ලබා ගැනී­මද හිත­කර නොවේ. ඇල් ජලය, බර ආහාර, සෙම වඩන සිය­ලුම ආහාර, කිරි, දී කිරි, මාළු වර්ග, නිවිති, බණ්ඩක්කා, පිටි ආහාර, තෙල් බහුල ආහාර, ක්ෂණික ආහාර, කෘත්‍රිම පැණි බීම ආම­වාත රෝගින්ට අහි­ත­ක­රය. සුදුසු ආහාර ලෙස මුං ඇට, කොල්ලු, සාරණ, මුරුංගා, කර­විල, සුදු­ළූණු, අමු ඉඟුරු, තිරිඟු, පරණ බාර්ලි, , උණු­දිය, එරඬු තෙල් ආදිය දැක්විය හැක.

 

Comments