
ලංකා ගමන
ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන විට මගේ ගමන් බිමන් කැරෙන්නේ ත්‍රිරෝද රථවලින් හෝ කැබ් රථවලිනි. මේ ගමන්වල දී මා අපහසුවට පත් කැරෙන කාරණා දෙකක් වෙයි. පළමුවැන්න වාහන තදබදයට හසු වී කාලය කා දමන්නට සිදු වීමයි. දෙවැන්න ඇතැම් රියැදුරන්ගේ නොනවතින කතාබහයි.
මේ ප්‍රශ්න දෙකෙන් ගැලවීමට මා කරන්නේ ලංකාවට පැමිණි වහාම හොඳ සිංහල නවකතාවක් මිල දී ගැනීමයි. කුලී රියට ගොඩ වී රියැදුරාට ගමනාන්තය පවසන මම පොත කියවන්නට පටන් ගනිමි.
ඔහු මට මුණ ගැසුණේ එවැනි ගමනක දී ය. පිළියන්දල නගරයේ සිට කොළඹට එන්නට මා ගොඩවූයේ ඔහුගේ ත්‍රීරෝද රියට ය. මා මගේ කාර්යයේ නිරත වූ බැවින් අප අතර වැඩි කතා බහක් නොවී ය.
මට අවශ්‍ය වී තිබුණේ කොළඹ කොටුවේ මා කලින් දා නැවතී සිටි හෝටලයෙන් මගේ ඇඳුම් බෑගය ගෙන, රෝස්මිඩ් පෙදෙසේ ටින්ටජෙල් හෝටලයට යෑමට ය. ටින්ටජෙල් යනු දශක ගණනාවක් බණ්ඩාරනායකවරුන්ගේ නිවහන වූ රෝස්මිඩ් බංගලාවයි. දැන් එහි සුඛෝපභෝගී හොටලයක් පවත්වාගෙන යනු ලැබේ.
‘ජයනන්ද එක තියෙන්නෙත් මේ කිට්ටුවනෙ, මා පළමු හෝටලයෙන් ඇඳුම් බෑගය ගෙන නැවත ත්‍රිරෝද රියට ගොඩවෙද්දී රියැදුරු කීය.
ඔහු මේ කියන්නේ මල්වත්ත පාරේ ජයනන්ද රෙකෝඩ්බාර් එක විය යුතු යැයි මට සිතිණි.
‘හොයාගන්න අමාරු ඕනෑම පරණ සින්දුවක්, චිත්‍රපටියක් ගන්න පුළුවන්නෙ එතැනින්, ඔහු කීය.
මා එහි ගොස් ඇතැයි කියද්දී ඔහුගේ මුහුණ එළිය විය.
‘නෝනට අනෙක් හෝටලේට යන්ඩ නොතිබුණා නම් මම ඒකට ගිහින් හොඳ ඩීවීඩී එකකුත් අරගෙනයි ගෙදර යන්නෙ,
‘මොනවා ද ළඟ දී බලපු හොඳ චිත්‍රපටි?, මට ඇසිණි. ඔහු පැරැණි සම්භාව්‍ය සිනමාපට කිහිපයක නම් කියාගෙන ගියේ ය.
‘ඒවනෙ නෝන චිත්‍රපටි. මොනවද මේ දැන් හැදෙන්නෙ? බලන්ඩකො නිධානයෙ ගාමිණීගේ රඟපෑම විතරක්,
එසේ ආරම්භ වූ රස ගඟුල අප රොස්මිඩ් පෙදෙසට ළඟා වන තුරුත් නොකඩවා ගලා ගියේ ය. ඔහුට සිනමාව, ගීතය හා සංගීතය ගැන පුළුල් දැනුමක් මෙන් ම උසස් රුචිකත්වයක් ද වූ බව පෙනිණි. චිත්‍රපට ගීතයක් ගැන ඔහු සඳහන් කළ විට ඒ ගිතය මා ළඟ ද ඇති බව මම පැවසීමි.
‘ලංකාවේ නම් දැන් රෙකෝඩ්බාර්වලවත් ඔය සින්දුව නෑ නෝනා. හැම තැනම හොයලා නැතුව මම ජයනන්ද එකෙන් තමයි අරගත්තෙ,
කොළඹ නගරය හුරු පරුදු වුව ද ඔහු රොස්මිඩ් පෙදෙසට ආගන්තුකයෙක් විය. අවසානයේ අපි හෝටලය පිහිටි අංක 65 දරන ස්ථානයට ළඟා වීමු.
‘අනේ! මේ අපේ සිරිමාවො මැතිනියගේ බංගලාවනෙ‘ හෝටලයේ ගේට්ටුව අසලට පැමිණි ඔහු විමතියෙන් ගල් ගැසුණේ ය.
‘දැන් මේක හෝටලයක්නෙ,
පැරැණි මන්දිරයේ ශ්‍රී විභූතිය ඒ අයුරින් ම පවතිනු දකින විට හෝටලයක් බව ඔහුට අදහාගත නොහැකි වූවා සේ ය.
‘අනේ ඉතිං මේ අගමැතිවරු දෙන්නෙක් ම හිටපු බංගලාවක්නෙ,
‘ඒ විතරක්යැ ඇමති කෙනෙකුයි. ජනාධිපති කෙනෙකුයිත් හිටියනෙ,
‘ඒක නේන්නං,
‘ඔහු බය පක්ෂපාතව ත්‍රීරෝද රථය ගේට්ටුවෙන් ඇතුළට ගෙන උද්‍යානයේ කොනක නතර කළේ තවදුරටත් එහි ළං වීමට තමාගේ වාහනය නරම් නොවේ යයි සිතූ කලෙක මෙනි.
‘ඉස්සරහට ගන්ඩ. අර පෝටිකෝ එක යටට. එතකොට හොඳට බලා ගන්ඩ පුළුවන්‘ මම කීමි.
‘කමක් නැද්ද ?,
‘කමක් නෑ. ගිහිං බලාගන්ඩ. ඔය ඉස්තෝප්පුවෙ තමා බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බෙ.
‘ඇත්තට!,
රියෙන් බසිද්දී මම මීටරයේ සටහන් වූ මුදලට වඩා වැඩි මුදලක් ඔහු අත තැබීමි. මුදල ගැන කිසි තැකිමක් නොකළ ඔහු තමා අත්විඳිමින් සිටි ආනන්දයෙන් මොහොතකට මිදී මෙසේ කීය.
‘නෝනට පින් සිද්ධ වෙනවා මට මෙතෙන්ට එන්ඩ සලස්සපු එකට,
තමා ලබන මුදලට වඩා ආත්ම තෘප්තිය වැදගත් කොට තකන මිනිසකු මුණගැසීම භාග්‍යයක් වේ යැයි මම සිතමි.
මේ සිදුවීම මෙනෙහි කරද්දී මගේ පසුතැවීමට හේතු වන කරුණු දෙකක් වෙයි. පළමුවැන්න පිළියන්දල සිට කොළඹට එද්දී ඒ රසවතා සමඟ කතාවට නොවැටීමයි. දෙවැන්න රොස්මිඩ් බංගලාව පසුබිම් කොට ඔහුගේ ඡායාරූපයක් අරන් දීමට නොහැකි වීමයි.
ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ශ්‍රියානි පෙරේරා මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
පුංචි උපාසක
පසළොස්වක පෝ දිනකි.
උදෑසන අපි පන්සල් ගියෙමු.
පෙහෙවස් සමාදන් වූවන්ගෙන් පන්සල් බිම පිරී තිබිණි.
ඒ අතර මැදිවියට ළං වූ මවක් සහ ඇගේ කුඩා පුතු ද වූහ.
එක ඉරියව්වකින් හිඳ සිටීමට අපහසු වූ තැන පුතු විටින් විට මවු ඇකයේ හිස හොවා ගත්තේ ය.
අනතුරු ව මවගෙන් යමක් විමසුවේ ය. මව ද පිළිවදන් දී ඔහුගේ හිස පිරිමැද්දා ය.
ඝණ්ටා නාදය නැඟුණේ දහවල් බුද්ධ පූජාව පැවැත්වෙන බව අඟවමිනි.
කවුරු කවුරුත් නැඟිට දන් පෙරහරට අත ගැසීමට ඉදිරියට ගියහ. ටිකකින් නැවතත් තම තමන් සිටි තැන්වලට ම පැමිණ ඉඳගත්හ.
මවත් පුතාත් බුදුගෙයි කොනක ඉඳ ගත්හ.
ස්වාමීන් වහන්සේ ගාථා කීහ. උවසු උවැසියෝ ද ඒ අනුව ම ගාථා කීහ. අර පුංචි පුතා ද දොහොත් මුදුන් දී වැඳගෙන පැහැදිලි හඬින් ගාථා කියන්නට වූයේ ය. ඒ හඬ ලයාන්විත ද මිහිරි ද විය.
අනුමෝදනා ගාථා වාරයේ දී දණ ගසාගත් පුංචි උපාසක තැන නැමී පිටිඅල්ල මත නළල තබා මහත් සැදැවෙන් ගාථා කීවේ ය. ඒ අවසානයේ වැඳගෙන ම වාඩි ගත්තේ ය.
පුංචි උපාසක තැන කෙරෙහි මා මෙන් ම පැහැදුණු වියපත් කතක් ඔහු ළඟට පැමිණ ආදරයෙන් හිස අත ගෑවේ ය.
‘තුනුරුවන්ගේ සරණයි පුතේ,
තවත් කිහිප දෙනෙක් ද පුංචි උපාසක තැන පැසසූහ.
‘පුංචි උපාසක මහත්තයට ඔක්කොම ගාථා කටපාඩම්,
‘ආස හිතෙන විදිහට ගාථා ටික කිව්වා,
පුංචි උපාසක තැන මඳ සිනාවෙන් යුතු ව ඒ පැසසුම් ඉවසුවේ ය.
ඊට මොහොතකට පසු පුංචි උපාසක තැනත් ඔහුගේ මවත් අතර කැරුණු සිහින් මන්ත්‍රණයක් මට පැහැදිලි ව ඇසිණි.
‘අම්මේ, මං හොඳට ගාථා කියලා වැන්දා ද?,
‘ඔව් මයෙ පුතේ, ඒකනේ ළඟට වෙලා බලාගෙන හිටපු, හැමෝ ම පුතාට හොඳයි කිව්වේ,
‘එදා වගේ ටිකක් වැරදුණේ නෑ නේද?,
‘නෑ මයෙ පුතේ වැරදුණේ ම නෑ. හොඳ ලස්සනට ගාථා ඔක්කොම කිව්වා,
‘එහෙනම් අම්මෙ ඊළඟ සැරේ දී වත් තාත්ත අපිට හම්බවෙයි නේද?,
හිස නවාගෙන ඊට පිළිතුරු සෙවූ මවගේ නෙතින් වැටුණු කඳුළකින් පුතුගේ සිල් රෙද්ද තෙමිණ.
කොළොන්නාවේ, විශ්‍රාමලත් ආචාරිනී මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.