පොත - පතින් ඈත් වන හිස් මිනි­සුන්ගේ ඇස් අර­වන දුප්පත් හඳු­න්ග­මුවේ පොහො­සත්ම පුස්ත­කා­ලය | Page 2 | සිළුමිණ

පොත - පතින් ඈත් වන හිස් මිනි­සුන්ගේ ඇස් අර­වන දුප්පත් හඳු­න්ග­මුවේ පොහො­සත්ම පුස්ත­කා­ලය

* දිස්ත්‍රි­ක්කය මාතලේ... පුස්ත­කා­ලය පිහි­ටලා තිබෙන්නේ මාතලේ නග­ර­යට කිලෝ­මී­ටර සිය­යක් දුරින්
* ගමේ ළදරු පාසලේ ළද­රු­වාගේ සිටි සර­සවි ශිෂ්‍යයා දක්වා පුස්ත­කා­ලයේ සාමා­ජි­කයෝ
* පුස්ත­කා­ලා­ධි­පති උදේ හයේ සිට රෑ නවය වන තුරු අති­කාල නැතිව වැඩ
* සෑම සාමා­ජි­ක­ය­කු­ටම ඉලෙ­ක්ට්‍රො­නික් සමා­ජික කාඩ්ප­තක්..
* පාඨක තොර­තුරු සියල්ල පරි­ග­ණකගත කරලා
* ලංකාවේ හොඳම පුස්ත­කා­ලය ලෙසත් සම්මා­න­යට පාත්‍ර වෙලා

සන්නි­වේ­දන මාධ්‍ය­යන්ගේ දියු­ණු­වත් සම­ඟම නූතන සමා­ජයේ බොහෝ දෙනෙක් පොත පතෙන් ඈත් වෙලා. පොත්පත් පසෙක් දැමූ අපේ දරු පර­පු­රත් ජංගම දුර­ක­ථ­න­යට, පරි­ග­ණ­ක­යට හා අන්ත­ර්ජා­ල­යට සමීප වෙලා. වැඩි­හි­ටියන් විදි­හට අපි හිතා­ගෙන ඉන්නේ අපේ දරුවො ශාස්ත්‍රීය දැනු­මෙන් පිරි­පුන් පිරි­සක් කියලා. නමුත් එය මිථ්‍යා­වක්. සම­හර උසස් පෙළ ඉගෙන ගන්න දරු­වන් ජීවි­ත­යට නව­ක­තා­වක් කිය­වලා නැහැ. ඩබ්.එම්.ආර්.කේ. වීර­සේ­කර මහතා කියයි. ඔහු ලංකාවේ හොඳම මහ­ජන පුස්ත­කා­ලයේ පුස්ත­කා­ලා­ධි­ප­ති­ව­රයා ය.

විල්ග­මුව මධ්‍යම පළාත තුළ ඇති දුප්පත් පළාත් පාලන ආය­ත­න­යකි. එහෙත් රටේ පොහො­සත්ම පුස්ත­කා­ලය ඇත්තේ විල්ග­මු­වේය. එම පුස්ත­කා­ලය විල්ග­මුවේ ගොඩ­න­ඟ­න්නට හෙතෙම සේවය කරන ප්‍රාදේ­ශීය සභා­වට හැකි වී ඇත. කම්කරු වග­කීමේ සිට පුස්ත­කා­ලා­ධි­පති තන­තුර දක්වා සියලු දේ කර­න්නට වීර­සේ­කර කැපවී සිටි­න්නේය. ඔහුට රැයක් දවා­ලක් නැත. රාජ­කාරි දින­යක් හෝ නිවාඩු දින­යන් ද නැත. ඔහු විල්ග­මුවේ පාඨ­ක­යන් වෙනු­වෙන්ම ජීවි­ත­යම කැප කර සිටි­න්නේය.

පුස්ත­කා­ල­යට ලැබුණු සම්මාන, සහ­තික කුස­ලාන ඔහුගේ කැප­වීමේ ප්‍රති­ඵ­ලය විදහා දක්වයි. මහ නග­ර­සභා, නග­ර­සභා, මෙන්ම පෙහො­සත් ප්‍රාදේ­ශීය සභා අබි­බවා දුෂ්කර වූ විල්ග­මුව ප්‍රාදේ­ශීය සභාවේ මහ­ජන පුස්ත­කා­ලය 2015 දී ලංකාවේ හොඳම පුස්ත­කා­ලය ලෙසද සම්මා­න­යට පාත්‍ර විය. එප­ම­ණක් නොව, මධ්‍යම පළාතේ හොඳම පුස්ත­කා­ලය ලෙස ද වසර ගණ­නා­වක්ම කිරුළු දරන්නේ විල්ග­මුව පුස්ත­කා­ලය ය.

“මම 1998 වර්ෂයේ දී විල්ග­මුව ප්‍රාදේ­ශීය සභා­වට අයත් හඳු­න්ග­මුව මහ­ජන පුස්ත­කා­ලයේ සහ­යක ලෙසින් සේව­යට පැමි­ණියා. ඊට පසු එම පුස්ත­කා­ලය මධ්‍යම පළාත තුළ හොඳම පුස්ත­කා­ලය බවට පත් කළා. අපි ලබා­ගත් සම්මාන සහ­තික සහ පාඨක තරග ජය­ග්‍ර­හණ ප්‍රමා­ණය ඉතා විශා­ලයි. ඒ පිළි­බ­ඳව එකි­නෙක විස්තර කරන්න ලොකු වේලා­වක් යනවා. මෙම පුස්ත­කාල දියු­ණු­වට වත්මන් සභා­පති තුමා මෙන්ම විල්ග­මුව ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ජයන්ත වීර­සේ­කර මහතා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් දැක්වූවා.

අද විල්ග­මුවේ මෙම පුස්ත­කා­ලය තිබෙන ගොඩ­නැ­ගිල්ල එදා ඉතා ජරා­ජීර්ණ වී තිබුණා. කෙසේ හෝ ප්‍රාදේ­ශීය සභාව සහ වෙනත් විවිධ ආය­ත­න­ව­ලින් ලබා­ගත් සහ­යෝ­ගය මත අද තිබෙන තත්ත්ව­යට දියුණු කරන්න පුළු­වන් කම ලැබුණා. අද අපි මෙම පුස්ත­කා­ලය ඩිජි­ටල් පුස්ත­කා­ල­යක් බවට පත් කර තිබෙ­නවා.

ඒ වගේම 2018 වර්ෂයේ දී මධ්‍යම පළාත් අවු­රුදු 20න් ඉහළ හොඳම පුස්ත­කාල විවාද කණ්ඩා­යම බිහි කරන්න අපට හැකි වුණා. ඒ සඳහා නුවන් බණ්ඩා­ර­නා­යක ගුරු­තුමා අපිට සහ­යෝ­ගය දුන්නා. මීට අවු­රුදු පහ­ළො­ව­කට විතර කලින් පුස්ත­කා­ල­යට පාඨ­ක­යන් කැඳවා ගැනී­මට අපි ලොකු පරි­ශ්‍ර­ම­යක් දැරුවා. නමුත් දැන් පාඨ­ක­යන් උදේ හය වෙන කොට පුස්ත­කා­ල­යට එනවා. පාසල් දරු­වන් උදේම ඇවිත් යනවා. ඒ වගේම රැකියා කරන අය හවස් වරුවේ එනවා. නග­රයේ ව්‍යාපා­රි­ක­යන් වැඩ අව­සන් කරලා හවස හයෙන් පස්සේ පුස්ත­කා­ල­යට එනවා. උදේ හයට අරින පුස්ත­කා­ලය අපි වහන්නේ රාත්‍රි අට­ටයි.” වීර­සේ­කර එක හුස්මට කියා­ගෙන යයි.

රජයේ සේවයේ බොහෝ දෙනෙක් උදේ නව­යට කාර්යා­ල­යට පැමිණ සවස හතර හමා­රට සේවය නිවමා පිටව යති. අම­තර වේලා­වක් සේවයේ යෙදී සිටි­යොත් ඒ සඳහා අති­කාල දීම­නා­වක් ලබා ගනිති. උදේ හයට පුස්ත­කා­ල­යට එන වීර­සේ­කර මහතා නැවත ගෙදර යන්නේ රාත්‍රි නව­යට පම­ණය. උදේ පුස්ත­කා­ලය විවෘත කර අවට පරි­ස­රය අලං­කා­රය සඳහා ඇති මල්පැ­ළ­ව­ලට වතුර සහ පොහොර දැමීම පම­ණක් නොව පුස්ත­කාල ගොඩ­නැ­ගිල්ලේ ආර­ක්ෂාව හා අලං­කා­රය වෙනු­වෙන් වෙහෙ­සෙන්නේ අති­කාල දීම­නා­වක් ද නොගෙ­නය.

විල්ග­මුව ජන­තාව පුස්ත­කා­ලය සමඟ ඇති ළෙන්ග­තු­කම ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් ඩී.පී.කේ. ඊරි­ය­ග­ස්තැන්න මහ­ත්මිය පැහැ­දිලි කළේ මෙලෙ­සිනි.

“විල්ග­මුව මාතලේ දිස්ත්‍රි­ක්කයේ පිහිටි දුෂ්කර ප්‍රාදේ­ශීය සභා­වක්. විල්ග­මු­වට මාතලේ නග­රයේ සිට කිලෝ­මී­ටර් සීය­කට ආසන්න දුරක් තිබෙ­නවා. ගොවි­තැන මෙන්ම වැලි ගොඩ දැමීම ආදි­යෙන් මෙම ප්‍රදේ­ශයේ ජන­තාව ජීවි­කාව සරි­කර ගන්නවා. ඔවුන්ගේ දරු­වන්ට පාස­ලෙන් ලබා දෙන අධ්‍යා­ප­න­යට අම­ත­රව පුස්ත­කා­ලය මඟින් අපි ලොකු සහ­යෝ­ග­යක් දෙනවා. පාසල් දරු­වන්ට අවශ්‍ය පොත්පත් විශාල ප්‍රමා­ණ­යක් අපි ළඟ තිබෙ­නවා. උස­ස්පෙළ දරුවෝ විශාල පිරි­සක් නිවාඩු දව­ස්ව­ලට ඇවිත් දව­සම පුස්ත­කා­ල­යට වී පාඩම් කර­නවා. එය අපිට ලොකු සතු­ටක්.

ළදරු පාසලේ සිට විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යයා දක්වා අපේ පුස්ත­කා­ලයේ සාමා­ජි­ක­යන් සිටි­නවා. ඒ වගේ වැඩි­හිටි විශාල පිරි­සක් අපේ සාම­ජි­ක­යොයි. අපේ සාමා­ජි­ක­යන්ගේ අධ්‍යා­පන කට­යු­තු­ව­ලට අවශ්‍ය තොර­තුරු අන්ත­ර්ජා­ල­යෙන් සොයා දීමත් අපි සිදු කර­නවා. හැම සාමා­ජි­ක­යෙ­කු­ටම ඉලෙ­ක්ට්‍රො­නික් සමා­ජික කාඩ්ප­තක් ලබා දී තිබෙ­නවා. පාඨක තොර­තුරු සියල්ල පරි­ග­ණක ගත­කොට තිබෙ­නවා. පුස්ත­කා­ලයේ ඇති ඕනෑම පොතක් විනා­ඩි­යක් ඇතු­ළත සොයා දීමේ හැකි­යාව අපිට තිබෙ­නවා. ඒ වගේම බැහැර ගිය පොත් නැවත ලබා­දීම කළ යුතු දිනය ආදිය පරි­ග­ණක මෘදු­කාං­ගය මගින් ස්වයං­ක්‍රී­යව පෙන්ව­නවා.

ජාතික මට්ට­මෙන් විල්ග­මු­වට ජය­ග්‍ර­හණ ගෙන ඒමට පුස්ත­කා­ලා­ධි­ප­ති­ව­රයා ඇතුළු කාර්ය­ම­ණ්ඩ­ලය කළ කැප කිරීම විල්ග­මුව ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති කේ.ඒ.ජී.තෙන්න­කෝන් මහතා අපූ­රු­වට පැහැ­දිලි කළේය.

“මධ්‍යම පළාත තුළ පිහිටි දුප්පත් පළාත් පාලන ආය­ත­න­යක් වූවත් පොහො­සත්ම පුස්ත­කා­ලය ඇත්තේ විල්ග­මුවේ බව කිව යුතුයි. සර්ව සම්පූර්ණ මිනි­සෙකු නිර්මා­ණය වෙන්නෙ කිය­වී­මෙන්. නවීන තාක්ෂ­ණික උප­ක­රණ මොන තරම් පැමි­ණි­යත් පොත්ව­ලින් ඈත් වුණොත් මිනි­සෙකු සම්පූර්ණ වෙන්නෙ නැහැ.

මෙම පුස්ත­කා­ලය ආරම්භ වුණේ 1970 දී. මම 1997 දී ප්‍රාදේ­ශීය සභා­වට සභා­පති ලෙස පත් වුණා. එම කාල­යේම 1998 දී වත්මන් පුස්ත­කා­ලා­ධි­පති වීර­සේ­කර මහතා පුස්ත­කාල සහා­යක ලෙස විල්ග­මුව ප්‍රාදේ­ශීය සභා­වට අයත් හඳු­න්ග­මුව පුස්ත­කා­ල­යට පත්වී­මක් ලබා පැමි­ණියා. ඒ වන විට එහි පුස්ත­කා­ලය තිබුණේ දැල් ගහපු කුඩා ගොඩ­නැ­ගි­ල්ල­කයි. පාඨ­ක­යන් හිටියේ නැහැ. කෙසේ හෝ හඳු­න්ග­මුව මහ විදු­හ­ලත් එක්ක එක­තු­වෙලා පාසල් දරුවො පුස්ත­කා­ලය සම්බන්ධ කර­ගෙන, ප්‍රදේ­ශයේ තරුණ වැඩි­හිටි අයගේ සහ­භා­ගි­ත්ව­යෙන් එම පුස්ත­කා­ලය ඉතා ඉහළ මට්ට­මට සංව­ර්ධ­නය කළා. වර්ෂ 1999, 2000, 2004 වර්ෂ­වල මධ්‍යම පළාතේ හොඳම පුස්ත­කා­ලය බවට පත් කිරී­මට මෙතු­මාට හැකි වුණා. අද වන විට විල්ග­මුව නග­රයේ ඇති ප්‍රාදේ­ශීය සභාවේ පුස්ත­කා­ලය මධ්‍යම පළාතේ හොඳම පුස්ත­කා­ලය ලෙස සම්මා­න­යට පාත්‍ර වී තිබෙ­නවා. ඒ වගේම 2015 වර්ෂයේ ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලය විසින් මෙම පුස්ත­කා­ලය ලංකාවේ හොඳම පුස්ත­කා­ලය ලෙසත් තෝරා පත් කර­ගත්තා.

විල්ග­මුව මහ­ජන පුස්ත­කා­ලය පව­ත්වා­ගෙන යන්නේ වසර පන­හ­කට ආසන්න පරණි ගොඩ­නැ­ගි­ල්ල­කය. මෙය කඩි­න­මින් අලු­ත්වැ­ඩියා කළ යුතුව ඇත. එසේ නැති නම් විල්ග­මුවේ ජන­තා­වට නව පුස්ත­කාල ගොඩ­නැ­ගි­ල්ලක් ලබා­දීම ඉතා වැද­ගත් වනු ඇත.

අප­හ­සු­කම්, දුෂ්ක­රතා අාදිය ගැන ආඩ­පාලි කිය­මින් නහ­යෙන් අඬ­මින් නොසිටි වීර­සේ­කර මහතා දියුණු නග­ර­වල ඇති පුස්ත­කා­ල­ව­ලට වඩා දියු­ණු­ව­කට විල්ග­මුවේ පුස්ත­කා­ලය ගෙන ගොස් ඇත. පැය අටේ සේවය නිසි ලෙස ඉටු නොකොට අති­කාල වේලාවේ සේවයේ යෙදෙන සම­හර රාජ්‍ය සේව­ක­යන්ට ඔහු­ගෙන් උගත යුතු දෑ බොහෝ­ ය.

ප්‍රසන්න සිල්වා
ඡායාරූප - දිඹු­ලා­ගල සමූහ

Comments