මනු­ෂ්‍ය­ත්වයේ රැක­ව­ර­ණය සොයා පැමිණි අස­ර­ණ­යන් කබ­ලෙන් ළිපට ඇද දැමූ අයි.එස්. බෝම්බ | Page 2 | සිළුමිණ

මනු­ෂ්‍ය­ත්වයේ රැක­ව­ර­ණය සොයා පැමිණි අස­ර­ණ­යන් කබ­ලෙන් ළිපට ඇද දැමූ අයි.එස්. බෝම්බ

වීසා අලුත් කර නැහැ ගම්වාසීන් බය වීම සාධාරණයි - පොලීසිය

අපි එක්ක කිසිම සම්බන්ධයක් නෑ මොනවා කරනවාද කියලා කවුරුත් දන්නෙ නෑ - ගම්වැසියෝ

 

උපන් රටින් ආවේ ජීවිතය විතරක් අරගෙන අපිව සැක කරන්න එපා - සරණාගත පිරිස

අප ඕනෑම මොහොතක පැමිණිය හැකි ආගන්තුකයෙකු අපේක්ෂාවෙන් බත් පතක් ඉතිරි කරගෙන සිටි මිනිසුන් සහිත ජාතියකි. ඔහු වෙනුවෙන් නවාතැන් සැපයීමට පැදුරක් වෙන් කරගෙන සිටි ජාතියකි. ආගන්තුක සත්කාරයෙන් අනෙක් ජාතීන් දමනය කරගත හැකි මානව දයාවක් සහිතව සිටි ජාතියකි. එහෙත් වියරු ලෝකය ඒ උතුම් මානව ධර්ම ආරක්ෂා කළ නොහැකි තත්වයකට අප පත් කර ඇත.

ලංකාවට ආගන්තුක රටකින් පිවිසි ඇත්තන් පිළිබඳ ඇති වන විරෝධය එහි ප්‍රකාශනයකි. ඔවුහු අපෙන් සරණ පතා විදේශයන්ගෙන් පැමිණි සරණාගතයෝය. ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය සමඟ ගිවිසුම් ගතව ඇති නිසා එසේ පැමිණෙන ආගන්තුක සරණාගතයන්ට ආරක්ෂාව දීමට නෛතිකවද බැඳි සිටී. එම නීතිමය පදනම පවා නොදත් අපේ ලාංකිකයෝ ඔවුන්ට මානව දයාවෙන් සංග්‍රහ සත්කාර කළහ. ඔවුන් සිය රටට පැමිණි කරුණු කාරණා, ආවේ කොතැනක සිටද, යන්නේ කවදාදැයි කිසිවෙකුගෙන් නොවිමසූහ. එහෙත් යුද්ධයේ බියකරුබව, ව්‍යසනයේ බරපතළකම මෙන්ම රටේ ආරක්ෂාව පදනම් කරගෙන මේ සරණාගතයන් පිළිබඳ රට තුළ නව කථිකාවක් නිර්මාණය වී ඇත.

මේ සරණාගතයෝ කවරහුද?. ඔවුන් අපේ රටට සරණ පතා පැමිණියේ ඇයි?. සරණාගතයන් රඳවාගැනීමේ ලංකාවේ පවත්නා නීති පසුබිම කුමක්ද? ඔවුන් ශ්‍රි ලංකාවෙන් පිටුවහල් නොකරන්නේ මන්ද? මේ අද වන විට අප හමුවේ ඇති ප්‍රශ්නය. එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලංකා ශාඛාව (UNHCR) අනුදැනුම මත සිටින මේ සරණාගතයන් පිළිබඳ තොරතුරු හාරා ඇවිස්සීමට සිදු වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිතිවය. සිළුමිණ අපි පසුගියදා මීගමුවේ එවන් සරණාගත කඳවුරක් සොයා ගියෙමු.

මීගමුව පොලීසියේ පිහිටි එක් තාවකාලික කඳවුරකි. එහි පොලිස් ආරක්ෂාව යටතේ ඇෆ්ගනිස්තානයෙන් හා පාකිස්තානයෙන් පැමිණි සරණාගත පිරිසක් වෙති. තරුණ, වැඩිහිටි, ළමා, කාන්තා, පුරුෂ භේදයකින් තොරව සෑම පිරිසකටම අයත් වූ ඒ සරණාගතයෝ එකම ශාලාවේ රැඳී සිටිති. විශේෂත්වය වන්නේ සුන්නි මුස්ලිම්, ක්‍රිස්තියානි, ෂියා මුස්ලිම්, අගුවාන්, ආදි සියලු ආගමිකයන් මේ කඳවුර තුළ වෙන වෙන කණ්ඩායම් වශයෙන් ජීවත් වීමය. මේ අතර චතුරව ඉංග්‍රීසි භාෂාව කතා කරන විදේශිකයෝ වෙති.

“අපි සරණාගතයන් විදියට ලංකාවට ඇවිත් දැන් අවුරුදු 6ක් විතර වෙනවා. කුලියට ගෙයක් අරගෙන තමයි අපි මීගමුව වේල්ලවීදියේ ජීවත් වුණේ. සතුටින් හිටියා. එත් දැන් තත්ත්වය නරක අතට හැරිලා. පසුගිය දවසේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අපිට ඒ ගෙවල්වල ඉන්න බැරිව ගියා. අපි පාකිස්තානයේ අය. එහේ අයි.එස්.එයි.එස් ත්‍රස්තයන් නිසා අපිට ඉන්න බැරි වුණා. ඒ නිසයි අපි සරණාගතයන් විදියට ලංකාවට ආවේ. අපේ පවුල්වල හැමෝම මෙහේ ඉන්නවා. මගේ අම්මා, ළමයි, අයියගේ පවුල, අක්කගේ පවුල. මගේ තාත්තා මෙහේදි මැරුණා. අපිට ආයිත් පාකිස්තානයට යන්න බැහැ. එත් දැන් අපිට කොහාට හරි යන්න වෙලා තියෙන්නේ...” ඒ පාකිස්තානයෙන් පැමිණි නූබි ජෝන් ය.

මේ සරණාගතයන් බොහෝමයක් අද ඊයේ ලංකාවට පැමිණිය අය නොවෙති. එසේම සමහරු ලංකාවෙන් පිටත්ව යෑමේ බලාපොරෙත්තු ඇති අයද නොවෙති. ලංකාවේ පැවැති සාමකාමී වාතාවරණය හමුවේ ඔවුන් පසුගිය කාලයේ ගත කර ඇත්තේ නිදහස් ජීවිතයකි.

මේ සරණාගතයන්ට ලංකාවේ පුරවැසිභාවය අහිමිය. ඒ නිසා ඔවුන්ට මෙහි පැමිණ රැකියා කිරීමේ අවස්ථාව අහිමිය. එසේම කුලී නිවෙස් මිස ස්ථීර නිවසක ජීවත් වීමේ අවස්ථාවක්ද නැත. ඒ නිසා UNHCR මඟින් හා පල්ලිවලින් ලැබෙන ආධාරවලින් ජීවත් වුවද මේ සමහරුන් පසුගිය කාලයේ සුළු රැකියාවල නියැළී ඇත.

ඔහු රමීස් ය. පාකිස්තානයේ මේ සරණාගත පිරිසේ නායකයා වන්නේද ඔහුය.

“ලංකාවට සිදු වුණ දේ ගැන අපිට ගොඩාක් දුකයි. අපි මොනවාද කරන්නේ. අපිට ආදරය කරන්න. අපි නරක මිනිස්සු නෙමෙයි. එදා කතෝලික අය අපිට ආදරය කළා. මේ ප්‍රශ්නයෙන් පස්සේ අපි පාකිස්තානයේ අය කියලා ගමේ අය බය වුණා. මගේ අයියගේ ළමයට උණ ගැනිලා. දැන් අපිට බෙහෙතක් ගන්නවත් මිගමුව රෝහලට යන්න බැහැ. අපේ රටේ ක්‍රිස්තියානි අයට ප්‍රශ්න තියෙනවා. පාකිස්තානයේ කතෝලික අය ඉන්නේ සියයට 3යි. සියයට 97ක් මුස්ලිම්. ඒ නිසා ඒ අය අපිට මුස්ලිම් වෙන්න කියා හිරිහැර කරන්න ගත්තා.

අපි මෙහෙ ආවේ නවතින්න බලාගෙන නෙමෙයි. නමුත් UNHCR එකින් අපිට අවසර ලැබුණා, මෙහේ ඉන්න. ඒත් අපිට රස්සාවක් කරන්න බැහැ. ඉඳලා හිටලා කුලී රස්සාවක් කරලා, ගෙයක් පේන්ට් කරලා, වත්තක් සුද්ද කරලා කීයක් හරි ගන්නවා ඇරෙන්න කිසිම ආදායමක් නැහැ. මේ ප්‍රශ්නයට අපිත් සම්බන්ධයි කියලා සැක කරලා. දැන් අපේ කුලී ගෙවල්වල ඉන්න බයයි. ඒ නිසයි අපි සරණාගතයන් විදියට ආරක්ෂාවට මේ පොලීසියට ආවේ.”ඒ රමීස්ය.

දැන් ඔවුන් සරණාගත තත්ත්වයේ සිට අන්ත අසරණ තත්ත්වයට පත් වී හමාරය. ඔවුහු බිම එළූ පැදුරු කඩමාල්ලේ සිය දරු මල්ලන් සමඟ දවස ගෙවති. මේ වන විට මේ ජීවිතයට දෙසතියක් පමණ ගත වි ඇත. තමන්ගේ කුලී නිවසට යෑමට තරම් ශක්තියක් ඔවුන්ට නැත.

“අපේ පවුලෙම 11 දෙනෙක්. අපි ඇෆ්ගනිස්තානයේ ඉඳලා මෙහේ ඇවිත් අවුරුදු තුනහාමාරක් වෙනවා. අපිට ආයිත් අපේ රටට යන්න බැහැ. එහේ තලේබාන් හා අයි.එස්.එයි.එස් ත්‍රස්තයන්ගේ ක්‍රියා හරිම දරුණුයි. ඒ අය අපිව මරයි. අපි පහුගිය කාලයේ වෙනම ගෙයක් කුලියට අරගෙන හිටියේ. මම ලංකාවේ පාසලක ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කළා. මගේ එක දරුවෙක් ඉපදුණේ මෙහෙදි. එත් දැන් මේ රටේ ඉන්නත් බයයි. අපිව කඳවුරට ගෙන්වුයේ මෙහෙ ජනතාවගෙන් අපිට ප්‍රශ්න එල්ල වෙයි කියලා. අපි අහිංසක මිනිස්සු. ඒත් දැන් අපිට වෙන රටකට යන්න ඕනෑ. ලංකාව දැන් අනාරක්ෂිතයි. ...” ඒ ඇෆ්ගන් ජාතික ඊ. ස්මයිල් ය.

පාකිස්තාන ෂියා, සුන්නි මුස්ලිම්, ඇෆ්ගන් ෂියා වැනි විවිධ මුස්ලිම් ජාතිහුද ඒ අතර වෙති. ඉස්ලාම් කල්ලියක ප්‍රහාරයෙන් පසු සමහරුන් ඒ විදේශික මුස්ලිම් පිරිස්ද සැක කරන්නට පටන් ගෙන ඇත. තලේබාන් හා අයි.එස්.එයි.එස් ප්‍රහාර නිසා මෙහේ පැමිණියේයැයි කියන මොවුන් පැතූ ආරක්ෂාව දැන් ලංකාවේ අහිමි බව ඔවුහුම පවසති. පසුගියදා බිහිසුණු ප්‍රහාරයෙන් පසුව කුපිත වු පිරිස් මේ අයට විවිධ හිරිහැර කර තිබිණි.

අවුරුදු 13ක් වයසැති පාසල් අධ්‍යාපනය ලබන පාකිස්තාන ජාතික බිලාන් අප සමඟ මෙසේ කීවේය.

“මම ගියේ මීගමුවේ ඉංග්‍රීසි රීජන්ට් පාසලට. ඒත් දැන් එ්කට යන්න බැහැ. අපි 2015 දී පවුලම ඇවිත් දළුපොත ගෙයක් කුලියට අරගෙන ජීවත් වුණා. බෝම්බය පිපිරුණාට පස්සේ වටපිටාවෙ අය අපේ ගෙදරට ආවා. ඇවිත් අපිට ගැහුවා. අපි කිව්වා අපි මේවාට සම්බන්ධ නැහැ, අපේ ගේ බලන්න කියලා. ඇහුවෙ නෑ... අපිට ගැහුවා. පාකිස්තානයේ ගහ ගන්නවා. මරනවා. ඒ භය නිසයි ආරක්ෂාවට සරණාගතයන් ලෙස අපි මෙහේ ආවේ. අපිට ජිවත් වෙන්න UNHCR එකින් මාසෙට රුපියල් 22,000ක් දෙනවා. ඒත් ගෙවල් කුලී ගෙවලා පාසලට සල්ලි දෙන්න අම්මට මේ මුදල් මදි. පල්ලියේ අය අපිට ජීවත් වෙන්න උදවු කරනවා. දැන් අපිට පාසල යන්නත් නැහැ. ලංකාව හොඳයි. ඒත් අපිට ප්‍රශ්න ඉවරයක් නැහැ. අපිට වෙන රටකට හෝ යන්න විදියක් සලස්වලා දෙන්න කියලා අපි ඉල්ලනවා...”

මේ සරණාගත කඳවුරේ රැඳී සිටින බහුතරයක් පාසල් සිසුන් හා කුඩා දරුවෝය. ඔවුන් තවමත් නන්නාඳුන රටක අතරමංව ඇත. “ අපි කලින් ලංකාවේ පාසලකට ගියාට දැන් යන්න විදියක් නැහැ. බෝම්බ පිපිරුණායින් පස්සෙ හැමෝම අපි දිහා බලන්නෙ අමුතු විදිහට. අපිත් ආරක්ෂිත ජීවිතයක් ගත කරන්න ආසයි. ඇයි මේ රටේ අය අප සැක කරන්නේ. අපි දන්නේ නැහැ මේ සරණාගත කඳවුරේ අපිට කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා. අපේ හෙට දවසේ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපේ හිතේ ගොඩාක් ආසා තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ අයට කිසිම කරදරයක් කරන්න එපා කියලයි. අපි අද සරණාගතයන් විදිහට ගොඩාක් අසරණ වෙලා .” ඇෆ්ගනිස්තාන ජාතික පාසල් සිසුවියන් දෙදෙනෙකු වු ෂහාෆ් හා අයිඩා අපට කියන්නේ ඇස්වල කඳුළු පුරවාගෙනය.

එහෙත් පොලිස් ආරංචි මාර්ගයන්ට අනුව මතුපිටින් නොපෙනෙන කතා බොහෝ තිබේ. මේ පිරිස් ජීවත්ව ඇත්තේ කුලී නිවාස වලය. සමහරුන් සුපිරි නිවාසවලත් තවත් සමහරුන් සාමාන්‍ය කුලි නිවාසවලත් පදිංචිව සිට ඇත. කුලී නිවාස හිමිකරුවන් මොවුන්ගෙන් සම්පූර්ණ කුලී මුදල් ලබාගෙන ඇත්තේ මේ අයට ජීවත් වීමට UNHCR මඟින් ආධාර සපයන නිසාය. මේ අයගෙන් බොහෝමයක් දෙනා ජීවත්ව සිට ඇත්තේ සාමාන්‍ය ජන සමාජයෙන් බොහෝ දුරස්වය. ඔවුන් තම අසල්වැසියන් සමඟ අසුරු කිරීමක් කර නැත. සමහර පිරිමින් කුලී වැඩක් කර අතට මුදලක් උපයාගෙන ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බය වූ අවට වැසියන් මේ අයට විවිධ තර්ජන කර ඇත්තේ ඔවුන් ගැන සැක සිතූ නිසාය. සමහර කුලී නිවාස හිමියන් සමඟ යම් පුද්ගලයන් ඇති කරගත් කොන්තර පිරිමසා ගන්නට මේ අයව සැක කළ අවස්ථාව ද තිබිණි. නමුත් කිසිවෙකුටත් අපේ අය කිසිදු හිරිහැරයක් කළ බවට පොලිස් පැමිණිලි නැත.

මේ පිරිස් සරණාගතයන් ලෙස ගුවන් මඟින් ලංකාවට පැමිණි පසු UNHCR මඟින් හැඳුනුම්පතක් නිකුත් කර තිබේ. එය හඳුනාගැනීම සඳහා පමණක් භාවිතා වන්නකි. සමහරු මෙය වීසා බලපත්‍රයක් සේ වැරුදියට ප්‍රයෝජනයට ගනිති. මේ නිසා ඔවුන් ලංකාවේ රැඳී සිටින සෑම කාලයකම වසරින් වසරට සිය සංචාරක වීසා අලුත් කර ගැනීමක් කළ යුතු වුවද බහුතරයක් එය අලුත් කර ගෙන තිබුණේ නැත. එසේ නම් ඔවුන් ලංකාවේ රැඳී සිටින්නේ නීති විරෝධි ක්‍රමයටය. ඔවුන් පොලිසියේ ලියාපදංචි කරන සෑම අවස්ථාවකම පොලිස් නිලධාරීහු ඒ පිළිබඳ දැඩිව අවධාරණය කර ඇත. එහෙත් UNHCR මැදිහත්ව හෝ ඒ කටයුතු වේගවත් කිරීමක් සිදු කර නැත. එසේ සිය රටේ පැවති ජීවත් වීමේ අපහසුතා හේතුවෙන් පැමිණෙන පිරිස් සිය රටේ සාමාකාමී වාතාවරණයක් උදාවු පසු ආපසු නැවත යා යුතු වුවද එය එසේ සිදු වී නැත. ප්‍රදේශවාසීන්ගේ කෝපය මේ මිනිසුන් වෙත මුදා හැරෙන්නේ මේ වටපිටාවේය. දැන් මේ සරණාගතයන්ට කෑමට යමක් ගෙන ඒමට කඩයකටවත් යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පොලිසිය පවසයි.

වැඩිම සරණාගතයන් පිරිසක් ජීවත් වෙමින් ඇත්තේ මීගමුව අවට කලාපය තුළය. ලංකාවේම සිටින සරණාගතයන් සංඛ්‍යාව 1698ක් පමණ වෙතැයි වාර්තා වේ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන ඇතුළු විවිධ රටවල වැසියෝය. කෙසේ වෙතත් UNHCR ආයතනය දැන් මීට ගත යුතු විකල්ප සොයමින් පසු වෙයි.

ශ්‍රි ලංකාව සරණාගතයන්ගේ සම්මුතියට අස්සන් නොකළද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එසේ ආරක්ෂාව පතා අපේ රටට පැමිණි සරණාගතයන්ට ආරක්ෂාව සැපයිමේ බැඳිමක් අපට ඇත. UNHCR ආයතනයේ තොරතුරුවලට අනුව සරණාගතබව ඉල්ලමින් එසේ පැමිණෙන අය පැමිණෙන්නේ සංචාරක විසා සහිතව ගුවන් මඟිනි. එසේ පැමිණෙන සංචාරකයන් පිළිබඳ සොයා බැලීමට අන් රටවල් පිළිගත් විධිමත් ආයතන තිබුණද අපේ රටේ එවන් ආයතනයන් නැත. සියලු සොයා බැලීම් කරන්නේ එක්සත් ජාතීන්ට සම්බන්ධ UNHCR ආයතනය විසිනි. එසේ පැමිණෙන සැම අයෙකුටම සරණාගතබව ලබා දෙන්නේ නැත. සරණාගත බව ලබා දුන් අයගේ සියලු තොරතුරු විදේශ කටයුතු, ආරක්ෂක කටයුතු අමාත්‍යාංශ හා ආගමන විගමන දෙපාර්තමේන්තු දැනුම්වත් කර ඇත.

ලංකාවට අවුරුදු 20-30 සිට මේ සරණාගතයන් වරින් වර පැමිණියද ඔවුන් මෙහි රැඳී සිට ඇත්තේ වසර 6කට අඩු කාලයකි. එසේ පැමිණෙන සරණාගතයන් රටේ නීතියට අනුව කටයුතු කරන බවට හා කිසිදු හානිදායි ක්‍රියාවකට සම්බනධ නොවන බවට ලිඛිතව ගිවිස ගන්නා අතර විනය විරෝධි ක්‍රියාවක් කළොත් ඔවුන්ට රටේ නීතියට අනුව ක්‍රියා කෙරේ. වැදගත් කරුණ වන්නේ මේ සරණගතයන් ස්ව කැමැත්තෙක් තොරව ආපසු සිය රටට යැවිය නොහැකි වීමය. ඒ ඔවුන් අන්තර්ජාතික ආරක්ෂාව පතා පැමිණි අහිංසක පිරිසක් වීමය.

කෙසේ වෙතත් UNHCR ආයතනය වරින් වර මේ පිරිස් ඇමරිකාව, කැනඩාව වැනි රටවලට යැවීමේ කටයුතු සිදු කරමින් සිටී. එසේ වෙනත් රටකට යවා ඔවුන්ට ජීවත් විමේ අවස්ථාව සැපයීම භාරදූර කටයුත්තකි.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින් අපට සදාකාලිකවම අමතක නොවන අත්දැකීමක් ලබා දුන් බව සැබෑය. අපේ රටේ සරණාගතයන් සේ ජීවත් වන මේ පිරිස සිය රටේදී එවන් වු අත්දැකීම් සිය ගණනක් අත්විඳ ඇත. ප්‍රශ්නය දුරදිග යන්නට මත්තෙන් මේ සරණාගතයන් සම්බන්ධයෙන් විධිමක් ක්‍රියා මාර්ගයකට රජය අවතීර්ණ විය යුතුය.

Comments