
ප්‍රධාන මාර්ගයේ හා අතුරු මාර්ගවල පිහිටි නිවාස කඩපිල් සියල්ලේම සුදු කොඩි දමා ඇත. දකින පෙනෙන හැම මානයකම ද ශෝක පුවරු එල්ලා තිබේ. ඒවායින් සටහන් වන්නේ ශෝකයද, නැති නම් තැතිගැන්මද, අවිනිශ්චිතභාවය ද, සිතාගැනීමට අපහසුය. තිහාරිය, කහටඕවිට, කලඔටුවාව, ඕගොඩපොළ ඇතුළු ගම්පොකුරෙහි වෙසෙන මුස්ලිම් ජනතාවඒ අයුරින් ශෝකය ප්‍රදර්ශනය කර ඇත.
ඉස්ලාම් මූලධර්මවාදීන් යැයි හඳුනාගත් නරුමයන් විසින් පසුගිය පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය, මෙහි වෙසෙන මුස්ලිම් ජනයාට ශෝක පුවරු සුදුකොඩි එල්ලන්නට බල කරන පරිසරයක් නිර්මාණය කර තිබේ. ඊට හේතුව නම් එම කාලකණ්ණි අපරාධයේ අයිතියේ කොටසක් සමස්ත මුස්ලිම් ජනතාවගේම හිස මතට පැට වී තිබීමය. ඒසේ සිතන සමාජයට දොස් පැවරිය නොහැකි වන්නේ කණ්ඩායම, කල්ලිය, නිකාය, කුමක් වුවත් මුස්ලිම් ආගම නැමති ලේබලය යටතේ එම වනචාරී ප්‍රහාර මාලාව මුදාහැර තිබීමය.
මොහොමඩ් හෂිම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හෂිම් නමැති ආගමික අන්තවාදී අලුගෝසුවා තිහාරිය ප්‍රදේශයට නිතර ආ ගිය බවත්, දෙවියන් වෙනුවෙන් යැයි කියා මිනීමරන්නට අටවාගත් ජාතික තවුහිද් ජමාත් නමැති කල්ලියේ හොර තිප්පළ එම ප්‍රදේශයේ පවතින්නට ඉඩකඩ ඇති බවත්, ආරක්ෂක අංශ ඇතුළු බොහෝ දෙනා සැක පහළ කරති. ඉහත මිනීමරු උන්මත්තක කල්ලිය සමඟ සබඳතා පවත්වාගෙන ගියා යැයි රට පුරා මුස්ලිම් ජනපද රැසක බොහෝ පිරිසක් අත්අඩංගුවට පත් වීමත් සමඟම එම සැකය තවදුරටත් තහවුරු වී තිබේ. සුදුකොඩි ශෝක පණිවිඩවලට මැදි වී පසුගියදා පුපුරා ගිය මිනිස් බෝම්බවල වගතුග සොයන්නට තිහාරිය ගමට ඇතුළු වීමු.
වර්ග කිලෝමීටර් හයක හතක වැනි ප්‍රදේශයක් පුරා මුස්ලිම් ජනතාව වෙසෙන ගම්මාන කීපයක් ඇත. එම ගම්මාන කීපයට පමණක් ප්‍රධාන මුස්ලිම් පල්ලි දහයක් තිබෙන අතර කුඩා පල්ලි විස්සකටත් වැඩි සංඛ්‍යාවක් පවතින බව අසන්නට ලැබෙයි. එකම ආගමක් වුවත් නිකාය ගණනාවකට බෙදීගොස් ඒ ඒ නිකාය වෙනුවෙන් වෙන වෙනම පල්ලි ඉදි කරනු ලැබ තිබේ. ඒ පල්ලි ඇතුළට පිටස්තර කිසිවෙකුටත් ඇතුළු වීමට අවසර නොලැබෙන නිසා ආගම් විරෝධී සමාජ විරෝධී හා ත්‍රස්තවාදී ක්‍රියා සංවිධානය කිරීමට ඉතා පහසුවෙන් පල්ලිය යොදාගත හැකි බවට සමාජ මතයක් ගොඩනැඟී තිබේ.
මුස්ලිම් පල්ලියට අන්‍ය ආගමිකයන්ට ඇතුළු වීම තහනම්ද? අප මේ ප්රශ්නය යොමු කළේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන එම්. ආර්. මොහොමඩ් ඉන්ෂාෆ් වෙතයි.
“එහෙම පල්ලිය ඇතුළට යන්න කිසිම කෙනෙකුට තහනම් කරලා නෑ. මුස්ලිම් පල්ලිය ඇතුළට ගියාට වෙනත් ආගමක කෙනෙකුට පල්ලිය ඇතුළේ බලන්න දෙයක් නෑ. පන්සල්වල බලන්න චිත්‍ර තියෙනවා. පිළිම තියෙනවා . ක්‍රිස්තියානි, කතෝලික පල්ලිවලත් එහෙමයි. සංගීත භාණ්ඩ වාදනය කරනවා. ගීත ගායනා කරනවා. නාට්‍ය පෙන්වනවා. මුස්ලිම් පල්ලිවල ඒ වගේ වෙනත් ආගමක කෙනෙකුට ඇවිත් විඳින්න දෙයක් නෑ. මේ හේතුවෙන් අන්‍ය ආගමිකයන් මුස්ලිම් පල්ලිවලට එන්නෙ නෑ. එහෙම නැතිව අපේ පල්ලියට එන්න එපා කියල කාටවත්ම තහනම් කරලා නෑ.”
පසුගිය දා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ තවුහිද් ජමාත් මිනීමරු කල්ලිය මෙහෙයවූ ප්‍රධාන මිනිස් ඝාතකයා යැයි සැක කෙරෙන සහරාන් හෂීම් තිහාරිය අවට ප්‍රදේශවල දේශන පවත්වමින් හා ත්‍රස්තවාදී කටයුතු සංවිධානය කරමින් සැරිසැරූ බවට ආරක්ෂක අංශ සැකකරන වගයි. අපි ඒ පිළිබඳ ද ඔහුගෙන් විමසා සිටියෙමු.
“මේ සිද්ධිවලට සතියකට වඩා වැඩි කාලයක් ගතවෙලත් තිහාරිය අවට ගම්වලින් මේ වෙන කොට එක පුද්ගලයෙකුවත් අත්අඩංගුවට අරගෙන නෑ. සහරාන් මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඉතාම කෙටි කාලයකදි ඒ බව අනාවරණය වෙන එක වළක්වන්න බෑ. හැබැයි තවුහිද් ජමාත් පල්ලි තිහාරියේ තියෙනවා. ඔය කියන සහරාන් නියෝජනය කරන්නෙ ජාතික තවුහිද් ජමාත් කියන නිකාය. ඒ නිකායට සම්බන්ධ පිරිස් මේ පළාතෙ ඉන්නවාද කියලා මමත් හොයලා බැලුවා. මට එහෙම එක පුද්ගලයෙකු ගැනවත් දැනගන්න තවම නම් ලැබිලා නෑ. අපි නොදැනුවත්ව එහෙම අය හිටියත් වැඩි කාලයක් නිදැල්ලේ ඉන්න ලැබෙන්නෙ නෑ කියල මම විශ්වාස කරනවා.”
සහරාන් තිහාරියට ආවා ද?
ජාතික තවුහිද් ජමාත් නිකායේ පල්ලි තිහාරිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබුවාද, ආරක්ෂක අංශ සැක කරන ආකාරයට සහරාන් හෝ ඔහුගේ සහචරයන් තිහාරියට, ඒ අවට ගම්වලට පැමිණියාද?... අප සියල්ලන්ගෙන්ම අසා සිටියේ එයයි. ඒ පැනයට පිළිතුරු මේ මිනිසුන් නොදන්නවා විය හැකිය. දැනගෙන සඟවාගෙන සිටිනවාද විය හැකිය. ඔවුන් දැන දැනම තොරතුරු සඟවාගෙන සිටීමද වරදක් යැයි නොසිතේ. මක්නිසාද යත් අප මේ සොයා යන්නේ කිසිදු සාධනීය අරමුණකින් තොරව මිනී මරන, මරාගෙන මැරෙන, දරුවාද, බිරිඳද, මවද, පියාද, සහෝදරයාද, සහෝදරියද, එක බිමකට කොටු කරගෙන සියතින්ම බෝම්බ පුපුරවාගෙන, උපන්දා සිට නොදුටු, මරණය තෙක් නෙපෙනෙන, දෙවියෙකු වෙනුවෙන් ජීවිත පූජා කරන තකතීරුවන් රැළකගේ තොරතුරුය. ම්ලේච්ඡයන්ටත් වඩා ම්ලේච්ඡ, තිරිසනුන්ටත් වඩා තිරිසන්, අන්තර්ජාතිකව සංවිධානය වූ එවන් උන්මත්තක අපරාධකරුවන්ගේ තොරතුරු සපයන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම අරුමයක් හෝ පුදුමයක් නොවේ.
ඉන්ෂාෆ් මන්ත්‍රීවරයාගේ මඟපෙන්නීම ඔස්සේ තව්හිද් ජමාත් නිකායික මුස්ලිම් පූජකවරයෙකු වන මසූද් ආලිම් මොහොම්මද් අලෙවි මව්ලවිතුමා හමුවන්නට අවස්ථාවක් උදා විය.
“සහරාන් හෂීම් නියෝජනය කරන ජාතික තවුහිද් ජමාත් නමැති අන්තවාදී කණ්ඩායමට අයත් කිසිදු පල්ලියක් මේ ප්‍රදේශයේ පිහිටවලා නෑ. ඒ අය මේ ප්‍රදේශවල දේශන පවත්වලා තියනව කියලා කියනවා. ඒක කටකතාවක් විතරයි. තිහාරියට අමතරව කහටඕවිට, ඕගොඩපළ ප්‍රදේශවල පමණක් ලොකු පල්ලි පහක් තියෙනවා. පොඩි පල්ලි අටක් තියෙනවා. මේ පල්ලි දහතුනෙන් එක පල්ලියකටවත් සහරාන්වත් එයාලගේ කණ්ඩායමවත් දේශන කරලා තියනවා කියලාවත් ඇවිත් තියනවා කියලාවත් අපට දැනගන්න තරම් තොරතුරක් ලැබිලා නෑ.”
සහරාන් හෂීම් ගැන තොරතුරක් සොයා ගිය ගමනේදී ත්රස්තවාදීන් පිළිබඳ එක් ඉඟියක් පමණක් අසන්නට ලැබිණි. ඒ එකම තොරතුර අපට ලබා දුන්නේ තිහාරියේ පදිංචි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමඩ් තවුපික් මොහොමඩ් ඉර්ෂාන් ය.
“සහරාන්ගේ බිරිඳගේ මාම කෙනෙක් මාස හතරක් විතර තිහාරියෙ ගෙදරක කුලියට නැවතිලා ඉඳලා තියෙනවා. ඒ ගෙදර තිබිලා පසුගිය ප්‍රහාරවලට පාවිච්චි කළා කියල සැක කරන මෝටර් සයිකලයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ බයිසිකලේ නම්බර් ප්ලේට්එක කෑලි කෑලිවලට කපලා තිබිලා. කුරුණෑගල පැත්තෙ හැංගිලා ඉද්දි පොලීසියෙන් මෙයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පළාතෙ මේ සිද්ධියට අමතරව වෙන කිසිම කෙනෙක් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට අරගෙන නෑ.”
මද්රසා පාසල්
ඉහත මුස්ලිම් ගම්මාන අවට රජයේ පාසල් දෙකක් පිහිටා ඇති අතර “මද්රසා” නමින් හඳුන්වන ආගමික පාසල් තුනක් ඇති බව දක්නට ලැබිණි. “මද්රසා” යනු අරාබි බසින් පාසල යන අර්ථයයි. එම පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් නියාමනය නොකෙරේ. ගුරු වැටුප් ගෙවීමේ සිට කිසිදු මුදලක් රජය මඟින් ලබාදීමක් නැත. සියයට සියයක්ම මුස්ලිම් පූජක මවුලවිවරුන් යටතේ පමණක් පාලනය වන මෙවන් “මද්රසා“ පාසල්වල අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂය නිර්දේශය භාවිත නොකරන බව දැනගන්නට ලැබිණි. එවන් පාසලක අධ්‍යාපනය ලබන දරුවෙකුගේ පියෙකු සමඟ කතා කරන්නට අදහස් කළේ පසුගියදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ කල්ලිය මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ද “මද්රසා” පාසලක ආදි ශිෂ්‍යයකු වීමය. නම සඳහන් කරන්නට අකමැති ඔහු දරුවාගේ පාසල පිළිබඳ බොහෝ තොරතුරු අප හා පැවසීය.
“මේ ඉස්කොලවල නේවාසිකව තමයි හුඟක් ළමයි ඉගනගන්නෙ. උදේ හතරහමාරට නැඟිටින්න ඕනෑ. එතැන ඉඳල හවස හතරහමාර වන තුරු ආගම තමයි උගන්වන්නෙ. හවස් වරුව තමයි අනෙකුත් විෂය කරුණු උගන්වන්න යොදාගන්නෙ. මද්රසාවල ඉගෙනගන්න හැම ළමයෙකුටම කුරානය කටපාඩමින් කියවන්න පුළුවන්. අපේ ළමයින්ට අරාබි භාෂාව ඉගෙනගන්න තියෙන එකම ක්‍රමය තමයි මද්‍රසාවලට යවන එක.”
මෙම පාසල්වල ඉගැන්වීම් සඳහා විවිධ රටවලින් දේශකවරුන් පැමිණෙන බවද ඔහු පවසයි. කියන දේ නාහන ගෙදර හදන්න බැරි මවුපියන්ට අකීකරු දරුවන්ද මද්‍රසාවලට යවන බවත් එම පාසල්වල ඉතා හොඳ විනයක් ඇති දරුවන් බිහි කරන බවත් ඔහු කීවේය.
ජාතික තවුහිඩ් ජමාද් නැමති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සංවිධානයේ වෙබ් අඩවියක සඳහන් වන ආකාරයට පසුගිය කාලය පුරාවට “මද්රසා” පාසල් ගණනාවක දේශන පවත්වා තිබේ. මෙවන් මිනීමරු සංවිධානයක් විසින් දරුවන්ට ලබාදෙන ලද අධ්‍යාපනය කුමක් විය හැකිද?. පැය කීපයක් තුළ සමූහයක් ලෙස මිනිසුන් මරාදමන ආකාරය, තමන්ගේම ජීවිතය නැති කරගන්නා ආකාරය, මුළු රටටම පාඩමක් ලෙස ඉගැන්වූ ගෝත්රවාදීන් දේශන සඳහා කැඳවාගැනීමෙන් එම පාසල් මෙහෙයවන ප්‍රධානීන් සහ ගුරුවරුන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
එවැනි අන්තවාදී කණ්ඩායම් තමන්ගේ දරුවන්ට මරාගෙන මැරෙන ආකාරය පිළිබඳ පාඩම් කියාදෙන බව ඒ දරුවන්ගේ මවුපියන් නොදන්නවාද? එසේ නැති නම් දෙවියන් වෙනුවෙන් රංචු පිටින් මිනිසුන් මරාදමා තමන්ගේ දරුවා සියදිවි නසාගැනීම අනුමත කරනවාද?. එ සඳහා පිළිතුරු සොයාගැනීම ප්රමුඛ කාරණයක් වන්නේ තවත් අන්තවාදී මිනිස් බෝම්බ පිපිරීම් සිදු වීම නොවීම මේ කාරණා මත රැඳී තිබෙන නිසාය.
පාසල් නිවාඩු දවසක් වුවද තිහාරිය “දරුසලම්” රජයේ පාසලේ විදුහල්පති මොහොමඩ් පාරුක් මොහොමඩ් සෆීර් මහතා අප යන විට විදුහල තුළ රැඳී සිටියේය. මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ හා වර්ථමානයේ රටේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ ඔහු සමඟ කතාබහ කළෙමු.
“ලංකාවේ පෞද්ගලික මුස්ලිම් පාසල් ආරම්භ කරලා තියෙන්නෙ එක්දහස් අටසිය අසූගණන්වල මිෂනාරි පාසල් ආරම්භ වෙන්නටත් ඉස්සර ඉඳලා. පිරිවෙන් වගේම “මද්රසා” පාසලුත් මුස්ලිම් ආගම උගන්වන පාසල් විදිහට කාලයක් තිස්සෙ පවතිනවා. බෞද්ධ පිරිවෙන්, කතෝලික, ක්‍රිස්තියානි සෙමනේරි, මේ කිසිවක් රජය මඟින් පාලනය වෙන්නේ නෑ. ඒ හැම ආයතනයක්ම ආගමික සංස්ථා මඟින් තමයි පාලනය වෙන්නේ. ඒ ආයතනවල උගන්වන්නෙ මොනවාද කියලා තීරණය කරන්නේ ඒ ආගම්වල පූජක පක්ෂය.
අනෙක් ආගම්වලට වගේම මුස්ලිම් ආගමේ “මද්රසා” පාසල්වලටත් ආගමට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යන්න මෙතෙක් කලක් රජය ඉඩ සලසා දී තිබෙනවා. නමුත් රජයක වගකීම තමයි ඒ පාසල් ඇතුළේ සිද්ධවෙන්නෙ මොනවාද කියලා සොයා බලන එක. මේ ආයතනවල උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් මොනවාද කියන එක. ඒවා රජය මඟින් නියාමනය කරන්න ඕනෑ.” ඔහු කතා කරයි. රටක් අනාරක්ෂිත කිරීමේ තිරශ්චීන අපරාධය මුළුමනින්ම මේ මිනිසුන්ගේ හිස් මත ඇදවැටුණ සෙයකි.
මම මෑත බලමි. තිහාරියෙන් කිසිදාක දැකීමට අපේක්ෂා නොකළ පුවරුවක් කඩයක් ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් තිබේ.
“මුහුණු වසාගෙන ඇතුළු වීම තහනම්”. ඒ ප්‍රකාශ වන්නේ මේ අපරාධය මුස්ලිම් සමාජය තැතිගන්වා ඇති තරමය.
ඡායාරූප - එන්. එම්. අර්ෂාද්