
පසුගිය අප්‍රේල් මස ඇති වූ ප්‍රහාරවලින් පසු නාවික හමුදාවේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරමින්ම මේ සංවාදය අරඹමු...
ඒකාබද්ධ මෙහෙයුම් සඳහා අප උපරිම දායකත්වය දුන්නා. අප හැම අවස්ථාවකම බැලුවේ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව ගැනයි. අප්‍රේල් 21 වැනිදා සිට අද දක්වා රටේ සමස්ත සියලු කටයුතු ඉදිරියට ගෙන යෑම පිණිස අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් හැකි ඉක්මනින් ජනතාවගේ ජීවන ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප සියලු උත්සාහයන් ගෙන තිබෙනවා.
මේ මෙහෙයුම්වලදී නාවික හමුදාව වැඩි වශයෙන් දායකත්වය දුන්නේ කුමන කටයුතු වෙනුවෙන්ද?
ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර අපට තානාපති කාර්යාල සඳහා ආරක්ෂාව සලසන්න සිදු වුණා. ඒ සඳහා අප දිය-ගොඩ දෙකෙහිම මනා පුහුණුවක් ලැබූ මැරීන් බළකාය යෙදවූවා. එහෙත් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලය ආරම්භ වූ පසු කොළඹ ඇතුළු බස්නාහිර පළාතත්, පුත්තලමත් ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාවට මෙහෙයුම් කටයුතු කරන්න සිදු වුණා. ඒ අනුව තානාපති කාර්යාලවල ආරක්ෂාවට යොදවා සිටි අපේ භට පිරිස් ඉවත් කරගෙන, ඒකාබද්ධ මෙහෙයුම් අනුව අපට පැවරුණු ස්ථානවල ස්ථානගත කළා. ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාමාර්ග ආරම්භ කිරීමෙන් පසු අපට වඩාත් පහසු වුණේ ඒ ඒ හමුදාවලට ආවරණයට වඩාත් සුදුසු කලාප හෝ ස්ථාන හිමි වීමයි.
නැඟෙනහිර පළාතේ මෙහෙයුම්වලදී නාවික හමුදාවේ දායකත්වය කෙසේද?
අවශ්‍ය අවස්ථාවල ගංගා යට, පාලම් යට ඇතුළු ජලය සම්බන්ධ ස්ථානවල සියලු පරීක්ෂා කිරීම් සඳහා අප සහාය දුන්නා. නැඟෙනහිර පමණක් නොවෙයි, බස්නාහිර ඇතුළු අනෙක් පළාත්වල පවා අප අවශ්‍ය පරිදි ඒ සේවා සලසනවා. එමෙන්ම අවශ්‍ය වෙනත් මෙහෙයුම් පවා අප සිදු කරනවා.
මෙහෙයුම් සිදු කිරීමේදී නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගෙන් ලද සහාය කොහොමද? විශේෂයෙන්ම කින්නියාවේ නීති විරෝධි වැලි ගොඩදැමීමක් සම්බන්ධව සිදු කළ මෙහෙයුමකදී දෙදෙනකු දියේ ගිලී මිය යෑම සම්බන්ධව ඒ වැසියන් නාවික හමුදාව සමඟ දැඩි ලෙස උරණ වී සිටියා.
අප උපදෙස් මාලාවක් නිකුත් කළා සියලු මෙහෙයුම්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්.
විශේෂයෙන්ම මේ මෙහෙයුම්වල අරමුණ ඒ වැසියන්ට පහදා දීම ගැන අප අවධාරණයෙන් සිහි ගන්වා සිටියා. ඒ වගේම අපේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා ජනතාවට අවහිර නොවන සේ කටයුතු කරන. මේ නිසා එම ජනතාවගෙන් කිසිදු ප්‍රශ්නයක් සිදු වුණේ නැහැ. මේ සියලු පරීක්ෂා කිරීම් සියලු ජනතාවගේ යහපතට බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා. හොඳම උදාහරණය තමයි, පසුගියදා කැකිරාව මඩාටුගම අන්තවාදි පිරිස් සම්බන්ධ පල්ලියකින් අවි-ආයුධ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවම එකතු වී ඒ පල්ලිය කඩාදැමුවා. එවන් සිදුවීම් අප මීට පෙර ඉතිහාසයේ කවරදා වත් අසා නැහැ. ඒ ඔවුන් අපට ලබා දුන් සහයෝගයක්.
නාවික භට පිරිස් මෙන්ම නිලධාරීන් මේ ලෙස රට අභ්‍යන්තරයට වැඩි අවධානයක් යොමු කර මෙහෙයුම් සිදු කරද්දී මුහුදින් පැමිණෙන මත්ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් නීතිවිරෝධී ජාවාරම්කරුවන්ට එය හොඳ අවස්ථාවක් වනවා නේද?
ඒ අයුරින් මේ ජාවාරම්කරුවන් සිතා ඇති බව මටත් පෙනෙනවා. එහෙත් අප භට පිරිස් එසේ රට තුළට යොමු කරන අතරේම මුහුද සම්බන්ධ ආරක්ෂාවත් තර කළා. ඒ සඳහා විශේෂ කරුණු දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න: මේ අන්තවාදී ත්‍රස්තවාදීන් මුහුද හරහා යම් යම් දේ රැගෙන යෑමට පවතින ඉඩකඩ. රට ඇතුළට යම් යම් දේ ගෙන එනවා මෙන්ම රටින් පිට කිරීමටත් ඉඩ තිබෙනවා. අනෙක් කරුණ: ඔබ විමසූ පරිදි මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම්.
ඒ ආරක්ෂාව තර කිරීම් හමුවේ නීතිවිරෝධි ජාවාරම්කරුවන් සම්බන්ධව හොඳ ප්‍රතිඵල අත් කරගන්න හැකි වුණාද?
විශිෂ්ට ප්‍රතිඵල නොවෙයි, අතිවිශිෂ්ට වැටලීම් සිදු කළායැයි කීවොත් නිවැරදියි. ඒ ජාවාරම්කරුවන් සිතන්න ඇති අවධානය වෙනතක නිසා අපේ මුහුදු හරහා පහසුවෙන් ජාවාරම් කරන්න අවකාශයක් විවර වී ඇති බවක්. එහෙත් පසුගිය මැයි මාසය තුළ පමණක් අප අවස්ථා 11කදී කේරළ ගංජා කිලෝග්රෑම් 664.4ක් අත්අඩංගුවට ගත්තා. එමෙන්ම අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්රෑම් 923ක් අත් අඩංගුවට ගත්තා. එය ඒ මත්ද්‍රව්‍යය අනුව ලොකු ප්‍රමාණයක්. ඒ වගේම තමයි කච්චතිවු මංගල්‍යය තිබුණු දිනයේ අපේ බහුතර බලයක් ඒ වෙනුවෙන් යොදා තිබුණා. ඒ වුණත් අපට හැකි වුණා එදින කේරළ ගංජා කිලෝ ග්රෑම් 114ක් අත්අඩංගුවට ගන්න.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෝයාවක ගැටගසා ජීපීඑස් තාක්ෂණය භාවිත කරගෙන ප්‍රවාහනය කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. එවන් තත්ත්ව සම්බන්ධයෙන් නාවික හමුදාව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
මෑතකදී නම් අපට ඒ ලෙස බෝයාවල ගැටගසා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් හසු වී නැහැ. ඒත් ඒ ඕනෑම ජාවාරමක් මැඬලීමට නාවික හමුදාව සූදානම්.
එවන් නවීන තාක්ෂණික ජාවාරම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?
නවීන තාක්ෂණයත් සමඟ සිදු කරනු ලබන ජාවාරම් මැඬලීමට අපත් නවීන තාක්ෂණයෙන්ම කටයුතු කරනවා. ඒ කවර ක්‍රමවේද මඟින්ද කියා හෙළි කරන්න බැහැ.
මේ බොහෝ ජාවාරම් සිදු කෙරෙන්නේ ධීවරයන් සම්බන්ධ වී හෝ ඔවුන්ට මුවා වූ පිරිස් විසින්. ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියා මාර්ගයක් නැතිද?
දිවයින වටා බෝට්ටු 5500ක් පමණ දෛනිකව මුහුදු යනවා. ඒ 200කට අධික මුහුදු තොටුපොළ හෝ ධීවර වරායවලින්. ඒ සියලු බෝට්ටු පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කරන්න බැරි කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නෑ. ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් අතර ඉතා සුළු පිරිසක් ඉන්නවා මේ ලෙස නීතිවිරෝධි කටයුතුවල යෙදෙන හෝ ඒ සඳහා සහාය දක්වන. ඒ අය සම්බන්ධයෙන් අප දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.
පසුගියදා ඉන්දියාවෙන් තොරතුරක් ලැබී තිබුණා අයිඑස්අයිඑස් අන්තවාදීන් 15 දෙනකු මුහුදු මඟින් ඉන්දියාවට ගිය බවට. මේ සම්බන්ධයෙන් ඔබ සොයා බැලුවාද? එය නාවික හමුදාවට හසු නොවූවේ මන්ද?
අප ඒ ගැන හොඳින් සොයා බැලුවා. කේරල පොලීසියට යම් තොරතුරක් ලැබී තිබෙනවා අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනකු යාත්‍රාවක් මඟින් ශ්‍රී ලංකාවෙන් එරටට එන බවට. එය තහවුරු නොකළ තොරතුරක්. ඒ තොරතුර ලද විගස ඔවුන් සාගරික ආයතන දැනුවත් කර මුහුදු ආරක්ෂාව තහවුරු කළා. ඒ සම්බන්ධව අපට දැනගැන්මට ලැබුණු විගස අපත් අපේ සාගර ආරක්ෂාව තහවුරු කළා. අපේ බුද්ධි අංශවලට එවන් තොරතුරක් ලැබී නැහැ. කොහොමත් නාවික හමුදාවේ ඇසින් රිංගා යෑම ලෙහෙසි-පහසු නැහැ. අපේ අවධානය නිසයි පසුගියදා ඕස්ට්‍රේලියාවට යන්න ගිය බෝට්ටුවක් අපේ අත්අඩංගුවට පත් වුණේ. ඔවුන් ගමන් ගත් බෝට්ටුව මුහුද මැද අක්‍රිය වී තිබුණේ. ඒ නිසා ඇතැම් විට ඒ අයගේ ජීවිතේ පවා අවදානමකට ලක් වන්න තිබුණා. ඒ වගේම තවත් බෝට්ටුවක් අපේ මුහුදු සීමාවෙන් පැනගත්තා. අපේ දැනුම් දීම මත ඒ බෝට්ටුවත් ඕස්ට්‍රේලියාවෙදී අත්අඩංගුවට ගත්තා. මේක හොඳ පණිවිඩයක් අපේ රටේ ජාවාරම්කරුවන්ට අසු වී බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියා යන්න හදන අයට. තමන් හරිහම්බ කරගත් සේසතම මේ විදිහට නැති කරගෙන ගිහින් අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්නත් වෙනවා.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඇතැමුන් හඳුන්වනවා. ඒඅනුව රටට මත්ද්‍රව්‍ය ගෙන ඒම හා රටින් පිට කිරීම සම්බන්ධව නාවික හමුදාවේ අවධානය යොමු වී ඇත්තේ කෙසේද?
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව අපේ රට යම් ආකාරයක ජාවාරම්කරුවන්ට මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගැනීමට හැකියාව තිබෙනවා. එහෙත් එවැන්නක් සිදු කිරීම ලෙහෙසි නැහැ. ආරක්ෂිත ක්‍රමවේද පහසුවෙන් මඟහැර ජාවාරම්කරුවන්ට එවන් දේ සිදු කිරීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය රට තුළට එන ප්‍රමාණය හා රටේ භාවිත වන ප්‍රමාණය දෙස බැලූ විට අපට යම් වෙනසක් පෙනෙනවා. ඒ වෙනස යම් ආකාරයක වෙනත් රටකට ගෙන යනවා වන්න පුළුවන්. අපට යම් යම් සුළු අත්අඩංගුවට ගැනීම් කරන්න හැකි වුණා. ඒත් විශාල තොග හමු වී නැහැ.
විදේශීය ආරක්ෂිත දැනුම මෙන්ම විදේශීය හමුදා සහාය ලබාගැනීම ගැන කටයුතු කර නැත්ද?
අප විදේශීය සම්මන්ත්‍රණවලට සහභාගි වූ විට මෙන්ම විදේශීය හමුදාවන්ට සම්බන්ධ අය හමු වූ විට අපේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ඔවුන් සමඟ කතා කළ හැකි දේ සාකච්ඡා කර, අපට අවශ්‍ය තොරතුරු ලබාගන්නවා. ඔවුන් අපට තොරතුරු දෙනවා. විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නවා.
නාවික හමුදාවේ ඉදිරි සංවර්ධන සැලසුම් මොනවාද?
අපි 2025 දක්වා වන උපායමාර්ගික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව අප අපේ පණිවිඩ හුවමාරු තාක්ෂණය වගේම නෞකා සංඛ්‍යාව ඉහළ නංවාගැනීම කෙරෙහිත් කටයුතු කර තිබෙනවා. මේ වන විටත් අපට ඇමරිකාවෙන් නෞකාවක් දී තිබෙනවා. තවත් නෞකාවක් චීනයෙන් එනවා. යුද්ධය අවසන් වුවත් අප නාවික කටයුතු අඛණ්ඩව සිදු කරනවා. ඒ වගේම නවීන තාක්ෂණය යොදාගෙන සියලු සංවර්ධන කටයුතු සිදු කරනවා. මෙහිදී අප පෙන්වා දිය යුතුයි දිය-ගොඩ දෙකෙහිම එක සේ කටයුතු කළ හැකි නාවික හමුදාවේ මැරීන් බළකාය ආරම්භ කළේ යුද්ධය අවසන් වීමෙන් පසු බව.
නාවික හමුදා බුද්ධි අංශ පිළිබඳ ඔබ සෑහීමකට පත් වනවාද?
ඔව්, අප මේ වැටලීම් සිදු කරන්නේ බුද්ධි අංශ තොරතුරු පදනම් කරගෙනයි.
බුද්ධි අංශ අතර සම්බන්ධීකරණයක් නැති බව ඔබ පිළිගන්නවාද?
සම්බන්ධීකරණයක් නැත්තේම නැහැ. හමුදාවේ ඉහළ අංශවල අය බුද්ධි තොරතුරු පිළිබඳ සාකච්ඡා කරනවා.
පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ එක් බුද්ධි අංශයකට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නාවික හමුදාවට දැනුම් දුන්නාද?
නැහැ. අපට දැනුම්දීමක් සිදු කළේ නැහැ.
නාවික හමුදා බුද්ධි අංශ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
ඒ අයට ඉතා හොඳ පහසුකම් සහිත පුහුණුවක් දෙනවා. අවශ්‍ය සියලු කටයුතු ඉටු කරනවා.
හදිසි නීතිය පැනවීමත් සමඟ නාවික සෙබළුන් රැසක් මේ වන විට ගොඩබිම් රාජකාරි මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා. ඒ බොහෝ අය යුද්ධයෙන් පසුව සේවයට බැඳුණු අය. ඒ භට පිරිස්වලට මේ රාජකාරි සම්බන්ධ දැනුම අඩු තත්ත්වයක් තිබෙනවා නේද? එසේම ඒ බොහෝ අය මේ කාර්යයන්ට කෝඩු බවක් දක්වන්නේ නැතිද?
නැහැ. නාවික හමුදා පුහුණුව ලබා දෙන්නේ එක් කාලයකට හෝ එක් සිදුවීමක් හෝ අරබයා නොවෙයි. එමෙන්ම මේ නවක පිරිස් පවා බොහෝ උද්යෝගයෙන් කටයුතු කරන බවයි අපට පෙනෙන්නේ. ඒ වගේම යුද සමයේ අපට හරි ගිය හා වැරදුණු තැන්වලින් උදාහරණ ගෙන, මේ නවක පිරිස්වලට වඩාත් හොඳ පුහුණුවක් දෙන්න පුළුවන්.
රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අලුතින් නාවික කඳවුරු ඉදි කරනවාද?
අප අලුතින් කඳවුරු ඉදි කරන්නේ නැහැ. එහෙත් තිබෙන කඳවුරු ස්ථාවර කිරීමට කටයුතු කරනවා. ඒවායේ නව ඉදි කිරීම් මෙන්ම අලුත්වැඩියා කිරීම්ද සිදු කරනවා.
මන්නාරම - සිලාවතුර කඳවුර සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් අර්බුදයක් මතු වුණා. ඒ කඳවුර එතැනින් ඉවත් කරනවාද?
සිලාවතුර කඳවුරේ අත්‍යවශ්‍යභාවය අපට හොඳින් පෙන්නුම් කළා පසුගිය යුද සමයේ. රට තුළට නීති විරෝධිව භාණ්ඩ ගෙන ඒමට පහසුම තැනක් තමයි සිලාවතුර.
එමෙන්ම මෑත කාලයේ අප විසින් කේරළ ගංජා, රත්රන් මෙන්ම බීඩි කොළ ටොන් 10ක් මේ ප්‍රදේශයේදී අප අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ග්ලයිෆොසේට් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා රට තුළට ගෙන ඒමට උත්සාහ දරනවා. ඒ වගේම මන්නාරමේ සිට ගස් කපාගෙන යන අයටත් ඒ ප්‍රදේශය ආවරණ ප්‍රදේශයක්. සතුන් දඩයම් කරන්නන්ටත් මේ කඳවුර නිසා වැට බැඳී තිබෙනවා. ඩයිනමයිට් දමා බහුලව මසුන් මරන ප්‍රදේශයක් තමයි සිලාවතුර. ඊටත් වඩා ඉන්දියාවට ඉතා සමීප අපේ රටේ ප්‍රදේශයත් සිලාවතුරයි. මේ නිසා රටේ ජාතික ආරක්ෂාව උදෙසා අත්‍යවශ්‍ය සිලාවතුර කඳවුර මොනම හේතුවකට වත් ඉවත් කරන්නේ නැහැ.
අප රටේ අභ්‍යන්තර ජලාශවල මෙහෙයුම් කටයුතු කිරීමේ බලයක් නාවික හමුදාව සතු වනවාද?
අප වික්ටෝරියා හා පොල්ගොල්ල ජලාශවල ආරක්ෂක රාජකාරි සිදු කරනවා. එසේම හදිසි තත්ත්වයකදී කටයුතු කිරීම සඳහා භට පිරිස් මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ ගංගා-ඇළ-දොළ පිළිබඳ පූර්ව-දැනුමක් හා අවබෝධයක් ලැබීම පිණිසයි. අභ්‍යන්තරයේ කියා වෙනසක් නැහැ. පවරනු ලබන ඕනෑම ස්ථානයක රාජකාරි කටයුතු කරන්න හැකියාව අපට තිබෙනවා.
ජලාශ පිළිබඳ අවබෝධය පමණක්ම මේ පූර්ව-සූදානමට ප්‍රමාණවත්ද?
අප ජලාශ පිළිබඳ මේ වන විට මනා අවබෝධයක් ලබා තිබෙනවා. ඒ පමණක් නොවෙයි, අවදානමට පෙර-සූදානමක් තිබෙනවා. ඒ නිසා ගංවතුර තර්ජනයක් ඇති වීමට පෙර අප අවදානම් ස්ථාන කරා භට පිරිස් යොමු කරනවා. උදාහරණයක් ලෙස කියනවා නම්: ගාල්ල වක්වැල්ල පාලම හා කළුතර පාලම් කිහිපයක් තිබෙනවා වැස්සත් සමඟම ජලය ගලා යෑම අවහිර වන. ඒ නිසා වර්ෂාවත් සමඟ අපේ ආපදා සහන කණ්ඩායම් ඒ ස්ථානවලට යනවා. එසේ නොවුණ හොත් පාලම් අවහිර වී ජලය ගලා නොබැස පහත් බිම් යට වනවා.
පසුගියදා ඇති වූ ප්‍රහාර යළි ඇති නොවන්න කුමන පියවර ගත යුතුද?
අපේ ජනතාවට කාලයක් යන විට මේ තත්ත්වයන් අමතක වෙනවා. ඒක සාමාන්‍ය මානුෂීය ලක්ෂණයක්. ඒත් අප මේ අවස්ථාවේ පාඩමක් උගත යුතුයි. තමා අවට වටපිටාව ගැන නිරන්තර අවබෝධයක් තිබිය යුතුයි.
එමෙන්ම ප්‍රහාර ස්වරූපය පවා කාලෙන් කාලෙට වෙනස් වනවා. කලින් තිබුණේ මරාගෙන මැරෙන ඇඳුමක් ඇදගෙන පැමිණීම. මෙවර එවන් තත්ත්වයක් නොවෙයි අප දුටුවේ. හැම දේටම පෙර-සූදානමක් තිබීම වැදගත්. ඒ වගේම අපට බුද්ධි තොරතුරු අතිශය වැදගත්. ඒ ඔස්සේ තමයි ජාතික ආරක්ෂාව සැලසිය යුත්තේ. ඒ වගේම නවීන තොරතුරු හුවමාරු ක්‍රම, සන්නිවේදන විධි භාවිත කළ යුතුයි. මේ වන විටත් අපට නවීනතම රේඩාර් පද්ධතියක් ලැබී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා.
ඒත් එක්කම අපේ දේශීය තාක්ෂණයත් අප හැම අතින්ම දියුණු කරනවා. උදාහරණයක් හැටියට කියනවා නම්: මේ දක්වා අප නිපදවූයේ මී. 14.2ක් දිගු යාත්‍රා පමණයි. දැන් අප මී. 20ක් දිගු යාත්‍රා නිපදවනවා. ඉදිරියේදී එය තවත් වර්ධනය කරන්න බලාපොරොත්තු වනවා.
පසුගියදා සිදු කළ මෙහෙයුම්වලදී ඔබට යම් බලපෑම් ඇති වුණේ නැත්ද ඇතැම් තැන් පරීක්ෂා කරන්න එපා කියලා? එහෙමත් නැත් නම්, අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න හෝ අත්අඩංගුවට ගන්න එපා කියලා?
නැහැ. කිසිම බලපෑමක් ආවේ නැහැ. අප බලපෑම්වලට යටත් වන්නේ නැහැ.
සේයාරූ - සමන්ත වීරසිරි