විශාලමජනබලය18 වැනිදාබලාගන්න පුළුවන් | සිළුමිණ

විශාලමජනබලය18 වැනිදාබලාගන්න පුළුවන්

ජවිපෙ, ඌව පළාත් සභා මන්ත්‍රීසමන්ත විද්‍යාරත්න

උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවසුවා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා රැකගෙන, ඒ අපේක්ෂකයා බිලි දීලා ඔහු ‘සිරිසඟබෝ’ කරන්න කියලා...

දැන් ඔය කටපත්ත අදින ගම්මන්පිල පහුගිය විශ්වාසභංගයේදී හැංගිලා හිටියේ කොහේද කියල අප තවම හොයනවා! බෙල්ල විතරක් නෙමෙයි; කොහොමටත් හැම අංගයක්ම දීපු කෙනෙක්නෙ එයා! ඔය ගම්මන්පිලලාට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. එයා විතරක් නොවෙයි; ඔය කෑගහන විමල් වීරවංශත් එහෙමයි. ඒ අය කියන්නේ මොනවද කියල එයාලම දන්නෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ගමන ගැන ඔවුන් කලබල වීමෙන් අපට පෙනෙන්නේ එයාලාට ජනතා විමුක්ති පෙරමුණෙන් බලපෑමක් සිදුව තිබෙන බවයි.

එළඹෙන 11 ඉරිදාවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් පොදුජන පෙරමුණට එකතු වන බව ඒ පක්ෂයේ අය පවසනවා...

අපේ රටේ මැතිවරණයක් ළං වන විට සල්ලි විසි වෙනවා, තනතුරු තාන්න-මාන්න පිරිනැමෙනවා. ඒ අනුව කට්ටිය එහාට මෙහාට විසි වෙනවා. ඒත් අපේ පක්ෂයේ එහෙම යන්න කවුරුත් නැහැ. අපේ පක්ෂයෙන් අතුගා ඉවත් කළ පිරිසක් නම් ඔය පක්ෂවලට රිංගලා ඉන්නවා. ඒ අය ඔය පක්ෂවලට හේත්තු වෙලා දඟලනවා. ගම්මන්පිල විමල් වීරවංශ වගේ අය ප්‍රතිපත්තියක් නැති ස්ථිර දැක්මක් නැති අයනේ. ඒ අයට නම් ඒ විදිහට ප්‍රතිපත්ති වෙනස් කරමින් යන්න පුළුවන්. අපේ පක්ෂයේ නම් එහෙම එහාට මෙහාට යන්න කිසිම ක්‍රියාකාරිකයෙක් නැහැ.

‘ජවිපෙ ජනපති අපේක්ෂකයා හිටපු විගණකාධිපතිවරයෙක්’ කියලා මේ දිනවල රාවයක් යනවා...

අප තවම අපේක්ෂකයා නම් කර නැහැ. රටට සේවයක් කරන්න, රටට ආදරේ සමිති දේශපාලන පක්ෂ වෘත්තීයවේදීන් ඇතුළු සංවිධාන තිස් ගණනක එකතුවකින් තමයි අප මේ ජනතා බලවේගය ස්ථාපිත කළේ. ඒ සියලු දෙනාගේ එකතුවෙන් තමයි අපේක්ෂකයා තීරණය කරන්නේ.

එහෙත් ටිල්වින් සිල්වා මහතා පැවසුවා අපේක්ෂකයා තීරණය කර ඇති බවත්, ඒ කවුරුදැයි ලබන 18 වැනිදා පවසන බවත්...

අප මේ අලුත් ජනතා මධ්‍යස්ථානය මඟින් තමයි සියලු කටයුතු සිදු කරන්නේ. අප බලාපොරොත්තු වන්නේ අලුත් දේශපාලන පෙරමුණක් ගොඩනැඟීමටයි. 18 වැනිදා එහි බලය පෙන්වන ගමන් අපේක්ෂකයා නම් කරනවා. අපේ ගමන් මඟ එදිනට පැහැදිලිව බලාගන්න පුළුවන්.

18 වැනිදා කොළඹදී පැවැත්වීමට යන ජන හමුවේ අරමුණ කුමක්ද?

රටේ විශාලම ජන බලය අපට 18 වැනිදා බලාගන්න පුළුවන් වෙයි. ජනතාවට ආමන්ත්‍රණය කරන, ජනතා බලය විදහා දක්වන ජන හමුවක් තමයි පැවැත්වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අලුතින් පිහිටුවපු පොදු ජන පෙරමුණත් එපා වුණු සියලු දෙනා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ වටා රොක් වෙමින් ඉන්නේ. රටට ආදරේ ජනතාවට එකතු වෙන්න තමන්ගේ රටට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න නියමිත ස්ථානයක් තිබුණේ නැහැ. එහෙත් දැන් ඒ අයට හැකියාව තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ජනතා මධ්‍යස්ථානය හා එකතු වෙන්න. මේක රටත් ජනතාවත් එකතු කරන බලවේගයක්, රට රකින බලවේගයක් නිසයි ජනතාව ඒ සමඟ එක් වන්නේ.

ඔබ පක්ෂය වටා ඔය කියන තරම් ජනතාවක් එක් වනවාද?

ඒ තත්ත්වය 18 වැනිදා කොළඹ ගාලු මුවදොරදී බලාගන්න පුළුවන් වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවා ජනාධිපතිවරණයේදී අපේක්ෂකයාගේ ජයග්‍රහණය රඳා පවතින්නේ අලුත් ඡන්ද හා නිර්පාක්ෂික ඡන්ද මත බව. ඒ සම්බන්ධව ඔබ පක්ෂය යම් පියවරක් ගෙන තිබෙනවාද?

නිර්පාක්ෂිකයන් සම්බන්ධ කරගැනීම අප දැනටමත් කර තිබෙනවා. අලුත් ජනතා මධ්‍යස්ථානය මඟින් සිදු කෙරෙන්නේ එය තමයි. එසේම අද අපේ රටේ පමණක් නොවෙයි; ලෝකයේම ප්‍රවණතාවක් තමයි තරුණ ඡන්ද කෙරෙහි අවධානය යොමු වීම. ප්‍රංසයේ, ඒ වගේම පාකිස්තානයේ අලුත් ඡන්ද මත ජන මතය ගොඩ නැංවී තිබෙනවා. ඉම්රාන් ඛාන් වැනි අය බලයට ආවේ ඒ නිසයි.

අලුත් තාක්ෂණයත් එක්ක තරුණ පරපුර ලෝකයේ සැබෑ තත්ත්වය දකිනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ අනාගතයට සුබදායක වන කණ්ඩායමක් බලයට පත් කිරීමටයි කටයුතු කරන්නේ. අපේ ඉදිරි වැඩපිළිවෙළ අනුව තරුණ කොටස් අප වටා එක් වෙනවා.

ජනාධිපතිවරණයට අමතරව පළාත් සභා මැතිවරණය එන බවට මේ වන විට ලකුණ පහළ වී තිබෙනවා...

එය ප්‍රායෝගික වශයෙන් සිදු වේ යැයි සිතන්න අසීරුයි. පළාත් සභා ඡන්දය දිනන්න ආණ්ඩුවට බැහැ. එනිසා ඔවුන් ජයග්‍රහණයට අසීරු ඡන්දයක් කරා යාවියැයි සිතන්න බැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ කරුණු සියල්ල එක්ව ගත් විට පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි සිතිය නොහැකියි. කුමන මැතිවරණය ආවත් අපේ පක්ෂය කටයුතු කරන්නේ අප සාදාගත් පුළුල් ජනතා මධ්‍යස්ථානයේ අදහස් හා යෝජනා අනුවයි. ඒ වගේම අප මැතිවරණ සමයට පමණක් දේශපාලනය කරන පක්ෂයක් නොවෙයි.

Comments