මළමිනීවල අයිතිය රැකගන්න කුණු කානු පල්ලේ මියෙන්නට අත්හළ කනත්තේ මිනිස්සු | සිළුමිණ

මළමිනීවල අයිතිය රැකගන්න කුණු කානු පල්ලේ මියෙන්නට අත්හළ කනත්තේ මිනිස්සු

කනත්තේ අයිතිය වෙනුවෙන් වේයන්ගොඩ මිනිස්සු උද්ඝෝෂණයක
කනත්තේ පදිංචි කරන්නේ අවුරුදු 54කට කලින්
ඉල්ලන්නේ ජීවත් වුණු ඉඩමේම නිවාස ඉදි කරලා දෙන්න

1965 වසරේ දී පමණ වේයන්ගොඩ නිදහස් මාවතේ පිහිටි සුසාන භූමියේ කොනක රජයේ වියදමින් කාමර පෙළක් ඉදි විය. මේ කාමර පෙළ හඳුන්වනු ලැබුවේ “ලයිම” නමිනි.

මෙලෙසින් ලයිම් කාමර පෙළක් ඉදිකිරීමට රජයේ මුදල් වැයකිරීමට සිදුවන්නේ එවකට වේයන්ගොඩ නගරසභාවේ සේවය කරන කම්කරුවන්ගේ නවාතැන් අපහසුතාවට පිළියමක් ලෙසින් යැයි කියවිණි. එවකට නගරය මෙපමණ ජනාකීර්ණ නැත. රජයේ ඉඩම් මේ අවට ඕනෑ තරම් තිබිණි. නගරසභාවේ කුණු කසළ ඉවත්කරන කම්කරුවන්ට කුලියට හෝ නවාතැනක් සපයන්නට මීට වසර පනහකට පමණ පෙරවත් නිවැරදි දැක්මක් ඇති බලධාරීන් නගර සභාවේ සිටියේ නැත. එසේ සිටියා නම් වේයන්ගොඩ රිළාමුල්ල කනත්තේ කොටසක් අද වනවිට ජනාවාසයක් නොවන්නට ඉඩ තිබිණි. රජය සතුව ඕනෑතරම් ඉඩම් තිබියදී ඔවුහු මේ මිනිස්සු කනත්තක කෙළවර පදිංචි කළහ. එදා පවුල් අටක කම්කරුවන් සඳහා එලෙස ගොඩනැඟූ ලැයිම් කාමර පේළිය අද වනවිට පවුල් හැත්තෑපහක් දක්වා විශාල වී ඇත. දැන් කනත්තේ ජනපදයේ ජනගහනය තුන්සීයකට අධික ය.

මුලින් ම සදා නිම කළ ලයිම් පේළියට අමතරව එහි ඇත්තේ තහඩුවකින් ටකරමකින් ඉටිරෙද්දකින් නැතිනම් පොල් අත්තකින් වටකර සෙවිලි කළ, අවුවෙන් වැස්සෙන් සැඟවෙන්නට තනාගත් කූඩාරම් ය. ඒවා අටවා ගන්නට භාවිත කර තිබෙන්නේ කනත්තේ ඉදිවන තොරණ, මළමිනී දවා අළු කරන චිතකයේ ඉතිරිවන රීප්ප කෑලි, ලෑලි, පරවුණු මල්වඩමකින් ගලවාගත් කම්බි, කුණු ලොරියේ කුණු අතර අත පතගා සොයාගත් ඉවතලන දේවල් ය.

අවට මිනිසුන් කනත්ත භාවිතයට ගන්නේ මළ මිනිසුන් මිහිදන් කරන්නට ය. ලැයිමේ මිනිසුන්ට කනත්ත අවශ්‍ය වී ඇත්තේ පනපිටින් ජීවත් වන්නට ය. අඳුර වැටුණු මොහොතක කනත්තක් ළඟින්වත් යන්නට බියවන බොහෝ මිනිසුන් ඉන්නා රටක මේ අසරණයන් කනත්තේ ලැයිමේ පදිංචිකරවීමෙන් ඔවුන්ගේ සියලු හිමිකම් වළදා තිබිණි.

පසුගිය දිනක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විශාල ජන පිරිසක් කනත්ත බිමේ උද්ඝෝෂණයක නිරත විය. මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ කනත්තේ පැල්පත් වෙනුවට රජය මගින් ස්ථිර නිවාස ඉදිකිරීමේ සැලසුමකට විරුද්ධ ව බව කියැවිණි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දින කීපයකට පෙර කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මේ විරෝධය මතුවී තිබිණි. මේ ගමනේ අරමුණ බව කියැවුණේ එතැන ඇති පැල්පත් වෙනුවට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ ව සොයා බැලීම බව වාර්තා විය. විරෝධතාකරුවන් සිය විරෝධය මතු කළේ යෝජිත නිවාස ඉදි නොකරන ලෙස බලධාරීන්ට බලපෑම් කරමින් බව කියැවිණි.

ලයිමේ වැසියන් කියන්නේ සෑම මැතිවරණයක් ආසන්නයේ ම කනත්තේ මිනිසුන්ට නිවාස ඉදිකර දෙන පොරොන්දුව රැගෙන විවිධ පක්ෂවල මැතිවරු, ඇමතිවරු ලයිමට පැමිණෙන බව ය. කානු දිගේ ගලා එන මුත්‍ර ගඳ නොතකා, පුංචිඋන්ගේ අසූචි කඳු මඟ හරිමින් පැමිණ දෑත් කරමත දමා බදාගෙන මනාපය උදුරාගෙන ගියා මිස ඊයේ ඉර බැසයන තුරු ගෙයක් නොව මුල්ගලක් තබන්නටවත් ඔවුන් ආපසු පැමිණියේ නැති බව ය. එහෙත් මේ නිවාස ලබා දීමේ ප්‍රයත්නය පිළිබඳ මේ මිනිස්සු බලපොරොත්තු සහගතව සිටියහ. ගමේ අයගෙන් විරෝධය මතුවන්නේ ඒ අතර ය.

කෙසේ වෙතත් පසුගිය දිනක නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කනත්ත සහ ලයිමට අයත් ඉඩම් කොටස මැනීමේ කටයුතු සිදුකර තිබෙන්නේ නිවාස යෝජනා ක්‍රමය ඇරඹීමේ මුල් පියවර බව දක්වමිනි. මේ මිනිසුන් රජයෙන් ලබාදෙන නිවාසයක් ලැබීමට සුදුස්සෝ වෙති. ඔවුන් ඉපදී ඇත්තේ ද මිනී කනත්තේ ය. ජීවත් වන්නේ ද මිනී කඳු ගැසුණු සොහොන්කොත් අතරමැද ය. විවාහය ද මරණය ද ඇතුළු සමස්ත ජීවිතය ම ගෙවන්නෙ මළවුන්ගේ නවාතැනක ය. පනස්වසරකට වැඩි කාලයක් සොහොනක ජීවිතය සොයන පවුල් හැත්තෑපහකට ආසන්න මේවන් ජනකණ්ඩායමක් සියනෑ කොරලයේ නොව මෙරටම පීරා බලාවත් සොයාගත හැකිදැයි නොදනිමි.

සසර කෙළවර කරගන්නට ඇස්, හිස්, මස්, දන් දෙන, අඹු, දරු දන්දෙන්නට සැරසෙන වෙස්සන්තරලාට ඇඳගත් සැදැහැවතුන් මේ සමාජය තුළ අඩුවක් නැත. මළ මිනියක ඔතා කනත්තක දමා ගොස් සිටි අසරණ සෝපාකට තතාගත ගෞතම බුදු පියාණන් වහන්සේ කරුණාව දැක්වු බණ කතාව නොඇසූ බෞද්ධ පින්වතුන් කිසිවෙක් හෝ සිටිය නොහැකිය. එහෙත් වේයන්ගොඩ රිළාමුල්ල කනත්තේ යන එනමං නැතිම නැති මිනිස්සුන් අතරමංවී සිටින බව මේ කිසිවකු දකිනනේ නැත.

උගත් බුද්ධමත් රාජ්‍ය ආයතනවල තනතුරු දරන්නන් පවා කනත්තේ මිනිසුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් රාත්තල් ක්‍රමයට කිරාමැන දෙන්නේ ගෝත්‍රික තරාදියකට දැමූ ජාතිවාදී බර පඩිවලිනි. වේයන්ගොඩ ශුද්ධවූ මිකායල් මුනිතුමාගේ පල්ලියෙ පාසල පිහිටා ඇත්තේ කනත්තේ සිට මිටර් දෙසීයක් තරම් දුරකිනි. නමුදු කනත්තේ අසරණ දරුවන් පාසලට ඇතුළත් කරගන්නවාට ගුරුවරුන් පමණක් නොව දෙමාපියන්ද අකමැති ය. ඊට ම ගැළපෙන අයුරින් සකස්කර ඇති පාසලට දරුවන් ඇතුළත් කිරීමට යොදාගන්නා නිර්නායක පද්ධතිය ද මේ දරුවන්ට පාරාවළල්ලක් ව තිබේ. ලැයිමට ළඟ ම පාසල නගරයේ ඇති හොඳ ම පාසල වුවත් ලැයිමේ දරුවන්ගේ බොහෝ දෙමාපියන්ට සිදුව ඇත්තේ දුරම පාසලකට දරුවා යවා ළඟ ම පාසලේ දරුවන්ගේ සහ ගුරු මවු පියවරුන්ගේ කුණු කසල එකතු කරන්නට ය.

දුර ම පාසලකට ගියත් කනත්තේ දරුවන්ට වෙන්කරන පන්තියේ අන්තිම පේළියේ කැඩුණු පුටුවෙන් ඉදිරිපෙළට යන්නට වරම් ලැබෙන්නේ කලාතුරකිනි. තමන්ට එල්ල වන මානසික පීඩනය දරාගන්නට ඇති එකම විසඳුම ලෙස ඔවුන් තොරාගන්නේ පාසල් නොගොස් කනත්තේ නතරවීම ය. ඉන් අනතුරුව ඔවුන්ට රැකියාවන් ලෙස තෝරා ගැනීමට සිදුවන්නේ නගරසභාවේ කුණු ට්‍රැක්ටරය, මුට්ට කරගැසීම, ඇතුළු කුලීවැඩ කිරීමයි. අවට ප්‍රදේශයේ කොතැනක හෝ වැසිකිළියක නලයක් සිරවූ විට, ලිඳක දිය ඇළක දින ගණනක් කුණුවී ඇති මලසිරුරක් ගොඩගැනීමට, අවට මිනිසුන්ට මෙන්ම පොලීසියට සහයට ඉන්නේ ලැයිමේ කුලීකරුවන්ය. නගරය පිරිසිදුවට තබාගන්නට ජීවිත කාලය කැපකරන මේ මිනිසුන්ට ඉන්න හිටින්නට ගෙයක් දොරක් ලබාදීමට බලධාරීන් බොහෝ කාලයක් ප්‍රමාද කළ බලධාරීන් දැන් ඊට පිළියම් ගෙනෙන විට සමාජය ඊට එරෙහිව ය. රජයෙන් ඉදිකරන්නට සූදානම් වන නිවාස යෝජනා ක්‍රමය නතරකරන්නට අහල පහල මිනිසුන්ට ඇති උවමනාව කුමක්ද?. මේ විරෝධය පසුපස දේශපාලන අරමුණක සේයාවන් ඇතිද?.

මේ උද්ඝෝෂණයට සහභාගී වූ වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති කුට්ටිපොළ අනුරුද්ධ හිමියන් ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

“මේ උද්ඝොෂණය පිළිබඳව රුපවාහිනි නාලිකා ගණනාවකම ප්‍රචාරය වුණා. ඒ වුණත් බොහෝ දෙනෙක් අතර වැරදි මතයක් තමයි ප්‍රචාරය වෙලා තියෙන්නෙ. ලයිමෙ ඉන්න මිනිස්සුන්ට ගෙවල් හදනවට කවුරුත් විරුද්ධ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ගෙවල් හදන්න කනත්ත පාවිච්චි කරන්න එපා කියන එක. මේ කනත්ත අවට ගම් දහයක විතර ජනතාවට අවමංගල කටයුතු සඳහා වෙන්වෙලා තියෙන එක ම කනත්ත. ඒකෙ ගෙවල් හදන්න එපා කියල තමයි ඒ ජනතාව උද්ඝෝෂණයක් කළේ. ගමේ දායක පිරිස මටත් ආරාධනාවක් කළා එතෙන්ට එන්න කියලා. අවසානෙ ප්‍රචාරය වෙලා තියෙන්නෙ හාමුදුරුවො ගෙවල් හදනවට විරුද්ධයි කියලා. ඒක බොහොම වැරදි කතාවක්. මේ අසරණ මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න ප්‍රමාද වුණා වැඩියි කියල තමයි මම හිතන්නෙ.”

“ලයිමෙ මනුස්සයො කරන්නෙ මේ ප්‍රදේශයෙ ජනතාවට මිල කළ නොහැකි සේවාවක්. අවුරුදු පනහකට වැඩි කාලයක් මේ පිරිස වේයන්ගොඩ නගර සභාව වෙනුවෙන් සේවය කරනවා. මේ පිරිස දිහා පහුගිය කාලය පුරාම කිසිම බලධාරියෙක් ඇහැක් ඇරල බලල නෑ. තුන්සීයකට වැඩි පිරිසක් මෙතන ඉන්නවා. එන්න එන්නම ප්‍රමාණය තව තවත් වැඩිවෙනවා; ඔවුන්ට වෙන යන්න තැනක් නෑ. කනත්තෙම කොටසක තමයි ඒ අයටත් පදිංචිවෙන්න තියෙන්නෙ. සංකීර්ණ ප්‍රශ­්නයක්. බලධාරීන් ඉක්මනින්ම මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් වහාම ලබාදිය යුතුයි. ගමේ මිනිස්සුන්ට කනත්ත ඕනෑ. ඒ වගේම ලයිමෙ මනුස්සයන්ට ඉන්න තැනක් දෙන්න ඕනෑ.”

“ලැයිමට මායිම්වෙලා තියෙන කුඹුරු පාළු වෙන්න ඇරලා. ඒකට හේතුව ලයිමෙ අපද්‍රව්‍ය සියල්ල ම මුදාහරින්නෙ කුඹුරු යායට. ඒ කුඹුරු වපුරන්නත් බෑ. කෙනකුට විකුණන්නත් බෑ. අහල පහළ ඉන්න බොහෝ දෙනෙක් චෝදනා කරන්නෙ ලයිමෙ මිනිස්සු හැමදාම හවසට බීල කුණුහරප කියනව කියලා. කෙසේ වෙතත් ලයිමෙ මිනිස්සුන්ට වගේම ඒ අවට ඉන්න පිරිසටත්, කනත්ත පාවිච්චි කරන පිරිසටත්, අසාධාරණයක් නොවන ඉක්මන් පිළියමක් යෙදිය යුතුයි.”

කනත්ත අවට හා ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන්නේ යෝජිත නිවාස තැනීමට වෙනත් ඉඩම් කොටසක් සොයා ගතයුතු බවය. එහෙත් ඒ යෝජනාවට කනත්තේ මිනිසුන් විරුද්ධ ය. ඔවුහු මළ මිනිසුන් සමඟ ගතකරන ජීවිතයට හුරු වී සිටිති. ඔවුන් කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ප්‍රායෝගික කතාව ය. ලයිමේ නිවසක දිවිගෙවන නගරසභාවේ සේවයකර විශ්‍රාම ලැබූ වැඩිහිටියකු සමඟ කතා කළෙමු.

“අපේ මිනිස්සු ගෑනු කීයක් හරි හොයාගන්නෙ මේ අවට පිට කුලියක් මලියක් කරගෙන. දුර පළාතක ගෙයක් හදල දුන්නත් අපි කොහොමද ජීවත් වෙන්නෙ රස්සාවක් නැතුව. මේ පොරොන්දු වෙච්චි වෙලාවෙ වැඩේ කරගන්න බැරි වුණොත් ආයෙ කවද ගෙවල් හැදෙයිද කියල අපි කොහොමද විශ්වාස කරන්නෙ. වෙන කොහෙහරි තැනක ලයිමෙ මිනිස්සුන්ට ගෙවල් හදනව කියල කිව්වොත් ඒ අහල පහළ මනුස්සයෝ මීට වැඩිය දරුණු විදිහට විරුද්ධ වෙනවා. පේන්නැද්ද මෙතන. මෙතන අපි අවුරුදු පනහක් ජීවත් වුණ තැන. අහල පහළ කට්ටිය උද්ඝෝෂණ කරල රටට පෙන්නන්න හදනව කනත්තෙ ගෙවල් හදනව කියලා. අපි කියන්නෙ දැනට අපි ඉන්න තැන ගෙවල් හදන්න කියලා. අපි දැනට පදිංචිවෙලා ඉන්න ප්‍රමාණයට වැඩිය කනත්තෙන් බිම් අඟලක්වත් ගන්න ඕන නෑ. අපි තනිවෙලා ඉන්න මිනිස්සු. අවට පිට ඉන්න අයත් එක්ක හැප්පෙන්න ශක්තියක් අපට නෑ. වටේම ඉන්න අය විරුද්ධ වුණොත් ආණ්ඩුවට අපේ ගෙවල් හදන්ඩ හම්බවෙන්නෙ නෑ. මොනව කරන්නද?. අපිත් මෙහෙමම ජීවත්වෙලා මැරිල යන්නෙ නැතැයි.”

කනත්තේ මිනිසුන්ට ඔවුන්ට අහිමි වන දේ පිළිබඳ ව අරගල කරන්නටවත් ශක්තියක් නැත. සමස්ත සමාජය විසින්ම ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් තළා පෙළා කුඩුපට්ටම් කර ඇත. එහෙත් ඔවුන් එක සතියක් සිය ඉල්ලීම් ලබා දෙනලෙස ඉල්ලා වර්ජනයක් කළොත් මුළු නගරය ම කුණු ගොඩක් වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. ඒ බලය ගැන ඔවුන්ට මෙන්ම මහා සමාජයට ද වැටහීමක් නැත.

Comments