
මේ පෘථිවිතලය මත නීති විරෝධී ක්‍රියා කළ මිනිසුන් ඕනෑ තරම්ය. එහෙත් වාසනාවකට මෙන් මේ දක්වා පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේදී දැන දැන වැරදි කළ මිනිසුන් වූයේ නැත. මේ දක්වා එසේ පැවසිය හැකිව තිබුණද පසුගියදා නිව්යෝර්ක් නගරයේ පොලිස් ස්ථානයකට ලැබුණු පැමිණිල්ලක් මත සියල්ල වෙනස් විය. ඒ පෘථිවි කක්ෂයෙන් බැහැර අභ්‍යවකාශයේදී මිනිසකු විසින් සිදු කළ ප්‍රථම නීති විරෝධී ක්‍රියාව වාර්තා වීම හේතුවෙනි.
මේ ක්‍රියාව සිදු කර ඇත්තේ ඈන් මැක්ලෙයින් නම් වන අභ්‍යවකාශගාමි කාන්තාවක විසිනි. ඇය නාසා ආයතනය යටතේ වෘත්තියේ නිරත බවද සඳහන්ය. ඇය පසුගිය වසරේදී මාස හයක කාලයක් සඳහා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානට පැමිණි අවස්ථාවේදී මේ නීති විරෝධී ක්‍රියාව සිදු කර තිබේ. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු ලෝකයේ ප්‍රබල රටවල් පහක් එක්ව පෘථිවියෙන් එපිට අභ්‍යවකාශයේ පවත්වාගෙන යන පරීක්ෂණ මධ්‍යස්ථානයකි. එම රටවල් පහ වන්නේ අමෙරිකාව, රුසියාව, යුරෝපය, කැනඩාව සහ ජපානයයි. මේ රටවල් පහේ අභ්‍යවකාශගාමීන් වරින් වර සේවා මුර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබේ. ඈන් මැක්ලෙයින්ද අමෙරිකාව නියෝජනය කරමින් නාසා ආයතනය විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබූ අභ්යවකාශගාමීනියකි.
ඇය පසුගිය වසරේ දෙසැම්බර් 3වැනිදා මාස හයක් සඳහා අභ්‍යවකාශ ගත වී තිබේ. එහි ගත කරන අතර මේ මාස හයක කාලය තුළ ඇය අභ්‍යවකාශ යානාවකින් තොරව අභ්‍යවකාශයේ ගමන් කිරීම හෙවත් අභ්‍යවකාශ පා ගමනකද නිරත වී තිබේ. ඒ තවත් අභ්‍යවකාශගාමියකු වන නික් හියුජ් සමගිනි. මේ වසරේ මාර්තු මාසයේදී ඇයට තවත් පා ගමනක් නියමිත වී තිබූ අතර ඒ තවත් අභ්යකාශගාමී කාන්තාවක වූ ක්‍රිස්ටිනා කොච් සමගිනි. කෙසේ වුවද අභ්‍යකාශ ඇඳුම්වල වාර්තා වූ නොගැළපීමක් හේතුවෙන් මේ ගමන අවලංගු විය. එය සිදුකිරීමට හැකි වූයේ නම් එය අභ්‍යවකාශගාමී කාන්තාවන් දෙදෙනකු විසින් අභ්‍යවකාශයේ සිදු කරන ලද ප්‍රථම පා ගමන ලෙස ඉතිහාසගත වීමටද අවස්ථාවක් විය. මෙලෙස ඈන් මැක්ලෙයින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට ගෙවීමට නියමිත වූ මාස හයක කාලය ගෙවමින් සිටියාය. පසුව වාර්තා වූ පරිදි මේ කාලය තුළ ඇය එක්වරක් ඇයගේ පෙර සමකාමී සහකාරිය වූ සමර් වෝඩ්න්ගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු වී තිබේ. ඒ සඳහා ඇය භාවිත කර තිබුණේ නාසා ආයතනයේ මෘදුකාංග ක්‍රියාත්මක වන පරිගණකයකි.
පසුගිය ජූනි 24වැනිදා ඈන් මැක්ලෙයින් පෘථිවිය බලා පැමිණියේ තමන්ට අන්තර්ජාතික අභ්‍යකාශ මධ්‍යස්ථානයේ ගෙවීමට නියමිත වූ මාස හයක කාලය සාර්ථකව නිම කරමිනි. ඇය රැගත් සෝවුස් MS - 11 ෂටලය කසකස්ථානයේ ඈත පාළු ප්‍රදේශයකට ආරක්ෂිතව පතිත විය. එසේ ආරක්ෂිතව පෘථිවියට පැමිණෙන විට ඇය තවත් වාර්තාවකට නොදැනුවත්වම හිමිකම් කියා තිබුණාය. ඒ අභ්‍යවකාශයේදී මිනිසකු විසින් කරන ලද ප්‍රථම නීති විරෝධී ක්‍රියාව සඳහා විත්තිකාරිය වෙමිනි.
![]() |
සමර් වෝඩන් සහ ඈන් මැක්ලෙයින් |
ඇයගේ හිටපු සමකාමී සහකාරිය නිව්යෝර්ක් පොලීසියට පැමිණිලි කර තිබුණේ ඇය නාසා ආයතනයේ පරිගණක භාවිත කරමින් තමන්ගේ බැංකු ගිණුමේ තොරතුරු අනවසරයෙන් ලබා ගත් බවයි. මෙහිදී ඈන් මැක්ලෙයින්ගේ නීතිඥයන් එයට ප්‍රතිඋත්තර ලබා දී තිබුණේ තම සේවාදායිකාව ගිණුමට පිවිසි නමුදු ඉන් එහා කිසිදු වංචනික ක්‍රියාවක නිරත වී නොමැති බවයි. එමෙන්ම මීට පෙර ඈන් ඇයගේ සහකාරියගේ පුත්‍රයාට මුදලින් ආධාර කර තිබූ බවත් ඇය අභ්‍යවකාශයේ සිටිමින් බැංකු ගිණුම පරීක්ෂා කිරීම තුළින් සමර් වෝඩ්න්ට තවදුරටත් බිල්ගෙවීම ඇතුළු කටයුතු සඳහා ප්‍රමාණවත් මුදලක් පවතීදැයි පරීක්ෂා කර බැලීම පමණක් සිදු කර ඇති බවත් නීතිඥයෝ පවසා සිටියහ. ඈන් මැක්ලෙයින්ද තරයේ පවසා සිටියේ තමා කිසිදු වංචනික ක්‍රියාවක නිරත නොවූ බවයි.
කෙසේ වුවද මේ කතා කිසිවක් මායිම් නොකළ සමර් වෝඩන් තවදුරටත් නීතියේ පිහිට පතමින් සිටින බව වාර්තා වේ. එයට අමතරව ඇයගේ පවුලේ සාමාජිකයකු නාසා ආයතනයට විරුද්ධවද පැමිණිල්ලක් ගොණු කර තිබුණේ නාසා ආයතනයේ පරිගණක වැරදි ලෙස භාවිත කර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව ඉදිරියේදී ඈන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා විභාගයට ගැනීමට නියමිතය.
අන්තර්ජාතික අභ්‍යකාශ මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට කටයුතු කරන රටවල් පහ එක්වී අභ්‍යවකාශයට බලපාන නීති සම්පාදනය කිරීමටද කටයුතු කර තිබේ. මේ නීති සම්බන්ධයෙන් කටයුතු කරන්නේ Global Space Law Center නම් වන ආයතනයක් මගිනි. එහි අධ්යක්ෂ ධූරය හොබවන මාක් සන්ඩල් පවසා තිබුණේ මීට පෙර අභ්‍යවකාශයේදී සිදු කරන ලද කිසියම් හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොතිබුණ බවයි. ඒ අනුව ඈන් මැක්ලෙයින් ඉතිහාස ගත වුවද ඇය සම්බන්ධයෙන් ඉදිරියේදී ලැබීමට නියමිත තීන්දුව ඇයගේ අනාගතයට බලපෑම් සිදු කිරීමට සමත් වනු නොඅනුමානය.
ඇය අභ්‍යවකාශයේ ගත කරමින් පෘථිවියේ බැංකුවක ආරක්ෂිත පරිගණක පද්ධතියක් ඉක්මවා වෙනත් අයකුගේ ගිණුමක වාර්තා ලබා ගැනීමට තරම් සමත්කමක් දැක්වූයේ කෙසේදැයි ගැටලුවක් පැණනැගිය හැකිය. එහෙත් අභ්‍යවකාශගාමියකු වීමට තරම් දක්ෂතා සහිත, අභ්‍යවකාශයේ ඇවිද යෑමට තරම් හැකියාවක් සහිත පුද්ගලයකු නූතන තාක්ෂණික උපකරණ අයථා ලෙස භාවිත කිරීමට සමත්කම් දක්වන්නේ නම් එය විශේෂ දක්ෂතාවක් නොව සාමාන්‍ය කරුණක්ම වනු ඇත.