කොමසාරිස් වළ දමන්න යන ඔස්ටින්ලාගේ උරුමය | සිළුමිණ

කොමසාරිස් වළ දමන්න යන ඔස්ටින්ලාගේ උරුමය

වුන්ගේ ප්‍රශ්නය තවම විසඳී නැත. එනම්, ලංකා ඉති­හා­සයේ පැති­ක­ඩක් කියා පාන, මිලක් පවා කිව නොහැකි, එහෙත් මේ පැරැණි කාර් නුරු­ස්සන සහ ඒවායේ කිසිදු වටි­නා­ක­මක් නොදන්නා, මෙරට මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රි­ස්ව­ර­යාගේ තීන්දුව තව ම වෙනස් වී නැත.

ඔහුට අනුව, ලියා­ප­දිංචි නොකළ මේ ඉපැ­රැණි වාහ­න­වල පොත් සහ ෆයිල් සියල්ල විනාශ කළ යුතුය. හේතුව, ඒවා තියා ගන්නට ඉඩ මදිය.

ලංකාවේ ලේඛ­නා­ර­ක්ෂක ආඥා පන­තට අනුව, අවු­රුදු 50ට වැඩි කිසිඳු ලේඛ­න­යක් විනාශ කිරීම තහ­නම් වන අතර, ඒවා ආරක්ෂා කිරී­මට ඔවුහු නීති­යෙන් බැඳී හිඳිති.

එහෙත් අපේ රටේ මෝටර් රථ කොම­සා­රි­ස්ව­ර­යාට ඒ නීතිය වෙනස් කිරී­මට බලය ආවේ කොහෙන් ද... ඒ සඳහා ඔහු කැබි­නට් අනු­මැ­තිය පවා ලබා ගෙන ඇත්තේ කුමන පද­න­ම­කින්ද... මේ කිසි­වක් කිසි­ව­කුත් නොදන්නා අතර, අදාළ ඇම­ති­ව­රයා පවා මේ ඛේද­වා­ච­කය නොද­ැකීම ඉතාමත් කනගාටුදායක තත්වයක් බවයි , වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා පවසන්නේ.

මුහුණ දී සිටින ෙතත්ත්වය කොයි තරම් බර­ප­තළ වුවද මොහො­ත­කට ඒ සියල්ල අම­තක කර­ද­ම­න්නට පැරැණි කාර් හිමි­යන්ගේ සංග­මය හෙවත් VCOC, Vintage car Owner’s Club සියලු සාමා­ජි­කයෝ තීර­ණය කළේ ඒක­ම­ති­ක­වය. ඒ, මේ වෙලාවේ ඉටු කළ යුතු යුතු­ක­මක් වෙනු­වෙනි.

දළදා පෙර­හර බල­න්නට ආ සංචා­ර­ක­යන් තව­මත් රට තුළ රැඳී ඉන්නා දවස් බව දන්නා ඔවුහු, සංචා­රක ව්‍යාපා­රයේ ප්‍රව­ර්ධ­න­යට පෙළ ගැසුණේ මේ මොහොතේ, ඒ සිය වග­කීම කර­ගෙ­නය.

පහු­ගිය 24 වැනිදා උදේ හත වෙද්දී කිෂූ ගෝමස්, සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාංශයේ සහ­භා­ප­ති­ව­රයා ද මොර­ටුව වේල්ස් කුම­රිය ඉදි­රි­පි­ටට ආවේ, සංචා­රක ප්‍රව­ර්ධ­නය උදෙසා මේ පැරැණි කාර් සමූ­හය මොර­ටුවේ සිට ගාලු කොටුව බලා යන ගම­නට සුබ පත­න්න­ටය. කොඩිය ඔසවා ආර­ම්භය දෙන්න­ටය.

“මේ පැරැණි කාර් ටික දැක්කම මට හිතුණා මොන තරම් වටිනා සම්ප­තක් තවම අපි ළඟ තියෙ­න­වද කියලා. මේ හැම එකක් ම අවු­රුදු හැට හැත්තෑ­ව­කට වැඩියි. විවිධ රට­වල හැදූ වාහන. සම­හ­ර­විට ඒ රට­ව­ලත් මේවා නැතිව ඇති.

නිකම් හිතන්න, අද කොළඹ හෝට­ල්වල සංචා­ර­කයො ටිකත් මේ ගම­නට ආව නම් ඔවුන් මේවා දැක්කා නම් අපේ සංචා­රක ව්‍යාපා­ර­යට මේ වෙලා‍වෙ මොන තරම් ආක­ර්ෂ­ණ­යක් ලැබෙ­න­වද. ඔවුන් හරහා මේ පණි­වු­ඩය මුළු ලෝකෙට ම යනවා නේද...

මේ පැරැණි කාර් අපේ ටුව­රි­ස­ම්ව­ලට මීට වඩා යොදා ගත හැකි වැඩ­පි­ළි­වෙ­ළක් හැදෙන්න ඕනෙ. මේ වාහන ටික රැක ගන්නත් අපි උදව් කරන්න ඕනෙ....”

ඔහුගේ වච­න­වල තිබූ අලුත් බලා­පො­රොත්තු මේ පැරැණි කාර්ව­ලට ආද­රය කරන, ඒ මත්තෙම හැපෙන මිනි­සුන් සමූ­හ­යට සතු­ටක් ගෙනා­වේය. බිඳී තිබූ හිත්ව­ලට ශක්ති­යක් ගෙනා­වේය.

ඉතින් ඔවුන් ගාලු ගමන ඇරැ­ඹුවේ, ඒ සතු­ටද පෙර­දැරි කර­ගෙ­නය.

1926ට අයත් නීල් ප්‍රනාන්දු මහ­තාගේ R 138 නිල් පැහැ ඔස්ටින් 7 වාහනයේ සිට 1948 දක්වා යුග­වල ඔස්ටින් ..... බේබි ඔස්ටින්.... බෝට් ටේල්... වොක්ස්වෝල්.... ස්ටෑන්ඩර්ඩ්.... වූල්ස්ලි.... ඉංග්‍රීසි තනි අකුරේ ඉපැ­රැ­ණිම කාර් ගොන්න, වැඩි­හි­ටි­ක­මට මෙන් ඉස්ස­ර­හින්ම පෙළ ගැසිණි.

ඒ බොහෝ ඒවා ප්‍රමා­ණ­යෙන් කුඩාය. හැඩ­යෙන් වෙනස් ය. එකක ඩිකිය වෙනු­වට ට්‍රන්කා පෙට්ටි­යකි. තවෙ­කක, පිටු­පස බැඳි පන් පෙට්ටි­යකි. බ්‍රේක් ගහ­න්නට කේබල් පද්ධ­ති­යකි. පැති කණ්ණාඩි කිසි­වක් නැත. බ්‍රේක් ලයිට් හෝ ලයිට් ද නැත.

එහෙත් එදා සුද්දා තේ ව­තු­ව­ලට ගියේත් කොළඹ සිට රට­වටා ගියේත් මේ වාහ­න­ව­ලින් බව බොහෝ අය නොදන්නා කාර­ණ­යකි.

1956 දක්වා විහි­දෙන, හම්බර් හෝක්, ඩේම්ලර්, මොරිස් මයි­නර් - ටුව­රර්, මොරිස් මයි­නර් සැලූන්, ට්‍රෑම්ප් රින­වුන්, ෆෝර්ඩ් විලි­යර්ස් 4 වීල් ඩ්‍රයිව් සහ M.G.T.F වැනි CE, CY, CL, CN., EY, EL සහ EN යුග­ව­ලට අයත් කාර් හැඩ­යෙන් ප්‍රමා­ණ­යෙන් විශා­ලය. ගාම්භී­රය.

සුද්දා පම­ණක් නොව, අපේ රටේ තේ වතු, රබර් වතු හිමි­යන්, ‍ෙර්න්ද මුද­ලා­ලිලා, වතු අධි­කා­රි­වරු සහ ව්‍යාපා­රි­ක­යෝත් එදා මේ වාහ­න­වල අයි­ති­ක­රු­වෝ වූහ. කවුරු පැද්දත් තාක්ෂ­ණය සරල විය.

“අපේ රටේ වාහන තාක්ෂ­ණය හදා­රන තරු­ණ­යන්ට ඉගෙන ගන්න බො‍හෝ දේ මේ පැරැණි කාර්වල තිබෙ­නවා. මේ කාර් බො‍හොම­ය­කම ලයිට් නැහැ. භූමි­තෙල් හරි ගෑස් ලාම්පු දෙකක් හරි තමයි, දෙපැත්තෙ ලයිට් විදි­යට එල්ලලා තිබුණේ. ඊට පස්සෙ ඩයි­නමෝ තාක්ෂ­ණ­යට ඒවා දියුණු කළා. කේබල් බ්‍රේක්, හයි­ඩ්‍රො­ලික් බ්‍රේක් වුණා. ගියර් බොක්ස් වුණත් එහෙ­මයි.

ඉලෙ­ක්ට්‍රික් කාර්, හයි­බ්‍රිඩ් කාර් පදින රටක තවම මේ වගේ සරල තාක්ෂ­ණ­යෙන් දුවන කාර් තියෙ­නවා කියලා තරුණ පර­ම්ප­රාව දැන­ගන්න ඕනේ. ළම­යින්ට මේ දැනුම දෙන්න ඕනේ. ඇ‍ඟේ උණක් තියෙන මිනිස්සු ටිකක් නිසා තමයි මේවා මේ විදි­යට තවම සුරැ­කිලා තියෙන්නෙ.

රටක ආණ්ඩු­වක් කරන්න ඕනෙ වැඩක් අපි මේ කරන්නෙ. එහෙම කර­ද්දිත් පුළු­වන් තරම් නීති දාලා කර­දර කර­නවා. මේවා අපිත් අත්හැ­රි­යොත්, පරණ ගරා­ජ්වල, ගස් යට ඔහේ දිරා­පත් වෙලා යාවි. දැන­ටත් ඔය පොත් ප්‍රශ්නෙ නිසා පරණ කාර් හාර­පන් දාහ­ක්වත් මේ රට පුරා තැන් තැන්වල ගස් යට ඔහේ දිරා­පත් වෙනවා.

දිවු­රුම් පෙත්ස­මක් දීලා, තවත් අයි­ති­ක­රු­වන් සිටී නම් විරු­ද්ධ­ත්වය පාන්න කාල­යක් දීලා, මේවායේ දැන් අයි­ති­ක­රු­වන්ට ම ඒවායේ අයි­තිය සහ බල­පත්‍ර ලබා ගන්න වැඩ­පි­ළි­වෙ­ළක් හදන්න ඇයි බැරි. ඕනෙ දෙයක් විනාශ කරන්න ලේසියි. රැක ගන්නයි අමාරු. අපි කරන්නෙ ඒ අමාරු දේ.”

සංග­මයේ සභා­පති, නීල් ෆර්නැන්ඩු මහතා පව­සන්නේ, වටි­නා­කම ගැනය. ගැට­ලු­වක් ඇත්නම් ඒ සඳහා ඇති හොඳම සහ ප්‍රායෝ­ගි­කම විස­ඳුම ගැනය. අවශ්‍ය සෑම සහ­යක් ම දී, මේ ගැට­ලුව නිරා­ක­ර­ණය කර­ග­න්නට නීල් මහතා ප්‍රමුඛ කණ්ඩා­යම සූදා­නම්ය.

1989 බිහිවූ වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ්හි පැරැ­ණිම සාමා­ජි­කයා වන හර්සිල් ෆර්නැන්ඩු, 1908 මෙර­ටට ගෙන්වූ ‘ඇල්බි­යන් මරේ’ රථයේ වර්ත­මාන හිමි­ක­රු­වාය.

බෝගල පත­ලෙන් කොළ­ඹට මිනි­රන් ගෙනා, ඇල්බි­යන් මරේ ලොරියේ දෙවැනි හිමි­කරු වන ඔහු, වින්ටේජ් කාර් සඳ­හාම වෙන්වූ ගරා­ජ­යක් පව­ත්වා­ගෙන යන්නේ, සිය සමූ­හ­යාට විශාල සහ­න­යක් වෙමිනි.

භාණ්ඩා­ගා­රි­ක­ව­රයා වන මහේන්ද්‍ර සම­ර­සිංහ, උප­ස­භා­ප­ති­ත්වය දරන මල්කි රෙන්ට­කාර් සභා­පති මහේෂ් මල්ල­වා­රච්චි, වෛද්‍ය කාලිංග ගිනි‍ගේ, නීල් ප්‍රනාන්දු ඇතුළු මේ ජ්‍යෙෂ්ඨ­යන්, අලුත් පර­ම්ප­රාව එකතු කර ගනි­මින් මේ පැරැණි කාර්, රැක ගැනී­මෙ­හිලා දරන වෙහෙස සුළු පටු නැත.

මේ බොහෝ අය ව්‍යාපාර සහ සමා­ගම් හිමි­ක­රුවෝ වන අතර, මේවා රැකී තිබෙන්නේ ද ඒ සල්ලිය බාගේ ඇති මිනි­සුන් විය­දම් දරා කරන කැප­වීම් නිසා බවත් නොකියා බැරිය.

කිලෝ මීටර විස්සෙන් විස්සට තිහෙන් තිහට නව­ත­මින්, රත්වූ එන්ජි­න්ව­ලට වතුර දම­මින්, ගිමන් නිව­මින් ගාල්ල දක්වා යන ගමනේ, මග දෙපස රැස්වූ මිනි­සුන් ගැහැ­නුන් දරු­වන් මේ කාර් දෙස බලා හිටියේ දෑස් අද­හා­ගත නොහැකි ආසා­ව­කිනි. සතු­ට­කිනි.

ගිමන් හරි­න්නට නැව­තුණු හැම වෙලා­ව­ක­මත් දවල් කෑමට හික්ක­ඩුව කොරල් සෑන්ඩ්ස් හෝට­ලයේ එක පෙළට නැවතූ විටත්, ගාලු කොටු­වේ­දීත් බොහෝ අය මේ වාහන අත­පත ගෑවේ, හෝන් එක ඔබා බැලුවේ සෙල්ෆි ගැහුවේ, ඡායා­රූප ගත්තේ ඒ සතුට වැඩි­ක­ම­ටය.

‘මේ අපේ රටේ කාර් ද අම්මේ....’

‘කොහේද අප්පා මේවා හැංගිලා තිබුණේ....’’

‘මේං පුතේ බෝට්ටු පස්සක් තියෙන කාර් එකක්...’

‘අර, ඩිකිය වෙනු­වට ට්‍රන්කා පෙට්ටි­යක්...!’

‘තාත්තෙ මාව මේකෙන් වාඩි කර­න්නකෝ....’

මේ, කව­දා­වත් හැබැ­හින් නොදැ­කපු අමුතු කාර් දැකපු වෙලේ ඒවා ගැන අම්මලා තාත්තලා දූලා පුතාලා අතර වූ කතා බහෙන් කොට­සකි.

‘අපි හිතුවෙ නැහැ ශ්‍රී ලංකාවේ මේ තරම් පරණ කාර් තව ම තියෙ­නවා කියලා...’

‘කොහෙද මේවා සංර­ක්ෂ­ණය කරන්නේ... උඹ­ලට මියු­සි­යම් එක­කුත් තියෙ­න­වද...’

ගාලු කොටු­වෙදි පම­ණක් නොව, කොරල් සෑන්ඩ්ස් හෝට­ල­යේ­දිත් සංචා­ර­ක­යන්ගේ ප්‍රශ්න කිරීම් කෙළ­ව­රක් නැති වූයේ, ඒවා ඔවුන්ට ද විස්මය දැනවූ නිසාය.

“ඒත්, පරණ බිල්ඩින්, කෝච්චි පෙට්ටි.... පත්තර... මුද්දර.... මේ හැම­දේ­ටම කෞතු­කා­ගාර තියෙන රටක, මේ වගේ පැරැණි කාර් රකින්න කටු­ගෙ­යක් තියා සංර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළක් වත් නැති බව ඒ සංචා­ර­ක­යන්ට අපි කොහොම කිය­න්නද... රටක ඉති­හා­ස­යක් නොදන්නා මිනි­සුන් ගන්නා මෝඩ තීන්දු තීරණ නිසා, මේ වළ දමන්න හදන්නෙ මේ රටේ එක් යුග­යක් නෙවෙයිද...

මේ ලිය­වි­ලි­ව­ලට ඉඩ යනවා කියන එකයි ඔහුගේ තර්කය. ‘හරි අපි අපේ විය­ද­මින් ඒ ලිය­විලි CD ගත කරලා දෙන්නම්, CD ටික තියන්න පොඩි ලාච්චු­වක් විත­රයි එතුමා හොයා ගන්න ඕනේ. කරු­ණා­ක­රලා මේ විනා­ශය කරන්න එපා!....’

වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා පව­සන්නේ සිදු­විය යුතු දේ සහ හරි දේ පිළි­බ­ඳ­වය.

මෙවැනි ගැටලු මැද්දේ කැකෑ­රෙ­මින් සිටි­යදී වුවද කඩා වැටුණු සංචා­රක ක්ෂේත්‍රය නඟා සිටු­වන්න පෙළ ගැහුණු ඔවුන්ට, මේ රටේ හැම කෙන­කුගේ ම ආචා­රය හිමි විය යුතුය.

‘නමුත්, අවු­රුදු සිය­ය­කට වැඩි වය­සක් ඇති මේ බොහෝ වාහන රැකුණේ, අයි­ති­කා­රයො දෙතුන් දෙන­කුගේ අතින් අත ගිහින්. ඒ කවු­රුත් පැරැණි වාහ­න­ව­ලට ආදරේ කළ මිනි­සුන්. ඒ අය මැරු­ණම, සම­හර දූ දරුවො ඒ වාහන විකු­ණන‍්නෙ නැහැ. ඊළ­ඟට පොත් අස්ථාන ගත වෙනවා.

ඉතින්, ආසාව තියෙන කෙනා ගත්තට, වාහනේ පොත නැහැ. ඉතින් රෙජි­ස්ට්‍රේ­ෂන් ප්‍රශ්න. ඊළ­ඟට රෙපෙ­යා­ර්ව­ලට යද්දි දැනුම තියෙන බාස්ලා නැහැ. අම­තර කොටස් නැහැ. සම­හර ඒවා එංග­ල­න්ත­යෙන්ම ගේන්න ඕනේ. මිල අධි­කයි. ටයර් ගෙවු­ණොත් ටයර් නැහැ. බල­න­කොට ලස්ස­නට අභි­මා­නෙට පෙනු­ණට මේ වාහන අපි මෙහෙම හරි එළි­යට ගන්නෙ ප්‍රශ්න දාහක් මැද්දෙ...’

ඉතින්, අපේ රටේ යුග­යක් එකලු කළ මේ පරණ කාර් ටික සුර­කින්න, මේ මිනි­සුන් සමූ­හයා දරන වෙහෙස, ඔබ­ටත් දැනෙ­න­වද.... බල­ධ­ර­යන් තේරුම් ගත යුත්තේ ද මේ සත්‍යය පම­ණකි.

Comments