
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මැණික් කර්මාන්තයේ ඉතිහාසයේ වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි. එමඟින් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ද අති විශාල ය. ලෝකය මවිතයට පත් කරවන මැණික් කැණීමේ තාක්ෂණයක් අප සතුය. ශ්‍රී ලංකා පොළොවත් මතු වන මිණිකැට ගුණාත්මක බවින් ද උසස් වන නිසා ලෝක මැණික් වෙළෙඳ පොළේ පවතින්නේ ඉතා හොඳ ඉල්ලුමකි.
එහෙත් රට අභ්‍යන්තරයේ මැණික් කර්මාන්තය මුහුණ දෙන අභියෝග රැසකි. ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව නොසතුටට පත්ව සිටිනු පෙනේ.
පාරිසරික හානියක් සිදු වන බවට ඇතැමෙකු චෝදනා කරද්දී පතල් කර්මාන්තයේ නියැළී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි අසීරුතාවට පත් වී සිටිති. මැණික් පතල් කැණීම සදහා නීත්‍යනුකූල බලපත්‍රයක් ලබා ගැනීමට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් මැණික් පතල් විෂය භාර ව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් වෙත චෝදනා එල්ල වෙමින් තිබේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පතල් කර්මාන්තයේ නියැළෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් නිසා පතල්කරුවා කම්කරුවෙකු බවට පත් වී ඇති බව ඇතැම්හු පෙන්වා දෙති .
ඇළක දොළක වැලි ටිකත් සෝදා එදිනෙදා ජීවිකාව ගෙන ගිය අය මිනීමරුවන් මංකොල්ලකරුවන් ලෙස නීතියේ රැහැනට හසු කර හිරේ විලංගුවේ දමා දඩ ගැසීම අසාධාරණ බව ඔවුන්ගේ පාර්ශ්වයෙන් නැඟෙන මැසිවිල්ලකි. විටෙක සමාජ සද්කාර්යට උර දෙමින් සාමාජ ආර්ථික දේහය සවිමත් කරන මැණික් ව්‍යාපාරිකයන් පිළිබඳ සමාජය පෙරළා හැසිරෙන ආකාරය ගැන සංවාදයක් ඇති කළ යුතුව තිබේ.
අප සමඟ මුලින්ම කතා කරන්නේ ලංකා මැණික් ව්‍යාපාරයකින්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේය.
“අද අපේ රටේ මැණික් කර්මාන්තය පවතින්නේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකය. එක පැත්තකින් මැණික් ලැබීම හොඳටම අඩුවෙලා . පතල් කැණීම් බලපත්‍ර ලබා ගැනීමට විවිධ බාධක. ලී දඬුවල මිල ශීඝ්‍රයෙන් වැඩි වෙලා. පුහුණු නුපුහුණු කම්කරුවන් සොයාගැනීම ඉතා අසීරුයි. අපි කියන්නෙ නැහැ පතල් බාස්ගෙ පුතා පතල් බාස්ම වෙන්න ඕන කියලා. ඒත් මැණික් කර්මාන්තයෙ අනාගතයට ගෙනියන්න නම් පුහුණු නුපුහුණු ශ්‍රමශක්තිය අවශ්‍යයි. ඒ නිසා විකල්ප මාර්ග ඔස්සේ විවිධ යන්ත්‍ර සූත්‍රවලට යොමු වෙන්න සිදු වෙනවා. එවිට විවිධ පරිසර හානි කිය කියා සංවිධාන කෑ ගහනවා . රජයේ නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා.බොහෝ දෙනෙක් අල්ලසට යට වෙලා. ඒ අය තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කරන්න පටන් ගත් දවසෙ ඉඳලා මැණික් කර්මාන්තය කාටවත් ගැටලු නැතුව ඉදිරියට යයි.” ඔහු පවසයි.
ඔහුට අනුව රාජ්‍ය අංශයේ අනුග්‍රහය නොලැබී යයි නම්, සංවර්ධන හා පර්යේෂණ අංශ යාවත්කාලීන නොවේ නම් තවත් වසර දහයක් යන විට මැණික් කර්මාන්තය ඉතිහාසයට එකතු වනු ඇත.
ලංකා මැණික් ව්‍යාපාරයකින්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන්ය. ඔහු සංවාදයට එක් වන්නේ මෙසේය.
“පසුගිය වකවානුව තුළ අප දුටුවා මැණික් කර්මාන්තය කිසියම් ප්රබෝධයකින් ඉහළට එසවුණා. ඊට බලපෑවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපතිවරයා. එතුමා කෙටි කලක් තුළ ඉතා වටිනා සේවාවක් ඉටු කරන්නට මහන්සි ගත්තා. මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබාදීමේ එක් දින ජංගම සේවාව ඉන් ප්‍රධානයි. ඒ විතරක් නෙවෙයි, මැණික් අපනයනය හා ප්‍රතිඅපනයනයට බලපෑ බධා සාධනීය ලෙස විසඳීමට උත්සහ ගත්තා.
නමුත් මේ වෙද්දී නැවතත් පරණ තත්ත්වයට පත්වෙලා. එදා වේගයෙන් පැමිණි ගමන අද සම්පූර්ණයෙන් ම ඇනහිටලා. බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමීව සිදු වෙන්නෙ . ලෝක මැණික් වෙළෙඳාම අර්බුද රැසක පැටලිලා . අද හොකොං රටට චීනය විසින් අලුත් නීති පනවලා. දවස ගානේ උද්ඝෝෂණ . මේ තත්ත්වය දැඩිව අපේ රටේ මැණික් ව්‍යාපාරයට බලපානවා. මැණික් මිල අඩු වෙලා . මුදල් ලැබීම ප්‍රමාදයි. මැණික් පතල් කර්මාන්තයේ නියැළුණු පිරිස මෙන්ම එමඟින් ජීවිකාව ගෙන යන ප්‍රමාණය ලක්ෂ දහයකට වැඩියි. ඒ අතර මැණික් පතල්කරුවන් වැඩි පිරිසක් කොළඹ වැනි පළාත්වල කුලී වැඩවලට ගිහින්. අපේ රටේ මැණික් ව්‍යාපාරය පිළිබඳ රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේත් අනවබෝධය නිසා නිවැරදි දැක්මක් ඇති බව පේන්නේ නැහැ. නමුත් සමහර මැණික් පතල්කරුවන් අශිෂ්ට ලෙස පරිසරය විනාශ කිරීම් අපේ සංගමය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
රත්නපුර පී.ආර්.රාජපක්ෂ සුළු මැණික් ව්‍යාපාරිකයෙකි. කර්මාන්තයේ අපහසුව බිම් මට්ටමේදීම දැනෙන්නේ ඔවුන්ටය.
“ අද මැණික් කර්මාන්තයේ යෙදී සිටින අපි වගේ සුළු මැණික් ව්‍යාපාරිකයන්ට තමා වැඩිම අසාධාරණයක් සිදු වුණේ . එදා රළු මැණික් අපනයනය කරද්දී එතරම් බදු මුදලක් පැනවුණේ නෑ . අද රළු ගල්වලට සියයට විසිපහක් වගේ මුදලක් ටැක්ස් ගහනවා. අනෙක ලංකාවේ ලැබෙන හැම ගලක්ම ගුණාත්මක බවින් ඉහළ අගයක් ගන්නෙ නෑ . සුළු මැණික් ව්‍යාපාරයකින් වැඩි වශයෙන් අපනයනය කරන්නෙ ලංකාවේ දි වැඩි මිලකට විකුණා ගැනීමට නොහැකි ගල්.
ඒවා අනෙක් මැණික් ගල් මෙන් වටින්නේ නෑ. ඒවා පිලිස්සුම් කරන තාක්ෂණය ලංකාවේ නැහැ. ඔට්ටු, යං, ගෙවුඩ වගේ මැණික් ගල් පිට රට දී වඩා වැඩි ගුණාත්මක මට්ටමට පුලුස්සා ගැනීමට පහසුකම් තිබෙනවා. නමුත් ගුණාත්මක බවෙන් ඉහළ ගල් වලට පනවපු අපනයන බද්ද ඒවාටත් පැනවීම අසාධාරණයක්.
අඩු වටිනාකමක් සහිත මැණික් සඳහා ලංකාවේ දි සමාන බද්දක් අය කළත් ඒ රටවල මැණික් මිල වෙනස් වෙන්නෙ නෑ. බැකෝවලින් පතල් කොච්චර කැපුවත් ඒවා සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යනවා. දලං කෑල්ලක් මැණික් පොළට එන්නෙ නෑ . ඒ පතල්වල හවුල්කරුවන් අද කම්කරුවන් පමණයි.
ඩබ්ලිව්.ජී.සිරිල් පතල්කරුවෙකි. ඔහුගේ ගම හසලකය. ඔවුන් අද බෙහෙවින්ම අසරණය.
අපි මැණික් කෙරුවාවට ගිහින් අද කබලෙන් ළිපට වැටිලා ඉන්නෙ. ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕන වගේ අපිත් විශාල සටනක් කරනවා දලං කෑල්ලක් හොයාගන්න. දැන් ඒකටත් හෙනහුරා වැහිලා. කූඩයෙන් වට්ටියෙන් ගගේ වැලි ටිකක් ගරාගන්න දෙනවා කිව්වට අපි ගඩොල් අච්චුවෙන් ගඟ මැද වැලි ටිකක් හේදුවත් පොලිසිය එස්.ටී.එෆ්.එක ඇවිත් අල්ලගෙන යනවා. දඩය රුපියල් පහළොස්දහසට වැඩියි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේක බලපාන්නෙ නෑ. අපිට දරුවන් එක්ක පාරට බැහැලා හිඟා කන්න වෙලා.
විදේශීය මැණික් ව්‍යාපාරිකයන් සඳහා මඟ පෙන්වීම වෘත්තියක් කරගත් අය රත්නපුරයේ වෙති. කේ.ඩී.සරත් කුමාර එවැන්නෙකි.
“ මම මේ රස්සාවට බැහැලා දැනට අවුරුදු තිස් අටක් වෙනවා. මට භාෂා පහක් කතා කරන්න පුළුවන්. අපි එදා මේ මැණික් කර්මාන්තයට එන කාලයේ හරිම ගෞරවයකින් රස්සාව කරන්න පුළුවන් කම තිබුණා. අද ඒ ගෞරවය නෑ. විදේශ ව්‍යාපාරිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳිලා. ඔවුන් මැණික් මිලදී ගැනීමට මැළිකමක් දක්වනවා. හොඳ ව්‍යාපාරයකින් ලංකාවට එනවා අඩුයි.” ඔහු කියන්නේ මැණික් ව්‍යාපාරයේම බිඳවැටුණු ප්‍රමිතිය ගැනය.
නීල් ධම්මික දීපාල් රත්නපුරයේ සුළු මැණික් ව්‍යාපාරිකයෙකි. ඔහුගේ හඬේ මහා වේදනාවක් ගැබ් වී තිබේ.
“මැණික් ව්‍යාපාරයේ මහගෙදර රත්නපුරයයි. එදා ඉඳලා ලෝකයේ මොන රටෙන් මැණික් ගන්න සංචාරකයන් ආවත් බහින්නෙ රත්නපුරට. නමුත් එන හැම කෙනාම කියන්නෙ රත්නපුර නගරයේ ජාත්‍යන්තර මට්ටමේ මැණික් අලෙවියට සතුටුදායක තත්ත්වයක් නැහැ කියන එක.
එදා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති තෝමස් එල්ලාවල මහත්තයා ජත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය රත්නපුර නගරයේ ඉදිකිරීමට සැලසුම් කළා. නමුත් එතුමාගෙන් පස්සෙ ඒක ඉස්සරහට ගියෙ නෑ .
ඒ වගේම අද තත්ත්වය අනුව හැමෝට ම රක්ෂණයක් තිබෙනවා. නමුත් ජීවිත අවදානම නොතකා අඩි දෙතුන් සියය පොළොව යට මැණික් සොයන්නට යන අපේ පතල්කරුවන්ට කිසිදු ආරක්ෂාවක් නෑ. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට මෙතරම් දායකත්වයක් දක්වන මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම මැණික් පතල්කරුවන් වර්තමානයේ මුහුණ දෙන මේ ගැටලු විසඳා දීම ඇත්තටම අසාධාරණ ද.?.
රාජ්‍ය මට්ටමේ වගකිවයුත්තන්ගේ අවධානය කඩිනමින් එම ගැටලු විසඳීමට යොමු විය යුතු නොවන්නේ ද?