
බෝරා ගෝලීය සම්මේලනය මේ වසරේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ය. එය සැප්තැම්බර් 02 (හෙට) සිට සැප්තැම්බර් 12 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියේ පැවැත්වෙන එම සම්මේලනයට බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන “සෙයියද්නා” ඉන්දියාවේ සිට මෙරටට සැපත්වූයේ 28 වැනි බදාදා ය. ඔහු 53 වැනි සෙයියද්නා වේ. සෙයියද්නා යනු මහා ස්වාමීන්වහන්සේ යන අර්ථයට සමාන වචනයකි.
වාර්ෂිකව පැවැත්වෙන බෝරා ගෝලීය සම්මේලනයට රටවල් 40 කින් බෝරාවරුන් 30,000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. එබැවින් මේ දින කිහිපය තුළ මීගමුව සිට ගල්කිස්ස දක්වා ප්‍රදේශයේ බෝරාවරුන් නිරන්තරයෙන් දැක ගත හැකි වනු ඇත.
බෝරාවරුන්ගේ ආගමික සමුළුව නිමිත්තෙන් මෙරටට ඔවුන් තිස් දහස් ගණනින් ළඟා වුවද බෝරාවරුන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිද්ධ වූයේ “ජැෆර්ජි ඊසාජි” යන එක් වෙළෙන්දකුගෙනි. ඒ ක්‍රි.ව. 1830 දීය. බටහිර ඉන්දියාවේ මානවී නම් වරායේ සිට මාලදිවයින බලා යාත්‍රා කළ වෙළෙඳ නෞකාවක් කුණාටුවකට හසු වී ගාලු වරායට පැමිණීමත් සමඟ “ජැෆර්ජි ඊසාජි” ලංකාවට පැමිණියේය.
![]() |
53 වැනි සෙයියද්නාතුමා වන මුෆාද්දල් සෙයිෆුද්දීන් |
ඉන්දියාවේ සහල් මාලදිවයිනට ගෙන යෑමත් මාලදිවයිනේ කරවල ඉන්දියාවට ගෙන ඒමත් සිදු කළ එම බෝරා ජාතික වෙළෙන්දා ගාල්ලේ සිට සිය වෙළඳාම ඇරඹුවේ වෙළඳාම ඔවුන්ගේ ජානවලට කා වැදී තිබූ නිසා විය යුතුය. ඇත්ත වශයෙන්ම අතීතයේ විසූ බෝරාවරුන් අයත් වූයේ හින්දු ජන ප්‍රජාවටය. ඔවුන්ගේ නිජබිම වූයේ ඉන්දියාවේ ගුජරාටයයි. වෙෙළඳ කටයුතුවල නිරත හින්දු ජන ප්‍රජාව එකල හැඳින්වූයේ “වොහොරා” යන නමිනි. එහෙත් 11 වැනි ශත වර්ෂයේදී යේමනයෙන් සහ ඊජිත්තුවෙන් පැමිණි ෂියා මුස්ලිම් පූජකවරුන් මඟින් ඔවුහු ඉස්ලාම් දහම වැලඳ ගත්හ. එතැන් සිට බෝරාවරුන් අයත් වන්නේ ෂියා මුස්ලිම් නිකායේ ඉස්මායිලි කොටසටය.
ලංකාවට පැමිණි ප්‍රථම බෝරා ජාතිකයා වන “ජැෆර්ජි ඊසාජි” ගුජරාටයේ පවතින නියඟයට වඩා ලංකාවේ පවතින සිසිල් දේශගුණයට කැමැත්තක් දැක් වූ අතර ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යෑමට හැකියාව පවතින බැවින් ඔහු ගාල්ලේ පදිංචි විය. එතනින් නොනැවතුණු ඔහු සිය ඥාති පිරිස ද ගාල්ලට ගෙන්වා ගත්තේය. ලංකාවේ ප්‍රථම බෝරා පල්ලිය ගාල්ලේ ඉදි වන්නේ ඒ අනුවය.
වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹ නගරය වඩාත් සුදුසු යැයි අවබෝධ කරගත් බෝරාවරුන් පිරිසක් කොළඹට සංක්‍රමණය වන්නේ ක්‍රි.ව. 1850 දීය. ඔවුහු පිටකොටුව කෙයිසර් වීදිය, 1 වැනි හරස් වීදිය, 4 වැනි හරස් වීදිය යන වීදිවල දෙමහල් ගොඩනැගිලි ඉදි කර උඩු මහලේ පදිංචි වී බිම් මහලේ වෙළෙඳ කටයුතු සිදු කළහ. ලංකාවේ 2 වැනි බෝරා පල්ලිය පිටකොටුවේ 4 වැනි හරස් වීදියේ ඉදි වන්නේ ක්‍රි.ව. 1910 දීය. “ඉස්මයිල් අමිජි” නමැති බෝරා ජාතිකයා වෙළඳාම සඳහා යාපනයට ගිය අතර 1960 දී ලංකාවේ 3 වැනි බෝරා පල්ලිය යාපනයේ ඉදි කළේය. 1928 දී ව්‍යාපාර කටයුතු ඇරඹීමේ අරමුණින් මහනුවර බලා ගියේ “වලිබායි හසනලි” බෝරා ජාතිකයාය. මේ ආකාරයට ගාල්ල, කොළඹ, යාපනය, මහනුවර, බදුල්ල වැනි ප්‍රදේශ කරා බෝරා ජාතිකයෝ සංක්‍රමණය වූහ. මේ වන විට ලංකාවේ සිටින බෝරා ජාතික පිරිස 2000ක් වැනි අතළොස්සකි. ලෝකය පුරා සිටින බෝරාවරුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15කි.
බෝරා පිරිමින්ගේ ජාතික ඇඳුම “කෝ මිලිබාස්” නමින් හැඳින්වෙන සුදු පැහැයෙන් යුක්ත වන අතර ඔවුන් හිස පලඳින තොප්පිය හැඳින්වෙන්නේ “ටෝපි” නමිනි. අතින් ගොතා රන් නූලෙන් වැඩ දමා ඇති එම “ටෝපි” තොප්පියෙන් බෝරාවරුන්ගේ පොහොසත්කම ප්‍රදර්ශනය වේ. බෝරා කාන්තාවන්ගේ ඇඳුම හැඳින්වෙන්නේ “රිදා” යනුවෙනි. කාන්තාවන්ට පල්ලි යෑමට අවසර දෙන එකම මුස්ලිම් ආගම බෝරාවරුන්ගේ ආගමයි. බෝරා ජාතිකයන්ගේ පල්ලියේ පිරිමින්ටත් ගැහැනුන්ටත් වෙන් වෙන් ස්ථාන ඇත. ලෝකයේ බෝරාවරුන් සෑම දෙනාම පාහේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින්නේ ඔවුන්ගේ ආගමෙන් ම වෙළඳාම් කිරීම ඔවුන්ට උගන්වන බැවිනි. වෙනත් වෘත්තියක යෙදීම ආගමෙන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ වෙනත් ස්වාමියකු යටතේ සේවය කරන විට ආගම ඇදහීමට නිදහසක් සහ වේලාවක් නොලැබේවී යන සැකය නිසාය. දෙවියන් වෙනුවෙන් කැපවීමට බාධා ඇති විය හැකි නිසාය.
මත්පැන් සහ දුම්පානයෙන් තොරව දැඩි ආගමික විනයකින් යුත් බෝරාවරු මෙරට පමණක් නොව විදෙස් රටවල්වල පවා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙති. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර වන ජැෆර්ජි බ්‍රදර්ස්, අක්බාර් බ්‍රදර්ස්, හෙබිතුල්ලා බායි, හේමාස් අයත් වන්නේ බෝරා ප්‍රජාවටය. ව්‍යාපාර කටයුතුවල නිරත වුවද ඔවුහු අධ්‍යාපනය සඳහා වැඩි නැඹුරුවක් දක්වති. භාෂා කීපයක් ඉගෙනගැනීමට උනන්දු වන ඔවුහු දියුණු තාක්ෂණය භාවිතයටත් බටහිරකරණයටත් නැඹුරුවක් දක්වති. එමනිසා ඔවුන්ට අයි. එස්. අයි.එස්. ත්‍රස්තවාදින්ගේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබේ.
පසුගිය අප්‍රේල් 21 වැනි දා ලංකාවේ ස්ථාන කීපයක අයි.එස්.ත්‍රස්ත ප්‍රහාර සිදු වුවද බෝරා ජාතිකයන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය වූයේ ලංකාවේ වෙසෙන බෝරාවරුන්ගේ ඉල්ලීමකට අනුවය. මෙවර ඔවුන්ගේ තේමාව වූයේ “We believe in Sri Lanka” (අපට ශ්‍රී ලංකාව විශ්වාසයි) යන්නයි.
“බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගිය අවුරුද්දේ පැවැත්වුණේ ඇමෙරිකාවේ. ලංකාවේ තිබෙන බෝරා සභාවෙන් කරපු සුවිශේෂි ඉල්ලීමක් නිසයි මෙවර එය මෙහි පැවැත්වෙන්නේ. එයාලාට අවශ්‍ය වුණේ ලංකාව සංචාරයට සුදුසු රටක් හැටියට ලෝකය ඉදිරියේ කියන්න. මේ වන විට කොළඹ තරු පහේ හෝටල්වල සියලුම කාමර මේ අය වෙනුවෙන් වෙන් වී අවසානයි. ඊට අමතරව මීගමුව සිට ගල්කිස්ස දක්වා කලාපයේ හෝටල්, මහල් නිවාස කුලී පදනම යටතේ ඒ අය ලබාගෙන තිබෙනවා. මේ අයගෙන් එක් පුද්ගලයෙක් කාමරයක් වෙනුවෙන් විතරක් ඩොලර් 150ක් වැය කරනවා. මේ වන විට කාමර 3000ක් වෙන් කරලා තිබෙනවා. පැමිණෙන පිරිස සමඟ ඇස්තමේන්තු කරලා බලන විට ලංකාවට ඩොලර් මිලියන 31ක විදේශ විනිමයක් ලැබෙනවා. එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් බිලියන 5.6ක්. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රවාහනය, දුරකතන පහසුකම් වැනි යටිතල පහසුකම් ඔස්සේ ශ්‍රී ලංකාවට ආදායමක් උපයාගත හැකි වෙනවා. බෝරා සමුළුව ලංකාවේ පැවැත්වීමෙන් දේශීය ව්‍යාපාරිකයන්ටත් යහපතක් සැලසෙනවා.” යනුවෙන් පැවසුවේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ උපදේශක හා අධ්‍යක්ෂ වශයෙන් ද සංචාරක සහන අංශයේ ප්‍රධානී වශයෙන් ද කටයුතු කරන කාවින්ද මාකලන්ද ය.
සමුළුව අවසාන වීමෙන් පසුව ඔවුන් ගාල්ල, සීගිරිය, බදුල්ල, නුවරඑළිය, මහනුවර වැනි ලංකාවේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමට ද නියමිතය. එහිදී ඒ ප්‍රදේශ අවට ඇති වෙළෙඳසල්, සුපිරි වෙළෙඳසල්, ලැගුම්හල් ඇතුළු දේශීය වෙළෙඳුන්ට සෙතක් සැලසෙනු ඇත. එහෙත් මෙම සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් වූ නිසා පමණක් නොවේ. කාබන් රහිත පරිසර හිතකාමී ප්‍රථම සමුළුව මෙය වන නිසාය. ඉවත ලන අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණයට කටයුතු සංවිධානය කර තිබෙන ප්‍රථම සමුළුව මෙය නිසා ය. ඒ සඳහා කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එක් වී සිටියි.
ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යාංශය මෙම බෝරා ගෝලීය සම්මේලනය ශ්‍රී ලංකාවේ සාර්ථකව පවත්වා ගැනීම සඳහා සහාය දීමට සීරුවෙන් පෙළ ගැසී සිටියි. බෝරා ගෝලීය සම්මේලනය මෙවර ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට නොවේ. 2007 වසරේදී ද ශ්‍රී ලංකාවේ පැවැත්වුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර සහ යුද ගිනි ඇවිළෙන සමයේදීය. එදා මෙම සම්මේලනයට බෝරාවරු 12,000 ක් සහභාගී වූහ. 2007 වසරේ පැවැති බෝරා ගෝලීය සම්මේලනයට සැපත් වූයේ 52 වැනි සෙයියද්නාතුමාය. මෙවර පැමිණ සිටින 53 වැනි සෙයියද්නාතුමා එම තනතුරට පත් වූයේ 2014 වර්ෂයේදීය.
53 වැනි සෙයියද්නාතුමා වන 73 වැනි වියේ පසු වන මුෆාද්දල් සෙයිෆුද්දීන් (Suedna Abu jafarussadig Aligadr Mufaddal Saifuddin) ඉස්ලාම් ධර්මය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු ලංකාවේ නවාතැන් ගෙන සිටින්නේ බම්බලපිටියේ පිහිටි බෝරා පල්ලියේය. මෙරටට සැපත් වන සෙයියද්නාවරුන් උදෙසා සුඛෝපභෝගී ලෙස සකස් කළ කොටසක් එහි වෙන් කර ඇත. බෝරාවරුන් තමන්ගේ ආගමික නායකයාත් ජන කොටසේ පරිපාලන නායකයාත් ලෙස සලකනු ලබන්නේ සෙයියද්නා යන නායකයාය.
යෝනකයන් කෙරෙහි ඇතැමුන් තුළ නොපහත් හැඟීම් සහ වැරදි ආකල්ප පවතින වාතාවරණයක ආගමික සහ ජාතික සංහිඳියාව උදෙසා බෝරා ගෝලීය සම්මේලනය ලංකාවේ පැවැත්වීමට ඔවුන් විසින් ම තීරණය කරනු ලැබීම ඉතා යහපත් කටයුත්තකි.