යුද්ධයෙන් පැරදුණත් අළු මතින් ඉපදී ලෝක ආර්ථිකය දිනාගත් ලෝක බලවතා | සිළුමිණ

යුද්ධයෙන් පැරදුණත් අළු මතින් ඉපදී ලෝක ආර්ථිකය දිනාගත් ලෝක බලවතා

 

 

1945 සැප්තැ­ම්බර් 02 දින හිමි­දි­රියේ සිටම ජපා­නයේ ටෝකියෝ බොක්කේ නැංගු­රම් ලා තිබූ මිසො­වුරි නම් වූ අඩි 887.2 දිගැති, එව­කට ලොව තිබූ නවී­න­තම යුද නෞකාවේ ප්‍රධාන මාල­කය ඇමෙ­රි­කානු, බ්‍රිතාන්‍ය, චීන, ප්‍රංස හා සෝවි­යට් සංග­මයේ ජාතික කොඩි­ව­ලින් සැර­සී­මට එම නැවේ කාර්ය­ම­ණ්ඩ­ලය යුහු­සුලු වූයේ ය. ප්‍රධාන මාල­කයේ විවිධ ස්ථාන­වල හමුදා කණ්ඩා­යම් රඳවා තිබූ අතර ඔවුන්ගේ කට­යුතු අධී­ක්ෂ­ණය කිරීම සඳහා අනු­යුක්ත කොට සිටි උසස් හමුදා නිල­ධ­ර­යන් කණ්ඩා­ය­මක් ද විය. උදෑ­සන 7.30 පමණ සිට දෙවන ලෝක මහා සංග්‍රා­මයේ දී ජර්ම­නිය, ඉතා­ලිය හා ජපා­න­යෙන් සැදුම් ලත් මධ්‍ය බල­ව­තුන්ට එරෙ­හිව සටන් කළ මිත්‍ර හමු­දා­වල උසස් නිල­ධා­රීන් මෙම නැවට සම්ප්‍රාප්ත වීම ආරම්භ විය.

 

මෙම යුද්ධ නෞකාවේ ප්‍රධාන මාල­ක­යට පිවි­සෙන ද්වාරය අස­ලදී නිසි ගෞරව සහි­තව මෙම හමුදා ප්‍රධා­නීන් පිළි­ගැ­නීම සඳහා සුවි­ශේෂ ඇමෙ­රි­කානු හමුදා කණ්ඩ­යක් පෙළ­ගැසී සිටියේ ය. මිත්‍ර ජාතීන්ට අයත් වූ ප්‍රහා­රක ගුව­න්යානා සිය ගණ­නක් ටෝකියෝ බොක්කට ඉහළ අහසේ ඔබ මොබ පියා­සර කර­මින් තිබිණි.

 

යට­ත්වීමේ නිල ප්‍රකා­ශ­න­යට අස්සන් තැබීම

 

උදෑ­සන 8.45 පමණ වන විට මිත්‍ර හමුදා නියෝ­ජ­නය කළ ජෙන­රා­ල්වරුන් පනස් දෙනකු ඇමෙ­රි­කානු ආඥා­පති ජන­රාල් ඩග්ලස් මැක්ආ­තර් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මිසො­වුරි නෞකාවේ ප්‍රධාන මාල­කයේ රැඳී සිටියේ අති විශේෂ අමු­ත්තන් කණ්ඩා­ය­මක ආග­මන අපේක්ෂා කර­මිනි. මේ වන විට මිසො­වුරි නෞකාවේ සියලු මාලක මිත්‍ර හමු­දා­වල නිල­ධ­ර­ය­න්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. අවු­රුදු පහ­කට ආසන්න කාල­යක් පැවැති දෙවන ලෝක යුද්ධයේ දී තම පරා­ජය පිළි­ගත් ජපා­නය මිත්‍ර­ජා­තීන්ට කොන්දේසි රහි­තව යට­ත්වීමේ නිල ප්‍රකා­ශ­න­යට අත්සන් තැබී­මට නිය­මි­තව තිබුණේ මෙදින උදෑ­සන 9.00 ට මිසො­වුරි නෞකාවේ පැවැ­ත්වෙන චාම් උත්ස­ව­යක දී ය.

ජපාන අධි­රා­ජයා ප්‍රමුඛ රජය නියෝ­ජ­නය කර­මින් මෙම ඓති­හා­සික ලේඛ­න­යට අත්සන් තැබී­මට යෝජි­තව තිබුණේ එරට විදේශ අමාත්‍ය මාමෙරු ශිගෙ­මිත්සු සහ උත්ත­රී­තර යුද මණ්ඩල සාමා­ජික ජන­රාල් යොෂි­ජිරො උමෙසු යන මහ­ත්ව­රුන් විසිනි. මෙම දෙපළ ප්‍රමුඛ ජපාන දූත පිරිස 1945.09.02 දින උදෑ­සන යොකො­හමා ජපාන වරායේ නැංගු­රම්ලා තුබූ ඇමෙ­රි­කානු නාවික හමු­දාවේ නික­ලස් DD 449 අංක­යෙන් යුත් ප්‍රහා­රක නෞකා­වට සේන්දු විය.

උදෑ­සන 8.56 වන විට ජපාන දූත පිරිස මිසො­වුරි නෞකාවේ ප්‍රධාන මාල­කය මතට ප්‍රවේශ වූයේ, දහස් සංඛ්‍යාත වූ මිත්‍ර හමුදා නිල­ධ­ර­යන්ගේ දැඩි අව­ධා­නය මධ්‍යයේ ය. දෙවන ලෝක යුද්ධයේ නිල අව­සා­නය සටහන් කළ මේ උත්ස­වය උදෑ­සන 9.02 ආරම්භ වූ අතර විනාඩි 25 කින් එය අව­සන් විය. උත්ස­වය ආර­ම්භයේ දී ම ජපාන විදේශ අමා­ත්‍ය­ව­රයා සහ උත්ත­රී­තර යුද මණ්ඩල සාමා­ජි­කයා මිත්‍ර ජාතීන්ට යට­ත්වීමේ නිල ප්‍රකා­ශ­ක­යට සිය අත්සන් තැබුවෝ ය. මෙම අව­ස්ථාවේ දී ජපාන රාජ්‍ය දූත පිරිසේ බොහෝ දෙදෙ­න­කුගේ නෙත් අගට පැමිණි කඳුළු කැට නැව් තට්ටුව මතට පති­ත­වීම වැළැ­ක්විය නොහැකි විය. මිත්‍ර හමුදා ප්‍රධා­නීහු ද සැන­සුම් සුසුම් වා තල­යට මුසු කළෝ ය.

ඉනි­ක්බි­තිව එක්සත් ජාතීන් නියෝ­ජ­නය කර­මින් ජෙන­රාල් මැක්ආ­තර් මහතා මේ ඓති­හා­සික ලිය­වි­ල්ලට තම අස්සන එක් කළේ ය. මිත්‍ර පාර්ශ්වය නියෝ­ජ­නය කළ ඇමෙ­රි­කානු, බ්‍රිතාන්‍ය, චීන, සෝවි­යට් රුසි­යානු, ඔස්ට්‍රේ­ලි­යානු, කැනේ­ඩි­යානු, ප්‍රංස, නෙද­ර්ල­න්තය සහ නව­සී­ලන්ත නියෝ­ජි­ත­යෝ ද ඉන් පසුව අනු­පි­ළි­ව­ලින් මේ නිල ප්‍රකා­ශ­න­යට අත්සන් තැබූහ.

 

ජපා­නයේ ආර්ථික ශක්තිය බිඳින්න උප­ක්‍රම

 

1945 මැයි මස 07 දින ජර්ම­නිය මිත්‍ර ජාතීන්ට යටත් වීමෙන් පසු යුරෝ­පයේ පැවැති යුද ගැටුම් අව­සන් වූයේ ය. එහෙත් ආසියා පැසි­පික් කලා­පයේ බලය පව­ත්වා­ගෙන සිටි ජපා­නය යුද්ධය අත­හැ­රී­මට කිසිදු කැමැ­ත්තක් නොදැක්වී ය. මේ නිසා ජපා­නයේ කාර්මික නග­ර­ව­ලට පහර දීමට ඇම­රි­කාව තම අව­ධා­නය යොමු කළේ ය. 1945 වසරේ මුල සිටම ජපා­නයේ ආර්ථික ශක්තිය බිඳ හෙළී­මට ඇමෙ­රි­කාව ප්‍රධාන උප­ක්‍රම ද්විත්ව­යක් යොදා ගත්තේ ය. ජපාන වෙළෙඳ නෞකා­ව­ලට පහර දී ජපා­න­යට ආන­ය­නය කරන ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය අවම කිරීම හා ජපාන නාවික හමු­දාවේ ශක්තිය අඩ­පණ කිරීම එම උප­ක්‍ර­මයෝ වූහ.

1945 මැයි මස අග­භා­ගය වන විට ජපාන ගුවන් හමු­දාවේ ශක්තිය ද සම්පූ­ර්ණ­යෙන් ම පිරිහී ගිය අතර නාවික හමු­දාවේ නිරු­ප­ද්‍රැ­තිව තිබූ යුද්ධ නෞකා ප්‍රයෝ­ජ­න­යට ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ද දුෂ්කර වූයේ ය. මෙම අව­ස්ථාවේ ජපාන උත්ත­රී­තර යුද මණ්ඩ­ලයේ ඇතැම් සාමා­ජි­ක­යන් මිත්‍ර ජාතීන් සමග ගෞර­ව­නීය සාම­ය­කට යාමට කැමැත්ත දැක්වූ අතර ඒ සඳහා සෝවි­යට් සංග­මයේ මැදි­හ­ත්වීම ද අපේක්ෂා කළේ ය. එහෙත් දැඩි මත­ධාරී ජපාන හමුදා සාමා­ජි­ක­යන්ගේ හා බහු­තර ජන­යාගේ අපේ­ක්ෂාව වූයේ අව­සාන ඇම­රි­කන් භටයා ද ආසියා පැසි­පික් සාගර කලා­ප­යෙන් ඉව­ත්වන තුරු යුද්ධය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමයි.

ජර්ම­නියේ යටත් වීමෙන් පසු පොට්ස්ඩම් නුවර දී (ඇතැම් වාර්තා­වල බර්ලින් නග­රය ලෙසින් ද හැඳින්වේ.) පැවැත්වූ මිත්‍ර­ජා­තීන්ගේ නායක හමුවේ දී ජපා­න­යට කොන්දේසි විර­හි­තව යට­ත්වී­මට බල­කළ අතර එසේ නොවුන හොත් නුදුරු අනා­ග­තයේ දී ම ජපා­න­යට බිය­කරු දුර්වි­පා­ක­ව­ලට මුහුණ පෑමට සිදු­වන බව ද දන්වා සිටියේ ය.

එහෙත් ජපා­නය මෙම තර්ජ­නය ලඝු­කොට තැකීය. එහි ඵලය වූයේ 1945 අගෝස්තු 06 දින ජපා­නයේ හිරෝ­ෂිමා නග­ර­යත් අගෝස්තු 09 දින නාග­සාකි නග­ර­යත් එක් මොහො­ත­කින් දුහු­විලි ගොඩක් බවට පත්වී­මයි. ඇමෙ­රි­කාව මෙම දෙදින තුළ ජපා­නයේ හිරෝ­ෂිමා හා නාග­සාකි නග­ර­ව­ලට පතිත කළ පර­මාණුක බෝම්බ ද්විත්ව­යෙන් ලක්ෂ එක­හ­මා­ර­කට ආසන්න වූ ජන­තා­වක් මිය­ගිය අතර අබා­ධිත වූ ප්‍රමා­ණය ලක්ෂ දෙක ඉක්මවී ය.

මෙම පර­මාණුක බෝම්බ දෙක ජපා­නය මතට පතිත කිරීම ජපා­න­යට ගෞර­ව­නීය සාම­ය­කට යාම සඳහා අවශ්‍ය පසු­බිම සැකැ­සූ­බව ඇතැම් විචා­ර­ක­යන්ගේ අද­හස වන්නේ ය. 1945 අගෝස්තු 09 දින සන්ධ්‍යාවේ ජපාන අධි­රා­ජයා එරට යුද අධී­ක්ෂණ උත්ත­රී­තර මණ්ඩල සාමා­ජි­ක­යන් හය දෙනා මුණ ගැසුණේ ය. “බල­ව­තුන් හය­දෙනා” (Big Six) නමින් හැඳින් වූ මෙම මණ්ඩ­ලය සම­න්විත වූයේ ජපාන අග­මැති, විදේශ ඇමති, යුද්ධ හමුදා ඇමති, නාවික හමුදා ඇමති, යුද හමුදා ජන­රාල් මණ්ඩල ප්‍රධානි සහ නාවුක හමුදා අද්මි­රාල් මණ්ඩල ප්‍රධා­නියා ගෙනි. ඉතා­මත් සංය­ම­ය­කින් තම අද­හස් ප්‍රකාශ කළ හිරෝ­හිතෝ අධි­රා­ජයා තමන්ට මෙම යුද්ධය තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යාම කළ නොහැ­ක්කක් බව ප්‍රකාශ කළේ ය.

එම නිසා මිත්‍ර­ජා­තීන් සමග සාකච්ඡා කොට ගෞර­ව­නීය සාම­ය­කට යාම ජපා­න­යට කළ හැකි එකම ඥානා­න්විත ක්‍රියාව බව ඔහුගේ පෞද්ග­ලික පිළි­ගැ­නීම විය. එහෙත් අධි­රා­ජ­යාගේ මෙම යෝජ­නා­වට බල­ව­තුන් හය­දෙ­නාගේ මණ්ඩ­ල­යෙන් ක්ෂණි­කව පිළි­තු­රක් නොලැ­බුනේ ය.

 

අව­සන් ජපන් සෙන්ප­තියා දක්වාම සටන් කිරී­මට තීර­ණය

 

කොන්දේසි විර­හිත සාම­ය­කට යෑම පිළි­බ­ඳව මණ්ඩ­ලය තුළ විවා­ද­යක් මතු විය. අව­සාන ජපන් සෙබ­ළාගේ අව­සාන උණ්ඩය අව­ස­න්වන තුරු සටන පව­ත්වා­ගත යුතු බව හමුදා සාමා­ජි­ක­යන් දෙදෙ­නාගේ අද­හස වූයේ ය. 1945.08.12 දින ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලය හරහා ජපා­නය, දෙවන ලෝක යුද්ධය අව­සන් කිරී­මට තම රටේ ඇති අපේ­ක්ෂාව ඇමෙ­රි­කා­වට දන්වා සිටියේ ය. ඇමෙ­රි­කානු ජනා­ධි­පති හැරී එස් ටෲමන් මහතා ජපා­නයේ ඉල්ලී­මට ප්‍රති­චාර දැක්වූයේ, යුද්ධය අව­සන් කිරී­මට නම් කොන්දේසි විර­හි­තව මිත්‍ර ජාතීන්ගේ බලය ජපා­නය පිළි­ගත යුතු බව දන්ව­මිනි. ජපාන උත්ත­රී­තර ආර­ක්ෂක මණ්ඩ­ලය තුළ නැව­තත් මත­භේද උත්සන්න විය. ජපා­නය මිත්‍ර ජාතීන්ට යට­ත්වී­මට සූදා­නම් වන බව ජපාන හමු­දා­ව­ලට දැන­ගැ­නී­මට ලැබී­මත් සමඟ හමුදා තුළ ද දැඩි නොස­න්සු­න්බ­වක් ඇති වූයේ ය. ජපාන අධි­රා­ජයා බල­යෙන් පහ­කොට යුද්ධය දිග­ටම පව­ත්වා­ගෙන යාමට ඇතැම් හමුදා ප්‍රධා­නීහු අපේක්ෂා කළෝ ය. අව­සා­නයේ ජපාන ආර­ක්ෂක මණ්ඩ­ලය අධි­රා­ජ­යාට මිත්‍ර­ජා­තීන්ට යට­ත්වීමේ ක්‍රියා­දා­මය දියත් කිරී­මට ඉඩදී නිහඬ විය. 1945.08.15 දින දහ­වල් ජාතිය අමතා ජපා­නය මිත්‍ර ජාතීන්ට යට­ත්වන බව දන්වා සිටී­මට හිරෝ­හිතෝ අධි­රා­ජයා කට­යුතු සම්පා­ද­නය කළේ ය.

 

යට­ත්විමව ළ­කා­ල­න්නට ඇතු­ළ­තින්ම කැරලි

 

එහෙත් 1945.08.15 දින නොසි­තූ­විරූ මොහො­තක අධි­රාජ මාලි­ගාවේ බලය ජපාන යුද හමු­දාවේ අන්ත­වාදී භට කණ්ඩා­ය­මක් විසින් අල්ලා ගන්නා ලද්දේ ය. මෙම කුම­න්ත්‍ර­ණය මෙහෙය වූ මේජර් කෙන්ජි හට­න­කාගේ අපේ­ක්ෂාව වූයේ අධි­රා­ජ­යාගේ ජාතිය ඇම­තීම වළ­කා­ලීම ය. මුල දී මෙම කැරැල්ල සාර්ථක වුවද පැය කිහි­ප­යක් තුළ අධි­රා­ජ­යාට පක්ෂ­පාතී හමුදා විසින් යළිත් අධි­රාජ මාලි­ගාවේ බලය සිය­තට ගන්නා ලද්දේ ය. එම නිසා පෙර සැල­සු­ම්කළ ලෙස දහ­වල් 12.00 ජාතිය ඇමතූ අධි­රා­ජයා ජපාන ජන­යාගේ අනා­ගත අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් තමන් යුද්ධ­යෙන් ඉව­ත්වී­මට තීර­ණය කළ බව දැන්වීය. මෙය ජපාන වැසි­යන්ට කිසි­සේත් විශ්වාස කළ හැකි ප්‍රවෘ­ත්ති­යක් නොවී ය. ජපාන අධි­රා­ජයා ඊට පෙර කිසිම අව­ස්ථා­වක දී ජාතිය අමතා නොතිබූ බැවින් උගත් ජපාන ජාති­ක­යන් තුළ ද යම් කුකු­සක් වර්ධ­නය වූයේ ය. ඇතැම් හැඟී­ම්බර අන්ත­වාදී ජපාන වැසි­යන් ප්‍රකෝප වී ප්‍රචණ්ඩ ක්‍රියා­වල නිර­ත­වීම ද විය. ඇතැම් හමුදා නිල­ධා­රයෝ තමන් යටතේ සිටි මිත්‍ර හමු­දා­වල යුද සිර­ක­රු­වන් අමා­නු­ෂික ලෙස ඝාත­නය කොට දැමූහ. එදි­නම සන්ධ්‍යාවේ දී ඇමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ජපා­නය මිත්‍ර ජාතීන්ට කොන්දේසි විර­හි­තව යටත් වූ බව නිල­ව­ශ­යෙන් ප්‍රකාශ කළේ ය. මේ ප්‍රවෘ­ත්තිය ප්‍රචා­රය වීමත් සමඟ ඇමෙ­රි­කාවේ හා යුරෝ­පයේ ජනයා වීදි බැස උත්සව පැවැ­ත්වීම ආරම්භ කළේ ය. අද­ටත් යුරෝ­පයේ ඇතැම් රට­ව­ලට අගෝස්තු 15 දින ජපා­නය ජය­ගැ­නීමේ (Victory over Japan) දිනය ලෙස සලකා උත්සව සංවි­ධා­නය වන්නේ ය.

ජපා­නය මිත්‍ර­ජා­තීන්ට යට­ත්වී­මට සිය කැමැත්ත පළ­කළ පසු ඒ පිළි­බ­ඳව වැඩි­දුර සාකච්ඡා පැවැ­ත්වී­මට ඉහල පෙළේ ජපාන රාජ්‍ය­තා­න්ත්‍රික දූත පිරි­සක් පිලි­පී­නයේ මැනිලා අග­නු­ව­රට ගියේ ය. 1945 අගොස්තු 28 දින පළමු ඇමෙ­රි­කානු භට කණ්ඩා­යම ටෝකියෝ නග­ර­යට ආසන්න ව පිහිටා තිබූ අත්සුගි (Atsugi) ගුවන් හමුදා කඳ­වු­රට ගොඩ බැසී ය. 1945 අගෝස්තු 30 දින දෙවන ලෝක සංග්‍රා­මය අව­සන් කිරීමේ නිල උත්ස­වයේ ප්‍රධාන මිත්‍ර­හ­මුදා නියෝ­ජි­තයා වූ ජන­රාල් මැක්ආ­තර් මහතා ජපා­න­යට පැමි­ණියේ ය. මෙදි­නම ජපා­නයේ රඳවා තැබී­මට සූදා­නම් කළ මිත්‍ර­හ­මුදා සේනාං­ක­වල ජපාන ආග­ම­නය ද ආරම්භ විය. 1945.09.01 දින උදෑ­සන වන විට මිත්‍ර හමු­දාවේ යුද නෞකා ටෝකියෝ බොක්කට පැමි­ණීම ආරම්භ වූයේ ය. 1945.09.02 මිසො­වුරි නෞකාවේ පැවැති ජපා­නය මිත්‍ර­ජා­තීන්ට යට­ත්වීමේ නිල උත්ස­වය සංවි­ධා­නය වූයේ මෙලෙ­සිනි.

 

නිල ප්‍රකා­ශය ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට

 

1945 සැප්තැ­ම්බර් 05 දිනය තෙක් ජපා­නයේ රඳවා තුබූ මිසො­වුරි යුද නෞකාව එදින උදෑ­සන ඇමෙ­රි­කාව බලා පිටත්වී ය. 1945.09.07 දින ධවල මන්දි­රයේ පැවැති උත්ස­ව­යක දී ජපා­නය මිත්‍ර ජාතීන්ට යට­ත්වීමේ නිල ප්‍රකා­ශ­නය ඇමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාට පිළි­ග­න්වනු ලැබී ය. කෙටි කාල­යක් මහ­ජන ප්‍රද­ර්ශ­නය සඳහා තබා තුබූ මෙම ඓති­හා­සික ලේඛ­නය 1945.10.01 දින සිට ඇමෙ­රි­කානු රාජ්‍ය ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ භාර­යට පත්විය. ජපා­නය දෙවෙනි ලෝක යුද්ධයේ පරා­ජය පිළි­ගැ­නී­මෙන් පසුව අවු­රුදු 35 ක් එරට ආධි­ප­ත්‍යය යටතේ පැවැති කොරි­යා­වට නිද­හස හිමි­වූයේ ය. ආසි­යාවේ හා පැසි­පික් කලා­පයේ ගොඩ නැගෙ­න­මින් තුබූ ජපාන අධි­රා­ජ්‍යය අහෝසි වී ගියේ ය. ජපා­න­යට අයත් ව තුබූ කුරිල් (Kuril) දූපත සෝවි­යට් සංග­මය විසින් අත්පත් කොට ගන්නා ලද්දේ ය. ජපා­නයේ බට­හිර හොන්ෂු දූපතේ පාල­නය බ්‍රිතා­න්‍යය ප්‍රමුඛ පොදු­රාජ්‍ය මණ්ඩ­ලයේ රට­වල් යට­තට පත්විය. ඉතිරි ජපාන භූමි ප්‍රදේශ ඇමෙ­රි­කානු රජයේ නේවා­සික නියෝ­ජි­තයා වූ ජෙන­රාල් මැක්ආ­තර් මහතා යට­තට පත්වූයේ ය. ජපා­නයේ අභ්‍ය­න්තර පාලන කට­යුතු පව­ත්වා­ගෙන යාමට හිරෝ­හිතෝ අධි­රා­ජ­යාට බලය පැවැරූ අතර ඒ සෑම ක්‍රියා­වක්ම ඇමෙ­රි­කානු නිල­ධා­රීන්ගේ දැඩි අධී­ක්ෂ­ණ­යට ලක්විය.

පෙර දී මෙන් ම විදේ­ශීය රට­වල් සමඟ වෙළෙඳ කට­යුතු පව­ත්වා­ගෙන යාමට ද ජපා­න­යට අව­ස­රය හිමි­විය. එංග­ල­න්තය හා ඇමෙ­රි­කාව තමන් භාරයේ සිටි යුද සිර­ක­රු­වන් නිද­හස් කිරීම 1947 දක්වා කල් දැමී ය. චීනය තමන්ගේ භාරයේ සිටි ජපාන යුද සිර­ක­රු­වන් නිද­හස් කළේ 1949 වසරේ දී ය.

 

සත්‍ය වශ­යෙන්ම නිද­හස ලැබූ දිනය

 

ඇතැම් නූතන ඉති­හා­ස­ඥ­යන්ගේ අද­හස වන්නේ දෙවැනි ලෝක සංග්‍රා­මය සත්‍ය ලෙස අව­සන් වූයේ 1951 වසරේ සැප්තැ­ම්බර් මස ඇමෙ­රි­කාවේ සැන් ෆ්්රැන්සිස්කෝ නුවර දී පැවැත්වූ සමු­ළු­වෙන් පසුව බව ය. මෙහි දී ජපා­න­යට පූර්ණ නිද­හස ප්‍රදා­නය කළ යුතු­යැයි යෝජනා කළ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් අතර එව­කට මෙරට විදේශ ඇම­ති­ව­රයා වූ දිවං­ගත ජේ. ආර්. ජය­ව­ර්ධන මහ­තාට හිමි­වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. බුදු දහමේ ඉගැ­න්වෙන සතු­රාට පවා මෛත්‍රී කිරීම යහ­පත් ක්‍රියා­වක් යන තේමාව ඔස්සේ එතුමා කළ ව්‍යක්ත දේශ­නය බට­හිර රට­වල නියෝ­ජි­ත­යන්ගේ දැඩි අව­ධා­න­යට ලක් වූයේ ය. ජපා­නය කෙරෙහි නම්‍ය­ශීලී ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කිරී­මට බට­හිර රට­වල් ඉදි­රි­පත් වූයේ මෙම දේශ­න­යෙන් පසුව බව බොහෝ විචා­ර­ක­යන්ගේ අද­හස විය. මෙම සමු­ළු­වෙන් පසුව ජපාන හමුදා අතින් සිදු වූ යුද අප­රාධ වෙනු­වෙන් වන්දි ගෙවී­මට ජපාන රජය එක­ඟ­වූයේ ය.

ඉනි­ක්බි­තිව මිත්‍ර­ජා­තීන් ජපා­නය සමග 1952 දී අස්සන් කළ ගිවි­සු­ම­කින් යළිත් ජපා­න­යට පූර්ණ නිද­හස ප්‍රදා­නය කළේ ය. එහෙත් මෙහි දී ද සෝවි­යට් සංග­මය ජපා­න­යට නිද­හස ප්‍රදා­නය කිරී­මට ඉක්මන් නොවීය. එරට ජපා­නයේ ස්වාධී­න­ත්වය පිළි­ගත්තේ 1956 වසරේ දී ය. ඇමෙ­රි­කාව ජපා­නයේ ඔක­නාවා දූපතේ හිමි­කා­රි­ත්වය 1972 වන­තුරු තමන් සන්ත­කයේ තබා ගත්තේ ය. අද­ටත් එම දූපතේ විශාල ඇමෙ­රි­කානු හමුදා කඳ­වු­රක් ක්‍රියා­ත්මක වේ. එම නිසා ජපා­න­යට සැබෑ නිද­හ­සක් හිමි වී තිබේ­දැයි යන්න විවා­ද­පන්න වේ. ජපා­නය දෙවන ලෝක යුද්ධ­යෙන් පරා­ජය වුව ද 1960 දශ­කය මැද භාගය වන විට ලෝක ආර්ථි­කයේ ප්‍රබල බල­වේ­ග­යක් බවට පත්වූයේ ය. අද­ටත් ජපා­නය ලෝකයේ මහා­බ­ල­ව­තුන්ට ප්‍රබල තර්ජ­න­යකි. ඒ යුද්ධ­භූ­මියේ දී නොව ගෝලීය ආර්ථි­කය කළ­මනා­ක­ර­ණය කිරීමේ දී ය. මෙම සංග්‍රා­ම­යෙන් නම් ජපා­නය පරා­ජය කිරී­මට මහා­බ­ල­ව­තුන්ට තව බොහෝ කාල­යක් වැය කිරී­මට සිදු­වීම අනි­වාර්ය වේ.

Comments