‘එල්ටී­ටී­ඊ­යෙන්’ බැට කෑ ලංකා­වට එබෙන සතුරා ‘එල්ඊටී’ | සිළුමිණ

‘එල්ටී­ටී­ඊ­යෙන්’ බැට කෑ ලංකා­වට එබෙන සතුරා ‘එල්ඊටී’

ත්‍රස්ත භීති­යෙන් දශක ගණ­නක් බැට කා නිද­හස ලැබූ ලාංකි­ක­යන්ට පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසු යළිත් භීති­යෙන් ඇල­ළෙ­න්නට සිදු­වුණේ විදේ­ශීය ත්‍රස්ත­වාදි නාම­යක් මෙරට පැළ­ප­දි­යම් කළ දේශීය වශ­යෙන් බිහි වූ ත්‍රස්ත­වාදි කල්ලි­යක් නිසාය. එයින්ද යන්ත­මින් හෝ සැන­සුම් සුසු­මක් හෙළ­න්නට සිත­ද්දීම තුර්කි­යෙන් ආ ත්‍රස්ත­වාදි කල්ලි­යක් ගැනද කිය­වෙන්න පටන් ගැනිණි. එයද කෙසේ හෝ වැළලී ගියේය. දැන් කර­ළි­යට පැමිණ ඇත්තේ ‘ලෂ්කාර් ඊ තායිබා’ හෙවත් ‘එල්ඊටී’ ත්‍රස්ත­වා­දීන් ගැනයි. එල්ඊටී කණ්ඩා­ය­මක් පාකි­ස්තා­න­යෙන් මෙර­ටට පැමිණ යළි ඉන්දි­යා­වට ගොස් ඇතැයි පුවත් අනා­ව­ර­ණය වීමට පටන් ගත් අතර ඔවු­න­තර ලාංකි­ක­යන්ද සිටින බවද මෙම­ඟින් කිය­විණි.

වඩාත් බර­ප­තළ කාර­ණය වන්නේ විදෙස් ත්‍රස්ත­වාදි කණ්ඩා­යම් මෙර­ටට පැමිණ කලක් සිට විදේ­ශ­ගත වූ බව පසුව අනා­ව­ර­ණය වීමය. එලෙස ගිය එල්ඊටී ත්‍රස්ත­යන් 6 දෙනා­ගෙන් 5 දෙන­කුම ඉන්දි­යාවේ කොයි­ම්බ­තූ­ර්හිදී පසු­ගිය සතියේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ කතා­බ­හට ලක්ව ඇත්තේ තර­මක් අමුතු නමක් ඇති මේ අලුත් ත්‍රස්ත කල්ලිය කවු­රුද යන්නයි. එහෙත් ඇත්ත කතාව වන්නේ මේ සංවි­ධා­න­යට දශක 3ක පමණ ක්‍රෑර ඉති­හා­ස­යක් ඇති, ලොව බොහෝ රට­වල තහ­න­මට ලක් වූ ත්‍රස්ත­වාදි කල්ලි­යක් වීමය.

යකාගේ ‘ධර්මිෂ්ඨ හමු­දාව’

පාකි­ස්තා­න­යෙන් බිහි වූ ලෂ්කාර් ඊ තායිබා සංවි­ධා­නයේ උර්දු භාෂා­ත්මක නාමය අරුත් ගැන්වෙන්නේ නිර්මල හමු­දාව, ධර්මි­ෂ්ඨ­යන්ගේ හමු­දාව, දෙවි­යන්ගේ හමු­දාව යනු­වෙනි. එන­යින් කිසි­සේත්ම ත්‍රස්ත­වාදි කල්ලි­ය­කට සුදුසු නොවන නමක් ඇති එල්ඊ­ටීය බිහි වන්නේ 1990දී ලෙස සැල­කු­ණද එහි ඉති­හා­සය 1986 තෙක් ඈතට දිව-යයි. මර්කාස් අද් දවා වාල් ඊර්ෂාද් මූල­ස්ථා­නය ඉස්ලා­මීය දේශ­පා­ලන අර­මුණු මුල් කර­ග­නි­මින් 24 දෙන­කු­ගෙන් බිහි වූයේ 1986දීය. මුල්‍ය­මය අතින් ධන­වත් ආග­මික සංවි­ධා­න­යක් ලෙස පෙන්වූ මෙහි නාය­කයා ඔසාමා බින් ලාඩන්ගේ ආග­මික උප­දේ­ශ­කයා වන අබ්දු­ල්ලාහ් අසාම්ය. ඔහු තලෙ­යි­බාන් සම­ගද සහ­යෝ­ගීව කට­යුතු කළ අයෙකි. 86-87 වස­ර­ව­ලදී ඔවුන්ගේ ක්‍රියා­කා­ර­කම් කරනු ලැබුවේ පසුව එල්ඊටී ත්‍රස්ත සාමා­ජි­ක­යන් ලෙස නම් ලැබූ අය විසිනි. 1989 පමණ වන විට ඔවුන් සාමා­ජි­ක­යන් බඳ­වා­ගෙන පාකි­ස්තානු හමු­දාවේ සහ බුද්ධි අංශ සහාය ඇතිව වැඩ පට­න්ගෙන තිබිණි. මේ සබ­ද­තාව පසු­කා­ලී­නව වෙන් නොවූ එකක් බවට වන සාක්ෂි රැසක් හමු වේ. ඔසාමා බින් ලාඩන් ඇෆ්ග­නි­ස්තා­නයේ පව­ත්වා­ගෙන ගිය එල්ඊටී ත්‍රස්ත­යන්ගේ පුහුණු කඳ­වු­රක් 1998 දී අමෙ­රි­කානු ක්රූස් මිස­යිල ප්‍රහා­ර­ය­කින් විනාශ කරනු ලැබීය. 9/11 ප්‍රහා­ර­යෙන් පසු අමෙ­රි­කාව ඇෆ්ග­නි­ස්තා­නය ආක්‍ර­ම­ණය කළ මොහොතේ අල්-කයිඩා ජ්‍යෙෂ්ඨ නායක අබු සුබ­යි­දාහ් ඇතුළු අල්ක­යිඩා ත්‍රස්ත සාමා­ජි­ක­යන්ට රැව­ර­ණය දුන්නේ එල්ඊටී සංවි­ධා­න­යයි. එල්ඊටී ත්‍රස්ත­යන් වඩාත් ප්‍රබල වූ පසු අල්ක­යිඩා ත්‍රස්ත­යන්ට තම පුහු­ණුව ලබා­දුන් අවස්ථා ද ඇත. විශේ­ෂ­යෙන් අල්ක­යිඩා සංවි­ධා­නයේ තනි පුද්ගල ප්‍රහාර සදහා පුද්ග­ල­යන් පුහුණු කිරීම එල්ඊටී විසින් සිදු­කළ අවස්ථා තිබේ. අමෙ­රි­කානු ගුව­න්යා­න­යක ‘සපත්තු බෝම්බ­යක්’ පුපු­රුවා හැරි රිචඩ් රීඩ්, 2005දී ලන්ඩන් උමඟේ බෝම්බ­කරු වූ මොහො­මඩ් සිද්ධික් ඛාන් හා සෙෂාඩ් තන්වීර්ද එලෙස එල්ඊ­ටී­යෙන් පුහුණු වූ අල්ක­යිඩා ත්‍රස්ත­යෝය. මුල සිටම අද දක්වාම ජම්මු කාශ්මිර් ගැටුම් ඇති­කි­රී­මේදී උපා­ය­මාර්ග සක­සන්නේ දෙපා­ර්ශ්වයේ මැදි­හත් වීමෙනි. ඊට අම­ත­රව බොහෝ බල­පෑම් සහ­ගත ප්‍රහාර සිදු කිරීම දෙපා­ර්ශ්වයේ සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව සිදු වන අවස්ථා අද­ටත් පවතී. අල්-කයිඩා සහ එල්ඊටී යන සංවි­ධාන මුල සිටම අද දක්වාම කට­යුතු කර­නුයේ එකම පවුලේ සොහො­යු­රන් දෙදෙ­නකු ලෙස බව පෙනේ.

1980දී එල්ඊටී පුරෝ­ගා­මියා වන මර්කාස් අද් දවා වල් ඊර්ෂාද් සංවි­ධා­නය සෝවි­යට්-ඇෆ්ගන් යුද්ධ­යේදී තලෙ­යි­බාන් සමග සිටි­මින් සටන් කළේය. එඊටී නාය­ක­යෝද නිර­න්ත­ර­යෙන් තලෙ­යි­බාන් සංවි­ධා­න­යට සහාය දක්වන්නෝ වූහ. 9/11 ප්‍රහා­ර­යෙන් පසුව ඇෆ්ග­නි­ස්තා­න­යෙන් ආ තලෙ­යි­බාන් ජිහාඩ් අන්ත­වා­දීන්ට පාකි­ස්තා­න­යේදී රැව­ර­ණය සල­සන ලද්දේද එල්ඊටී සංවි­ධා­නය විසිනි.

දේශ­පා­ලන හයිය

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය මෙන්ම අමෙ­රි­කාව ඇතුළු රට­වල් කිහි­ප­යක මෙන් පාකි­ස්තා­නයේ තහ­නම් සට­න්කාමී සංවි­ධාන අතර සිටින එල්ඊටී සංවි­ධා­න­යට පසු­කා­ලී­නව පාකි­ස්තානු බුද්ධි අංශ සහාය ලැබෙන බව විශේ­ෂ­ඥ­යන්ගේ අද­හ­සයි. පාකි­ස්තා­නය ලෝක­යට කුමක් පෙන්වූ­වද එරට තුළ ඔවුන් නිද­හසේ හැසි­රෙන බවත්, 166 දෙන­කුගේ ජීවිත බිලි­ග­නි­මින් 300 දෙන­කුට පමණ තුවාල සිදු කර­මින් එල්ඊටී ත්‍රස්ත­වා­දීන් 2008දී එල්ල කළ මුම්බායි ප්‍රහා­ර­ය­ටද පාකි­ස්තානු හමුදා හා බුද්ධි අංශ නිල­ධා­රීන්ගේ ඍජු සහාය ලැබුණු බවත් පසුව අනා­ව­ර­ණය විය. කෙසේ වෙතත් ත්‍රස්ත­වා­ද­යට උඩ­ගෙ­ඩි­දෙන බවට එල්ල වන චෝදනා පාකි­ස්තානු රජය නිර­න්ත­ර­යෙන් ප්‍රති­ක්ෂේප කර සිටියි.

කෙසේ වෙතත් මුම්බායි ප්‍රහා­ර­යෙන් දස වසක් ඉක්මවූ තැන සිට පෙර නොවූ දේශ­පා­ලන හයි­යක් ලබ­මින් මේ ත්‍රස්ත­වාදි කල්ලිය වඩාත් ප්‍රබ­ලව නැගී සිටින්නේ අවශ්‍ය මුල්‍ය ශක්තිය ලොව දස දෙසින් ලබා­ගැ­නී­මෙන් අන­තු­රු­වය.

එල්ඊටී සංවි­ධා­නයේ දේශ­පා­ලන සවිය වන්නේ ජමාත් අද් දවා පක්ෂ­යය. එහි නාය­ක­යාද එල්ඊටී සංවි­ධා­නයේ නාය­කයා වන මහා­චාර්ය හෆීස් සයී­ඩ්මය. ඔවුන් විසින් 2017දී නීත්‍ය­නු­කූල ලෙස පිහි­ටුවූ දේශ­පා­ලන පක්ෂය නම් මිලී මුස්ලිම් ලීග­යයි. මැති­ව­ර­ණ­ව­ලට තරග කර­මින් සිටින ඒ පක්ෂයේ සාමා­ජි­ක­යන් ඇතැ­මුන් ජමාත් අද් දවා සාමා­ජි­ක­යෝය. එහෙත් සයීඩ් වරෙක පවසා තිබුණේ ත්‍රස්ත සංවි­ධා­නය හා තම පක්ෂය අතර කිසිදු සම්බ­න්ධ‍යක් නැති බවත්, තමා ත්‍රස්ත සංවි­ධා­නයේ නාය­කයා නොවන බවත්ය. කෙසේ වෙතත් පාකි­ස්තා­නය තුළ දේශ­පා­ලන සවිය ලබා­ගැ­නීමේ මාර්ගය ජමාත් අද් දවා බව පසුව අමෙ­රි­කාව අනා­ව­ර­ණය කළේය. වරින් වර ඔහු අත්අ­ඩං­ගු­වට ගැනුණ ද ඇප මත නිද­හස ලැබීය. අව­සන් වරට පාකි­ස්ථා­න­යේදී අත්අ­ඩං­ගු­වට ගැනුණේ පසු­ගිය ජුලි 17 වැනි­දාය. ඒ ත්‍රස්ත­වා­ද­යට මුදල් එකතු කිරීම හා සැප­යීමේ චෝදනා මතය.

අර­මු­දල් ගලන හැටි

පාකි­ස්තා­නයේ සෞඛ්‍ය සේවා, අධ්‍යා­පන, සුබ­සා­ධන සියලු අංශ හරහා එල්ඊටී සංවි­ධා­න­යට මුදල් ලැබේ. පාකි­ස්තා­නය පුරා සියලු කඩ­සා­ප්පු­වල පෙට්ටි­යක් තබා ඇත. ඒය එල්ඊටී සංවි­ධා­න­ය­ටයි. පාරි­භෝ­ගි­ක­යන් විසින් ඊට මුදල් දමයි. පාකි­ස්තානු ගොවීන්ගේ ඉඩම් බදු ලෙස අස්වැ­න්නෙන් 10%ක ප්‍රති­ශ­ත­යක් එල්ඊටී සංවි­ධා­න­යට යන්නේ ‘සුබ­සා­ධ­නය සඳහා ආදා­ය­මෙන් කොට­සක්’ යන අන්ව­ර්ථ­යෙනි. මීට අම­ත­රව යුරෝ­පය, පර්සි­යානු ගල්ෆ් සහ වෙනත් අරා­බිය මූලික කර­ගත් ගෝලීය ජිහාඩ් ව්‍යාපා­රයේ මුදල් ආධා­රද විශාල වශ­යෙන් මේ ත්‍රස්ත­වාදි සංවි­ධා­න­යට ගලා ඒ. ආපදා සහන සේවා සහ මානු­ෂීය කට­යුතු සඳහා පාකි­ස්ථා­න­යට එන මුද­ල්ව­ලින් වැඩි කොට­සක් වෙන් වන්නේද එල්ඊ­ටී­ය­ටය. ධීවර, කෘෂි, ජංගම වෛද්‍ය සේවා මගින් නීත්‍ය­නු­කූල ලෙස මුදල් ඉප­යී­මද ඔවුන් විසින් සිදු කරනු ලබයි. තම පුහුණු පාස­ල්ව­ලට ඒන සිසු­න්ගෙන් ටියු­ෂන් ගාස්තු අය කිරී­මෙන් හා විවිධ දෑ අලෙවි කිරී­මෙන්ද ඔවුහු මුදල් උප­යති. හිටපු එල්ඊටී සාමා­ජි­ක­යකු අනා­ව­ර­ණය කර තිබුණේ එල්ඊ­ටී­යට සහාය දෙන වෙළෙ­ඳුන් සිය පාරි­භෝ­ගි­ක­යන් භාණ්ඩ මිල දී ගැනී­මේදී ‘රුපි­යල් 5ක්-10ක් (පාකි­ස්තානු) වැඩි­පුර ජිහා­ඩ්ලාට දෙන්න පුළු­වන්ද?’ යනු­වෙන් අසන බවත්, ඒ ලැබෙන මුදල් ඒකතු කොට එල්ඊ­ටී­යට දෙන බවත්ය.

ලෂ්කාර් ඊ තායිබා දේශ­පා­ලන සංවි­ධා­න­යක් ලෙස බිහි කරන ලද්දේ විශ්ව­වි­ද්‍යාල මහා­චා­ර්ය­ව­රුන් දෙදෙ­නකු විසිනි. ඒ සෆාර් ඉක්බාල් හා හෆීස් සයීඩ් මුහ­ම්මද් යන මහා­චා­ර්ය­ව­රුය. ඔවුහු එකල සෝවි­ය­ට්ව­රුන්ට එරෙහි වූ ඇෆ්ගන් ජිහා­ඩය සඳහා සහාය දෙන අරා­බි­ව­රුන්ට සහාය දීමට වෙහෙ­සුණු අයයි. එකල ඔසාමා බින් ලාඩන්ගේ සහා­යට සිටි පල­ස්තීන ක්‍රියා­කා­රි­ක­යන් වූ අබ්දුල්ලා අසාම්ට සමී­පව සහාය දැක්වී­මට මේ මහා­චා­ර්ය­වරු කට­යුතු කළහ. කෙසේ වෙතත් මොවුන්ගේ එකල මූලික අර­මු­ණක් වූයේ ජම්මු-කාශ්මී­රයේ තිබූ ඉන්දීය පාල­න­යට විරෝ­ධය පෑම­ටයි. ඒ වෙනු­වෙන් සිය සටන් මෙහෙ­යවූ එල්ඊටී ත්‍රස්තයෝ ඉස්ලාම් ආග­මෙන් බෙදී-ගිය මුස්ලි­ම්ව­රු­න්ටද, බ්‍රිතාන්‍ය හා හින්දු ජාති­ක­ය­න්ටද පහර දුන්නේය. ඉන්දි­යාවේ පව­තින ඉඩ­ක­ඩම් හා වත්ක­ම්ව­ලින් මුස්ලිම් රාජ්‍ය­යක් වෙන් කර­ගැ­නීම වෙනු­වෙන් ක්‍රෑර­ත්වය පැති­ර­වීය. 2001 වන විට මේ සංවි­ධා­නයේ සාමා­ජි­කයෝ 15,000ක්ම විශ්ව­වි­ද්‍යාල සිසුහු වූහ. වරෙක එල්ඊටී ත්‍රස්ත නාය­ක­යකු ප්‍රසිද්ධ ප්‍රකා­ශ­යක් කර තිබුණේ මෙලෙ­සයි. ‘ඇෆ්ගන් යුද්ධයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස බිහිවූ එල්ඊටී සංවි­ධා­නය, සන්නද්ධ හමු­දා­වක විනා­ශ­කාරී ක්‍රියා වෙනු­වෙන් වෙන්වූ ක්‍රියා­කාරී සංවි­ධා­න­යක් බව ඔප්පු කළා. දැන් අපගේ ප්‍රධාන කාර්ය­භා­රය වන්නේ ද එයයි’ යනු­වෙනි.

බිහි­සුණු ප්‍රහාර

එල්ඊටී සංවි­ධා­නය ඉති­හා­සය පුරා සිදු කළ ප්‍රහාර විශාල සංඛ්‍යා­වක් අතු­රින් අති­ශය බිහි­සුණු හා උපා­ය­මා­ර්ගික වශ­යෙන් බඩාත් බල­පෑ­ම්ස­හ­ගත ප්‍රහාර ලෙස සීමිත සංඛ්‍යා­වක් වර්ගී­ක­ර­ණය කර තිබේ. 1999 දී ජම්මු-කාශ්මීර්හි මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, එහි දේශ­සී­මාවේ ඉන්දීය හමුදා වෙත කරන ලද ප්‍රහාර, ශ්‍රීන­ගර්හි ඉන්දීය හමුදා නිල­ධා­රීන් ඝාත­නය කළ ප්‍රහා­රය, 2000දී අමෙ­රි­කානු ජනා­ධි­පති බිල් ක්ලින්ටන් ඉන්දි­යා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබි­යදී 35 දෙනකු ඝාත­නය කර­මින් සිදු කළ ප්‍රහා­රය,

ඒ වස­රේම දිල්ලියේ හමුදා බැරැ­ක්ක­ව­ලට එල්ල කළ ප්‍රහා­රය, 2001දී ශ්‍රීන­ගර් ගුව­න්තො­ටු­ප­ළට එල්ල කළ ප්‍රහා­රය හා ඒ වසරේ දෙසැ­ම්බ­ර­යේදී ඉන්දීය පාර්ලි­මේ­න්තු­වට ඒල්ල කළ ප්‍රහා­රය, 2002දී ඉන්දීය හමුදා මූල­ස්ථා­නට හා ගුජ­රාට් විහා­ර­යට එල්ල කළ ප්‍රහාර, 2003දී ඉන්දි­යාවේ සවේරි බසාර් වෙත කළ ප්‍රහාර (52ක් මිය­ගොස් 200ක් තුවාල ලැබීය), 2005 බැංග­ලෝර්හි පිහිටි ඉන්දු විද්‍යා­වි­ශ්ව­වි­ද්‍යාල ප්‍රහා­රය හා නව­දි­ල්ලියේ කරන ලද ත්‍රිත්ව බෝම්බ ප්‍රහා­රය, 2006 දී වර­නාසි හින්දු විහා­රය හා දුම්රි­ය­පළ ප්‍රහා­රය (21ක් මිය­ගොස් 62කට තුවාල සිදු විය), ඒ වස­රේ­දීම ඉන්දීය දුම්රිය ගණ­නා­ව­කට එල්ල කළ ප්‍රහාර (209ක් මිය­ගොස් 714ක් තුවාල ලැබීය). 2007දී හයි­ද්‍රා­බාද්හි උද්‍යා­න­ය­කට එල්ල කළ ප්‍රහා­රය, 2008 දී 160දෙන­කුට මරු කැදවා 300කට තුවාල සිදු­කළ අව­න්හල්, හෝටල්, රෝහල්, දුම්රිය පළ ප්‍රහාර, 2010දී ඉන්දි­යාවේ ජර්මානු බේකරි ප්‍රහා­රය ඇතු­ළුව 2015 වසර තෙක් වාර්ෂි­කව සිදු කළ පුද්ගල ඝාතන ගණ­නා­වක්ද ඔවුන්ගේ බිහි­සුණු ක්‍රියා­කා­ර­කම් අතර වේ.

නම් රැසක්!

මෙන­යින් විවිධ සතු­රන් වෙනු­වෙන් විවි­ධා­කාර අර­මුණු ඇතිව ක්‍රියා­ත්මක වන ත්‍රස්ත සංවි­ධා­න­යක් ලෙස හැඳි­න්විය හැකි ලෂ්කාර් ඊ තායිබා සංවි­ධා­නය ලෂ්කාර් අයි තායිබා, ලෂ්කාර් ඊ තාය්යිබ්බා, ලෂ්කාර් ඊ ටොයිබා, අල් මන්සු­රීන්, අල් මන්සූ­රි­යන්, මදීනා හමු­දාව, ඩෙකැන් මුජ­හි­දීන්, ෆලාහ්-අයි-ඉන්සැ­නි­යාත් පද­නම, ඉදාරා කිද්මැත්-ඊ-කාල්ක්, ඉස්ලා­මීය ජමාත් අද් දාවා, ජමාත් අද් දාවා ආදි නම් 22කට වැඩි සංඛ්‍යා­ව­කින් පෙනී සිටියි.

2012 වස­රේදී අන්ත­ර්ජා­තික ආර­ක්ෂාව, උපා­ය­මා­ර්ගික අර්බුද පිළි­බඳ විශේ­ෂඥ ඈෂ්ලි ජේ ටෙලිස් නිකුත් කළ ‘එල්ඊටී ත්‍රස්ත උව­දුර’ වාර්තාව මගින් එල්ඊටී ත්‍රස්ත­වා­දීන්ගේ ශ්‍රී ලංකා­වට ඇති සම්බ­න්ධය ගෙන­හැර දැක්වීය. එහි සඳ­හන් වූයේ සිය ප්‍රධාන ඉල­ක්ක­ව­ලින් බැහැ­රව බාහිර ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් වෙනු­වෙන් නේපා­ලය, බංග්ලා­දේ­ශය හා ශ්‍රී ලංකාවේ පිහිටි අයි­එ­ස්අයි හෙවත් පාකි­ස්තානු අන්තර් සේවා බුද්ධි අංශ මධ්‍ය­ස්ථා­න­ව­ලින් සහාය දෙන බවට උප­දෙස් දී ඇති බවයි.

බර­ප­ත­ළම කාර­ණය වන්නේ පසු­ගිය වසරේ දෙසැ­ම්බ­ර­යේදී අන්ත­වා­ද­යට එරෙහි ව්‍යාපෘ­තියේ ලෂ්කාර් ඊ තායිබා පිළි­බඳ නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි මේ ත්‍රස්ත­යන් ක්‍රියා­ත්මක රට­වල් වන පාකි­ස්තා­නය, ඉන්දි­යාව, කාශ්මීර්, බංග්ලා­දේ­ශය අත­රට ශ්‍රී ලංකාවේ නමද ඇතු­ළත්ව තිබී­මයි. එය සනාථ කර­මින් එල්ඊටී ත්‍රස්ත­යන් පසු­ගි­යදා ලංකා­වෙන් ඉන්දි­යා­වට පැන­ගිය පුවත අස­න්නට ලැබිණි. තවත් කී දෙනකු කොහි සිට සැල­සුම් හද­මින් සිටි­න්නේ­දැයි අපි නොද­නිමු.

Comments