ජනා­ධි­ප­ති­ව­රණ කතාව ලෙයින් ලියැවූ මැර­යන්ගේ ඉති­හා­සය | සිළුමිණ

ජනා­ධි­ප­ති­ව­රණ කතාව ලෙයින් ලියැවූ මැර­යන්ගේ ඉති­හා­සය

මෙරට ඉති­හා­සයේ 88- 89 යුග­යෙන් පසු මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් ඇතුළු ප්‍රච­ණ්ඩ­ත්වය ඉහ­ළම අග­යක් ගත් මැති­ව­ර­ණය ලෙස සැල­කෙන්නේ 2001 වසරේ පැවැති මහා මැති­ව­ර­ණ­යයි. එම මැති­ව­රණ සම­යේදී පම­ණක් දේශ­පා­ලන මුහු­ණු­ව­රක් ගත් ඝාතන 67ක් පොලිස් පොත්වල ලියැවී තිබිණි. ඒ අතර පොදු­ජන පෙර­මුණේ ආධා­ර­ක­රු­වන් 26 දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරු­වන් 22 දෙනෙක්ද සිටි­යහ.

එම මැති­ව­ර­ණ­යේදී වූ ම්ලේච්ඡ­තම ඝාත­නය උඩ­ත­ල­වි­න්නේදී වෑන් රථ­යක් තුළ දේශ­පා­ලන ආධා­ර­ක­රු­වන් 10 දෙනෙක් එක පොදි­යට වෙඩි තබා බෝම්බ ගසා මරා දැමී­මය. එම මැති­ව­රණ සම­යේදී පොලී­සි­යට වාර්තා වූ මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පම­ණක් 2000 කට වැඩිය. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ කළු පැල්ල­මක් එක් කළ එම මැති­ව­ර­ණ­යෙන් පසු මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා­වල ශීඝ්‍ර අඩු වීමක් වාර්තා වුවත් එය සැල­කිය යුතු අඩු වීමක් යැයි සඳ­හන් කළ නොහැ­කිය.

මෙරට ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ 1982 වසරේ පැවැති පළමු ජනා­ධි­ප­ති­ව­ර­ණය හා බැඳුණු මිනිස් ඝාතන හෝ වෙඩි තැබීම් ගැන නිසි වාර්තා­වක් පොලිස් මූල­ස්ථා­නයේ නැත. එහෙත් නොස­න්සුන්තා 98ක් වාර්තා වී ඇත. මැති­ව­රණ දිනයේ පම­ණක් නීති උල්ලං­ඝ­නය කිරීම් 64ක් සිදු වූ බව සඳ­හන්ය.

දෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය 88 වසරේ පැවැ­ත්වෙන්නේ 87 දී අස්සන් තබන ලද ඉන්දු ලංකා ගිවි­සු­මත් සමඟ රටේ ඇති වුණු මහ­ජන කැල­ඹී­ම්වල අඩු­වක් නැතිව පැවැති මොහො­ත­කය. ඒ වන විට පොලි­සිය සිටියේ උදා­සී­න­වය. මැති­ව­රණ නිල­ධා­රීන්ට එල්ල වුණු තර්ජන ගර්ජන බොහෝය. දෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය එදා පැවැ­ත්වෙන්නේ භීෂ­ණයේ ගිනි­දැල් මැදය. එම මැති­ව­රණ සම­යේදී මැති­ව­ර­ණය හා බැඳුණු අප­රා­ධ­වල මෙන්ම මිනිස් ඝාත­න­ව­ලද අඩු­වක් නොවීය. ඒ ගැන නිශ්චිත සංඛ්‍යා­වක් අද­ටත් සොයා­ග­න්නට නැත.

තෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ 1994 දී ය. මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරී­ම්ව­ලින් පිරුණු එම මැති­ව­ර­ණ­යේදී සිදු වුණු විශා­ල­තම ඛේද­වා­ච­කය වන්නේ ඔක්තෝ­ම්බර් 24 වැනි දා තොට­ළඟ පැවැති එජාප රැස්වී­ම­කට එල්ල වුණු ත්‍රස්ත­වා­දීන්ගේ මරා­ගෙන මැරෙන බොම්බ ප්‍රහා­ර­යයි. එම ප්‍රහා­ර­යෙන් එජා­පයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වූ ගාමිණී දිසා­නා­යක මහතා ඇතුළු එව­කට පැවැති රජයේ සිටි මැති ඇම­ති­වරු රැසක් සමග 56 දෙනෙක් මිය ගියහ.

මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් විධි­මත් සංඛ්‍යා සට­හන් දක්නට ලැබෙන්නේ සිව් වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සිටය. 1999 වසරේ පැවැති සිව් වැනි ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී දේශ­පා­ල­නික ගැටුම් හේතු­වෙන් මිය ගිය ගණන 06කි. ඊට අම­ත­රව දේශ­පා­ලන ගැටුම් පාල­නය කිරී­මට පොලි­සිය තැබූ වෙඩි ප්‍රහා­ර­ව­ලින්ද 02 දෙනෙක් මිය­ගොස් ඇති බව සඳ­හන්ය. වෙඩි තබා කළ ඝාතන තැත් කිරීම් ගණන 10කට වැඩිය. ඝාතන, ඝාතන තැත් කිරී­ම්ව­ලට අම­ත­රව පහ­ර­දීම්, බොම්බ ගැසීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා පම­ණක් එම මැති­ව­ර­ණ­යේදී 1201ක් වී තිබිණි.

ත්‍රස්ත­වා­දීන් විසින් එව­කට හිටපු ජනා­ධි­ප­තිනි සහ ජනා­ධි­පති අපේ­ක්ෂි­කාව වූ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය ඉලක්ක කර කොළඹ පුර­හල් භුමි­යේදී පුපු­රවා හරින ලද මිනිස් බෝම්බ­යෙන් මිය ගිය පිරිිස 24කි. ජාඇළ පැවැති එජා­පයේ මැති­ව­රණ ප්‍රචා­රක රැලි­යක පුපු­රවා හරින ලද මිනිස් බෝම්බ­යෙන් මිය ගිය පිරිස 12කි. ඉහත සංඛ්‍යාව ඒ හැරු­ණු­කො­ටය. පොලිස් සංඛ්‍යා දත්ත අනුව එම මැති­ව­ර­ණ­යේදී පොලි­සි­යට වාර්තා වී තිබුණු මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් ගණන 118කි.

පස් වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ 2005 වස­රේ­දීය. මිනිස් ඝාතන කිසි­වක් එම මැති­ව­ර­ණ­යේදී වාර්තා නොවූ­වත් ප්‍රච­ණ්ඩ­ක්‍රියා 86ක් ගැන පොලි­සි­යට පැමි­ණිලි ලැබී තිබිණි. එම මැති­ව­ර­ණ­යේදී පොලී­සි­යට වාර්තා වූ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් ගණන 537 කි.

2010 වසරේ හය වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය තර­මක් උණු­සුම් මුහු­ණු­ව­රක් ගත් මැති­ව­ර­ණ­යකි. මිනිස් ඝාතන 06ක්ම එම මැති­ව­ර­ණ­යේදී වාර්තා විය. පොලිස් පොත්වල ලියැ­වුණු ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 1021කි. පොලිස් මැති­ව­රණ කාර්යාං­ශයේ දත්ත­යන්ට අනුව එම මැති­ව­ර­ණ­යේදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් ලැබී ඇති පැමි­ණිලි ගණන 68කි.

2015 වසරේ පැවැ­ත්වෙන්නේ හත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. එම මැති­ව­ර­ණ­යේදී පොලී­සි­යට වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 365කි. ඒ අතර මිනිස් ඝාතන දෙකකි. එම මිනිස් ඝාතන වාර්තා වන්නේ රත්න­පු­ර­යෙන් සහ අනු­රා­ධ­පු­ර­යෙනි. එම මැති­ව­ර­ණ­යේදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් 107ක් වාර්තා විය.

මෙවර පැවැ­ත්වෙන අට වැනි ජනා­ධි­ප­ති­ව­රණ සට­නේදී පෙර මැති­ව­ර­ණ­ව­ලදී මෙන් ප්‍රච­ණ්ඩ­ත්ව­යක් තව­මත් දකි­න්නට නැති තරම්ය. රටේ මැති­ව­ර­ණ­යක් ඇති බව ජන­තා­ව­ටද නොදැ­නෙන තර­මට මැති­ව­රණ නීති­යද දැඩිව ක්‍රියා­ත්ම­කය. වෙනත් මැති­ව­ර­ණ­ව­ලදී මෙන් දැවැන්ත කට­වුට් කොඩි­වැල් මෙන්ම තාප්ප පිරෙ­න්නට ඇලවූ පෝස්ටර් අද දක්නට නැත. අපේ­ක්ෂ­ක­යන්ගේ කාර්යා­ල­වල පවා දක්නට ඇත්තේ වර්ග අඩි 30ක සහ වර්ග අඩි 20 ක බෝඩ් ලෑලි දෙකක් පමණි. ඒ හැරුණු කොට වෙනදා මෙන් අපේ­ක්ෂ­ක­යාගේ දැවැන්ත කට­වුට් මෙවර මැති­ව­රණ කාර්යා­ල­වල දක්නට නැත. කාර්යාල ඉදි­රි­පිට පොලි­තින් සැර­සිලි පම­ණක් නොව, කොඩි වැල් ද දක්නට නැත්තේ මැති­ව­රණ නීතිය මෙවර දැඩිව ක්‍රියා­ත්මක වන බැවිනි.

මෙතෙක් මැති­ව­රණ කොමි­ස­මට සහ පොලී­සි­යට ලැබී ඇති පැමි­ණිලි විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන්නේද වෙනත් මැති­ව­රණ හා සාපේ­ක්ෂව මෙවර මැති­ව­ර­ණය හා බැඳුණු ප්‍රච­ණ්ඩ­ත්ව­යද පහළ අග­යක් ගන්නා බවකි. මැති­ව­රණ කොමි­ස­මට ලැබී ඇති පැමි­ණිලි 1500කට වැඩි ප්‍රමා­ණය අතර ප්‍රච­ණ්ඩ­ත්වය හා බැඳුණු පැමි­ණිලි ඇත්තේ 10ක් පමණි. සෙසු පැමි­ණිලි සිය­ල්ලක්ම පාහේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙනි. වෙනත් මැති­ව­රණ හා සාපේ­ක්ෂව සැස­ඳී­මේදී මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පෝස්ටර් කට­වුට් නැති වුවත් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් ලැබෙන පැමි­ණි­ලි­වල නම් අඩු­වක් නැත.

මෙවර ඉහ­ළම අග­යක් ගෙන ඇත්තේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ලිය. එම පැමි­ණිලි විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන්නේ වැඩිම පැමි­ණිලි ඇත්තේ රාජ්‍ය දේපොළ අව­භා­විතා කිරීම් සහ මාධ්‍ය භාවිතා කිරීම් සම්බ­න්ධ­යෙනි. රාජ්‍ය මාධ්‍යට වඩා මෙවර පැමි­ණිලි ඉහළ අග­යක් ගෙන ඇත්තේ පෞද්ග­ලික මාධ්‍ය­යන්ට එරෙ­හි­වය.

මෙවර මැති­ව­ර­ණය ආර­ම්භ­යේ­දීම බොහෝ අය අනු­මාන කෙළේ පාතා­ල­යද ඒත් එක්කම කල­එළි බසීවි යැයි කියා ය. පසු­ගිය සමයේ පැවැති සෑම මැති­ව­ර­ණ­ය­ක­දීම පාතා­ලය දේශ­පා­ල­න­ඥ­යන් සමඟ එක් වී වැඩ ඇල්ලූහ. මෙව­රත් පාතා­ලය ප්‍රධාන අපේ­ක්ෂ­ක­යින් දෙදෙ­නාට කිට්ටු වීමට උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ වන්නේ ඒ දෙදෙ­නාම පාතා­ල­යට එරෙ­හිව හඬ නඟන නිසාය.

මෙවර මැති­ව­ර­ණය ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් තොර වීමට මුල් වන්නේද ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙකම පාතා­ලය ඈත් කිරී­මය. පාතා­ල­යට සම්බ­න්ධ­කම් ඇති අපේ­ක්ෂ­ක­යෙකු ද මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ බැවින් ඒ ගැනද පොලී­සිය මෙන්ම බුද්ධි අංශද සිටින්නේ දැඩි අව­ධා­න­ය­කිනි. ඒ ප්‍රති­වි­රුද්ධ පාතාල කල්ලි­වල ඔහු ඉල­ක්ක­යක් බවට පත් වී සිටින බැවිනි. ඔහු මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නා­ගෙන් අයෙ­කුට කිට්ටු­ව­න්නට බලා­ගෙ­නය. එම­ගින් වාසි ගන්න­ටය. එහෙත් ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාම ඔහුව ඈත්කර තිබී­මද මැති­ව­ර­ණය තව­මත් සාම­කාමී වීමට බලපා ඇති බව පොලී­සියේ විශ්වා­ස­යයි.

වෙනත් මැති­ව­රණ වලදී මේ වන විට වෙඩි තැබීම් මෙන්ම ගිනි අවි පෙන්වා තර්ජ­නය කිරීම් ඕනෑ තරම් වාර්තා වේ. පොලිස් පොත් පිරෙන්නේ තර්ජන ගර්ජන වලිනි. මෙවර මෙතෙක් ගිනි අවි භාවිතා කිරී­මක් ගැන වාර්තා වී ඇත්තේ එකක් පමණි. ඒ වාද්දූ­වෙනි. ඒ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යෙකු වන එක්සත් ජනතා නිද­හස් සංධා­නයේ කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහ­තාගේ සමී­ප­ත­යෙකු බව කියන සිසිර මෙන්ඩිස් නැමැත්තා ගිනි අවි­යක් පෙන්වා කළ පහ­ර­දී­මකි. ඔහු පහ­ර­දුන්නේ යැයි කියන්නේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ආධා­ර­ක­රු­වන් දෙදෙ­නෙ­කු­ටය. එම්.එස්. නිහා­ල්සිංහ සහ නව­රත්න බණ්ඩා යන දෙදෙ­නාට එසේ පහ­රදී ඇත්තේ වාද්දූව පොතු­පි­ටිය සුසා­න­භු­මිය අස­ලදී ය. ඒ ඉකුත් 19 වැනි­දාය.

නිහා­ල්සිංහ විසින් වාද්දූව පොලිස් ස්ථාන­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන්නේ ගිනි අවි­යක් එල්ල කර බැණ තර්ජ­නය කර කළ පහ­ර­දී­මක් ලෙසය. ඒ සම්බ­න්ධ­යෙන් සිසිර මෙන්ඩිස් නමැති දේශ­පා­ලන ආධා­ර­කරු අත්අ­ඩං­ගු­වට ගත්තද ඔහු වැඩි වේලා­වක් පොලිස් ස්ථානය තුළ රඳ­වා­ගත්තේ නැත. ඔහු නිද­හස් කර යැවෙන්නේ පොලිස් ඇප මතය. මැති­ව­රණ ප්‍රච­ණ්ඩ­ක්‍රියා නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­න­යට ලද තොර­තු­ර­කට අනුව ඔවුන් ඒ ගැන වාද්දූව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් තොර­තුරු විම­සී­මේදී පෙනී යන්නේ පැමි­ණි­ල්ලෙන් ගිනි අවිය හැලී ඇති බවය. පැමි­ණි­ලි­කරු පව­සන්නේ ගිනි අවිය ගැන තමන් පොලී­සි­යට පැමි­ණිලි කළ බවකි. එහෙත් අනි­ති­මට පොලිස් පොතේ ගිනි අවි­යක් නැත. පොලිස් ඇප ලැබෙන්නේ ඒ නිසාය.

ප්‍රච­ණ්ඩ­ක්‍රියා යැයි කියා මෙවර මැති­ව­ර­ණය පුරා­ව­ටම දක්නට ඇති පැමි­ණිලි කිහි­ප­යේම තත්ත්වය එසේය. පොලී­සි­යට අනුව තව­මත් දේශ­පා­ලන ගැටු­ම්ව­ලින් තුවාල ලබා රෝහල් ගත­කි­රීම් කිසි­වක් වාර්තා වී නැත. ඒ හුංග­මදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­ප­ති­ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සම්බ­න්ධි­ක­රණ නිල­ධා­රි­යෙකු වන සමීර අබේ­කෝන් මහ­තාගේ පියා­ටත් සහෝ­ද­ර­යා­ටත් ඉකුත් 20 වැනිදා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ආධා­ර­ක­රු­වන් කිහි­ප­දෙ­නෙ­කු­ගෙන් එල්වුණු ප්‍රහා­රය පොලී­සිය මැති­ව­රණ ප්‍රච­ණ්ඩ­ක්‍රි­යා­වක් ලෙස වාර්තා කර නැති බැවිනි. පොලී­සිය පව­සන්නේ එම ප්‍රහා­රය ගමේ ගොඩේ ආර­වු­ලක් බවකි.

ප්‍රහා­ර­යට ලක් වූවන්ගේ පැත්තෙන් පව­සන්නේ නම් ප්‍රහා­රය පෞද්ග­ලික ආර­වු­ලක් මත වූවක් නොවන බවය. එම ප්‍රහා­ර­යෙන් සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රි­යාගේ පියාත් සහෝ­ද­ර­යාත් තුවාල ලබා රෝහ­ල්ගත කරනු ලැබූහ. පියා රෝහල් ගත කෙරෙන්නේ ගල් ප්‍රහා­ර­ය­කින් හිසට සිදු වුණු තුවා­ල­යක් හේතු­වෙනි. පොලී­සිය පව­සන්නේ එම පහ­ර­දීම කර ඇත්තේ බීම­තින් බවකි.

එම පහ­ර­දීම මැති­ව­රණ පැමි­ණි­ල්ලක් ලෙස පොලිස් පොත්වල ලියැ­වු­ණත් නැතත් පොදුවේ පිළි­ගත යුතු සත්‍ය නම් මෙවර මැති­ව­ර­ණය සම­ස්ත­යක් ලෙස ගත් කල තව­මත් ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් තොර බවය. මැති­ව­රණ නීතිය උල්ලං­ඝ­නය කිරීම් ගැනද මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි දහ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් ලැබී ඇතත් ඒ අතර පොස්ටර් කට­වුට් වැනි නීති විරෝධි ප්‍රචා­රක කට­යුතු ගැන හෝ කාර්යාල ගැන පැමි­ණිලි ඇත්තේ ඉතා සුළු ප්‍රමා­ණ­යක් පමණි. ඒ පොලී­සි­යෙන් නීති­වි­රෝධි මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සඳහා ඉඩක් මෙන්ම බුරු­ලක් නොලැ­බෙන බැවිනි. මේ තත්ව­යට මැති­ව­රණ කොමි­සමේ බල­ව­ත්ක­මත් පොලිස් කොමි­ස­මෙන් පොලී­සි­යට ලැබී ඇති රැක­ව­ර­ණ­යත් වැඩ බලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා පොලී­සිය මෙහෙ­ය­වන ආකා­ර­යත් මුල් වී ඇති බව නම් පැහැ­දි­ලිය.

Comments