නූලෙන් නූල පටලවා බීරළු කලාවේ පණ ගොතන මාගාල්ලේ අවසන් පරපුර | සිළුමිණ

නූලෙන් නූල පටලවා බීරළු කලාවේ පණ ගොතන මාගාල්ලේ අවසන් පරපුර

බීරළු රේන්ද ගෙතීමේ කලාව මෙරට කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූයේ පෘතුගීසි සමයේ දී ය. දකුණේ වෙරළබඩ ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල්වල කාන්තාවන්ගේ සිත්ගත් ඇඳුමක් වූයේ බීරළු රේන්ද අල්ලා අත් දිගට දමා කපු රෙද්දෙන් මැසූ කබාකුරුත්තුව නම් හැට්ටයයි.

බීරළු රේන්ද අල්ලා හැඩ වැඩ දැමූ ''කබාකුරුත්තුව" ඇඳි ලඳුන් අද ගාල්ලේ දකින්නට නොමැති නමුත් බීරළු රේන්ද ගොතන කාන්තාවන් කිහිපදෙනකු අදටද ගාල්ලේ මාගාල්ල ප්‍රදේශයේ මෙම කර්මාන්තයේ යෙදෙමින් සිටියි. කෙසේ වුවද ඔවුන් පවසන්නේ මේ කර්මාන්තය කරන අවසන් කිහිප දෙනා තමන් බවයි. ගාල්ල, වැලිගම ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක පමණක් දක්නට ලැබෙන බීරළු රේන්ද ගෙතීමේ කලාව තමන්ගෙන් පසුව අභාවයට යනු ඇතැයි ඔවුහු පවසති.

පෘතුගීසීන් ගාල්ල වරාය අල්ලාගත් 1580 වර්ෂයෙන් පසු “කබාකුරුත්තුව” සේම ඒවාට අල්ලන රේන්ද ගෙතීම ද මුහුදුබඩ පෙදෙස්වල ජනප්‍රිය විය. ඉතිහාස සාක්ෂි පවසන්නේ බීරළු රේන්ද ගෙතීමේ කලාව පෘතුගීසි කාන්තාවන් විසින් ලාංකික කාන්තාවන්ට පුරුදු කළ බවයි. පසුව පැමිණි ලන්දේසි කාන්තාවන්ද රේන්ද අල්ලා මැසූ ඇඳුම් ඇඳීමට දැක්වූ කැමැත්ත දැඩි කැමැත්තක් තිබී ඇත. එනිසා මේ කලාව තවත් දිරිගැන්විණ.

‘බීරළු‘හා ‘රේන්ද‘ යන වචන දෙකම පෘතුගීසි භාෂාවෙන් එකතු වූ වචන වේ. රේන්ද ගෙතීම සඳහා භාවිතා කරන උපකරණය හඳුන්වන්නේ රේන්ද කොට්ටය යනුවෙනි. එහි කුඩා බැරලයක් වැනි කැරකැවිය හැකි කොටසක් සවිකර තිබේ. කලින් සැළසුම් කරගන්නා මෝස්තරය සහිත “ඉස්බීසලය” නමින් හැඳින්වෙන සටහන මේ බැරලයේ සවිකර අවශ්‍ය තැන්වලට අල්පෙනෙත්ති සවිකරමින් ඒවායේ නූල් පටලවමින් කාන්තාවෝ අපූරු වියමන සිදු කරති. අතේ හුරුවෙන් සිදු කරන මේ වියමනේ දී නූල් ගැටගැසූ බීරලු ඒ මේ අතට මාරු කරන අයුරු ද අපූරුය. මේ සඳහා කපු නූල් හෝ අමු නූල් භාවිතා කරයි.

ඔවුන් අතින් ඉතා අලංකාර විවිධ හැඩැති බීරළු රේන්ද නිර්මාණය වුව ද මේ කර්මාන්තයේ නිරත කාන්තාවන් පවසන්නේ මහන්සියේ තරමට ලැබෙන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

“ඉස්සර ගාල්ලේ මාගාල්ල කිව්වම බීරළු කර්මාන්තයට ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. හැම ගෙදරකම වගේ කාන්තාවන් බීරළු රේන්ද ගොතන්න පුරුදු වෙලා හිටියා. නමුත් අද මේ කර්මාන්තය කරන කිහිප දෙනයි ඉතිරිවෙලා ඉන්නේ. ඒ අයත් තව වැඩි කාලයක් මේක කරන එකක් නැහැ. අපේ දරුවන් මේ ශිල්පය ඉගෙන ගන්න කැමති නැහැ”. යැයි මාගාල්ලේ පදිංචි ජී.එම්.මල්ලිකා පැවසුවාය.

ඇය පවසන දෙය සත්‍යයකි. අදින් දශක කිහිපයකට පෙර ගාල්ලේ මාගාල්ල යනු බීරළු රේන්ද කර්මාන්තය සදහා ඉතා ප්‍රසිද්ධ ප්‍රදේශයකි. සෑම නිවසකම කාන්තාවෝ මේ කර්මාන්තයේ යෙදුණහ. පෘතුගීසී පාලන කාලයේ දී පෘතුගීසි කාන්තාවන් ගාල්ල වරාය ආසන්නයේ මාගාල්ලේ කාන්තාවන්ට මේ කර්මාන්තය උගන්වා ඇත්තේ තම ඇඳුම් ආයිත්තම් සඳහා පමණක් නොව තම රටට ගෙන යාමට අවශ්‍ය රේන්ද ද ගොතා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම මේ කර්මාන්තයට එකල හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබිණි.

බිමල්කා චන්දිමා මාගාල්ලේ බීරළු රේන්ද අළෙවි සැළක් පවත්වාගෙන යයි. එහි බීරළු රේන්ද නිර්මාණ මෙන්ම අතේ ගොතන ලද රේන්ද හා යන්ත්‍රාණුසාරයෙන් ගොතන ලද රේන්ද වර්ගද අලෙවියට තබා ඇත. ඇය මෙසේ කීවාය.

“ගාල්ලේ තියෙන එකම රේන්ද අලෙවි සැල පවත්වාගෙන යන්නේ අපි. නමුත් හොඳ ආදායමක් ගන්න හැකියාවක් නැහැ. ඉස්සර වගේ මේ නිර්මාණවලට ඉල්ලුමක් නැහැ. ඒ නිසා බීරළු රේන්ද ගොතන අය දැන් ඇත්තේම නැති තරම්. අපි පොඩි කාලේ නම් හැම ගෙදරකම රේන්ද ගෙතුවා. දැන් මැෂින්වලින් ගොතන රේන්ද ඇවිත් තියෙනවා. බීරළු රේන්ද ගන්නේ විදේශිකයන් සහ ධනවත් කාන්තාවන් පිරිසක් විතරයි. ඔවුන් ඉඳ හිට ඇවිත් ආශාවෙන් මේවා අරගෙන යනවා. මේ කාලේ සංචාරක කර්මාන්තය බිඳ වැටිලා නිසා දැන් ඒ ආදායමත් නැත්තටම නැතිවෙලා තියෙන්නේ. රේන්ද ගොතලා ගෙනත් දෙන අයගෙන් අපි ඒවා අරගෙන විකුණලා සල්ලි දෙනවා. නමුත් දැන් මාස ගණනකට මුදල් බේරන්න බැරි නිසා ඒ අය මේ කර්මාන්තයෙන් ඈත් වෙලා. බීරළු රේන්ද ගෙතීම කියන ගෘහ කර්මාන්තය ගාල්ලෙන් නැත්තටම නැතිවෙමින් යනවා. රුසියාව වගේ රටවලින් එන විදේශීය කාන්තාවන් මේ බීරළු රේන්දයට හරිම කැමතියි. ඒත් සමහර රටවලින් එන අය ඉල්ලන්නේ ඉතාම අඩු මුදලකට. ඒ ගනන් වලට දීලා මේ ව්‍යාපාරය කරන්න බැහැ.”

බීරළු රේන්ද කර්මාන්තයේ නියුතු කාන්තාවක වන තනුජා දර්ශනී පවසන්නේ රජය මැදිහත් වී වෙළඳපොල සොයා දෙන්නේ නම් බීරළු රේන්ද කර්මාන්තය හොඳ ආදායම් මාර්ගයක් බවයි.

“බීරළු රේන්ද ගෙතීම ගෘහ කර්මාන්තයක්. නමුත් දැන් ආදායමක් ලබාගන්න බැරි නිසා හැමෝම ඒ කර්මාන්තයෙන් ඈත් වෙලා ගිහින්. අපිට ජාතික ශිල්ප සභාවෙන් පුහුණුවීම් ලැබෙනවා. විදේශ සංචාර පවා ලැබුණා. මම මාගාල්ලෙන් සහ වැලිගම, මිරිස්ස ප්‍රදේශවලින් පවා රේන්ද නිර්මාණ එකතුකරගෙන ඉන්දියාවේ ප්‍රදර්ශනයකටත් ගියා. ඒ අවස්ථාවේ අපි දැක්කා විදේශිකයන්ගේ පුදුම උනන්දුවක් මේ කර්මාන්තය ගැන තියෙනවා. ඇත්තටම රජය මැදහත් වෙලා මේ බීරළු කර්මාන්තය දියුණු කරනවානම් ලොකු දෙයක්. අපිට තනිවම වෙළඳපොළ සොයාගැනීමේ හැකියාවක් නැහැ. අපිට තියෙන ලොකුම අර්බුදය තමයි විදේශීය වෙළඳ පොල විවෘත නොවීම”.

මාගාල්ලේ නිවෙස්වල සිට බීරළු ගොතන කාන්තාවන්ගේ නිෂ්පාදන මිලදී ගන්නේ තනුජා මහත්මිය, බිමල්කා වැනි ව්‍යාපාරික මට්ටමින් මේ කර්මාන්තය පවත්වාගෙන යන කිහිපදෙනෙකි. ඔවුන් බීරළු ගොතන කාන්තාවන්ට අවශ්‍ය නූල් සපයයි. මේ නූල් ගෙන්වන්නේ ඉන්දියාව ඇතුළු විදෙස් රටවලිනි. නූල් සපයා නිෂ්පාදන මිලදී ගන්නේ යාරයකට නිශ්චිත මුදලක් ගෙවීමෙනි. බීරළු රේන්ද යාරයක් ඔවුන් මිලදී ගන්නේ මෝස්තරයේ ස්වභාවයත් මෝස්තරයේ පළලත් අනුව ගණනය කිරීමෙනි.

මේ කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වී ඇත්තේ යන්ත්‍ර භාවිතයෙන් නිම කරන රේන්ද හේතුවෙනි. මැෂින් රේන්ද අත් රේන්ද වලට වඩා අඩු මුදලකට විකිණෙයි.

පළලින් අඩු බීරළු යාරයක් රුපියල් 35ක් වැනි මුදලකට අළෙවි වන අතර පළලින් වැඩිම බීරළු යාරයක් රුපියල් 500කට පමණ අළෙවි වෙයි. පළලින් අඩු බීරළු යාරයක් ගෙතීමට ඔවුන්ට දිනකට වැඩි කාලයක් ගතවන අතර රුපියල් 500ක මුදලකට අළෙවි කරන බීරළු යාරයක් ගෙතීමට අවම වශයෙන් දින 10ක් පමණ ගත වේ. සාමාන්‍යයෙන් අඟල් හතරක පමණ දිග පළල ඇති හතරැස් කොටු හැඩැති බීරළු මෝස්තරයක් රුපියල් 30කට අළෙවි කළ හැකිවන අතර දිනකට ගෙතිය හැක්කේ එවැනි කොටස් පහක පමණ ප්‍රමාණයක් බව ගෘහණියෝ කියති. ඒ අනුව ඔවුන්ගේ ආදායමේ තරම ගණනය කළ හැකිය. බීරළු ගොතන කාන්තාවන් පවසන්නේ මේ කර්මාන්තයේ යෙදීමෙන් මාසයකට රුපියල් 5000ක් හෝ සොයා ගැනීම අපහසුය.

බීරළු ගොතන කාන්තාවක වන එස්.කේ.දමයන්ති මෙසේ පැවසුවාය,

“මේක එකදිගට කරන්න බැහැ. එකම තැන වාඩිවෙලා භාවනාවකට සම වැදුනා වගේ බීරළු ගොතන්න වෙනවා. කොන්ද රිදෙනවා උරහිස් රිදෙනවා. ඒ නිසා අපි ගෙදර අනිත් වැඩ කරන අතරතුර තමයි මේක කරන්නේ. මහන්සි වෙලා ගෙතුවත් තවමත් මේවාට ගෙවන මුදල වැඩි වෙලා නැහැ. ලාභය වැඩිපුර යන්නේ අතරමැදියන්ට. දැන්නම් අපි බීරළු ගොතන්නේ ගෙදර නිකන් ඉන්න වෙලාවේ කම්මැලිකම යන්නත් එක්ක.”

වැලිගම සිට මාගාල්ලට පැමිණ පදිංචි වූ කාන්තාවක වන කේ.එච්.ජයන්ති

“මගේ ගම වැලිගම. එහේදි අපේ අම්මා ගොතනවා බලගෙන ඉඳලා තමයි මම ගොතන්න පුරුදු වුණේ. විවාහ වෙලා ආවෙත් බීරළු රේන්ද ගොතන අය ඉන්න මාගාල්ලටමයි. මේ පැත්තේ ගෙවල් කිහිපයක වැඩිහිටි කාන්තාවන් මේ කර්මාන්තයේ යෙදෙනවා. නමුත් අපේ පරම්පරාවෙන් පස්සේ බීරළු රේන්ද කර්මාන්තය ලංකාවේ දකින්නවත් නැති වේවි. දැන් අපේ දරුවො මේ දිහා බලන්නෙවත් නැහැ.”

මියැදෙන්නට යන කලාවකට ජීවිතය දෙන්නට ඔවුහු වෙහෙසෙති. නූලෙන් නූල පටලවමින් ඔවුන් මේ ගොතන්නේ ජීවිතයයි, අපේ අතීත උරුමයයි. ඓතිහාසික වටිනාකම මෙන්ම වර්ථමානයේ සංචාරක ක්ෂේත්‍රයටද පිටුවහලක් වන මේ සියුම් නිර්මාණාත්මක කලාව නැසී යන්නට නොදී පවත්වාගෙන යාමට බලධාරීන්ගේ උපකාරය ද අවශ්‍ය වී තිබේ. එසේ නොවුවහොත් තවත් දශක කිහිපයකට පසු බීරළු රේන්ද ගෙතීම ද අතීතයට එක්වී එය යන්ත්‍රාණුසාරයෙන් පමණක් කෙරෙන කර්මාන්තයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Comments