නෑ ගමන් වෙනු­වට අව­සන් ගමන් ගිය අම්මාවරුන් සහ දරු­වන් | සිළුමිණ

නෑ ගමන් වෙනු­වට අව­සන් ගමන් ගිය අම්මාවරුන් සහ දරු­වන්

වැල්ල­වා­යේදී අන­තු­රට ලක්වූ ත්‍රිරෝද රථය
වැල්ල­වා­යේදී අන­තු­රට ලක්වූ ත්‍රිරෝද රථය

රුවා පැමි­ණෙ­න්නට තැනක් වේලා­වක් නැත. එසේ වුවද බොහෝ විට අපට අස­න්නට දකි­න්නට ලැබෙන ඇතැම් මරණ වළක්වා ගත හැකි ඒවා වීම ඛේද­වා­ද­ක­යකි. පසු­ගිය 12 වැනි ඉරිදා වේය­න්ගොඩ මල්ලැ­හැව මාර්ගයේ කොට්ටල ප්‍රදේ­ශ­යේදී සිදු­වූයේ ද එවැනි සිදු­වී­මකි. අන­තුර හේතු­වෙන් රිය පැදවූ දෙදරු මව සහ ඇයගේ කුඩා දරු දෙදෙනා මරු තුරු­ලට ගිය අතර රියේ ගමන් ගනි­මින් සිටි අඹු සැමි යුව­ළක් ද තුවාල ලැබූහ. ත්‍රිරෝද රථය පැදවූ කාන්තා­වට රථයේ වේගය පාල­නය කර­ගත නොහැකි වීම නිසා එය මාර්ග­යෙන් ඉව­තට පැන පෙර­ළීම නිසා එම අන­තුර සිදුව ඇති බව පොලි­සිය පව­සයි.

පසු­ගිය වසරේ ජන­වාරි මස 1 වැනිදා සිට දෙසැ­ම්බර් 31 දක්වා දිව­යින පුරා සිදුව ඇති මුළු රිය අන­තුරු සංඛ්‍යාව 30443ක් වන අතර එයින් 2645ක් මාරක අන­තු­රුය. එම මාරක රිය අන­තුරු හේතු­වෙන් 2839 දෙන­කුට අකා­ලයේ ජීවිත අහිමි විය. අවා­ස­නා­ව­කට මෙන් පසු­ගිය වසරේ වැඩිම මරණ සංඛ්‍යා­වක් වාර්තා වී ඇත්තේ යතුරු පැදි අන­තුරු හේතු­වෙනි. එම අන­තුරු සංඛ්‍යාව 8895ක් වන අතර රිය අන­තු­රු­ව­ලට හේතු වන දෙවැනි වාහ­නය වන්නේ ත්‍රිරෝද රථය. පසු­ගිය වසරේ පම­ණක් ත්‍රිරෝද රථ අන­තුරු 5256ක් සිදුව තිබේ. ශ්‍රී ලංකා පොලිස් මූල­ස්ථා­නයේ පොලිස් මාධ්‍ය කොට්ඨා­ශයේ දත්ත වාර්තා අනුව වේග­යෙන් රිය ධාව­නය නිසා සිදුවූ අන­තුරු හේතු­වෙන් පුද්ග­ල­යන් 259ක් මරු තුරු­ලට ගොස් ඇති අතර ඉස්සර කිරීම හේතු­වෙන් සිදු වූ අන­තුරු නිසා 250 දෙනකු මිය­ගොස් තිබේ.

වේය­න්ගොඩ දී පසු­ගිය දා සිදුවූ මාරක රිය අන­තුර ද එවැනි අවා­ස­නා­වන්ත අන­තු­රකි. ඊට හේතුව අධික වේගය මෙම අන­තුර සඳහා ප්‍රධාන හේතු­වක් වී තිබී­මය.

කිරි­ඳි­වැල පාර, වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ තාව­කා­ලික නිව­සක පදිංචි වී සිටි හත­ළිස් හැවි­රිදි සමු­ධිකා කුමාරි සිරි­ව­ර්ධන හක්මන නරා­ව­ල්පි­ටිය උතුර මිල්අ­ඹ­හේන ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යකි. දෙදරු මවක වන ඇයගේ වැඩි­ම­හල් දරුවා තිනෙත් රවි­ෂාන්, යක්කල චන්ද්‍ර ජෝති විද්‍යා­ලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලැබූ සිසු­වෙකි. බාල දරුවා උදාන් රශ්මික වයස අවු­රුදු එක­හ­මා­රක සිඟි­ත්තෙකි. සමු­ධිකා සිය දෙද­රු­වන් සමඟ ඉකුත් 12 වැනි දින කුරු­ණෑ­ගල ප්‍ර දේශයේ පිහිටි ඥාති නිව­ස­කට යෑමට පිටත්ව ඇත්තේ ඇයගේ සමීප මිතු­රි­යක සහ ඇයගේ සැමියා ද සම­ඟය. ගමන සඳහා ඔවුන් තෝරා­ගෙන තිබුණේ සමු­ධි­කාට අයත් ත්‍රිරෝද රථ­යයි. සමු­ධිකා විසින් පැදවූ ත්‍රිරෝද රියේ පසු­පස අසුනේ ඇයගේ දරු දෙදෙනා සහ මිතුරු යුවළ වූහ. ඒ වන විට වේලාව සවස 3.15 පමණ වන්නට ඇත. සතුටු කතා­බහ අතරේ පැමිණි ඒ ගමන ඛේද­වා­ච­ක­ය­කින් අව­සන් වනු ඇතැයි ඔවුහු කිසි­වකු නොසි­ත­න්නට ඇත. එහෙත් කොට්ටල ප්‍රදේ­ශයේ කුඹු­රක් මැදින් වූ මාර්ගයේ ගමන් කර­මින් සිටි ත්‍රිරෝද රිය එක­ව­රම මාර්ග­යෙන් ඉව­තට පැන විදුලි කණුව හා ඇල කණුව මැදින් කුඹු­රට පෙර­ලී­මත් සමඟ ඔවුන්ගේ ජීවිත ඉර­ණම අවා­ස­නා­වන්ත ලෙස නිමා­වට පත්විය. පෙර­ලුණු රථය කැබ­ලි­ව­ලට කැඩී සුනු­වි­සුනු වී යන අයුරු සීසී­ටීවී කැම­රා­වක සට­හන්ව තිබුණේ ඉතා අනු­වේ­ද­නීය අයු­රිනි.

අන­තුර හේතු­වෙන් බර­ප­තළ තුවාල ලැබූ සමු­ධිකා, ඇගේ දරු දෙදෙනා සහ මිතුරු යුවළ කඩි­න­මින් වතු­පි­ටි­වල රෝහ­ලට ඇතු­ළත් කළද සමු­ධිකා සහ ඇගේ දරු­වන් දෙදෙනා සිය ජීවිත හැර ගියහ. සුළු තුවාල ලැබූ සමු­ධි­කාගේ මිතු­රි­යගේ සැමියා දිවි රැක­ගැ­නී­මට තරම් වාස­නා­වන්ත වුවද බර­ප­තළ තුවාල ලැබූ සමු­ධි­කාගේ මිතු­රිය වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහ­ලට පිටත් කර යැවී­මට සිදු­විය.

අධික වේගය පාල­නය කර ගැනී­මට නොහැකි වීම හේතු­වෙන් සිදුවූ තවත් ඛේද­වා­ච­ක­යක් පසු­ගිය 10 වැනිදා උදෑ­සන වැල්ල­වා­යෙන් වාර්තා විය. වේග­යෙන් පැමිණි ත්‍රිරෝද රියක් ලොරි රථ­යක ගැටී­මෙන් වැල්ල­වාය මොණ­රා­ගල මාර්ගයේ වරු­ණ­ගම යුද හමුදා කඳ­වුර ඉදි­රි­පි­ටදී සිදුවූ මාරක රිය අන­තු­රෙන් ද තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්විය. එසේ අවා­ස­නා­වන්ත ලෙස මරු වැලඳ ගත්තේ ත්‍රිරෝද රථයේ පිටු­පස අසුනේ ගමන් කර­මින් සිටි ප්‍රියන්ත ලාල්, තුෂාර රුවන් ප්‍රිය­ද­ර්ශන සහ මාලනී ද සිල්වා යන අයය.

ඔවුන්ගේ මරණ පරී­ක්ෂ­ණය වැල්ල­වාය මූලික ‍රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දෙමින් ලොරි රථයේ සහා­යක තරිඳු හෂාන් ඒ අන­තුර සිහි­පත් කළේ මෙලෙ­සිනි.

“අපි ඔක්කොම එක ගමේ එකට ඉන්න යාළුවො. ලොරි­යෙන් කොළ­ඹට ගඩොල් අර­ගෙන ගිය අපි එන ගමන් ෂීට් අර­ගෙන බණ්ඩා­ර­වෙල ගියා. අපි කෑම්ප් එක ළඟට එද්දි උදේ නව­ය­හ­මා­රට විතර ඇති. වරු­ණ­ගම යුද හමුදා කඳ­වුර කිට්ටු­වදී වීල් එක අපේ ලොරි­යට වෙට්ටු­වක් දැම්මා. එත­කොට ලොරි­යට මීටර් 10ක් විතර දුරක් තිබුණේ. අපි තිරිංග තද කළත් වේග­යෙන් ආව වීල් එක ඇල­වෙලා පිටි­පස්ස අපේ ලොරියෙ වැදුණා. වීල් එක පෙර­ළිලා ගිහින් කෑම්ප් එක පැත්තට විසි­වුණා. අපි ඉක්ම­නට බැහැලා ගිහින් වීල් එක කෙලින් කළා.

අව­සා­න­යේදී ගිලන් රථ­ය­කින් තුවා­ල­ක­රු­වන් රෝහ­ලට ඇතු­ළත් කළද අවා­ස­නා­ව­කට මෙන් ඔවුන්ට ජීවත් වීමේ වාස­නාව නොති­බිණ. අන­තු­රින් මිය­ගිය ප්‍රියන්ත ලාල් ද සිල්වා සිවු වස­රක් වය­සැති පුත­කුගේ පියකු වන අතර ඔහු රැකි­යාව ලෙස ගඩොල් කැපීමේ නිර­තව සිටි අයෙකි. එම අවා­ස­නා­වන්ත සිදු­වීම ගැන ඔහුගේ බිරිය රසිකා ප්‍රිය­ද­ර්ශනී සිහි කළේ හැඬු­ම්බ­ර­වය.

“අපි විවාහ වෙලා අවු­රුදු 20ක් විතර වෙනවා. අපි අලු­තින් කඩ­යක් දැම්මේ ඔය අන­තුර සිදුවූ දිනට කලින් දවසේ. ඒකට කෑම හදන්න එළ­වළු ටිකක් ගේන්න තමයි මහ­ත්තයා වැල්ල­වාය සති පොලට ගියේ. මට කඩේට වෙලා ඉන්න කියලා තමයි මහ­ත්තයා ගියේ. ටික වෙලා­ව­කින් කඩේට ආව කෙනෙක් කිව්වා පාරේ ගිය වීල් එක­කුයි ලොරි­ය­කුයි හැප්පිලා කියලා. මම ඒ වෙලේ අම්ම­ටත් ගිහින් ඒ ගැන කියලා අනේ පව් ඒ අය කියලා දුක් වුණා. ඊට ටික වෙලා­ව­කට පස්සේ කඩේට ආව කෙනෙක් කිව්වා ඒ හැප්පිලා තියෙන්නෙ අපේ අය කියලා. මට ඒක අද­හ­ග­න්නත් බැරි­වුණා. අපි ඉක්ම­න­ටම එත­නට ගියත් ඒ වෙද්දි එයා­ලව ඉස්පි­රි­තා­ලෙට ගෙනි­යලා. මම ගිහින් බල­ද්දිත් මහ­ත්තයා අපිව දාලා ගිහින්. මමයි දරු­වයි දැන් මේ ලෝකේ තනි­වුණා.”

ප්‍රිය­න්තගේ පියා කල­කට පෙර වල්අලි ප්‍රහා­ර­ය­කින් ජිවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර ප්‍රිය­න්තගේ වැඩි­ම­හල් සහෝ­ද­රයා ද මීට වසර තුන­කට පමණ පෙර අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් මිය­ගොස් ඇත. එතැන් සිට මව ද රැක­බලා ගනි­මින් සිය බිරි­යත් දරු­වාත් සමඟ ජීවත් වූ ප්‍රියන්ත සිය උත්සා­හ­යෙන් ජීවත් වූ අයෙකි. එහෙත් අද ඒ සතුටු කතා­වට දුක්බර ඉර­ණ­මක් එකතු වී ඇත. ඒ ගැන ප්‍රිය­න්තගේ මව පී.කේ.එම්.ඥාන­වතී ද පැව­සුවේ කඳුළු සල­මිනි.

“පුතා තමයි අපිව බලා­ගත්තෙ. එදා උදේ පුතා මටත් කියලා තමයි ගෙද­රින් ගියේ. හිච්චි නැන්දා එක්ක තුෂාර පුතත් ඒ ගම­නට එකතු වුණා. උදේ ඉඳලා පුතාගේ කඩේ ගාව හිටිය චාමර පුතාගේ වීල් එකෙන් තමයි එයාලා පොලට ගියේ. කලින් ලොකු පුතා නැති­වුණ මට දැන් මගෙ සුදු පුතත් නැති­වුණා.”

ප්‍රියන්ත සමඟ පොලට යමින් සිටි­යදී මරු තුරු­ලට ගිය ඔහුගේ ඥාති­ව­රි­යක(හිච්චි නැන්දා) වන මාලනී ද සිල්වා(72) ගේ පුතකු වන ආර්.පී. අනිල් කුමාර(41) සිය මවට අත්වූ අවා­ස­නා­වන්ත ඉර­ණම සිහි කළේ දැඩි සංවේ­ග­යෙනි. “අම්මා එදා හිටියෙ ප්‍රිය­න්ත­ලාගේ ගෙදර. මම එදා ගඩොල් ඕඩ­ර­යක් අර­ගෙන ඇල්ලෙ ඇවිත් ඉන්න­කොට තමයි අම්මා ගිය වීල් එක අන­තු­රට ලක්වුණා කියලා කෝල් එක ආවේ. ඉස්පි­රි­තා­ලෙට ගේද්දිත් අම්මා නැති­වෙලා. ”

අධික වේගය, නොසැ­ල­කි­ලි­මත් රිය ධාව­නය වටිනා ජීවිත කිහි­ප­යක් එසේ බිලි­ග­නිද්දී එවැනි පුවත් අසා සංවේ­ග­යට පත්වී එය අම­තක කර දම­න­වාට වඩා රියැ­දු­රකු ලෙස රිය සුක්කා­නම හසු­රු­වන සෑම අය­කුම ඒ ගැන සැල­කි­ලි­මත් වීම අත්‍ය­වශ්‍ය බව සිහි කළ යුතු­මය.

 

Comments