
මාලදිවයින් ජාතික වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මෙරට වෙළදුන් පිරිසක්ද සිටියහ. ගන්දර අරොන් රාළහාමි මෙසේ මාලදිවයින් වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදීගත් වෙළෙන්දෙකි. සුලුප්පුවලින් පැමිණි මාලදිවයින් ජාතිකයන් මෙරටදී මාළු ඇල්ලීම සදහා විශේෂ පන්න ක්‍රමයක් යොදාගනු ලැබිය. ඇමක් නැති බිලිකටුවක් යොදාගෙන මසුන් අල්ලන අයුරු ආරෝන රාළහාමිද විස්මයෙන් මෙන් බලාගෙන සිටියේය. ඇමක් නැතිව මාළුබාන මෙම විස්මිත පන්න තාක්ෂණය ගැන ආරෝන රාළහාමි මාලදිවයින් ධීවරයන්ගෙන් දැන ගත්තේය. හේ මේ පන්න තාක්ෂණය දකුණේ ධීවරයන්ට ද ලබා දුන්නේය.
තවමත් දකුණේ ධීවරයන් මෙකි රිටිපන්න තාක්ෂණය තම පරපුරෙන් පුරපුරට ලබාදෙති. රිටිපන්න ධීවර කර්මාන්තය දකුණු පළාතේ ධීවර කාර්මිකයන්ට පමණක් අවේණික වු පන්න ක්රමයකි. රිටක් මත නැගි මසුන් අල්ලනු ලබන රිටිපන්න ධීවර කාර්මිකයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොග්ගල වෙරළ තිරයේය. රිටක් මත නැගි මසුන් ඇල්ලිම ඉතා මනස්කාන්ත දර්ශනයකි. රිටිපන්නයට වශීවී කොග්ගලට පැමිණෙන විදේශිය සංචාරකයන් රිට මත නැගි මාළු බාන රිටිපන්න ධීවර කාර්මිකයන්ගේ ඒ මනස්කාන්ත දර්ශනය සිය කැමරා කාචවලට හසුකර ගනිති. ඒ විතරක් නොව ඇතැම් විදේශිය සංචාරකයන්ද රිට මත නැගි බිලිපිත්තෙන් මසුන් අල්ලනු අයුරු සිය කැමරා කාචවලට හසුකර ගනිති. සැබවින්ම මේ රිටිපන්න ධීවර කාර්මිකයාගේ වසන්ත කාලයයි.
නොගැඹුරු මුහුදේ රිටක්මත නැගි මසුන් ඇල්ලීම අපේ රිටිපන්න ධිවර කාර්මිකයාගේ කුසලතාව විදහා දක්වන්නකි. කෙසේවුවද අපේ පාරම්පාරික රිටිපන්න ධීවර කාර්මිකයන් පමණක් නොව සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රිරෝද රථ රියදුරන් හා සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවු ඇතමුන් ද රිටිපන්න ධීවර කර්මාන්තයට යොමුවී ඇත. වෙනදා රිටිපන්න රක්ෂාව නොකළ සංචාරක මගපෙන්වන්නන් රිට මත නැගි මසුන් අල්ලති.ඒ සිය දරුපවුල්වල බඩවියත රැක ගැනිම සඳහාය. මක්නිසාදයත් කොරෝනා වසංගතයත් සමඟ සංචාරක මගපෙන්වන්නන් ඇතුළු සංචාරක කර්මාන්තය ආශ්‍රිත විවිධ රැකියාවල නිරතවු විශාල පිරිසකට රැකියා අහිමිවි ඇත. කොරෝනා වසංගතයත් සමග මෙරට සංචාරක කර්මාන්තයට එල්ලවු බලපෑම සුළුපටු නොවේ. ඒ නිසා සිය දරුපවුල් ජිවත් කිරීම සඳහා ඇතැමුන් රිටිපන්න ධීවර කර්මාන්තයට යොමුවී ඇත. තවත් පිරිසක් කොග්ගල කළපුවේ ගොස් මසුන් අල්ලති. ඇතැමුන් අගනගරයට ගොස් කුලී වැඩ කරති. තවත් පිරිසක් බොට්ටුවලින් මුහුදු රක්ෂාවේ යති.
රිටිපන්නයෙන් මසුන් ඇල්ලිම එතරම් ලෙසි පහසු කාරියක් නොවේ. රිටමත නැගි සිරුරේ සමබරතාව පවත්වාගෙන යායුතුය. ඒ විතරක් නොව ඇමක් නැතිව බිලිපිත්තෙන් මසුන් අල්ලනු ලබන එකම පන්න ක්‍රමය රිටිපන්නයයි. වෙනත් පන්න ක්රමවලදි බිලිකටුව වැසෙන සේ ඇමක් ගැසිය යුතුවේ. මාළු එන්නේ ඇමට රැවටිලා ඇම කන්නය. නමුත් රිටි පන්නයේ දි ඇමක් භාවිත කරන්නේ නැත. මෙම බිලිකටුව මාළුවකු වැනිය. රිටිපන්න බිලිකටුව වතුරයටදි දිස්න ගසයි. බිලිකටුවේ දිස්නයට වහවැටි පැමිණෙන කොරඹුරුවෝ, සාලයා බොල්ලා රිටිපන්න ධීවර කාර්මිකයාගේ ගොදුරක් බවට පත්වෙති.
කෙසේවුවද මසුන් අල්ලනු වෙනුවට විදේශිය සංචාරකයින් වෙනුවෙන් පමණක් ඡයාරූපවලට පමණක් පෙනී සිට යම්කිසි මුදලක් උපයාගත් ඇතමුන්ට සැබැවටම රිට මත නැගි මසුන් ඇල්ලිමට සිදුවී තිබේ. වාරකන් කාලයත් සමඟ රිටිපන්න ධිවර සමය ආරම්භවිම නිසා පාරම්පාරික රිටිපන්න ධිවර කාර්මිකයන්ගේ අතමිට සරුවී ඇත. කොග්ගල සිංහ ධිවර ගම්මානයේ පාරම්පාරික ධිවර කාර්මිකයකු වන ජි ඩබ්ලිව් රම්‍යසිරි මෙසේ කිවේය.
‘මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලය තමයි රිටිපන්නය හොඳටම කරන්න පුළුවන්. ඒ කාලයට තමයි කොරඹුරුවෝ සාලයෝ වැනි මසුන් වෙරළආසන්නයට එන්නේ. මිට වසර ගණනාවකට පෙර නමි වර්ෂය මුළුල්ලේම රිටපන්න ධිවර කර්මාන්තය කළා. දැන් එහෙම කරන්න බැහැ. එන්ජින් බෝට්ටු වලින් ගොස් දැල්දමා මාළු ඇල්ලිම නිසා කොරඹුරුවන් වගේ කුඩා මසුන් වදවෙලා ගිහින්. දැලට හසු නොවන මාළු ටික තමයි වෙරළට එන්නේ. වෙනදා කොරඹුරුවෙකු ග්‍රැම් 150ක් පමණ බරක් තිබුණා. දැන් නම් ග්‍රැම් 50ක වගේ බරින් යතු කොරඹුරුවෝ තමයි හසුවන්නේ. කොරෝනා කාලයෙත් අපි මාළු ඇල්ලුවා.ඒ කාලයේ දි මාළු ටික ආපු එක රිටිපන්න ධිවර කාර්මිකයන්ට විශාල සහනයක් වුණා. නමුත් කොරෝනා වසංගතය නිසා දැන් විදේශිකයන් එන්නේ නැහැ. රිට මත නැගලා විදේශිකයන්ට ඡයාරූප ගැනීමට සලස්වා යම්කිසි ආදායමක් ලබාගත් අයගේ ආදායම නම් අහිමිවෙලා තියෙනවා. වාරකන් කාලයත් සමග රිටිපන්න ඇල්ලිමේ සමය දැන් ආරම්භ වෙලා තියෙන නිසා සංචාරක කර්මාන්තය ඇතුළු වෙනත් රක්ෂාවල නිරතව සිටි කොග්ගල ගමේ අයත් මේ දිනවල රිටි පන්න කර්මාන්තයේ නිරතව ඉන්නවා. ඒ අයගෙත් ප්‍රධාන ජිවන මාර්ගය බවට රිටිපන්න ධිවර කර්මාන්තයේ නිරතවෙලා ඉන්නවා
තිස් දෙහැවිරිදි ජි.එච් දිනේෂ් ප්‍රදිප් කුමාර කොග්ගල ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෙකි.
‘මම දැනට වසර 15ක පමණ සිට සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කරනවා. කොරෝනාවෙන් පසු අපි දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. විදේශිකයන් එන්නේ නැහැ. හෝටල් වසා දමලා තියෙන්නේ. දැන් කරන්න රැකියාවක් නැති නිසා රිටිපන්න ධීවර කර්මාන්තයේ තමයි නිරතවෙලා ඉන්නේ. රිටිපන්නයෙන් මාළු අල්ලාගෙන කීයක් හරි හොයා ගන්නවා. සංචාරක කර්මාන්තයේ නිරත ගොඩක් අය දැන් වෙනත් රැකියා සඳහා යොමුවෙලා තියෙනවා. ගොඩක් අය බෝට්ටුවල යනවා. රිටිපන්න ධිවර කර්මාන්තයේ යෙදී ඉන්නවා. මේ ගම්මානයේ පදිංචි වැඩි දෙනා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විවිධ රැකියාවල යෙදිලා තමයි කීයක් හරි උපයා ගත්තේ. දැන් ආදායම් මාර්ග සියල්ල ඇණහිටිලා තියෙනවා. විදේශිකයන් සමග ටුවර් එකක් ගියොත් තමයි අපි කියක් හරි හොයා ගන්නේ. ත්‍රිරෝද රථයට ලිසිං ගෙවන්න ඕන. දැන් වාරික තුන හතරකින් ගෙවන්න බැරිවුණා. රජය මගින් රුපියල් 5000 බැගින් දෙවතාවක් දුන්නා. ඇත්තටම මේ දිනවල ජිවත්වීම සඳහා දැඩි අරගලයක නිරතවෙලා ඉන්නවා‘
කොග්ගල මොරදගොඩ ප්‍රදේශයේ පදිංචි පත්මසිරි අමරනායක මෙසේ කිවේය.
වසර 30ක පමණ කාලයක සිට සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කරනවා. ලංකාව වටෙම ගිහින් තියෙනවා මම නොගිය තැනක් නැහැ. ජර්මන් ජාතිකයන් තමයි වැඩිපුර අරගෙන ගියේ . සංචාරක මණ්ඩලයෙන් ලබාදුන් බලපත්රයක්ද මට තියෙනවා. කොරෝනාවෙන් පසු විදේශිය සංචාරකයින් එන්නේ නැහැ. අපේ ආදායම් මාර්ගය නැතිවෙලා. ඇත්තටම අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. රජය මගින් දෙවතාවක් රුපියල් 5000 බැගින් දුන්නා. කොග්ගල ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටලයක් ඉදිරිපිට ඉදගෙන තමයි සංචාරක මගපෙන්වන්නකුලෙස කටයුතු කරන්නේ. එම ත්‍රිරෝද රථ ගාලේ සංචාරකයින් ප්‍රවාහන කටයුතු කරන ත්‍රිරෝද රථ රියදුරන් 42ක් ඉන්නවා. ඒ සියල්ලටම අද රැකියාව අහිමිවෙලා තියෙනවා. ඇතමුන් කුලි වැඩවලට යනවා. මුහුදු යනවා. මාළු අල්ලන්න යනවා මම නම් දැන් ගෙදරට වෙලා ඉන්නවා‘
කොග්ගල සිංහ ධිවර ගම්මනයේ පදිංචි එච් එම් සුනිමල් ත්‍රිරෝද රථ රියදුරෙකි..
‘මා කාලයක් සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කළා. දැන් කරන්නේ ත්‍රිරෝද රථයෙන් විදේශිය සංචාරකයන් ප්‍රවාහනය කරන එක. කොරෝනාවෙන් පසු විදේශීය සංචාරකයන් එන්නේ නැහැ. අපේ ආදායම් මාර්ග අහිමි වුණා. ඒ කාලයේ විදේශිකයන් සමග ටුවර් එකක් ගියහම රුපියල් 20000ක් විතර හොයා ගන්නවා. මෑතක්වන තුරුම සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කළා. දැන් කරන්න දෙයක් නැති නිසා මාළුබාන එක තමයි කරන්නේ. රිටිපන්නයෙන් මාළු බාලා රුපියල් 1000ක් 1200ක් විතර හොයාගන්නවා. ත්‍රිරෝදවලට හයර් නැහැ. ගොඩක් අය දැන් කොග්ගල කළපුවේ මාළු අල්ලන්න යනවා. තවත් පිරිසක් බොට්ටුවල මාළු ඇල්ලීමට යනවා. කුලී වැඩවලට යනවා. ඇතැම් අයගේ බිරින්දැවරු ගාමන්ට් රැකියාවලට යනවා‘
කොග්ගල සිංහ ධිවර ගම්මානයේ පදිංචි ජි.එච් කුමාරගේ කතාව මෙවැන්නකි.
‘මා කාලයක් සංචාරක මගපෙන්වන්නකු ලෙස රැකියාව කළා. ඊට පස්සේ රිටමත නැගලා විදේශිකයන්ට ඡයාරූප ගැනීමට ඉඩ සලස්වා කියක් හරි හොයාගත්තා. මෙරටට පැමිණෙන විදේශිය සංචාරකයන් අනිවාර්යෙන්ම කොග්ගලට ඇවිත් යනවා. කොරෝනාවත් සමග අපි අසරණ තත්වයට පත්වුණා. සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා කළ ගොඩක් අය දැන් කොළඹ ගිහින් කුලී වැඩ කරනවා. දැන් ඒ සියලු ආදායම් මාර්ග අහිමිවෙලා. දැන් මම බෝට්ටුවල මාළු අල්ලන්න යනවා‘
ඒ. රොහාන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවක නිරත අයෙකි ‘මට දරුවන් තිදෙනෙකු ඉන්නවා. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු කිසිදු විදේශිය සංචාරකයෙන් අවේ නැහැ. දැන් මම තේ කඩයක් කරගෙන යනවා. සංචාරක සමයේ දි අපි හොඳ මුදලක් උපයාගත්තා. කොරෝනාව නිසා සියල්ල නැතිවුණා යැයි රෝහාන් කිවේය.