
රාවණා රජ්ජුරුවන්ගේ ගුවන් තාක්ෂණය ගැන අලුත් උනන්දුවක් මතු වී ඇත්තේය. ඒ රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන සෙවීමට සංචාරක හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ හා ව්‍යාපෘති අංශය විසින් “රාවණා රජු හා ගුවන් ආධිපත්‍යයෙන් අපට අහිමි වූ උරුමය“ යන මැෙයන් පර්යේෂණයක් ආරම්භ කර ඒ පිළිබඳව පුවත් පත් දැන්වීමක් පළ කිරීමත් සමඟිනි.
මේ දැන්වීම පළ කරන්නට හේතුව වන්නේ සමාජගතව ඇති ප්‍රවාද, සාහිත්‍යයික කරුණු හා ජනශ්රැති ඒකරාශී කර විධිමත් පර්යේෂණයකින් යට ගිය බව සැලකෙන තාක්ෂණික උරුමයක් මතු කරගැනීම බව කියැවිණි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ හා ව්‍යාපෘති අංශයට අනුව මේ තොරතුරු එකතු කිරීම මීට වසර ගණනාවක සිට කරගෙන එන කටයුත්තකි. රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ රටේ පවතින සාහිත්‍යයික කරුණු, ස්ථාන නාම, ආදි ලේඛන, සලකුණු ආශ්‍රිතව ගොඩ නැගී ඇති සංකල්පය විද්‍යාත්මක විමසීම මෙහි පර්යේෂණ අරමුණ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය දක්වන්නේය. එවැනි තාක්ෂණයක් තිබුෙණ් නම් ඒ සම්බන්ධව තොරතුරු ගවේෂණය කර අවසානයේ දී රාවණා ගේ ගුවන් යානය ප්‍රතිනිර්මාණය කිරීම තෙක් මෙම පර්යේෂණ කටයුත්ත පවත්වාගෙන යෑම ඔවුන්ගේ ඉලක්කය ය.
“බොහෝ අය කියනවා පුස්කොළ පොත් තියනවා කියලා. වෙනත් ලිඛිත සාධක තියනවා කියලා. ඒ සම්බන්ධව අපට කතා කරනවා. අප ඔවුන්ට උපදෙස් දෙන්නෙ හැකි හැම සාධකයකම ඡායා පිටපත් හෝ ඉදිරිපත් කරන්න කියලා. මේ වනවිට කරුණු සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා තියනවා.
හැබැයි සාහිත්‍යයික කරුණු වැඩියි. ඒත් සමහර භෞතික සාධක තිබෙනවා යම් අවබෝධයකින් විමසිය යුතු. ගුවන් යානයක් නැවැත්විය හැකි නියම භෞතික පිහිටීම් සහිත ස්ථාන හා බැඳුණු ප්‍රවාද තියනවා.
මේ අප කරමින් ඉන්නෙ ලෝක අවධානයට ලක්වෙමින් ලෝකයේ පවත්වාගෙන යන පර්යේෂණයක අපේ එළඹුමක්. රාවණා භාවිත කළ බව කියන ගුවන් යානා මහා ඍෂි භාරද්වාජගෙ සටහන්වල තියනවා. ඒ ගුවන් යානා රූ සටහන්වල ඇන්ජින් සම්බන්ධව කිසිම සඳහනක් නෑ. නමුත් භාරද්වාජගේ රූප සටහන්වල ආකෘති බටහිර පරීක්ෂකයො ප්‍රතිනිර්මාණය කළා. ඒ ආකෘති ගුවන්ගත කරන්න පුළුවන් ආකාරයේ ඒවා.
![]() |
සංචාරක හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ හා ව්‍යාපෘති අංශය මඟින් පළ කළ දැන්වීම |
අප මුලින්ම කී ආකාරයට අප අතගහලා තියෙන්නෙ ජාත්‍යන්තර අවධානය යොමු වුණ පර්යේෂණ ප්රවේශයකට. බටහිර පර්යේක්ෂකයෝ ලෝකයේ අතීත ගුවන් තාක්ෂණය පිළිබඳව දීර්ඝ හා විද්‍යාත්මක පරීක්ෂණ මාලාවක් පවත්වනවා. ඔවුන් මේ සොයන්නේ මුලින්ම ලෝකයට ගුවන්යානා තාක්ෂණය හඳුන්වා දුන්න මේ භූමියේ කෙනෙක් ගැන. එය අප විසින් පවත්වාගත යුතු පර්යේෂණක්. ඒ සියලු කාරණා සලකා බලලා මේ පර්යේෂණය පටන්ගන්නේ මීට වසර ගණනාවකට එපිටදි. එම කටයුත්ත වේගවත් කරන්න තමයි තොරතුරු ඒකරාශී කරගන්න මේ දැන්වීම පළ කළේ...“
ආරම්භ කළ පර්යේෂණය පිළිබඳව සිවිල් ගුවන්සේවා අධිකාරිය පාර්ශ්වයෙන් කියැවෙන්නේ එවැනි කතාවකි. ඔවුන්ට අනුව මේ රටේ රාවණා සංකල්පය සපුරා පිළිගන්නා මෙන්ම මුළුමනින්ම නොපිළිගන්නා පාර්ශ්ව දෙකක් වෙති. ඔවුන් දක්වන ආකාරයට මේ පර්යේෂණ කටයුත්ත මෙහෙයවන්නේ මේ දෙපාර්ශවයේම කටයුතු දකින අතර මැදි තැනක හිඳිමිනි.
රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ කියැවෙන සාහිත්‍ය මේ මතවාදය ඉදිරිපත් කරන්නේ රාවණා සංකල්පය සහතික කොට පිළිගන්නා පිරිසය. ඔවුන්ට අනුව රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ හා සුමාර් ශිෂ්ඨාචාරවල හමුවන බව කියැවේ. මේ අදහස ප්‍රකාරව රාවණාගේ විමාන යානා ප්‍රවාහනයට හා යුද්ධයට යොදාගෙන තිබේ. රාමායණයට අනුව ඉන්ද්‍රජිත් මේඝනාද නොහොත් රාවණ ගේ පුත් “සහස්ශ්රත“ නැමති යානයක නැග අහසේ වලාකුළු අතර සැඟවී වරකට ඊතල දොළොස් දහසක් යැවිය හැකි දුන්නක් යොදා ප්‍රහාර එල්ල කර ඇතැයි සඳහන්ය.
මහා බ්‍රහ්මයාට අයත් යැයි කියන මේ යානය සාහිත්‍යයික සාධක අනුව පිටසක්වලින් ලැබුණා යැයි මේ පිරිස පවසති. රාම රාවණ යුද්ධයන් අනතුරුව මෙම ගුවන් තාක්ෂණය ඉන්දියාවට ගිය බවත්, ඇලෙසැන්ඩර් රජු ඉන්දු නිම්නය ආක්‍රමණය කරන විට අහසින් හා ගුවනින් ප්‍රහාර එල්ල කළ බවත් සඳහන්ය. එම කාලය අශෝක රජුගේ සීයා වන චන්ද්‍රගුප්ත අධිරාජයාගේ තරුණ සමයයි.
දඬුමොනර යානය හෝ විමාන යානා පිළිබඳව සාක්ෂි හා රූසටහන් ප්‍රධාන ශිෂ්ටාචාර වල සඳහන් බව ඔවුහු කියති. එම සෑම ශිෂ්ටාචාරයකම අහසින් ආ ජීවීන් පිළිබඳව සඳහන් කර ඇති බව පෙන්වා දෙන ඔවුහු මෙම සෑම ශිෂ්ටාචාරයක්ම මෙම ජීවීන් දේවත්වයෙහිලා සලකා ඇති බව පෙන්වා දෙති. මේ පුද්ගලයන් දේවත්වයට පත් වී ඇති හේතුව ඔවුන් සතුව තිබුණු ගුවන් තාක්ෂණය බවත් එහි තාක්ෂණික කේන්ද්‍රය ලංකාව බවත් මේ පිරිස තර්ක කරති.
මේ සියලුම සංකල්ප යම් මනෝ මූලික සිද්ධාන්තයක් වටා ගොඩනඟනු ලැබී යැයි අදහන පිරිස්හි අදහස මීට සපුරාම වෙනස්ය. මේ සංකල්පය විද්‍යාත්මක පදනමක පිහිටා ඉඳුරාම ප්‍රශ්න කරනු ලබන විද්වත් පාර්ශ්වයේ ප්රාමාණිකයන් අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප්‍රමුඛ වෙයි. ඔහු තර්කය ගොඩනගන ආකාරය අතිශයින්ම බුද්ධිය පුබුදුවන සුලුය. ඔහු මේ සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍යයේ කරුණු ගෙනහැර දක්වා තිබිණි.
“රාමායනය ප්‍රධාන කෘති දෙකක් තියනවා. එකක් මූල රාමායණය. අනෙක වාල්මිකී රාමායණය. එය ශ්ලෝක 24000කින් යුත් වෙළුම් හතක් සහිත අතිශයින්ම විචිත්‍ර සාහිත්‍යයික කෘතියක්. මේ කෘතියෙන් ඉන්දීය සාහිත්‍ය විතරක් නෙමෙයි සමස්ත ආසියාතික සාහිත්‍යයික චින්තනය පෝෂණය වුණා. ඉතාම වේගයෙන් අග්නිදිග ආසියානු කලාපයේ මේ කෘතිය පැතිරිලා ගියා. රාවණ චරිතය උත්කර්ෂයට නන්වන්නෙ මේ අනගි සාහිත්‍ය ග්‍රන්ථය තුළයි.“
“කෘතිය තුළින් එන පෙන්වාදීම් අනුව රාවණ ජීවත් වුණ කාල වකවානුව අවුරුදු ලක්ෂ 22කට පෙර, හැත්තෑ දෙදහසකට පෙර, ලෙස කියැවෙනවා. සමහර පිරිස් මේ කාලය අවුරුදු හයදහස් පන්සියයකට සිට තුන්දහස් පන්සියයට ගෙනෙනවා. මහාචාර්ය රොමිලා තාපර්ට අනුව ඒ කාලය ක්‍රිස්තු පූර්ව 7 සිට ක්‍රිස්තු වර්ෂ 2 සියවස තෙක් ගෙනෙනවා.“
“දැන් රාවණ සංකල්පය ගැන තර්කානුකූලව කතා කරමු. රොමිලා තාපර් කියන්නේ අප ඉතිහාස ගවේෂණයෙන් හා පුරාවිද්‍යාත්මක සාධක පදනම් කරගෙන ගොඩනඟපු තාර්කික විද්‍යානුකූල ඉතිහාසයක් ඇති වකවානුවක් ගැන. ඒ කාලය තුළ ඉන්දීය රාජාවලියේ රාම, දශරථ, භරත කියන රජවරු නෑ. ලංකාවෙ රාජාවලිය තුළත් එහෙමයි. මේ වකවානුවට අයත් නිෂ්චිත තාක්ෂණය සම්බන්ධව අදහසක් අපට තියනවා. එය ගුවන් තාක්ෂණය නොවෙයි.“
අනෙක් සියලුම අවශේෂ කාරණා ඉවත් කරල යථාර්ථවාදීව බලමු. ලෝකයෙ මානව පරිණාමය වෙන්නෙ නිෂ්චිත සිද්ධාන්තයක් අනුව. තාක්ෂණය අත්පත් කරගන්නෙ නිෂ්චිත රටාවකට අනුව. මේ පරිණාමීය සිද්ධාන්තය තමයි ලෝක යථාර්ථය. රාවණා හිටිය භූමිය ලංකාවම කියලම විශ්වාස කරනවා නම් අවුරුදු හයදහස් පන්සියයකට පෙර මේ භූමියෙන් හමුවන්නෙ ප්‍රාථමික සංස්කෘතීන් තුළ ජීවත් වුණු බලංගොඩ මානවයගේ තොරතුරු... ඔවුන් සිය ප්‍රාථමික තාක්ෂණය යොදා ගන්නේ ස්වකීය දඩයම් කටයුතු වෙනුවෙන්. ඒක අපට විතරක් නෙමෙයි... ලෝකයටම පොදු සිද්ධාන්තයක්. අවුරුදු 3500කට පෙර මානව ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නෙ සතුන් හීලෑ කරමින්, ධාන්‍ය වල් දර්ශ වගා කරමින් කෘෂි ආර්ථිකය වෙත සංක්‍රාන්ති වෙච්චි මිනිස් සමාජයක් එක්ක. ඊට ඔබ්බට ගිය තාක්ෂණයක් ලංකාවෙන් හඳුනාගන්න බැහැ. මේක තමයි විද්‍යාත්මක ඇත්ත.“
“රාවණා සංකල්පය ගැන මතවාද රැගෙන යන හැම දෙනාම ඉතාම අශාස්ත්‍රීය විදිහට සෙල් ලිපිවල කියැවීම් විකෘති කරනවා. ඒ වැරදි අර්ථකථන එක්ක තර්ක ගොඩනගන්න උත්සාහ කරනවා. රසවත් සංකල්ප මවනවා. උදාහරණයක් කියන්නම් මොලගොඩ සෙල්ලිපියෙ තියන පරුමක කුබකර කියන පදය.... කුබකර කියන්නෙ කුම්භකාර. ඒ කියන්නෙ වළං හදන්නා. පරුමක කියනනේ ප්‍රධානියා. ප්‍රධාන කුඹලා කියන අර්ථය තමයි ඒ වචන දෙකේ තියෙන්නෙ. ඒත් ඒ අය මේක කියවනවා කුබකර කියන්නේ ගුවන් නියමු කියලා. මම දන්නෙ නෑ මේ පද කොහොමද හැදෙන්නෙ කියලා.“
“නගුලිය කියන වචනයක් තියනවා සීගිරියෙ සෙල් ලිපියක. මේ අය කියනවා නගුලිය කියන්නෙ සීතාට කියලා. මොන පදනමින්ද ඒ විදිහට අර්ථ ගන්වන්නෙ. අග්නිදිග ආසියානු කලාපයේ මේ සාහිත්‍යය ප්‍රචලිත වුනත් අපට එය ගලා ආවෙ නෑ. රාවණ සංකල්පය සමාජය තුළ පසුකාලීනව මුල් බැසගන්නෙ අධිරාජ්‍යවාදින් විසින් වතු වගාව සඳහා ඉන්දීය කම්කරුවන් රැගෙන ආ පසුයි. “
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරාල් ආචාර්ය සෙනරත් දිසානායකට අනුව රාවණා සංකල්පයම ප්‍රවාදයකි. එවැනි යථාර්ථයක් නැත. ඒ අනුව රාවණාගේ ගුවන් තාක්ෂණය සම්බන්ධ අදහස සාහිත්‍යයික ගොඩනැගීමකි. තත්කාලීන මානව තාක්ෂණික අත්පත් කරගැනීම් අතර එවැනි ආශ්චර්යයන් විය නොහැකිය. එහෙත් මේ සංකල්පය ප්‍රතික්ෂේප කිරීම සඳහා හෝ පිළිගැනීම සඳහා ශාස්ත්‍රීය එළඹුමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි.
ඒ සඳහා පර්යේෂණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අරඹා ඇති බව ඔහු පවසයි. සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ හා ව්‍යාපෘති අංශය විසින් “රාවණා රජු හා ගුවන් ආධිපත්‍යයෙන් අපට අහිමි වූ උරුමය“ පර්යේෂණ කටයුත්ත ආරම්භ කරමින් පවත්වාගෙන යන්නේත් ඒ අතරය. මේ සිත්ගන්නාසුළු පර්යේෂණ එළඹුම් දෙස මහත් අභිරුචියකින් යුතුව පුරවැසියෝ බලාගෙන හිඳිති. ඒ බිඳවැටීම් හමුවේ නිරන්තර වේදනාවට පත්වෙමින් සිටින මිනිසුන්ට මේ ගැළපුම් තුළ වින්දනය කළ හැකි ආශ්වාදයක් ගැබ් වී ඇති බැවිනි.