අගෝස්තු 16 ට යෙදෙන සරච්චන්ද්‍රයන්ගේ 24 වන අනුස්මරණය වෙන‍ුවෙනි... | Page 2 | සිළුමිණ

අගෝස්තු 16 ට යෙදෙන සරච්චන්ද්‍රයන්ගේ 24 වන අනුස්මරණය වෙන‍ුවෙනි...

මහාචාර්ය සරච්චන්ද්‍ර වඩාත් ප්‍රකට වී ඇත්තේ මෙරට ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍ය රචකයා වශයෙන් වුවද මෙරට තාත්වික නාට්‍ය කලාවේ සමාරම්භක මෙහෙවරක් ඉටු කළ කලාකරුවකු වශයෙන්ද ඔහුට හිමි වන්නේ අද්විතීය තැනකි.

මේ ලිපියේ අරමුණ සරච්චන්ද්‍රයන් හා තාත්වික නාට්‍ය අතර තිබූ සම්බන්ධතාව පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක් කිරීමය. මේ සඳහා මා යොමු වූයේ සරච්චන්ද්‍ර තාත්වික නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය යන සාවද්‍ය මතයට පිළිතුරක් වශයෙන්, සරච්චන්ද්‍ර ‘The Theatre of Sri Lanka’ (1940 - 1980) යන හිසින් මාර්ග ආයතනය උදෙසා පර්යේෂණාත්මක කෘතියක් (1980) සම්පාදනය කළ බැවිනි. තවමත් අමුද්‍රිත ඒ කෘතියේ ටයිප් පිටපතේ සිංහල පරිවර්තනයක් නුදුරු අනාගතයේදීම මෙරට නාට්‍ය ලෝලීන් අතට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. අභාග්‍යයකට මෙන් මේ කෘතිය අමුද්‍රිතව පැවතීම නිසා සරච්චන්ද්‍රයන් විවේචනයට බදුන් කළ විචාරකයන් වෙත අපට දොස් පැවරීමට නොහැකි බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය ජීවිතයේ සමාරම්භය වර්ෂ 1923 ජනවාරි මස 25 දින ආරම්භ කරන ලද ලංකා විශ්වවිද්‍යාලයීය කොලීජියේ සිංහල සමිතිය තෙක් ඈතට දිවේ. එදවස විශ්වවිද්‍යාල කොලීජියේ සිංහල සමිතිය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවය නම් පළමු වරට මෙරට සිංහල ප්‍රේක්ෂකයන්ට අපරදිග සංවාද නාට්‍ය කලාව (තාත්වික) හඳුන්වා දීම ය. එම පදනම දැමීමට පුරෝගාමී වූවෝ එවකට විශ්ව විද්‍යාල කොලීජියේ සිංහල සමිතියේ සාමාජිකයෝ වූහ. ඕ. එච්. ද අල්විස් විජේසේකර, අමරසීල ද සිල්වා, එල්. පියසේන වැනි විද්‍යර්ථීන් ස්වතන්ත්‍ර නාට්‍යට මුල පුරන ලදුව 1963 දී ආචාර්ය ගුණපාල මලලසේකර මෝලියර්ගේ Le Docteur Malgrelui නම් නාට්‍යය ‘ඉබේ වෙදා’ නමින් සිංහල සමිතියේ සාමාජිකයන් දෙතුන් දෙනෙකුගේ උදව්වෙන් අනුවර්තනය කොට වේදිකා ගත කෙරිණි. 1935 මාර්තු 10 දින ‘යන්තම් බේරුණා’ ස්වභාවික ස්වතන්ත්‍ර නාට්‍යය මලලසේකර විසින් නිෂ්පාදනය කරන ලදී. මෙරට නාට්‍ය ඉතිහාසයේ මෙය වැදගත් සිදුවීමක් වනුයේ එය මුද්‍රණයෙන් පළ වූ ප්‍රථම නාට්‍යය වීම නිසාත් ස්වතන්ත්‍ර ස්වභාවික සංවාද නාට්‍යයක් නිසාය.

සරච්චන්ද්‍ර අනුවර්තකයකු හා පරිවර්තකයකු වශයෙන් සිංහල නාට්‍ය ඉතිහාසයට එක් වන්නේ 1943 දී ‘මුදලාලිගේ පෙරලිය’ හෙවත් ප්‍රංස ජාතික මෝලියර්ගේ Le Bourgeois Gentilhomme නම් නාට්‍යය ඒ.පී. ගුණරත්නයන් සමඟ පරිවර්තනය කොට නිෂ්පාදනය කිරීමෙනි.

1989 දී මහාචාර්ය සරච්චන්ද්‍ර පේරාදෙණියේ මහාචාර්ය ලුඩොවයික් අනුස්මරණ දේශනයේදී ප්‍රකාශ කළේ “ආධ්‍යාශයකින් තොරව වුවද සිංහල නාට්‍යයට පදනම දමන ලද්දේ ලංකා විශ්වවිද්‍යාලය ස්ථාපිත වීමට පූර්වයේ පැවති කොළඹ යුනිවර්සිටි කොලීජියේ සිංහල සමිතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි” යනුවෙන් ය. එදවස විශ්වවිද්‍යාල කොලීජියේ සිසු සිසුවියන් වාර්ෂිකව පැවති ‘සෝෂල්’ වලදී බටහිර තාත්වික නාට්‍යයක ජවනිකාවක් ඉදිරිපත් කිරීමෙන් ආරම්භ වූ නාට්‍ය, තාත්වික සම්ප්‍රදායේ රැගුම් පමණක්ම විය.

ආචාර්ය සරච්චන්ද්‍ර සිංහල ශබ්ද කෝෂයෙහි සේවය කරද්දි එහි කර්තෘ මණ්ඩලයට බැඳුණු ඩී.ජේ. විජේරත්න හා ඒ.පී. ගුණරත්න සමඟින් ඒ වන විටත් යුනිවසිටි කොලීජියේ ‘ඩ්‍රැමටික් සොසයිටි’ නම් නාට්‍ය සංගමයේ සාමාජිකයන් යොදවා ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ කීර්තියක් අත්පත් කර ගෙන උන් මහාචාර්ය ලුඩොවයික් හා ඇසුරට පත්වීම සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මහාචාර්ය ලුඩොවයික් වැනි නාට්‍ය කලාව පිළිබඳ විදග්ධයකුගේ පිහිට සිංහල නාට්‍යයේ ප්‍රගමනයට ආභාසයක් කර ගැනීමේ චේතනාවෙන් මහාචාර්ය ලුඩොවයික් කැමති කරගත්තේ සිංහල නොදත් ඔහුට තමා සහාය වන බවට පොරොන්දුවක් දීමෙන් ය. මෙහි ප්‍රතිඵලය වූයේ ‘රංග සබාව’ නම් නාට්‍ය කලා සංගමය ආරම්භ කොට එහි සාමාජිකත්වය සරච්චන්ද්‍ර, ඩී.ජේ. විජේරත්න, ඒ.පී. ගුණරත්න හා ලුඩොවයික් යුවළට සීමා කර ගනිමින් රුසියානු ජාතික ‘ගොගොල්ගේ විවාහය’ නම් නාට්‍යයේ අනුවර්තනයක් කිරීමය. එය මෙරට සමාජයට ද ගැළපෙන්නක් බැව් ඔව්හු තීරණය කළහ. 1945 දී ‘කපුවා කපෝති’ නමින් නිෂ්පාදනය වූයේ එම නාට්‍යයයි. 1951 හා 1959දී නැවතත් නිෂ්පාදනය කරනු ලැබූ ‘කපුවා කපෝති’ පළමුවටයේදී හැටපස් වතාවක් පමණ රංග ගත කිරීමට හැකිවීම එකල වාර්තාගත සිද්ධියක් විය. ඔස්කා වයිල්ඩ් ගේ The Importance Being Earnest හි සිංහල අනුවර්තනය 1949 දී “හැංගි හොරා” නමින් නිෂ්පාදනය කරමින් සරච්චන්ද්‍ර නාට්‍යකරණයට බටුයේය. කොළඹ හා මහනුවර එහි දර්ශන කිහිපයක් රඟ දක්වන ලදී. ‍මේ සඳහා සහාය වූවන් අතර පසුව ගිහියකු වූ හර්බට් කේනමන් පියතුමා පිළිබඳව ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ‘ කෘතියෙහි සඳහන් වේ.

ඉනික්බිතිව සරච්චන්ද්‍ර විශ්වවිද්‍යාල කොලීජියේ මානව මානවිකාවන් යොදවා ඇන්ටන් චෙකොව්ගේ කෙටි නාට්‍ය තුනක අනුවර්තන ඉදිරිපත් කළේය. එනම් ‘මඟුල්ප්‍රස්තාව’ (The Proposal) (මෙයට පරිවර්තනයෙන් දායක වූයේ යූ.ඒ. ගුණසේකර ය). ‘වළහැඩියා’ (The Bear) හා ‘මැනේජර්’ (Manager) ය. ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙහි සඳහන් කර ඇති පරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ සිංහල නාට්‍ය කලාව කෙරෙහි උනන්දුවක් වර්ධනය වෙමින් පවතින හැටි දුටු මම, නාට්‍ය නිෂ්පාදන කාර්යය සිංහල සමිතියේ කටයුතුවලින් වෙන් කොටගෙන, ඒ සඳහා වෙනම ශිෂ්‍ය සමිතියක් පිහිටුවීමට යෝග්‍ය යැයි කල්පනා කෙළෙමි. මේ අදහසට ශිෂ්‍යයෝ බෙහෙවින් සතුටු වී, යුහු යුහුව ‘සිංහල නාට්‍ය මණ්ඩලය පිහිටුවූවාහු ය.” (පිං ඇති :- දෙවන මුද්‍රණය: 123 පිට) ‘පබාවතී’ නිෂ්පාදනයට පෙර ‘සත්ව කරුණාව’, ‘තරුණ ලේඛකයා’ වැනි නාට්‍යයන් ද සරච්චන්ද්‍ර නිෂ්පාදනය කළේ තාත්වික සම්ප්‍රදායෙනි.

තාත්වික බටහිර නාට්‍ය අනුවර්තන හා පරිවර්තනවලට මුලින්ම යොමු වූ සරච්චන්ද්‍රයන්ගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය වූයේ 1951 ඔක්තෝබර් 6 දා කොළඹ විශ්වවිද්‍යාලයීය ජෝර්ජ් රාජ ශාලාවේදී රංගගත කරන ලද ‘බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්’ නම් නාට්‍යයයි. තත්කාලීන සංස්කෘතික පරිසරය උපහාසයට ලක් කරමින් ලියන ලද මෙම නාට්‍ය විචාරකයන්ගේ බලවත් විවේචනයට බඳුන් විය. ‘සුබස’ සඟරාවේ කුමාරතුංග මුනිදාස මහතා නාට්‍යයට පමණක් නොව සරච්චන්ද්‍රට පුද්ගලිකව ද තදින් පහර දුණි.

සරච්චන්ද්‍රයන් තාත්වික නාට්‍ය සම්ප්‍රදායට මේ අයුරින් සම්බන්ධ වූව ද මෙරට සාම්ප්‍රදායික ගැමි නාටක හා කලා අංශ කෙරෙහි නම්‍යතාවක් දැක්වූයේ ‍ලංකා විශ්වවිද්‍යාල කොලිජියේ උගන්නා සමයේ දී පටන් ය. එම නම්‍යතාව දිගටම පැවතුණි. ලංකා ගුවන් විදුලිය උදෙසා සරණගුප්ත අමරසිංහ, ඇම්.ජේ. පෙරේරා සමඟ ගැමි කලා පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමට ද සරච්චන්ද්‍ර සම්බන්ධ වී සිටියේය. 1953 දී ‘වෙද හටන’ නිෂ්පාදනයේදී නියුමන් ජුබාල් සමඟ ඇති වූ ගැටුම, නාට්‍ය කලාවට දේශීය රීතියක් සොයා යාමේ සරච්චන්ද්‍රයන්ගේ දීර්ඝ කාලීන ප්‍රයාමය හා පර්යේෂණ, රොකෆෙලර් ශිෂ්‍යත්වය මෙන්ම පෙර අපරදිග නාට්‍ය කලාව පිළිබඳ භාරතය, ජපානය හා චීනය වැනි රටව දී ලත් හස්තසාර දැනුම හා 1956 ‘මනමේ’ නිෂ්පාදනයෙන් ඔහුගේ ව්‍යායාමය කූට ප්‍රාප්ත වූ අන්දම කවුරුත් දන්නා බැවින් මෙහිලා සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි.

සරච්චන්ද්‍රයන් විසින් ලියා නිෂ්පාදනය කරන ලද්දා වූත් අනුවර්තන හා පරිවර්තන වශයෙන් ඉදිරිපත් කරන ලද්දා වූත් කෙටි නාට්‍ය හා පූර්ණ නාට්‍ය සංඛ්‍යාව ගුවන්විදුලි නාට්‍යයත් සමඟ තිස් හතක් පමණ වේ. මෙම නාට්‍ය සංඛ්‍යාවෙන් බහුතරය තාත්වික සම්ප්‍රදායට අයත් ඒවාය. මෙනයින් බලන විට සරච්චන්ද්‍රයන් තාත්වික නාට්‍ය කලාව ප්‍රතික්ෂේප කළේය යන්න සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බැව් පෙනේ. විවිධ හේතු මත අභාවයට පත්ව තිබූ පෙරදිග නාට්‍ය සම්ප්‍රදාය (ආසියාතික) පුනරුත්ථාපනයට පත් කරමින් ඔහු කළේ යුග මෙහෙවරකි. ඔහු තාත්වික නාට්‍යකරුවකු වශයෙන් අසාර්ථක වීම නිසා ශෛලිගත සම්ප්‍රදායට නැඹුරු වූ බව පැවසීම මුසාවක් වනුයේ සරච්චන්ද්‍ර තාත්වික සම්ප්‍රදාය මත දේශීය වූත් ජාතික වූත් නාට්‍ය කලාවක් බිහි කිරීමට නොහැකි බව වටහා ගත් නිසා තත් සම්ප්‍රදාය බැහැර කිරීමට සිදු වූ බව සලකන විටය.

සරච්ච්න්ද්‍රයන්ගෙන් මෙරට නාට්‍ය කලාවට සිදු වූ ඉමහත් සේවා දායකත්වය අප විමසිය යුත්තේ මෙරට සංස්කෘතික, සමාජ-ආර්ථික පසුබිම මත බැව් අවසන් වශයෙන් මතක් කර දිය යුතුව තිබේ.

Comments