මරා දමනු ඇත උන් මා  ජොසේ මාටි | සිළුමිණ

මරා දමනු ඇත උන් මා  ජොසේ මාටි

මානව දයාවෙ උල්පත් බොහො­ම­යක් පාදා දුන්නේ ලෝකය වෙනස් කිරීම උදෙසා අර­ගල කළ කලා­ක­රු­වන්ය. ඒ කලා­ක­රු­වන් අතර පෙර­මුණේ රාලලා සේ ගමන් කළේ ලේඛ­ක­යන්ය.  ඉති­හා­සය දිහාට ආපහු හැරිල බලන විට ලෝකය වෙනස් කිරීමේ අර­මු­ණින් පැන නැඟුණු හැම සමාජ අර­ග­ල­ය­ක­දීම පාහේ ලේඛ­ක­යන් ප්‍රමුඛ කලා­ක­රු­වන් විසින් අති දැවැන්ත කාර්ය­භා­ර­යක් ඉටු කර තිබෙන සැටි පැහැ­දි­ලි­වම  දකි­න්නට හැකිය.

මාන­ව ­ද­යාව වෙනු­වෙන් හඬක් නඟ­නවා සේම ජාතිය, ආගම නැත්නම් වර්ණය ආදී සමාජ විෂ­මතා පද­නම් කර­ගෙන අනෙකා පහත් කොට සැල­කීමේ සමාජ පිඩක මනෝ­භාව පරා­ජය කිරී­මත් කලා­ක­රු­වාගේ වග­කි­මකි. යුක්තිය හා සාධා­ර­ණය සහිත සමාජ පරි­ස­ර­යක් ගොඩ­න­ගනු පිණිස විප්ල­ව­වාදි ව්‍යාපා­රත් සමඟ අත්වැල් බැඳ­ගත් එවැනි කලා­ක­රු­වන් නව පර­පු­රට හඳුන්වා දීමට මිතුරු පවුර විටින් විට ඉදි­රි­පත් වන්නේ ඒ හේතුව නිසයි.

කියු­බානු ලේඛක ජෝසෙ මාටිත් එවන් කලා­ක­රු­වෙකි; කියු­බානු විප්ල­වයේ පුරෝ­ගා­මි­යෙකි.  ඔහුගේ කාර්ය­භා­රය පෑනට පම­ණක් සිමා වුණේ නැත. ඔහු ස්පාඤ්ඤ අධි­රා­ජ්‍ය­වා­දී­න්ගෙන් කියු­බාව මුදා ගැනීමේ අර­ග­ල­යට සක්‍රි­ය­වම දායක වුණ විප්ල­ව­වාදි ලේඛ­ක­යෙක් හැටි­යට  වඩාත් ප්‍රක­ටය.

මිනි­සකු අතින් තවත් මිනි­සෙක් පීඩා­වට ලක් නොවිය යුතුය කියන හැඟීම මාටිගෙ සිතේ තදින්ම කාවැ­දුණේ ළමා වියේ­දි­මය. දිනක් ඔහු අසකු පිට ගම්බද පෙදෙ­සක් නර­ඔන්න යද්දී ගසක එල්ලා සිටින වහල් මිනි­සෙක් මර බියෙන් විලාප නගන සැටි දැක්කේය. මේ දර්ශ­නය තමා සමාජ සාධා­ර­ණය වෙනු­වෙන් අර­ගල කිරී­මට යොවුන් වියේ­දීම ඔහුට උත්තේ­ජ­න­යක් සැප­යු­වේය. ඒ වගේම ජොසේ මාටිට පහන් තරු­වක් වගේ මග පෙන් වූ ගුරු භව­තෙ­කුත් සිටි­යේය. රෆිල් මාරියා නම් ඒ ගුරු­ව­ර­යත් කවි­යෙක් හා දේශ­ප්‍රේ­මි­යෙකි. දුප්ප­ත්කම නිසා මාටි අධ්‍යා­ප­නය අත­හැර දමන්න සැර­සෙන විට ඔහු මාටි වෙනු­වෙන් විය­දම් කරන්න ඉදි­රි­පත් වෙයි.

ගුරු­තු­මාගෙ පුස්ත­කා­ලය මාර්ටිට ඕනම වෙලා­වක විවෘත වුණේය. 1869 වසර ජොසෙ මාර්ටිගෙ සාහිත්‍ය ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය සට­හන් වෙන්නේ පාසලේ පුවත් පතට ලිපි හා නිර්මාණ ලිවීම ඇර­ඹී­මත් සමඟයි. ABDALA නමින් නව ශෛලි­යක දේශ­ප්‍රේමි නාට්‍ය පිට­ප­ත­කුත් ඒ කාලෙම ඔහු අතින් ලිය­වෙ­නවා. ඒත් ජොසෙ මාටිගෙ මේ විප්ල­වීය ලේඛන කලා­වට වැඩි දුර යන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. රාජ්‍ය විරෝධි ලිය­වි­ල්ල­කුත් සමඟ ස්පාඤ්ඤ පොලී­සිය ඔහු අත් අඩං­ගු­වට ගන්නවා. ඒ වෙන­කොට මාටිට අවු­රුදු 16 සම්පූර්ණ වුණා විත­රයි.

හිර­ගෙ­ද­රදී ඔහුගෙ දෙප­යට දැමූ විලංගු හේතු­වෙන් පා දෙකම වණ වේ. පසුව අධි­ක­ර­ණය ඔහු ස්පාඤ්ඤ­යට පිටු­ව­හල්  කරන්නේ යෞව­න­ය­කුට මෙසේ වද දීමට එරෙ­හිව නීති­වේ­දීන් කළ මැදි­හ­ත්වී­ම්වල ප්‍රති­ඵ­යක් හැටි­ය­ටයි. මාටි මේ අව­ස්ථා­වෙන් ඵල නෙළා ගන්නේ මැඩ්රිට් හා සරා­ගෝසා විශ්ව­වි­ද්‍යාල වලින් උපාධි යුග­ළක් දිනා ගනි­මින්. 1871දී පිටු­ව­හ­ලෙන් නිද­හස්ව තම ගමට එන මාටිට අසන්න ලැබෙන්නේ සිය සොයු­රි­යගේ හදිසි මර­ණය පිළි­බඳ දුක්මුසු පුව­තයි. ඔහුගේ මුල්ම කවි පොත ලිය­වෙන්නේ ඇය වෙනු­වෙනි.

1880 දශ­කය  ජොසෙ මාටි ලේඛ­ක­යකු හා සට­න්කා­මි­යකු ලෙස පරි­ණ­ත­භා­ව­යට පත් වූ කාල වක­වා­නුව හැටි­යට හැඳින්වේ. 1882 දී හා 1891 දී පළ කළ Simple Verses හා Isamaelillo නම් පද්‍ය ප්‍රබන්ධ ජීවි­ත­යත් මර­ණ­යත් අත­රට මැදි­වෙ­මින් කළ අව­දා­න­ම්ස­හ­ගත අර­ග­ලය මැද රචිත ලිපි ලේඛන අතර කැපී පෙනෙන කෘති 2කි. 

දරු­වන් වෙනු­වෙන් ලිවී­මත් ලේඛ­ක­ය­කුගේ බර­ප­තළ වග­කී­මක් බව පැවසූ මාටි නිර්මා­ණය කළ රත්ත­රන් යුග­යක් යන තේරුම ඇති La Edad de Cro නමැති ළමා පොත එකල දරු­වන් අතර මහත් ප්‍රසා­ද­යක් දිනා­ගති. මේ සියලු කාරණා සැල­කි­ල්ලට ගනි­මින් කියු­බානු නිද­හස් අර­ග­ලයේ නිය­මු­වකු සේම කියු­බානු නව සාහි­ත්‍යයේ පුරෝ­ගා­මියා වශ­යෙ­නුත් ජොසේ මාටිගෙ නම අදත් බුහු­ම­නට ලක් වේ.

1895 මැයි 19 ජොසේ  මාටිගේ අමිල ජීවි­තය වංශා­ධි­ප­ති­යන්ගේ කුලී හේවා­යන්ගේ වෙඩි උණ්ඩ­ය­කින් අව­සන් වන්නේ කියු­බානු ජන­තා­වගේ නෙත් කඳු­ළින් නහ­ව­මිනි. ඝාත­කයෝ මාටිගේ දේහය එතැ­නම වළලා දමති. තම ඉර­ණම පෙර දුටු කලෙක මෙන් ජෝසේ මාටි ලියූ මේ කවිය ඔහුගේ සොහොන් ස්මාර­කයේ සට­හන් කර­නුයේ පසු කලෙක මාටිගේ දේහය යළි ගෞර­ව­ණීය ලෙස මිහි­දන් කරන ලද විප්ල­වීය සග­යන් විසිනි.

මරා දමා උන්  මා  යම් දිනෙක

අඳුරු මුල්ලක වළලා දමනු  ඇත

හංවඩු ගසා ද්‍රෝහි­යකු ලෙස...

යහ­පත්  මිනි­සෙක් ලෙස දිවි ගෙවූ මම 

එසඳ නිදමි හිරු දෙසම බලා­ගෙන ...,

Comments