
දෘශ්‍ය රූප සංකලනයේ රිද්මය සොයා යන තෙවන ඇසක් සතු වූවකු තුළ රසික හද සසල කරවන ජීවගුණයත්, හැඟීම් කුළුගන්වන නියමාවක් හා ඊට අදාළ අරමුණ සහ උපාංග අතර සමෝදානයෙන් නිමැවෙන රටාවක් නැති නම් රිද්මයක් සතු නම් හෙතෙම ප්‍රතිභා සම්පන්න නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකු බව අවිවාදයෙන් පිළිගත හැකිය.
මෙකී ගුණයන්ගෙන් සුපුස්පිත ඡායාරූපාවලියක් පසුගිය දා අපේ ඇස ගැටිණ. ඒ ලෝක ඡායාරූප දිනයට සමගාමීව පැවැති සිව්වන රාජ්‍ය ඡායාරූප උළෙලේදීය. පසු ගිය 19 වැනිදා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම ඡායාරූප උලෙළ පැවැත්විණි.
සමස්ත ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යසනය හේතුවෙන් මෙවර රාජ්‍ය ඡායාරූප තරගයේ ද ස්වභාවය තරමක් වෙනස් මුහුණුවරක් ගත්තේය. මෙවර එහි තේමාව වූයේ “COVID-19 හමුවේ ජන ජීවිතය” යන්නය.
මීට අමතරව විවෘත අංශය සඳහාද අවස්ථාව ලබා දී තිබුණි. ඒ අනුව දිවයිනේ නන්දෙස සිටින ඡායාරූප ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් ඡායාරූප ඉදිරිපත් කර තිබුණි. ඒවා අත්දැකීම් බහුල ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මඟින් විනිශ්චයට ලක්කර තිබුණි.
ඒ අනුව “කොවිඩ් 19 සමඟ ජන ජිවිතය”යන තේමාව යටතේ පැවැති ඡායාරූප අංශයෙන් නුවන් සමාධි ඉදිරිපත් කළ ‘විෂමතාවය (Disparity)’ නම් ඡායාරූපයට ප්‍රථමස්ථානය හිමි විය. මෙහි දෙවනස්ථානය හිමි වූයේ ‘කොරෝනාවලින් එහා ගිය විශ්වාසය (Belief Beyond Corona)’නම් ඡායාරූපය ඉදිරිපත් කළ ජයනාත් ඉලංගකෝන්ට ය. තෙවැනි ස්ථානය ‘මනස නිදහසේ ලිහිල් කිරීම (Relaxation of The Free Mind)’ නම් ඡායාරූපය ඉදිරිපත් කළ සාලිය කුමාර ජයසේකරට හිමිය.
විවෘත අංශයේ ප්‍රථම ස්ථානය හිමි වූයේ සුදානන්ත් කේතීෂ්වරනාදන් ඉදිරිපත් කළ ‘THE HUT’ නම් ඡායාරුපයටය. එම අංශයේ දෙවැනි ස්ථානය ‘අපි නොදත් ලෝකය’ ප්‍රියන්ත මීගොඩ දිනාගත් අතර, තෙවැනි ස්ථානය ‘ආරක්ෂිතයි (SAFE HAVEN)’නම් ඡායාරූපය ඉදිරිපත් කළ එන්. සුභාෂණ කොස්තා දිනා ගත්තේය. තෝරාගත් සෙසු තරගකරුවන් සඳහා කුසලතා සහතික පිරිනැමිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති ප්‍රසන්න හෙන්නායක කියා සිටියේ “ශ්‍රී ලාංකේය සමාජය විසින් කැමරාකරුවකු ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයා තුළ ශ්‍රේෂ්ඨ කලාකරුවකු සැඟවී සිටින බව බොහෝ දෙනකු නොදන්නා බවය. එවැනි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූපවල ගැබ්ව ඇති ඡායාරූපමය වටිනාකම් සහ කලාත්මක ගුණය ඉහළට ඔසවා තැබීම තම සභාවේ කාර්යභාරය වන අතර ලොවපුරා ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස ගෞරවයට පාත්‍ර වූ ඡායාරූප ශිල්පයේ නිරත වන ශ්‍රී ලාංකිකයන්ට රාජ්‍ය ගෞරව පිරිනැමීමෙන් ඔවුන් දිරිමත් කිරීම උළලේ මුඛ්‍ය පරමාර්ථය වන බවය.
ඡායාරූපකරණය ශිල්පයක්, කලාවක් මෙන් ම ප්‍රබල ව්‍යාපාරයක් වන බව පැවසූ හෙතෙම එය කර්මාන්තයක් සහ ව්‍යාපාරයක් වශයෙන් දශක ගණනාවක් කිසිඳු රාජ්‍ය අනුග්‍රහයක් නොලබාම විශිෂ්ට සේවාවක් සපයන බවය. එබැවින් ඡායාරූප ශිල්පය හා බැඳුණු සියලුම අංශ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ ගැටලු සහ ප්‍රශ්න විසඳීමට සක්‍රීයව දායක වෙමින් ලබා දිය යුතු රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට උපකාරී වීම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ කාර්යභාරය වන බවත්, මෙවර රාජ්‍ය ඡායාරූප උළෙල covid-19 වසංගත තත්ත්වයන් හේතුවෙන් තත්‍යසම (virtual) තාක්ෂණයට අනුව සංවිධානය කළ බවයි. ඒ සඳහා උපදේශක සභාවේ සාමාජිකයින් කළ කැපවීම අගය කළ යුතු බවය.
ඡායාරූප කලාවේ නිරත ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය විනිවිද භාවයකින් යුක්තව දැකිය හැකි පරිණත විනිශ්චය මණ්ඩලයකින් එම නිර්මාණ අගයමින් නිසි වටිනාකම් ලබා දී තිබීම මෙහි විශේෂත්වයයි.
ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ ඡායාරූපකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨයකු වන ගුණදාස හෙට්ටිආරච්චි ශූරීන් වෙත ඡායාරූපාභිමානි ගෞරව සම්මානය මෙහි දී පිරිනැමිණ.
![]() |
“COVID-19 හමුවේ ජන ජීවිතය” ප්‍රථම ස්ථානය දිනාගත් සේයාරුව - නුවන් සමාධි |
නිසල රූප රාමුව කෙරෙහි අපරිමිත ගෞරවයක් දක්වමින් එහි කලාත්මක මෙන්ම තාක්ෂණික මෙහෙවරක යෙදෙන ගුණදාස හෙට්ටිආරච්චි මහතා 1938 මාතර දිස්ත්‍රික්කයේ කැකනදුර ග්‍රාමයේ ජන්මලාභය ලැබී ය. මොටාගෙදර රජයේ විද්‍යාලය, කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලය සහ වැල්ලවත්ත අර්තුසා යන විද්‍යාලවලින් අධ්‍යාපන ලැබූ හෙතෙම රජයේ ලලිත කලා ආයතනයට බැඳී ඡායාරූපකරණය පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාවක් හැදෑරීය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් විය. පසුව විල්සන් හෑගොඩ සූරීන්ගේ චින්තනයෙන් පොහොසත් වූ ‘කැමරා ළමා සමාජය’ට වර්ෂ 1964 දි සම්බන්ධ වීමට ඔහුට වාසනාව උදාවිය. ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ශික්ෂිත හෙතෙම ප්‍රායෝගිකව ඡායාරූපකරණයේ නියැළෙමින් ලාංකේය ඡායාරූප ක්ෂේත්‍රයට ඉටු කළ විශිෂ්ට මෙහෙවර ඇත්තෙන්ම අගය කළ යුතුය.
වැල්ලවත්ත ඇක්මී ඡායාරූපගාරය හා මරදාන ඩොනල්ඩ් සහ සමාගම ආදි කීර්තිමත් ආයතනයන්හි සේවය කිරීමෙන් සිය ශිල්පීය කුසලතාවය වඩවාගත් හෙතෙම පොටෝ ටෙක්නිකා (photo technica) ආයතනයේ අධිපති ෆෙඩ්.ආර් මල්වැන්න යටතේ සිනමා කැමරා තාක්ෂණය පිළිබඳව හැදෑරුවේය. පසුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ සම්පත් දායකයකු වශයෙන් වසර 35ක පමණ කාලයක් ජාතික මෙහෙවරක නිරත විය.
ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඡායාරූපකරණය පිළිබඳ කීර්තිය හිමිකරගත් හෙට්ටිආරච්චි මහතා සිය නිර්මාණාත්මක ඡායාරූප ලෝකයේ බොහෝ රටවල ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
ඉන් හසල අත්දැකීම් සම්භාරයක් කැටිකොටගත් හෙතෙම AFIAP හෙවත් ජාත්‍යන්තර ඡායාරූප කලා සංගමය විසින් පිරිනමන සම්මානයෙන් ද, HON FAG හෙවත් පාකිස්තාන ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. වර්ෂ 1987 දී බ්‍රිතාන්‍ය රාජකීය ඡායාරූප සංගමයේ සාමාජිකත්වය ලබාගත් හෙට්ටිආරච්චි මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය ගෞරව සම්මානයෙන් ද ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ANPS සහ FNPAS යන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය.
හෙට්ටිආරච්චි මහතා ෆොටෝ ෆොකස් (Foto Focus) නමින් 1968 දී කොළඹ කොටුවේ චිත්රාගාරයක් ආරම්භ කළ අතර, දේශීය ඡායාරූප කලාවට මෙන්ම වාණිජ අංශයට සේවාවන් ලබා දීමේ පුරෝගාමියකු විය. 2018 දී හෙට්ටිආරච්චි මහතා විසින් ඡායාරූප ක්ෂේත්‍රයට සිදු කරනු ලැබූ විසල් මෙහෙවර අගයමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මේවන විට 82 වියේ පසුවන ජී.හෙට්ටිආරච්චි මහතා රාජ්‍ය ඡායාරූප උපදේශන සභාවේ සක්‍රීය සාමාජිකයකු වශයෙන් වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටී.
ස්වකීය ජීවිතය ඡායාරූප කලාව, ශිල්පය හා කර්මාන්තය වෙනුවෙන් කැප කළ ජී.හෙට්ටිආරච්චි ශූරීන්ට ඡායාරූපාභිමානි ගෞරව සම්මානයෙන් පුදනු ලැබීම පිදිය යුත්තන් පුදනු ලැබීම මොනවට පසක් කරන්නකි.
මෙම උලළේදී රූපාවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ද සිදු විය. මේ අවස්ථාව සඳහා ඡායාරූප ශිල්පින් මෙන්ම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති ප්‍රසන්න හෙන්නායක, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් පැමිණ සිටියහ.
![]() |
දෙවන ස්ථානය දිනාගත් සේයාරුව - ජයන්ත් ඉලංගකෝන් |
![]() |
තෙවන ස්ථානය දිනාගත් සේයාරුව - සාලිය කුමාර ජයසේකර |
![]() |
කුසලතා සම්මාන දිනාගත් සේයාරුවක් - සෝමසුන්දරම් සුරේෂ් |
![]() |
කුසලතා සම්මානය දිනාගත් සේයාරුවක් - උදාර ඔෂාන් නිශ්ශංක |
![]() |
කුසලතා සම්මානය දිනාගත් සේයාරුවක් - සින්නු රාමදාස් |