තිර­සර හෙට­කට ජන­පති නුව­ණැස | Page 3 | සිළුමිණ

තිර­සර හෙට­කට ජන­පති නුව­ණැස

 ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂයන් ලංකා­ගම - දෙනි­යාය මාර්ගය ඉදි­කි­රීම් පිළිබඳව බලධාරීන්ට උපදෙස් දෙමින්
ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂයන් ලංකා­ගම - දෙනි­යාය මාර්ගය ඉදි­කි­රීම් පිළිබඳව බලධාරීන්ට උපදෙස් දෙමින්

“අනේ සර් අපේ ගම් 5 - 6 ක පවුල් 750 ක් හරි පාරක් නැති­ක­මින් පුදුම දුකක් විඳින්නේ. බේතක් හේතක් ගන්න පුංචි ළම­යින් ලොකු පාස­ල­කට යවන්න සැතැප්ම 10 – 12 අපි පයින් යන්න ඕන. අපි විඳින දුක අපේ දරු­ව­න්ටත් විඳින්න දෙන්න එපා. ලංකා­ගම පාර හදලා බස් එකක් දාලා දෙන්න.” මේ පසු­ගි­යදා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා සිංහ­රා­ජයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට ගිය මොහොතේ දුප්පත් පියෙක්. තම ළබැඳි පුතණු­වන් කරේ හොවා­ගෙන ජන­ප­ති­ගෙන් ඉල්ලූ ඉල්ලී­මකි. “අපි පාර හදල දෙනවා. හැබැයි සිංහ­රා­ජය සුරැ­කීම ඔයා­ලාගේ යුතු­ක­මක්. එයට පිළි­තුරු ලෙස ජනා­ධි­ප­ති­තුමා පැව­සීය.

 

සිංහ­රා­ජය අපේ රටේ වැසි වනා­න්ත­ර­වල ප්‍රමු­ඛ­තම වැසි වනා­න්ත­ර­යයි. හෙක්ට­යාර 11,187 ක් විශාල මෙරට ඉහ­ළ­තම ජෛව විවි­ධ­ත්ව­යක් ඇති එහි සුවි­ශේෂී බව නිසා ම එතෙර මෙතෙර උද්භිද හා සත්ව විද්‍යා­ඥ­යන්ට මෙම සංවේදී පරි­සර කලා­පය පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යක් බඳු ය. සිංහ­රාජ ලෝක උරුම වන භූමි­යට ආසන්න නගර ලෙස ගාල්ල, නෙළුව, මාතර, දෙනි­යාය හැඳි­න්වී­මට පුළු­වන.

සිංහ­රා­ජය මායිමේ වසර ගණ­නා­වක සිට ලංකා­ගම ඇතුළු ගම්මාන 7ක් පවතී. වතු­ගල, නිල්වැල්ල, කොලොන් කොටුව, පිට­දෙ­ණිය වාරු­ක­න්දෙ­ණිය, කොළො­න්තො­ටුව ඒ ගම්මාන අතර ප්‍රධා­නවේ. සිංහ­රා­ජය තුළ මන­රම් දිය­ඇළි 17 ක් ද ඇත.

තම වගා අස්වැන්න නග­ර­යට ගෙන යාමේදී මෙන්ම හදි­සි­ය­කදී මේ ගම්වල අස­නීප වන අයකු නෙළුව උඩු­ගම හා කරා­පි­ටිය රෝහල් වෙත ගෙන යාමට ද මේ ප්‍රදේශවල ඇති දැඩි මාර්ග දුෂ්ක­ර­තාව නිසා ඒ ජන­තාව විවිධ අප­හ­සු­තා­ව­ලට ලක්වෙති. ඒ අනුව ඔවුන්ට ඒ අව­ස්ථා­වල සිදු­වූයේ ඉඳ­හිට හමු­වන ට්‍රැක්ට­ර­යක හෝ තේ දලු ගෙන යන ලොරි­යක නැඟී තම අව­ශ්‍යතා ඉටු කර ගැනී­මට ය. ඒ මාර්ග අව­හි­රතා නිසා ඒ ගම­නට පැය 2 – 3 ක් ගත­වන අවස්ථා ද තිබිණි.

පුරා විද්‍යා පර්යේෂණ අනුව මේ ගම්මාන වල­ගම්බා රජ දවස දක්වා දිව යන ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියයි. සිය­ව­ස­කට අධික කාල­යක සිට මේ සිංහ­රා­ජය මායිමේ සිටින ජන­තාව සිංහ­රා­ජ­යට මායිමේ ඇති මාර්ගය ඔස්සේ දෙනි­යා­යට, නෙළු­වට තේ දලු ඇතුළු කෘෂි නිපැ­යුම් රැගෙන යති. ඒ දුර කිලෝ­මී­ටර් 18ක් වූ දුෂ්කර මාර්ග­යක් ඔස්සේය.

වළ­වල් හෑරී සෝදා පාළු­වට ලක්වී, ගස් පෙරළී තිබූ එම කටුක මාර්ගයේ මෝටර් සයි­ක­ල­ය­ක­වත් යාමට බැරි ස්ථාන ද විය. ඒ සම­හර ස්ථාන­වල ට්‍රැක්ටර් පවා ධාව­නය වූයේ ඉතාම අප­හ­සු­වෙනි.

ඊට අම­ත­රව දරු­වන්ට උසස් අධ්‍යා­ප­නික කට­යුතු කර­ගෙන යාමට නෙළුව හා දෙනි­යාය නග­ර­ව­ලට යාම ද මාර්ග දුෂ්ක­රතා නිසා අප­හසු විය.

ඒ ද‍රු පර­පුර අතර කෙත­රම් දක්ෂ දරු­වන් සිටියා ද ඔවුන්ට සිදු­වූයේ ලංකා­ගම පාස­ලෙන් පම­ණක් උසස් අධ්‍යා­ප­නය අව­සන් කර ගැනී­ම­ටය.

පසු­ගිය මහ මැති­ව­රණ ජන­හමු සඳහා ජනා­ධි­පති තුමා නෙළුව නග­ර­යට පැමිණි මොහොතේ මේ ලංකා­ගම ජන­තාව මාර්ග අප­හ­සුතා නිසා තමන් විඳින දුක් ගැහැට ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට පෙන්වා දුන්නේ ය.

ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ ජනා­ධි­ප­ති­තුමා නෙළුව - ලංකා­ගම - පිට­දෙ­ණිය පැරැණි මාර්ගයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කිරී­මට යුද හමු­දා­වට බාර කෙරිණි.

ඒ මාර්ගය ඉදි­වෙද්දී සිංහ­රා­ජය මැදින් දැවැන්ත මාර්ග­යක් ඉදි­ක­රන බව­ටත් එහි සුපිරි හෝට­ල­යක් ඇති බව­ටත් සමාජ මාධ්‍ය මගින් සම­හර පරි­ස­ර­වේ­දීහු අද­හස් දැක්වූහ. ඊට පසුව ඒ ප්‍රචා­ර­ව­ලට තවත් අත් තටු ලැබිණි. ඒ අනුව තවත් පරි­ස­ර­වේ­දින්ගේ අව­ධා­නය ද සිංහ­රා­ජය වෙතට යොමු විය.

වැසි වනා­න්තර සුර­කි­න්නන්ගේ සංවි­ධා­නය ඇතුළු විවිධ පරි­සර සංවි­ධාන සිංහ­රා­ජය මැදින් පාරක් කැපීම සිංහ­රා­ජ­යට හානි­යක් බවට ජනා­ධි­ප­ති­තු­මාට ද දැන්වූහ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජන­පති අණින් ඒ මාර්ගයේ ඉදි­කි­රීම් අත්හි­ටු­විය.

මේ සිංහ­රා­ජය අවට ගම් 7 ක ජන­තාව දිගටම ඉල්ලා සිටියේ තිබෙන පාර ප්‍රති­සං­ස්ක­ර­ණය කර මාර්ග දුෂ්ක­ර­තාව මග අර­වන ලෙසය.

මේ සියලු ප්‍රශ්න පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­තුමා වන­ජීවී වන සංර­ක්ෂණ නිල­ධා­රීන් හා ප්‍රදේ­ශයේ ජනතා සංවි­ධාන සමඟ සාකච්ඡා කළේ ය. පසුව එතු­මාට ලංකා­ග­මට පැමිණ මේ ගැට­ලුව පිළි­බ­ඳව ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් කිරී­මට තීර­ණය කළේ ය. ඒ අනුව පසු­ගිය සතියේ මෙරට ප්‍රථම වරට ලංකා­ග­මට ජනතා හිත සුව පිණිස සුවි­ශේෂී කට­යු­ත්තක් සඳහා ගිය ප්‍රථම ජන­පති ලෙස එතුමා සිංහ­රා­ජය ලංකා­ගම ප්‍රදේශ හොඳින් නිරී­ක්ෂ­ණය කළේ ය. පසුව මේ ගැට­ලු­වට ලක්වූ පවු­ල්වල ජන­තාව හා සිසු දරු දැරි­යන් හමු විය. ඔවුන්ගේ අද­හස් ද විම­සූහ.

වන­ජීවී හා වන සංර­ක්ෂණ ඉහළ නිල­ධා­රීන්ගේ අද­හස් විම­සීය. වන සංර­ක්ෂණ නිල­ධා­රීන් හා මාර්ග ව්‍යාපෘ­තියේ නියුක්ත වූ හමුදා ඉංජි­නේරු බළකා නිල­ධා­රීන් පෙන්වා දුන්නේ මේ මාර්ග‍ය කිලෝ­මී­ටර් 18 ක් දුර වුවද එය සිංහ­රා­ජය මායි­ම ඇතුළෙන් මාර්ගය යන්නේ කිලෝ­මී­ටර් 1.2 ක පමණ සුළු දුරක් පම­ණක් බවයි. පාර අඩි 12 ට පුළුල් කරන්නේ නම් පම­ණක් එහි ඇති මග ගස් 38 ක් පම­ණක් ඉවත් කිරී­මට සිදුව තිබෙන බව මෙහිදී අනා­ව­ර­ණය කෙරිණි.

ඒ අනුව ඒ සිංහ­රාජ මායිම් කොටස හැර අන් මාර්ග ප්‍රදේ­ශය යළි පරි­සර හිත­කා­මීව ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් කිරී­මට ජන­පති උප­දෙස් ලැබිණි. ගස් කැපීම ද නතර විය.

මේ අනුව ලංකා­ගම - දෙනි­යාය මාර්ගය පරි­සර හිත­කාමී මාර්ග­යක් ලෙස නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට ජන­පති අනු­මැ­තිය ලැබිණි.

පරි­ස­ර­යට සිංහ­රා­ජ­යට කිසිම හානි­යක් නොවන පරිදි මේ මාර්ගය තෙමසක් ඇතු­ළත ඉදි­කි­රී­මට යුද හමු­දාවේ ඉංජි­නේරු රෙජි­මේ­න්තු­වට බාර කර තිබේ. මෙහිදී ජනා­ධි­ප­ති­තුමා මේ තීර­ණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර­මි­ප­රික පවුල්

ලංකා­ගම පාසල් සිසුන් ගිං ගඟ තර­ණය කරමින් පාසල් යන අයුරු

750 ක මූලික ගැට­ලු­වක් විස­ඳී­මට ය. ඒ පවු­ල්ව­ලට ලොකු වග­කී­මක් ද ජන­පති පවරා ඇත. ඒ අඩු ගණනේ පැළ 3 ක් වවා එය සිංහ­රා­ජයේ පැවැ­ත්මට දායක කිරීම ය. එය ඔවුන් කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ මක් නිසාද යත් ඔවුන්ට ජලය හා පිරි­සුදු වාතය ලැබෙන්නේ මේ සිංහ­රා­ජය නිසා බව ඔවුන් පැහැ­දි­ලිව දන්නා බැවිනි. ඊට අම­ත­රව විටින් විට සංචා­ර­ක­යන් ගමට සේන්දු වන්නේත් මේ සුවි­ශේෂී සිංහ­රා­ජය නිසා බව ඒ අවට පදිංචි ජන­තාව දනිති.

මාර්ග සංව­ර්ධන, වන­ජීවී සහ වන සංර­ක්ෂණ, පරි­සර සහ අදාළ සියලු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් සමඟ ප්‍රති­සං­ස්ක­ර­ණය කෙරෙන මාර්ගය ජන­ප­තිගේ නිරී­ක්ෂ­ණ­යට ලක් කිරී­මෙන් පසු එයට අව­සර ලැබුණි.

මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධී­ක්ෂ­ණය යටතේ යුද හමු­දාව පරි­සර හිත­කාමී ලෙස මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය භාරව සිටියි. කි.මී. 18 ක දුර ප්‍රමා­ණය තෙම­සක් තුළ නිම කිරී­මට උප­දෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රති­සං­ස්ක­ර­ණය නිම­වී­මෙන් පසු ලංකා­ගම සිට දෙනි­යා­යට යාමට ගතවූ පැය 04 කට ආසන්න කාලය විනාඩි 45 කට කෙටි වේ.

ප්‍රති­සං­ස්ක­ර­ණ­යේදී රක්ෂි­ත­යට හෝ පරි­සර පද්ධ­ති­යට හෝ හානි නොවිය යුතු බව ජනා­ධි­ප­ති­තුමා තරයේ අව­ධා­ර­ණය කළේ ය.

ප්‍රති­සං­ස්ක­ර­ණ­යෙන් පසු නෙළුව සිට දෙනි­යා­යට කුඩා ලංගම බස් රථ­යක් දෛනි­කව ධාව­න­යට එක් කිරී­මට ද තීර­ණය කෙරිණ.

ලංකා­ගම ග්‍රාමයේ වැල් පාලම වෙනු­වට දිගින් අඩි 120 කින් සහ පළ­ලින් අඩි 06 කින් යුත් පාල­මක් ඉදි­කි­රීම ද සම­ගා­මීව සිදු කෙරේ. වතු­ගල, ලංකා­ගම, නිල්වැල්ල, කොළො­න්තො­ටුව, වාරු­ක­න්දෙ­ණිය සහ පිට­දෙ­ණිය ගම්මා­න­වල දරු­වන්ට පාස­ලට පැමි­ණී­මට මෙතෙක් පැවැති බාධ­කය ඉන් ඉවත් කෙරේ.

පවුල් 700 ක් වෙසෙන ලංකා­ගම ප්‍රදේශ‍යේ සෑම පවු­ල­ක­ටම පැල 03 බැගින් නොමිලේ දී පැළ 2100 ක් වගා කර ඔවුන් විසින් ම රැක­ගෙන වන රක්ෂි­ත­යට දායාද කිරී­මට ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දුන්නේ ය.

සිංහ­රාජ වන රක්ෂි­තය සහ පරි­සර පද්ධ­තිය පාර­ම්ප­රි­කව රැක­ගත් තමන්ට සිය මූලික අව­ශ්‍යතා ඉටු­කර ගැනී­මට එරෙ­හිව පරි­ස­ර­වේ­දීන් කණ්ඩා­ය­මක් කරුණු හරි­හැටි නොදැන බල­පෑම් කරන බව පව­ස­මින් ප්‍රදේ­ශ­වා­සීහු දැඩි විරෝ­ධය පළ කළහ.

මූලික ජීවන අව­ශ්‍යතා සපු­රා­ගත නොහැ­කිව පීඩා­වට පත්ව සිටින ප්‍රදේ­ශ­වා­සීන් වෙනු­වෙන් මාර්ගයේ ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ජනා­ධි­ප­ති­තුමා ගත් තීර­ණ­යට මහා සංඝ­ර­ත්නය ආශි­ර්වාද කළහ. දැන් මේ ගැට­ලුව ජන­ප­තිගේ පූර්ණ මැදි­හ­ත්වීමේ ජන­පති නුව­ණැස අනුව විසඳී අව­සන් ය. ලංකා­ගම අවට ජන­තා­වට දැන් පාර ලැබේ. නමුත් ඔවුන් තව­දු­ර­ටත් සිංහ­රාජ අඩ­විය සුරැ­කිය යුතුය. සිංහ­රා­ජය අවට පදිංචි ගම්මා­න­වල ජන­තා­වට පාරක් අව­ශ්‍යය. නමුත් ඒ පාර හරහා ලංකා­ගම හා ඒ අවට සුන්ද­ර­ත්වය නැර­ඹී­මට එන අය වැඩි­වී­මට පුළු­වන.

පොලි­තින් වැනි දෑ ඔවුහු ලෝක උරුම සිංහ­රා­ජයේ තැන තැන දැමී­මට පුළු­වන. වෙනත් පරි­සර හානි ද සිදු­කි­රී­මට අව­ස්ථාව තිබේ. ඒ පිළි­බඳ පළමු වග­කීම ඇත්තේ මේ ගම්වල ජන­තා­ව­ටයි. ජන­පති මේ මාර්ගය ඉදි­කි­රී­මට අව­සර දී ඇත්තේ එහි පරි­ස­රය වන­ස­න්නට නොවන බව ජන­තාව දැඩි ලෙස අව­ධා­ර­ණය කර ගත යුතු ය. ඒ අනුව කට­යුතු කළ යුතු ය. ඒ අනුව මාර්ග­යෙන් ප්‍රයෝ­ජ­නය ගන්නා අත­රම දෙපස බල­හ­ත්කා­ර­යෙන් අල්ලා ගැනීම ගස් වැල් විනාශ කිරීම කට­යුතු නොකළ යුතු ය. ඒ නිසා පාර හැදුණු පසු ගමට වැඩි­පුර සංචා­ර­ක­යන් ගෙන්වීම පාල­නය කළ යුතුව ඇත. එය වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අයිති කට­යු­ත්තකි.

ඔවුන්ට තවත් යුතු­ක­මක් ද ඇත. ඒ පාර ඉදි­වුණු පසු යළිත් සිංහ­රා­ජයේ මායිම ස්ථිර ලෙසම සකස් කිරී­මට ය‍.

මේ දින­වල සිංහ­රා­ජය හරහා පාරක් ඉදි­වන බවට අසත්‍ය පතු­රන ඇතැම් පරි­සර සංවි­ධාන වලට ද බාර දිය යුතු කට­යු­ත්තක් තිබේ. ඒ මේ ප්‍රදේ­ශ­යට පැමිණ සිදු­වන දේ බලා සිට මාර්ගය ඉදි­වන විට සිංහ­රා­ජ­යට බල­පෑම් තිබේ නම් එය නිවැ­රැදි කිරී­මට කට­යුතු කිරීම ය.

සාමා­න්‍ය­යෙන් අපේ රටේ පරි­සර සංවි­ධා­න­වල විරෝ­ධතා පව­තින්නේ අදාළ ව්‍යාපෘ­තිය ආරම්භ වන තෙක් පමණි. පසු­ගිය කාලයේ සිදුවූ ඉහළ කොත්මලේ නොරො­ච්චෝලේ බලා­ගාර මෙන්ම කණ්ඩ­ලම හෝට­ලය වැනි ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම ආරම්භ කරන කාලයේ ඔවුහු කෑගැ­සූහ.

පසුව ඔවුහු නිශ්ශබ්ද වූහ. නමුත් දැන් ඔවුන් කළ යුත්තේ මේ සිංහ­රා­ජය පාර ඉදි­වන අයුරු අධී­ක්ෂ­ණය කර ඒ ඉදි­කි­රීම් පරි­සර හිත­කාමී දැයි පරී­ක්ෂණ කිරී­මයි. ජන­පති අව­ධා­ර­ණය කළේ සිංහ­රා­ජ­යට කිසිම හානි­යක් සිදු නොවන පරිදි පරි­සර හිත­කා­මීව අදාළ මාර්ගය ඉදි­ක­රන ලෙසයි. ඒ අනුව කට­යුතු නොක­රන අවස්ථා පිළි­බ­ඳව ජනා­ධි­පති කාර්යා­ල­යට දැනුම් දීමට වුවද රාජ්‍ය නොවන පරි­සර සංවි­ධා­න­ව­ලට පුළු­වන. වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන පරිදී නව මාර්ගය සිංහ­රාජ මායිමේ යන කොටස පුළුල් කර ඉදි වූවත් විනාශ වන්නේ සිංහ­රා­ජයේ මහ ගස් 38 කි. නමුත් දැන් සිදු­වන්නේ ඒවාත් සුර­කි­මින් කරන මාර්ග ව්‍යාපෘ­ති­යකි. මහ­වැලි ව්‍යාපා­රය, මොර­ග­හ­කන්ද යාන් ඔය යන ව්‍යාපෘ­ති­ව­ලට මෙරට වනා­න්තර අක්කර දස දහස් ගණන් විනාශ වී ඇත. නමුත් ඒ ව්‍යාපෘති මගින් ලැබෙන ජල විදු­ලිය නැත්නම් අපි හැම­දාම අඳුරේ ය.

අතී­තයේ ප‍රිසර සංවි­ධාන විරෝ­ධය පළ කළ සුවි­ශේෂ අව­ස්ථා­වක් වූයේ දඹුල්ල කණ්ඩ­ලම හෝට­ලය ඉදි­කි­රීමේ අව­ස්ථා­වයි. හෝට­ලය ඉදි කළ විට වැවේ ජලය අඩු වී ගොවි­තැන කර­න්නට බැරි වෙන බවත් වැවට අප­ද්‍රව්‍ය එන බව­ටත් ලොකු උද්ඝෝ­ෂණ ඒ දින­වල දඹුල්ල අවට පැවැ­ත්විණි. ඒ ප්‍රදේ­ශයේ ආග­මික නාය­කයෝ ද මේ විරෝ­ධ­තා­ව­ලට නාය­ක­ත්වය දුන්හ. නමුත් ඒ හෝට­ලය ඉදි­වූයේ උප­රිම ලෙස පරි­සර හිත­කා­මී­වය. අද හෝට­ලය වටේට වනා­න්ත­රය වවා ඇත. පැත්ත­කින් බැලූ විට එහි හෝට­ල­යක් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ කැළ­යක් පමණි. ඒ නිසාම පරි­සර හිත­කාමී හෝට­ල­යක් ලෙස එයට සම්මාන පවා ලැබිණි. සිංහ­රාජ මාර්ගය ඉදි­කි­රී­මට ද මෙය පාඩ­මක් ලෙස ගත හැකිව තිබේ.

එමෙන්ම අද අපේ රට පත්වී ඇති ආර්ථික ගැටලු හමුවේ අපේ රටේ ගම්මාන දියුණු කිරී­මට ගමත් වෙළෙඳ පොළත් එක් කළ යුතුව ඇත. ඊට මේ මහා­මාර්ග අත්‍ය­වශ්‍ය වේ. ඒ මගින් ‍රටේ ආර්ථි­ක­යට ලැබෙන පිටු­බ­ලය ඉම­හත් ය.

මේ සියලු කරුණු අනුව අපට කිව හැක්කේ ජන­පති ගේ නුව­ණැස ඔස්සේ ලංකා‍ගම අවට ගම්වල අයට ලැබුණු මේ පරි­සර හිත­කාමී මාර්ගය හරිත මාර්ග­යක් කිරී­ම­ටත් තිර­සර ලෙස කළ­ම­නා­ක­ර­ණය කිරී­ම­ටත් ඔවුන් මෙන් ම පරි­ස­ර­යට හිතැති සියලු දෙනා එක්වී කට­යුතු කළ යුතු බවයි.

 

ඡායාරූප - නෙළුව පියරත්න ජයවික්‍රම

Comments