පවුල් ලක්ෂ 24ක මල්ල කරේ | සිළුමිණ

පවුල් ලක්ෂ 24ක මල්ල කරේ

ගේ සිත 2011 වසර දක්වා දිව යයි. 2011 වසරේ අපේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති විය. මෙරට මුඩුබිම්, වැලිබිම්, මඩබිම් සියල්ල මහ ගොවි බිම්වලට පත්විය. කොළඹ නගරයේ වටරවුම්වලද එළවළු වගා පුරවා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 මාස 5 - 6 කදි මෙරට එළවළු මිල සියයට 60 - 80 දක්වා අඩු විය. 2011 පෙබරවාර මාසයේ රුපියල් 320 - 350 වූ අමුමිරිස් කිලෝව 2011 අගෝස්තු මාසය වන විට රුපියල් 85 - 90 දක්වා පහළ වැටිණි. 2011 පෙබරවාරිවල රුපියල් 120 - 130 ක් වූ කරවිල කිලෝව 2011 අගෝස්තු සැප්තැම්බර් වන විට රුපියල් 45 - 60 දක්වා අඩු විය. මේ අනුව මාස 6ක් ඇතුළත 2011 දී මෙ‍ෙස් එළවළු මිල සියයට 60 - 75කින් පමණ අඩු විය.

 

2011දී මේ සියලු දේවල් සිදුවූයේ අන් කිසිවක් නිසා නොව එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ ‘දිවිනැඟුම’ ජාතික ව්‍යාපාරය නිසාය.

2011 මාර්තු 12 වැනිදා රට පුරා ආරම්භ කළ ඒ ජාතික ව්‍යාපාරය මඟින් ‘ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මවුබිමක්’ යන තේමාව මුල් කරගෙන රටපුරා පුද්ගලයන් කෝටියක පමණ ගෘහ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කළේය. පවුල් ලක්ෂ 21කට බීජ ඇට පැළ පොහොර කුකුළු පැටවුන් ආදිය නොමිලේ ලබාදෙනු ලැබීය. එය මෙරට ක්‍රියාත්මක ඓතිහාසික ගෘහ ආර්ථික සංවර්ධන වැඩසටහනක් විය.

2011දි මෙරට කෘෂි ක්ෂේත්‍රයේ ගෘහ ආර්ථිකයේ මහා පෙරළියක් ඇති කළ ඒ දිවි නැඟුමට වඩා රටේ ආර්ථික ප්‍රවර්ධනයට රජය තවත් සුවිශේෂ යමක් කිරීමේ අරමුණින් එදා ‘දිවි නැඟුම’ ඉදිරියට ගෙන ආ, අද ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපතිකාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා දැන් මෙරට පවුල් ලක්ෂ 24ක ගෙවතු ලක්ෂ 24ක් තිරසර ලෙස අස්වැද්දීමට කටයුතු යොදා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ “ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්” යන සංකල්පය යථාර්ථයක් කර ගැනීමයි මේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක වන බවයි.

“මේ වැඩපිළිවෙළින් ආර්ථිකය සවිමත් කිරීම සඳහා ගෘහ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරනවා. ඒ අනුව දේශීය කෘෂි හා පශු සම්පත් නිෂ්පාදන මට්ටම් දියුණු කර දිරිමත් කිරීමේ ජාතික ගෙවතු වගා වැඩසටහන මෙවර මහ කන්නය ආරම්භයත් සමඟ ඔක්තෝබර් මස මැද පමණ ආරම්භ කිරීමට කටයුතු යොදනවා.” බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික ගෙවතු වගා වැඩසටහන 2020 - 21 ලෙස නම් කර ඇති මේ වැඩසටහන රටපුරාම මෙවර මහ කන්නය ආරම්භ කිරීමත් සමඟ ඇරැඹීමට කටයුතු යොදා ඇත.

මෙහි සියලු කටයුතු ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් සිදුවේ. එහි සභාපති බැසිල් රාජපක්ෂ සියලු වැඩකටයුතු අධීක්ෂණය කරනු ලැබේ.

මේ යටතේ එක ගමකින් අඩු ආදායම් ලාභී පවුල් 210ක් තෝරාගෙන ඒ අයට එළවළු පැළ, පලතුරු පැළ, කැඳ වර්ග සකසන බෝග, ඔසු පැළ, දැවමය ශාක හා කුළුබඩු ශාක පැළද පලා වර්ගද ලබාදීම සිදුකෙ‍ෙර්. ඊට අමතරව එම පවුල් සඳහා අවශ්‍යතාව පරිදි තවත් පැළ හා බීජ වර්ග හා කෘෂි උපදෙස් ලබාදෙයි. ඊට අමතරව අක්කර 1/4, 1 1/2 අතර බිම් ඇති අයට විශේෂ පහසුකම් යටතේ පැළ බීජ පො‍හොර හා කෘෂි උපදෙස් ලබාදීමට ද පියවර ගෙන ඇත.

කෙසේ වුවත් මෙහිදි ඒ ඒ ප්‍රදේශවලට ඉතා උචිත වැඩි ඵලදාවක් සහිත ශාක වර්ගවලට ප්‍රමුඛතාව ලබාදෙයි. ඊට අමතරව පශු සම්පත් පාලනයට මේ පවුල් යොමු කරන බවත් ඒ අනුව කුකුළු පාලනය, ගව පාලනය, එළවළු වගාව, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා ද මෙම පවුල් යොමු කරන බවත් බැසිල් රෝහණ රාජපක්ෂයන් පවසයි.

මෙම වැඩපිළිවෙළ යටතේ සෑම අවස්ථාවකදීම පරිසරය රැක ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බවද රජය අවධාරණය කරයි.

ආර්ථික පුන­ර්ජී­ව­නය හා දරි­ද්‍ර­තාව තුරන් කිරීම සඳහා වන ජනා­ධි­පති කාර්ය සාධක 
බළ­කායේ සභා­පති බැසිල් රාජ­පක්ෂයන් බෝග වගාවක් නිරීක්ෂණය කරමින්
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළ යටතේ ගෙවතු ලක්ෂ 24ක් අස්වද්දන අතරම ඒ අනුව ගෙවත්තෙන්ම පරිසරය සුරැකීම ද අරඹනු ලැබේ.

මෙම සෑම අවස්ථාවකදීම පරිසරයට හිතකර ලෙස පස් සංරක්ෂණය කරන ශාක වර්ගවලට ප්‍රමුඛතාව ලබාදෙනු ලැබේ. ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඩෙංගුවලින් වැළකී සිටීමට පරිසරයේ පිරිසුදුකම් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරේ. මේ සඳහා පරිසරය පිළිබඳව කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ආදියෙන්ද උදවු අවශ්‍ය කෙරේ.

ඒ සමඟම මේ සමස්ත වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා කෘෂිකර්ම, පළාත් පාලන වාරිමාර්ග, ඉඩම් යන අමාත්‍යාංශ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා සියලුම ප්‍රාදේශීය ලෙකම් කාර්යාලවල පූර්ණ සහාය ලබා ගැනේ. මේ පිළිබඳව අපට කරුණු දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු‍වේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළට ගමේ සිටින සියලුම රාජ්‍ය නිලධාරින් එක්වෙන බවයි. ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි යන ග්‍රාමීය නිලධාරින් එක්වී මෙම ගෙවතු අස්වැද්දීමේ කටයුතු අධීක්ෂණය කරන බව බන්දුල තිලකසිරි මහතා පවසයි.

“මේ වැඩපිළිවෙළ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම පවුල් 210කට සෙත සැලසෙනවා. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවුල් 50ක්, ග්‍රාම නිලධාරි යටතේ පවුල් 50කට, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහකාර නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි යන අය පවුල් 50 බැගින් මෙම වැඩපිළිවෙළට සම්බන්ධ කර එම පවුල් අධීක්ෂණය කරනවා.”

“මේ මඟින් ගමේ සමෘද්ධි සහනාධාර ලබන පවුල්වලට ප්‍රමුඛත්වය ලැබෙනවා. ඒ අයට ගෘහ ආර්ථිකය සවිමත් කරගෙන ආර්ථික ලෙස නැගී සිටින්න අතහිත දෙනවා. මේ වැඩසටහන යටතේ අපි පැළ බීජ හා කෘෂි උපදෙස් ලබාදෙනවා. ඊට අමතරව ග්‍රාම නිලධාරි යට‍ෙත් සම්බන්ධ වන පවුල්වලටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව උදවු කරනවා. මේ යටතේ එළවළු, පලතුරු, කුළුබඩු ශාකද පැළ වර්ග ආදිය හා සත්ව පාලන කටයුතු පිළිබඳව ඒවාට අදාළ දෙපාර්තමේන්තුවල සම්බන්ධීකරණය ඇතිව සිදුකරනවා යැයිද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඒ සමඟම මෙරටට පැමිණ සිටින මැදපෙරදිග සඳහා ගිය කාන්තාවන්ගේ පවුලේ ආර්ථිකය ඉහළ නැංවීමට අතහිත දීමත් මෙම වැඩපිළිවෙළේ තවත් පරමාර්ථයක්.

මැදපෙරදිග රැකියා සඳහා කාන්තාවන් යොමුවීම වැළැක්වීමත් පවුලේ ආර්ථිකයට කාන්තාවන්ට දායකත්වය සැපයීම හැකි ආකාරයේ ආර්ථික තත්ත්වයක් ගොඩ නැංවීම මඟින් සමාජයීය ප්‍රශ්න සඳහා විසඳුම් ලබාගත හැකි ආකාරයට කාන්තාව සවිබල ගැන්වීමට මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ මේ වැඩපිළිවෙළ මෙහෙයවන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සේනක ද සොයිසා මහතා පැවසුවේ මේ ගෙවතු ලක්ෂ 24 අස්වැද්දීමේ වැඩසටහන වර්තමානයේ පවතින ජීවන වියදම අවම කිරීමට ගෘහ ආර්ථිකය ඉහළ නැංවීමට හේතුවන බවයි. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මේ වැඩසටහනට නායකත්වය ලබාදෙයි.

අපේ රටේ ජනතාවට නැවුම් එළවළු ලබාදීම ජාතික ආහාර නිෂ්පාදනය වැඩි කිරීම හා අපේ රටේ විස නැති එළවළු පලතුරු වවාගෙන අපේ ජනතාව නිරෝගි පරපුරක් බවට පත්කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණු අතර වන බව සේනක ද සොයිසා මහතා පවසයි.

මේ දිනවල පවතින වැස්ස බෝග වගාවට ඉතා හොඳයි. මේ දිනවල පවතින කාලගුණය පිළිබඳව අදහස් දක්වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කෘෂි කාලගුණ විද්‍යාඥ ආචාර්ය බී.වී.ආර්. පුණ්‍යවර්ධන මහතා පවසා ඇත්තේ අද හෙටම ලැබෙන වර්ෂාවත් සමඟ බිම් සැකසීම සකස් කරන ලෙසයි. ඒ අනුව අපි මේ ගෙවතු වගා වැඩසටහන ඔක්තෝබර් 17 වැනිදා සුබ මොහොතින් ආරම්භ කරනවා. 17 වැනිදාට යෙදෙන දිළිඳුකම පිටුදැකීමේ දිනය වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ අනුව මේ ගෘහ ආර්ථික සංවර්ධන වැඩසටහන ඔක්තෝබර් 23 දක්වා පුරා සතියක් තුළ රටපුරා පවත්වනවා.

අපි මේ වැඩපිළිවෙළට අවශ්‍ය පැළ සකස් කිරීමට යාම ග්‍රාම නිලධාරි වසමකම එක් තවාන්කරුවෙක් බැගින් තෝරා ගත්තා. පසුගිය බදාදා ඒ සියලු තවාන්කරුවන්ට අපි තවාන් පිළිබඳ උපදෙස් දුන්නා. ඒ අනුව රටපුරා මේ සඳහා තවාන් 14012 ක් දැන් සකස් කරගෙන යනවා.

සැමගේ සහාය ඇතිව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේත් උපදෙස් ඇතිව මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රධානතම මෙහෙයුම් ආයතනය වනුයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව බව සේනක මහතා පවසයි. එහි සියලු සම්බන්ධීකරණ කටයුතු කරන සේනක ද සොයිසා මහතා පවසන පරිදි මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකටම පවුල් 100කට එළවළු පැළ ලබාදීම සිදු කරනවා. ඒ අනුව බටු, මිරිස්, තක්කාලි, මාළුමිරිස් පැළ ගොවී ජනතාවට ලබා දෙනවා. ඒවා එක් වර්ගයක පැළ 6 බැගින් පැළ 24ක අසුරනයක් එක් පවුලකට ලබා දෙන්නයි සැලසුම් කර තිබෙන්නේ.

මෙහි මුල් පවුල් 100ට පැළ ලබාදීම හා සම්බන්ධීකරණ කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ග්‍රාම නිලධාරි මඟින් සිදුකෙරේ. අනෙක් පවුල් 100ට පැළ ලබාදීම පවුල් සවිබල ගැන්වීමට කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහකාර හා ආර්ථික සංවර්ධන නිලධාරි මඟින් සිදුවේ.

දිළිඳුකම පිටු දැකීමේ සතිය ලෙස නම් කර ඇති ඔක්තෝබර් 17 - 23 කාලය තුළ දිළිඳුකම් පිටු දැකීමේ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පවුල් ලක්ෂ 12 කට බීජ ලබාදීම ද සිදු කෙරේ.

ඒ බීජ පැකට්වල මෑ, වම්බටු, බෝංචි, කරවිල, බණ්ඩක්කා, වට්ටක්කා, යෝධ නිවිති ආදිය අන්තර්ගතය. ඒ අනුව රටේ කෘෂි දේශගුණික කලාවලට ගැළපෙන බීජ වර්ග පැළ වර්ග ගොවි ජනතාවට ලබාදීම සිදු කෙරෙන බවද සේනක ද සොයිසා මහතා පවසයි.

මෙහිදී ගොවි ජනතාවට ලබා දෙන්නේ විවිධ ආහාර වර්ගවල බීජයි. ඒ බීජ මිශ්‍ර කරමින් විවිධ ප්‍රදේශවලට ලබාදීම සිදුකෙරෙන අතර ඊට අමතරව කුකුළු පාලනය, එළු පාලනය, මිරිදිය මත්ස්‍ය වගාව හා ගව පාලනයට පහසුකම් ලබාදීම මෙහිදී සිදු කෙරේ.

ගෙවත්තේ මඩ පොකුණුවල මත්ස්‍ය වගාවට පහසුකම් සැලසීම ගෘහස්ත කිරි කර්මාන්තය දියුණු කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත. එමඟින් ගෘහ ආර්ථිකයේ විශාල දියුණුවක් ඇති වනු ඇත.

මේ වැඩපිළිවෙළ ඉදිරියට යාමේදි ගෘහ පරිභෝජනයෙන් පසුව අතිරික්තය ග්‍රාමීය වෙළෙඳ පොළට යොමු කර ගෘහ ඒකකවල ආර්ථික ප්‍රවර්ධනයක් ඇති කිරීමට හැකියාව තිබේ. තම ගෙවත්තේ වැවෙන වැඩිපුර එළවළු පලතුරු බිත්තර කිරි ගමේ වෙළෙඳ පොළට යොමුවන විට ගමේ වෙළෙඳ පොළේ ආහාර ද්‍රව්‍යවල මිල අඩුවේ. ඊට අමතරව අතරමැදියන් නැතිව ගමේ එළවළු ගමේම විකිණීම නිසා ගමේ ආර්ථිකය දියුණු වීම ස්ථිරයි. තවත් වැඩි ප්‍රමාණයක් ඇත්නම් ඒ ප්‍රමාණය නගරයට යැවීමට ඉඩ ඇත.

මෙරට ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් ගමේ හා නගරයේ එළවළු මිල අවම කිරීමටත් බිත්තර මිල, කිරි මිල අවම කිරීමටද මෙම වැඩසටහන ඉවහල් වන බව මෙරට කෘෂි හා ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

දිවි නැගුමෙන් ලැබූ පන්නරය මඟින් මෙරට ගෙවතු ලක්ෂ 24ක් අස්වද්දා සත්ව පාලන කටයුතුවලට උදව් දී රටම ගොවිපළක් කරන්නට උත්සාහ දරන මේ අලුත් ජාතික ගෙවතු වගා වැඩපිළිවෙළට රටේ සියලු නිලධාරින්ගේ ද බලධාරින්ගේ මෙන්ම පොදු ජනතාවගේ ද සහාය ලැබිය යුතුව තිබේ.

 

Comments