තහ­නම් ගහේ ගෙඩි කෑ ධම්මි­කාගේ ශෝකා­න්තය | සිළුමිණ

තහ­නම් ගහේ ගෙඩි කෑ ධම්මි­කාගේ ශෝකා­න්තය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කොණක පිහිටි හොරොව්පොතාන ගොවිතැන් බතින් දිවි සරි කරගන්නා ජනයාගෙන් පිරුණු සුන්දර පළාතකි. එහෙත් මේ සුන්දර පළාතෙන් පසුගිය සඳුදා (26) ඇසුණේ අසුන්දර කතාන්දරයකි. ඒ, හොරොව්පොතාන නගර මධ්‍යයේ වූ පෞද්ගලික ලීසිං ආයතනයකදී සිදුවූ පිහි ඇනුමකින් ඉතාම අමානුෂික ලෙස ධම්මිකා ප්‍රියදර්ශනී නමැති තිදරු මවක ඝාතනය වීමයි. නොමනා හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස දරුවන් තිදෙනෙකුට සිය මව අහිමි වූ එකී ශෝචනීය කතාන්දරය මෙලෙසිනි.

තිස්තුන් හැවිරිදි ධම්මිකා ප්‍රියදර්ශනී හොරොව්පොතාන වැලිමුවපොතාන, ලේවාසපිරිගම ගොවි පවුලක උපන් කාන්තාවකි.

මීට වසර 17කට පමණ පෙරදී කිසියම් කටයුත්තකට කොළඹ පැමිණි ධම්මිකාට, සාලිත මුණ ගැසුණේ අහම්බෙනි. දෙදෙනා අතර වූ ප්‍රේම සබඳතාව කෙළවර වූයේ විවාහ ගිවිස ගනිමිනි.

සාලිත බියගම ප්‍ර දේශයේ පදිංචිකරුවකු වුවත් විවාහයෙන් පසු ස්ථිර වාසස්ථානය වූයේ හොරොව්පොතාන, ලේවාසපිරිගම ධම්මිකාගේ ගම් පියසයි. කොළඹ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක නිරත වූ සාලිත හොරොව්පොතානට ආව-ගියේ මාස තුන හතරකට වරකි. ඒ අතරේ කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාට දාව දරුවන් තිදෙනෙක්ද මෙලොව එළිය දුටුවේය. මේ වන විට එකී දරුවන්ගෙන් වැඩිමහල් දියණිය 17 හැවිරිදිය. තවද 14 හැවිරිදි පුත්‍රයෙක් සහ වයස අවුරුදු දෙකහමාරක දියණියක්ද දෙදෙනාට සිටිති.

එසේම ධම්මිකා ගෙවුණු දිවිය තුළදී දෙවරක්ම විදේශගතව තිබුණේද යමක්-කමක් හම්බ කරගෙන කිසිවකුට අත නොපා ජීවත්වීමේ අටියෙනි. විදේශ සේවයෙන් පසු මෙරටට පැමිණි ධම්මිකා බඩඉරිඟු වගාවද කරගෙන දරුවන් තිදෙනාද බලා කියාගෙන ජීවත් වූවාය. මුදල් යහමින් අත ගැවසෙද්දී ඇය තවත් 'ව්‍යාපාරය'කට අත ගසා තිබුණේ ප්‍රදේශයේ ජනයාට පොලියට මුදල් ලබා දෙමිනි.

ඒ අතරේ ඇයගේ නොයෙක් 'අනියම්' සබඳතා ගැනද ගම්මු අතර කසු-කුසු ඇතිවී තිබුණේය. එවැනි සබඳතාවකින් පසුගිය කාලයේ ඇයට මුණ ගැසුණු 22 හැවිරිදි ලසන්ත, ධම්මිකා විසූ ගමට යාබද පහළ කුඹුක්ගොල්ලෑවේ විසූ තරුණයෙකි. දෙදෙනා අතර වූ අනියම් ඇසුර හේතුවෙන් ධම්මිකා, ලසන්තට මහත් බලාපොරොත්තු දෙමින් ඔහුව විවාහ කරගන්නා බවද පවසා තිබිණි. එසේම ධම්මිකාගේ සෑම දුකකට - සැපකටම ලසන්ත අත දිගහැර මුදල්ද වියදම් කර තිබුණේ ඇයගේ චාටු බස්වලට හසු වෙමිනි.

ධම්මිකාගේ අනියම් ඇසුරෙන් මත්වී සිටි ලසන්ත වරක් තමා පණ මෙන් ආදරය කළ යතුරුපැදිය රුපියල් පනස්දහසකට උකස්කොට එම මුදල්ද සැණින් ධම්මිකා අත තබා තිබිණි.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් ධම්මිකා ටිකෙන් ටික ලසන්තගෙන් ඈත්වෙන්නට විය. එය ලසන්තට දැනෙන්නට වැඩි කලක් ගත වූයේ නැත. ඒත් සමඟ ලසන්ත, ධම්මිකා කෙරෙහි ඇතිකර ගත්තේ බලාපොරොත්තු සුන්වූ සිතින් යුත් වෛරයකි. සාමාන්‍යයෙන් ගමට ගොස් දින දෙක තුනකට වඩා නොසිටින ධම්මිකාගේ සැමියා මේ දිනවල කොළඹ නගරය කොරෝනා ඇඳිරිනීති නිසා වසා දමා ඇති හෙයින් ගමට ගොස් සිය බිරිය සහ දරුවන් සමඟ සතුටෙන් කල් ගෙවමින් තැන තැන ඇවිදිමින් සිටියේය.

මේ සියල්ල දෙස ලසන්තද හොර රහසේ ඇස ගසාගෙන සිටියේය. එසේම සිය සැමියාගෙන්ද වෙන්ව තමන් විවාහ කරගන්නා බවට කී ධම්මිකා පසුගිය දින කීපයේම සාලිත සමඟ හොරොව්පොතානේ සෑම අස්සක-මුල්ලකම සැරිසැරීම ගැන ලසන්තගේ සිතෙහි වවාගත නොහැකි කෝපයක්ද හටගෙන තිබිණි.

එලෙස කල් ගෙවෙමින් තිබියදී පසුගිය දිනෙක ධම්මිකාගේ ජීවිතයටද ප්‍රශ්න වැලක් පැන නැඟුණාය. ඒ, ධම්මිකාගේ 17 හැවිරිදි දියණිය ප්‍රදේශයේ තරුණයකු සමඟ නිවෙසින් පලා යාමත් එදිනම සිය ත්‍රිරෝද රථයද ලීසිං වාරික නොගෙවීම නිසා රැගෙන යාමත්ය.

ත්‍රිරෝද රථය බේරා ගැනීමට වලි කෑ ධම්මිකා අතමාරුවට මුදල් ගෙන ලීසිං වාරික පියවා ත්‍රිරෝද රථය නිවෙසට රැගෙන ආවාය.

පසු දින ගිය 26 වැනිදායි. ධම්මිකා සහ සාලිත දසඅතේ කල්පනා කළේ අවට උන්ගෙන් අත මාරුවට ගත් 10,18000ක මුදල ගෙවන්නෙ කෙලෙසද යන්නයි. ඒ අනුව දෙදෙනා කතිකා කරගත්තෙ නැවතත් ත්‍රිරෝද රථයේ ආදායම් බලපත්‍රයට ලීසිං ණයක් ගෙන අතමාරුවට ගත් අයගේ මුදල් පියවීමටයි.

ඒ සඳහා ධම්මිකා සිය කුඩා දියණියද කැටුව සැමියා සමඟ ත්‍රිරෝද රථයෙන් හොරොව්පොතාන නගර මධ්‍යයේ වූ පෞද්ගලික ලීසිං ආයතනයකට ගියේය.

එදින අමතක වීමකින් ධම්මිකාට මුව ආවරණයක් පැලඳ යාමට නොහැකි වූවාය. ලීසිං ආයතනය තුළට යෑමට මුව ආවරණයක් අවැසි හෙයින් සාලිත තමා පැලඳි මුව ආවරණය ධම්මිකාට දී ඇයව එකී කාර්යය සඳහා යැව්වේය. ඔහු සිය දියණිය සමඟ ත්‍රිරෝද රියට වී සිටියේය. ඒ වන විට වේලාව දහවල් 12.45ට පමණ විය. මේ සියල්ල දෙස හොර රහසේ අසල වෙළෙඳසලක සිට ලසන්ත බලා සිටියේය. ගමන් බෑගයක්ද කරේ එල්ලාගෙන ඒ වන විට මත්පැනින්ද සප්පායම් වී සිටි ලසන්තගේ සිහිකල්පනාවද විකල්ව තිබිණි. ධම්මිකා ආයතනය තුළට ගිය සැණින් ලසන්තද එතුළට ඇතුළු විණි.

ඒත් සමඟ සිය ගමන් මල්ලෙ ඇඳුම් අතර වූ පිහියක් එළියට ගත් ලසන්ත හිත්පිත් නැති අයකු විලසින් ධම්මිකාගේ උදර පෙදෙස පසාරු කරගෙන යන්නට පිහි පහර දෙකක් එල්ල කළේය. ඉන් ඇද වැටුණු ධම්මිකාගේ පිට පෙදෙසටද වැරෙන් පිහි පහර දෙකක් එල්ල කළ පාපතරයා ඇයගේ දෙඅත්වලටද කැපුම් තුවාල සිදුකොට පළා ගියේය.

ලීසිං ආයතන පරිශ්‍රයේ කාර්ය මණ්ඩලය සැණින් එම අපරාධය ගැන හොරොව්පොතාන පොලිස් ස්ථානය දැනුම්වත් කළේය.

ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන්ද දැනුවත්කොට එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් සැකකරු සොයා විමර්ශන සඳහා එම ස්ථානයට යැවිණි. සැණින් විමර්ශන නිලධාරින්ට අයෙක් තොරතුරක් දුන්නෙ ලීසිං ආයතනයට පිටුපස යම් පුද්ගලයෙක් ඇඳුම් මාරු කරමින් සිටින බවයි. පොලිස් නිලධාරින් විසින් අල්ලාගත් එම පුද්ගලයා ධම්මිකාට පිහි පහර එල්ල කළ සැකකරුවා බවට හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේ ලීසිං ආයතන පරිශ්‍රයේ වූ සීසීටීවී කැමරාවන්හි එම අපරාධය සටහන්ව තිබීම නිසාවෙනි.

ධම්මිකා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියාය. ලීසිං ආයතනයට මඳ දුරකින් ධම්මිකා එන තෙක් ත්‍රිරෝද රියට වී මඟ බලා සිටි ඇයගේ සැමියා සහ කුඩා දියණිය ඒ වන විටත් ඇයට සිදුව තිබූ අපරාධය ගැන හාංකවිසියක් දැන නොසිටියේය. ඔවුහු ඊට පැය එකහමාරකට පසු ධම්මිකා පරක්කු හෙයින් සොයා බලන විට ඇයගේ නිසල සිරුර හොරොව්පොතාන රෝහලටද රැගෙන ගොස් තිබුණේය.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරු ඝාතනයට යොදාගත් පිහිය සමඟ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් හර්ෂණ මාරින්ද අල්විස් ඉදිරියට පමුණුවීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ධම්මිකාගේ ඝාතනය පිළිබඳව අනුරාධපුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සේනානායකගේ අධීක්ෂණයෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති ගාමිණි ජයවර්ධන ප්‍රමුඛ පොලිස් සැරයන්වරුන් වන (28071) ප්‍රේමරත්න සහ (55687) රාජපක්ෂ ඇතුළු නිලධාරිහු සිදු කළහ.

 

Comments