
- බන්දුල හා නාමල් කොළඹ හතේදී හාල් පිටි ආප්ප කති...
- රුවන්-රෝසි සිරිකොතේදී හමුවෙති...
- මෛත්‍රීගේ හිතවතකුට රජයේ ඉහළ තනතුරක්...
- ස.ජ.බ නායක කමට පාටලී චම්පික සටනක...
“මා කිසිසේත්ම මේ රටට හානියක් සිදුවන තීරණ ගන්නේ නැහැ. එලෙස M.C.C ගිවිසුම අත්සන් තැබීමට කිසි ඉඩක් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර මෙන් ම බලයට පැමිණීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල ලෝකයම වෙළා ගනිද්දී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම රජයේ විරුද්ධවාදීන් සමාජ මාධ්‍ය ඇතුළු නොයෙක් ක්‍රම යොදා ගනිමින් වර්තමාන රජය එම්.සී.සී. ගිවිසුම අස්සන් තැබීමට කටයුතු කරන බවට ප්‍රචාරය කරනු ලැබීය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් මෙරට ජනමාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම නොකිරීම මෙරට රජයේ කැමැත්ත අකමැත්තට අනුව සිදුවන එකක් බවයි.
2017 වර්ෂයේදී අගමැති රනිල් වික්‍රමසිංහ පුන පුනා කියා සිටියේ ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 එම්.සී.සී. ගිවිසුම අත්සන් කර තමන් ලබාගන්නා බවයි.
එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු වහාම ක්‍රියාත්මක් වී එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේය. එම කමිටු වාර්තා අනුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කළහොත් රටට වන හානිය එම කමිටු වාර්තාව අනාවරණය කළේය. කමිටු වාර්තාව පැමිණෙන විටත් ජනාධිපතිවරයා ඇතුළු රජය මේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණි.
අවසානයේදී පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකාවට ලබා නොදීමට ඇමෙරිකාව තීරණය කළේය. M.C.C. ගිවිසුම ද ඒ අනුව හකුලාගෙන ඇත. එම මුදල් ෆැසිපික් කලාපීය රටවල් දෙකකට ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ඒ අනුව අපේ රට තුළ M.C.C. ගිවිසුමට අදාළ ක්‍රියාදාමයන් තවදුරටත් ක්‍රියාත්මක නොවේ.
මේ මගින් පැහැදිලිව කිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට පිළිබඳව දැක්වූ ආදරය මෙන්ම ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගටම රකින බවයි.
මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත් සතියේ මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අදාළ කටයුතු සූදානම් කරන ලෙසය.
මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා සහ එහි සාමාජිකයන් සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය සඳහා කටයුතු සූදානම් කිරීම සුදුසු බවට කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රජයේ කැබිනට් ඇමැතිවරු සහ මන්ත්‍රීවරු කණ්ඩායමක් පළාත් සභා පැවැත්වීම අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කර ඇති බව කියයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත වරක් පවසා ඇත්තේ නව ව්‍යවස්ථාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එය සම්පාදනය කිරීමේ දී ජනතාවගේ අදහස් නිරන්තරයෙන් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් මේ සඳහා පත්කළ විද්වත් කමිටුවට උපදෙස් ලබාදී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවට ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කිරීමත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි රජය අවධානය යොමු කිරීමත් සමඟ ඉන්දියාව විශේෂ අවධානයක් යොමුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් කියවේ. විශේෂයෙන් ම ඉන්දියානු රජය 13 වැනි සංශෝධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවද පැවසේ.
මේ අතර අගමැති මහින්ද විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති ලෙස මහේන්ද්‍ර විජේසේකර පත් කරනු ලැබීය. මෙහි විශේෂත්වයක් වන්නේ මහේන්ද්‍ර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ළඟම හිතවතකු වීමයි. ගාල්ල නාගරික මන්ත්‍රීවරයකු ලෙස ද ව්‍යාපාරිකයෙකු ලෙස ද ප්‍රසිද්ධ මොහු කිසිදු දිනයක මහින්ද රාජපක්ෂ තනි නොකළ බව නොරහසකි.
දැනට සති කිහිපයක සිටම පැවැත්වූ පරිදි මෙවර කැබිනට් මණ්ඩල හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. ඒ ඉකුත් සඳුදා සවස 5.00 ට ය. මේ වනවිටත් ඇමැතිවරු බොහොමයක්ම වීඩියෝ තාක්ෂණය මගින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සම්බන්ධ වී සිටියේය. එහිදී බොහෝ ඇමැතිවරු එකිනෙකාට ඇසෙන සේ කතා බහක නිරත වූහ.
“මේ දවස්වල සෝෂල් මීඩියාවල ප්‍රචාරය වෙනවා අලි වැඩියෙන් ම මැරෙන රට ශ්‍රී ලංකාව කියලා. ඒක ඇත්තක්ද? ඔබතුමා දැක්කද වනජීවී ඇමැතිවරයාගෙන් රමේෂ් පතිරණ විමසා සිටියේය.
“ඔව් ඔව් මම දැක්කා. අලි ගැන ලොකු ප්‍රශ්න ටිකක් තිබෙනවා. සී.බී. උත්තර දුන්නේය. ඊට එක්වූ වාසුදේවට තිබුණේ වෙනම ගැටලුවකි.
“මේ තරම් කුඩා භූමි ප්‍රදේශයක මේ තරම් අලි ඉන්න වෙනත් රටක් තිබෙනවාද? ඔහු ඇසුවේය.
“නෑ” සී.බී. උත්තර දුන්නේය.
“හැබැයි අලි ගහනය වැඩි වෙලා තිබෙනවා කියලා පසුගිය කාලේ වන අලින්ට වගේම හීලෑ අලි ඇතුන්ටත් තහංචි දාලානේ තියෙන්නේ” සී.බී. තවදුරටත් කීවේය.
“ලංකාවේ අලි කොච්චර විතර ඉන්නවාද?” රමේෂ් නැවත ප්‍රශ්න කළේය.
“දැනට ඉන්න සංඛ්‍යාව හරියටම දන්නේ නැහැ. 2011 දී කරපු සමීක්ෂණයට අනුව නම් 7200 ක් විතර ඉන්නවා කියලයි කියන්නේ” සී.බී. පැහැදිලි කළේය.
මේ අතර මහින්දානන්ද කතාව වෙනම පැත්තකට හැරෙව්වේය. ඒ බන්දුල ඇමැතිවරයා අවුස්සන්නටය. “වෙළෙඳ ඇමැතිතුමා හිටියට වැඩක් නැහැ බඩු මිල හොඳටම වැඩියි” හෙතෙම කීවේය. “කෘෂිකර්මත් එක්ක බෑ” බන්දුල උත්තර දුන්නේය.
“වාණිජ දෙපාර්තමේන්තුව වෙළෙඳ අමාත්‍යාංශයට අයිති වෙන ලෙස ගැසට් කළාට පස්සේ බලන්න කෝ බන්දුලගේ මුහුණේ තිබෙන සිරියාව” විමල් විහිළුවක් කරමින් කතාබහට එක්වූහ.
මේ කතාබහ අතරතුර අගමැති මහින්ද ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. අගමැති මහින්ද දුටු විගස බන්දුල ඇමැතිට තමන් ලියූ ගීතයක් මතක් විය.
“මම අගමැතිතුමාට ගීතයක් ලියලා දුන්නා ‘දැයේ විරුවා ඔබයි කියලා’ බන්දුල කීවේය.
“කෝ ඒක යන්නේ නෑනේ රේඩියෝ එකේ අහන්න” අගමැති මහින්ද කීවේය. “ලියනවා විතරයි සර් ඒවා යන්නේ නැහැ” සී.බී. කීවේය. කැබිනට් මණ්ඩලයට ඇමැති විමල් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ මැණික් සහ ස්වර්ණාභරණ ආයතනය දියුණු කිරීම පිළිබඳවය. එහිදී ඇමැති ප්‍රසන්න විමල්ට යෝජනාවක් කළේය.
“අපි එයාර් පෝර්ට් එකේ මැණික් සහ ස්වර්ණාභරණ ආයතනයට ඩියුටි ෆ්‍රී ෂොප් දෙන්නම්” ප්‍රසන්න කීවේය.
“ලොකු දෙයක් සංචාරක ඇමැතිතුමා. ඔබතුමාට වැඩි වැඩියෙන් සංචාරකයෝ ලැබෙන්න ඕනෑ” විමල් ස්තුති කරමින් කීවේය.
“ප්‍රසන්න ඇමැතිතුමා වනජීවී එකටත් එයාර් පෝර්ට් එකේ ඉඩක් දෙන්න” සී.බී. ඉල්ලීමක් කළේය.
“එයාර් පෝර්ට් එකේ සත්තු දාන්න බැහැ. ඒක එයාර් පෝර්ට් එකක් විමල් සිනාසෙමින් කීවේය.
“නෑ...නෑ.... මම ඉල්ලුවේ සත්තු බලන්න එන අයට වනජීවී ටිකට් විකුණන්න” සී.බී. උත්තර දුන්නේය.
පළාත් සභා මැතිවරණය පැවැති ක්‍රමයට කඩිනමින් පැවැත්වීමට යෝජනාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ය. මුලින් ම ඇමැති බන්දුල ඊට විරෝධය පෑවේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දීල තියෙන වෙලාවක්. මේ පළාත් සභාවලට දැඩි විරෝධතාවක් රට තුළ තිබෙනවා. හදිසියේ පළාත් සභා තිබ්බොත් ලොකු ගැටලුවක් වෙනවා” බන්දුල කීවේය.
“මේ වෙලාවේ පළාත් සභා තියෙනවා. මහජනතාවගේ නියෝජිතයා නැතිව මේක ලොකු අර්බුදයක් වෙලා තියෙන්නේ” වාසු කීවේය. “13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මේ රටේ කිසියම් ගැටලුවකට විසඳුමක් ලෙස නිශ්චිත විසඳුමක් දෙනකම් ඒ ආයතන බලාගන්න එක හොඳයි. ව්‍යවස්ථාව වෙනස් කළාට පස්සේ ඒ ගැන සලකා බලන තුරු ඉක්මනින් මැතිවරණය තියන්න ඕන. මැතිවරණය මේ වතාවේ තියලා ඊළඟ වතාවේ සංශෝධනවලට යමු. රමේෂ් පතිරණ කීවේය.”
“ඔබතුමා පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් කිව්වා මේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරන බව මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලයේ පළාත් පාලන ඡන්ද ක්‍රමය අපි වෙනස් කළා. නමුත් හිටපු අගමැතිතුමා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හිතා මතා ප්‍රමාද කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පත් කරලා ඒ ගැන කටයුතු කරද්දී අපි පරණ ක්‍රමයට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා යැයි ඇමැති දිනේෂ් කීවේය. මේ අතර රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර තම අමාත්‍යංශ කටයුතු වල ඉතා උනන්දුවෙන් යෙදී සිටින බව දැනගන්නට ඇත.
පසුගියදා කොළඹ 07 Independent arcade එකේ තිබුණ තරුණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක සමාරම්භක උත්සවයට ඇමැති බන්දුල, ඇමැති නාමල් එක්වූහ. මේ ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණේ ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා ඇතුළු පිරිස. ඉතින් මේ සංවිධායක පිරිසගේ උණුසුම් පිළිගැනීම්වලින් පස්සෙ ඇමැතිවරු දෙන්නා එක් එක් ප්‍රදර්ශන කුටිවලට ගියේ මේ තරුණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනයන් බලන්නයි.
මේ අතරේ ඇමැතිවරුනට කාන්තාවන් පිරිසක් එකතු වී කළ ආහාර සැකසුම් කුටියක් දක්නට ලැබුණි. ඒ කාන්තාවන් පිරිස පැමිණ තිබුණෙ ඇමැති නාමල්ගෙ ආදරණීය බිරියගෙ ගමෙනි. මේ ගැන දැනගත් ඇමැති නාමල් ඒ කාන්තාවන්ට මෙහෙම කිව්වා. “මමත් ලිමිණිත් අපේ බබාත් අරගෙන හෙට ගමේ එන්නයි හිතාගෙන ඉන්නෙ. අපි ආවම ඔයාලා හැමෝම හම්බවෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.”
මේ වෙලාවේ ඇමැතිවරුන් දෙන්නට ඒ කාන්තාවෝ තමන් සකසන ලද හාල්පිටි ආප්ප රස විඳින්නට ආරාධනා කළහ.
මුහුණෙන් මුහුණ බලාගත්තු ඇමැති බන්දුල සහ ඇමැති නාමල් මේ ආප්ප සංග්‍රහය භාර ගන්නවාද නැද්ද කියලා දෙපාරක්ම කල්පනා කළහ. ඒ දේශපාලන වේදිකාව උණුසුම් කරපු ආන්දෝලනාත්මක ආප්ප කෑමක් මීට කලින් සිදුවෙලා තිබුණ නිසාය. ආප්පත් කාලා ප්ලේන්ටි බීලා පැනපු අය හිටිය ඒ ආප්ප අතීතය ගැන හිතන ගමන් ඇමැති බන්දුල කීය, “මොකක් වුණත් ඉතින් කාලත් බැරි නොකාත් බැරි කෑමක් තමයි ආප්ප.”
මෙතනදි අපේ නාමල් ඇමැතිතුමා ගත් කටටම ඇමැති බන්දුලට කිව්වෙ, “කනව නම් අපි දෙන්නම එකට ආප්ප කමු ඇමැතිතුමා. එතකොට යනව නම් අපි දෙන්නමනෙ යන්නෙ.”
“ආ එහෙනම් කමු කමු. රට බේරගත්තු නායකයගේ පුතා එක්කනෙ යනව නම් යන්නෙ. ඒක හරි.” ඇමති බන්දුල කීය.
ජනතා විමුක්ති පෙරමුණ රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනකට සූදානම් වෙයි. රජය විසින් රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බවට එහි වෘත්තීය සමිති රජයට චෝදනා කරමින් සිටින අතර තවත් මෙවැනි කරුණු කිහිපයක්ම මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සම්මන්ත්‍රණ මාලාවක් මගින් ජනතාව දැනුම්වත් කිරීමට තීරණය කර ඇති අතර ප්‍රථම සම්මන්ත්‍රණ මාලාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ.
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් සමගි ජනබලවේගය ගමට ගෙන යාමේ වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට සිදුවිය. එහෙත් පසුගිය සතියේදී නැවත වරක් එම වැඩසටහන් ආරම්භ කළේය. විපක්ෂ නායක සජිත් මාතර දිස්ත්‍රික්කයෙන් ගමින් ගමට දොරින් දොරට රට වටා වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ ගම්වල පාක්ෂිකයන් හමුවෙමින් ය.
මේ අවස්ථාව සඳහා කුඩා තේ වතු හිමියෝ ද සහභාගි වූහ.
එදිනම ජනතාවාදී කම්කරු පෙරමුණේ නායක සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකව සිටි නාත් ගමගේ මහතා හමුවීමට ඒ මහතාගේ නිවසට ගිය සජිත් ඔහු සමඟ සුහද කතාබහකද නිරත විය. ඊට පසුදින විපක්ෂ නායකවරයා හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පියාගේ අවමංගල්‍යයට ද සහභාගි වීමට ද අමතක නොකළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජනබලවේගයේ බලය හා නායකත්වයට අල්ලා ගැනීමට සූක්ෂ්ම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහය දක්වන බව කියයි. මෙම පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ තරුණ මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් පක්ෂවල සාමාජිකයන්ගේ අදහස වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු පිරිස ඉකුත් සතියේ නියෝජ්‍ය නායක රුවන්ගේ කොළඹ පිහිටි කාර්යාලයට පැමිණියේ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. කොරෝනා උවදුර හමුවේ සිරිකොත සීමාකර ඇති නිසා නායක රනිල් ඇතුළු පිරිස බොහෝ විට හමුවන්නේ හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසකදීය.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප උපනායක රුවන් විජයවර්ධන හා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
එහිදී කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කණ්ඩායම මුහුණ දෙන ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.