ගමේ පාලම් පාරවල් දැන් හරි ඉස්තරම් | සිළුමිණ

ගමේ පාලම් පාරවල් දැන් හරි ඉස්තරම්

- නව මාර්ග ව්‍යාපෘතිවලින් අපේ ජනතාවට කෝටි 15,000ක ප්‍රතිලාභ
- අලුත් අවුරුද්දේ අලුත් මාර්ග කිලෝමීටර් 30,000 ක් 
- ආසන මට්ටමින් අලුත් මාර්ග ව්‍යාපෘති 260 ක්
- ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අලුත් මාර්ග 341ක් හදයි

පසුගිය ‘යහපාලන’ රජයේ ඇතැම් අය ඇසුවේ ‘පාරවල් කන්න ද’ කියාය. ඒ නිසාම ඒ අය පාරවල් හදන්න උනන්දු වූයේ නැත. මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුව ගත් යහපාලන රජයේ ඇමැතිවරයකුට සම්බන්ධ ආයතනයක් ඒ වැඩේවත් හරියට කළේ නැත. ඒ නිසා එය අවලංගු කිරීමට සිදුවිය. වත්මන් රජය දැන් මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් ආරම්භ කළේය‍. රට සංවර්ධනය ග්‍රාමීය ජනතාවගේ අත මිට සරු කිරීමට ගම්බද දුප්පත් සිසු දරුවන්ගේ නැණ නුවණ වැඩුමට පාරවල් අත්‍යවශ්‍ය බව මේ රජයේ ජනපති, අගමැති හා මැති ඇමැතිවරු හොඳින් දනිති.

අපේ රටේ ආර්ථික ප්‍රගතියට ග්‍රාමීය ප්‍රදේශවලට අලුත් හොඳ මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂයන් පැහැදිලිව පෙන්වා දෙයි. 

රටේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ අනුවය.

2005 ට පෙර මෙරට ඇතුළත වසරකට ඉදිකර ඇත්තේ මාර්ග කිලෝමීටර් 250 ක් පමණි. නමුත් 2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් දේශීය හා විදේශීය අරමුදල් යොදා ගනිමින් ර‍ට තුළ සෑම ග්‍රාමීය ප්‍රදේශයකම මාර්ග ව්‍යාපෘති ආරම්භ කළේය.

විශේෂයෙන් ‘උතුරු වසන්තය’ හා ‘නැඟෙනහිර නවෝදය’ යටතේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මාර්ග කිලෝමීටර් 500 කට වඩා ඉදිකළේය. නැඟෙනහිර පළාතේ තිබූ පාලම් පාරු සියල්ල වෙනුවට හොඳ පාලම් ද ඉදි කළේය.

ඒ අනුව 2005 – 2015 කාලය ඇතුළත A හා B මට්ටමේ මාර්ග කිලෝමීටර් 5500 පමණ ඉදිකර තිබිණි.

ඒ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අලුත් මාර්ග කිලෝමීටර් ලක්ෂය ඉදිකිරීමට සක්‍රීය ලෙස දායක වෙමින් සිටී.

ඒ සඳහා මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි හා ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක යන අය පූර්ණ ලෙස දායකත්වය ලබාදෙති.

මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසන්නේ රටේ ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට, ග්‍රාමීය ජනතාවගේ කෘෂි ද්‍රව්‍යවලට නියම මිලක් ලබා ගැනීමට මෙන් ම මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා නගරයට සේන්දුවීමට මේ ග්‍රාමීය මාර්ග අත්‍යවශ්‍ය බවයි. එමෙන් ම මෙරට සංචාරක හා කර්මාන්ත ප්‍රවර්ධනයට හොඳ මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍යයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ උ‍පදෙස් අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ජාතික වැඩපිළිවෙළ දැන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ 2021 දී මාර්ග කිලෝමීටර් 30000 ක වැඩ අවසන් කරනවා.

ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකරන බව. ඒ අනුව 2024 දී මේ අයුරින් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂය ඇතුළු තවත් මාර්ග රැසක අයිතිය ජනතාවට ලබාදීමට අපි දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.

ඊට අමතරව ජනපති උපදෙස් අනුව රටේ ඉතා දුෂ්කර ප්‍රදේශවල තිබූ වැල් පාලම්, කම්බි පාලම්, ඒදඬු වෙනුවට පාලම් 5000 ක් ද හදනවා. ඒ සමඟම ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අපි සෑම පළාත් පාලන ආයතනයකම එක් මාර්ග ව්‍යාපෘතිය බැගින් ආරම්භ කළා. ඒ අනුව පළාත් පාලන ආසන 341 ක මාර්ග ඉදිවෙනවා.

අපේ රටේ සියලු මැතිවරණ කොට්ඨාස බල ප්‍රදේශවල ද එක් මාර්ග ව්‍යාපෘතියක් බැගින් මාර්ග 260 ක් ප්‍රධාන ලෙස අපි ආරම්භ කළා‍. මේ අනුව මේ සියලු මාර්ග සංවර්ධන කටයුතු 2024 ට අවසන් කිරීමට අපේ නිලධාරීන් බලධාරීන් හා මඟ නැඟුම ආයතනය සියලු සහාය ලබාදෙනවා” යැයි රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසයි.

මේ වැඩසටහන යටතේ දැනට මාර්ග කිලෝමීටර් 9000 ක් හා පාලම් 400 ක පමණ වැඩ අවසන් බව ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක පවසයි.

“තවත් පාලම් 1000 ක වැඩ ආරම්භ කර තිබෙනවා. මාර්ග රැසකත් වැඩ දැන් සිදුකෙරෙනවා. ඒ සමඟම ඉදිරි වසර හතර ඇතුළත ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 18000 පළාත් සභා මාර්ග කිලෝමීටර් 8000 ක් දේශීය අරමුදල් මගින් ඉදිකිරීමට අපේක්ෂිතයි. මේ වැඩසටහන සඳහා පූර්ණ වියදම රුපියල් බිලියන 1500 ක් පමණ වෙනවා. මහාචාර්ය රංජිත් දිසානායක පවසයි.

මේ යටතේ ග්‍රාමීය මාර්ග සියල්ල අඩි 12 – 10 පාරවල් බවට පත්වේ. විශේෂයෙන් ජනපති උපදෙස් අනුව රටපුරා ග්‍රාමීය මාර්ග, නගරයට ප්‍රවේශවීමේ මාර්ග, වතු මාර්ග, ප්‍රාදේශීය සභා මාර්ග සියල්ල නවීකරණය වී පුළුල් වී ඉදිකිරීමට කටයුතු කෙරේ.

පාලම් ඉදිකිරීම යටතේ ජීවිත පරදුවට තබා ඒදණ්ඩෙන්, වැල් පාලමෙන්, කම්බි පාලමෙන්, ලී පාලමෙන් ගමන් ගත් සිසු දරු දැරියන් හා වැඩිහිටි අය ඇතුළු ජනතාවට දැන් අඩි 6 – 8 අතර පළල කොන්ක්‍රීට් පාලම් ඉදිවෙමින් පවතී. ත්‍රිරෝද රථයක්, අත් ටැක්ටරයක් ගමට යාමට හැකි අයුරින් මේවා ඉදිකරමින් පවතින බව ද එම මාර්ග ඉංජිනේරුවෝ පවසති. ඊට අමතරව මේ සියලු මාර්ග දෙපස දැවමය පැළ ලක්ෂ 20 ක් රෝපණය කිරීමද දැන් ආරම්භ කර ඇත.

ඒ සමඟම ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට ලැබි ඇති පාලම් 10000 ක් සඳහා වූ පාලම් යෝජනා සියල්ල පිළිබඳව සලකා බලා සුදුසු ස්ථානවල පාලම් ඉදිකිරීමට ද රජය කටයුතු කර ගෙන යනු ලැබේ. ‘පාරවල් කන්න ද’ කියූ පසුගිය යහපාලන රජය කාලයේදී මෙරට මාර්ග සංවර්ධනය බින්දුවට බැස තිබිණි. ආසියානු බැංකු ආධාර යටතේ යහපාලන රජය ආරම්භ කළ මාර්ග කිලෝමීටර් 790 ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතරමග නතර කර තිබිණි. නමුත් යළි වත්මන් රජය ඒ මාර්ග ඉදිකිරීම ද දැන් ආරම්භ කර ඇත.

මේ අලුත් වැඩපිළිවෙළ මගින් ග්‍රාමීය ජනතාවට ප්‍රවාහන කටයුතුවලට, සිය කෘෂි නිපැයුම් වෙනදාට වඩා මිලකට විකුණා ගැනීමට හා බේත් හේත් ගැනීමට, ගමේ දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට එහා මෙහා යාමට ලොකු පිටුබලයක් ලැබේ. ඒ අනුව ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය හා බිඳුණු අන්තර් සම්බන්ධතා පිටු දැක කාර්යක්ෂම හා ඉහළ ප්‍රමිතියෙන් යුතු විධිමත් මාර්ග පද්ධතියක් ගමනාගමන කටයුතු වෙනුවෙන් ජනතාවට ලබාදීමේ අරමුණ දැන් ඉටුවෙමින් පවතී.

ඒ අනුව සුවපහසුවෙන් ඉක්මනින් හා ආරක්ෂාකාරී ලෙස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට සෑම පුරවැසියකුම සතු අයිතිය ද දැන් ඔවුන්ට ලැබෙමින් පවතින බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි පවසයි.

ඒ සමඟම ජනපති පළමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ 341 ක් සඳහා මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ද දැන් වේගවත්ව සිදු කෙරෙන බව ද ලේකම්වරයා පවසයි.

වත්මන් රජයේ මෙම මාර්ග සංවර්ධන වැඩසටහනේ වැදගත්ම අංගය මේ සියලු කටයුතු අපේ ජනතාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා යොමු වීමයි.

ඒ අනුව මේ ව්‍යාපෘති සියල්ලම කරන්නේ අපේ සල්ලිවලිනි. මාර්ග හා පාලම් ඉදිකිරීම් සියල්ල කරන්නේ අපේ රටේ ඉදිකිරීම් හා මාර්ග සංවර්ධන සමාගම් මගිනි. එහි වැඩ කරන්නේ ද අපේම සේවකයන්ය. ඒ අනුව මේ සඳහා වියදම් කරන රුපියල් කෝටි 15000 යළි අපේ රටේ ජනතාවටයි ලැබෙන්නේ. මාර්ග සංවර්ධන කටයුතු සිදුකරන්නෙත් අපේම කාර්මික නිලධාරීන් සේවකයන් හා කම්කරුවන්. ඒ අනුව ඒ අයට ඉහත මුදල් සියල්ල ලැබෙනවා. ඒ අනුව මේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ දේශීයත්වය පදනම් කරගත් වැඩපිළිවෙළක්.

ඊට සහාය දීම ගමේ රටේ හැමගේම යුතුකමක්. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක පවසයි.

Comments