
පුංචි ලෝකාන්තයේ රැයක් ගත කරන්න දිනුර ගිය දවසේ මම යාළුවන් සමඟ රාත්‍රී ගෙදර ඉද්දී මට එයාට කරදරයක් වගේ දැණුනා. නින්දෙන් නැගිටලා මම එයාට කෝල් කළත් ආන්සර් කළේ නෑ. මට එයා ඉන්න තැනට හොයාගෙන යන්න හිතුණා. යාළුවන් සමඟ මම යන්න පිටත්වුණත් මොනවද වුණේ කියලා මම දැනගෙන හිටියේ නෑ ‘ඩී. දිනුර විජේසුන්දරගේ බිරිය වන නීතිඥ ශ්‍රිමාලි ධර්මපාල හැඩූ කඳුළින් යුතුව කියයි. මඩොල්සිම පුංචි ලෝකාන්තයේ රැයක් කුඩාරම්ගතව අසිරිය විඳීමට ගිය පිරිසක් අතර සිටි අයකු රාත්‍රි කාලයේ අතුරුදන් වීමෙන් පසු දින තුනක් තිස්සේ වනයේ සිදු කළ මෙහෙයුමක් අතරතුරදී ඔහුගේ මෘත දේහය ලෝකාන්තය පාමුල දොරපොද ප්‍රදේශයේ ගල්තලාවක තිබියදී සොයාගෙන තිබේ.
කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි සිරස මාධ්‍ය ආයතනයේ ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියකු ලෙස කටයුතු ඔහු නමින් ඩී. දිනුර විජේසුන්දර(34) ය. පුංචි ලෝකාන්තය ලුණුගල හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර කොකාගල වතුයායේ බෑවුමක පිහිටා තිබේ. මෙය අතිරමණීය ස්ථානයක් වන අතර ඉතා අවදානම් ස්ථානයකි. දිනපතා දේශීය විදේශීය සංචාරකයන් මෙහි අසිරිය විඳින්නට පැමිණෙති. කෙතරම් සංචාරකයන් පැමිණියත් මෙහි කිසිදු පහසුකමක් නොතිබීම නිසා පැමිණෙන පිරිස් දැඩි අසීරුතාවට පත්වන අවස්ථාද බොහොමයකි.
මේ ස්ථානයට මීදුම නොමැති අවස්ථාවලදි බිබිල, මහියංගන, අම්පාර, මඩකළපුව වැනි ගම්මාන හොඳින් දිස්වේ. නිතර පවතින සුළඟ හා ඝන මීදුම නිසාම අවට පරිසරය දැක ගැනීමට බොහෝවිට සංචාරකයන්ට නොහැකිය. එහෙත් නිතර සංචාරකයන් පැමිණ කුඩාරම්ගතව මේ සුන්දර ස්ථානයේ රාත්‍රිය විනෝදයෙන් ගත කරති. දිනුර විජේසුන්දර වෛද්‍යවරුන් හයදෙනෙකු හා තවත් මිතුරන් පස් දෙනෙකු සමඟ පසුගිය හයවැනිදා දවල් මහියංගනයට පැමිණ ඇත. රාත්‍රී කඳවුරුගතව සිටීමට මහියංගන රෝහලේ වෛද්‍යවරයකු සංවිධානය කර තිබු අතර ඔවුන් මීගහකිවුල පිටමාරුව මාර්ගය ඔස්සේ පුංචි ලෝකාන්තය වෙත පැමිණ ඇත්තේ පසුගිය හය වැනිදා සවස පහට පමණය.
![]() |
යුද හමුදාව දිනුර සොයා මෙහෙයුම් සිදු කරන අයුරු |
එතැන් පටන් ඔවුන් මීදුමෙන් වැසී ගිය අධික සීතල සහිත පරිසරයේ තිබෙන ලෝකාන්තය අසල කඳවුරුගතව විනෝද වෙමින් සිටියදී මැදියම් රැය වන විට සුළඟත් ධාරාණිපාත වැස්සක් ඇද වැටී ඇත. එනිසා අලුයම එකට පමණ සියලු දෙනා පැමිණි වාහන වලට නැවත දිවගොස් තිබේ.
වාහනවලට පැමිණි අය අතර දිනුක නොසිටි බව ටික වේලාවකින් දැනගත් මිතුරන් පිරිස නැවත කඳවුරු බැඳි ස්ථානයට ගොස් සෙවීම් කළත් හමු නොවු නිසා මඩොල්සිම පොලිසියටද පැමිණිලි කර තිබේ.
ඉන් අනතුරුව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් චන්ද්‍රසිරි ප්‍රමුඛ පොලිස් නිලධාරීහු පිරිසක් පුංචි ලෝකාන්තයට පැමිණ සෝදිසි කළත් අතුරුදන් වූ අය හමු නොවූහ.
![]() |
දිනුර සිය බිරිය නීතිඥ ශ්‍රීමාලි ධර්මපාල සමඟ |
![]() |
දිනුර මව සහ සිය සහෝදරයා සමඟ |
රැය ගෙවී උදේ එළිය වැටෙද්දී අතුරුදහන් පුද්ගලයා ලෝකාන්තයෙන් පහළ ප්‍රපාතයට වැටුණු බවට එම ස්ථානයේ තිබුණු සාක්ෂි අනුව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් සැකයක් ඇති විණි. පසු බදුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන්ට අතුරුදන්ව සිටි දිනුර සෙවීමේ වගකීම පැවරිණි.
එතැන් පටන් යුද හමුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයට පැමිණ ප්‍රදේශයේ පැවති ඝන මීදුම, වර්ෂාව හා සුළඟ සමඟ පැවති කළුවර බාධාවක් නොකරගෙන මෙහෙයුම් දියත් කළේය. දින දෙකක් තිස්සේ ලෝකාන්තය ප්‍රදේශයෙන් හා පහළ බිබිල, එගොඩ කොටගම, දොරපොද, රඹක ප්‍රදේශවල ඝන වනය තුළ අතුරුදන් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළේය. ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව, මීදුම හා අන්ධකාරය නිසා දින දෙකේදීම මෙහෙයුම් කටයුතු අසාර්ථක විය. මෙහෙයුම් සිදු කරද්දී එගොඩ කොටගම ප්‍රදේශයට පැමිණ සිටි අතුරුදන් දිනුරගේ බිරිය වන නීතිඥ ශ්‍රිමාලි ධර්මපාල ඇතුළු පවුලේ ඥාතීන් හා මිතුරන් දිනුර හමුවෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය.
තුන්වැනි දින යුද හමුදා විශේෂ බළකායේ ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් පුංචි ලෝකාන්තයට බැස දිනුර සොයන්නට තීරණය කළේය. පුංචි ලෝකාන්තයෙන් පහළට කඹ මගින් එක් කණ්ඩායමක් බසිද්දී තවත් කණ්ඩායමක් එගොඩ කොටගම හරහා ලෝකාන්තය පාමුල මෙහෙයුම් සිදුකළේය. ලෝකාන්තයේ සිට අඩි 1,200ක් පමණ පහළ තිබු ගල්තලාවක දැඩි හානියට පත්ව තිබූ දිනුරගේ මෘත දේහය සවස 3.30ට පමණ හමු වූයේ එයින් පසුවය.
‘මෙම මෙහෙයුම ඉතාම අසීරු ගමනක්. මාර්ගය හරහා කන්දේ බෑවුම වැඩියි. පොඩ්ඩක් හරි ලිස්සුවොත් හොයාගන්න වෙන්නේ නෑ. කොහොම අසීරු වුණත් අපි බාරගත්ත වගකීම අතහැරියේ නෑ. දින තුනක් තිස්සේ වනයේ ගත කළ අත්දැකීම් අමතක වෙන්නේ නෑ‘ මෙහෙයුම් සංවිධානය කළ විශේෂ බළකා සේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම් පැවසීය.
පුංචි ලෝකාන්තයේ බෑවුමට මායිම්ව තිබූ බිබිල එගොඩ කොටගම ගම්වාසීන්ට ද මේ නව අත්දැකීමෙන් සසල වී සිටියහ. ගමේ ග්‍රාම නිලධාරී හේමන්ත වික්‍රමසිංහ ඇතුළු ගම්මුන් හමුදාවේ සහායට ඉදිරිපත්වූයේ ද ස්වේච්ඡාවෙන්මය. ග්‍රාම නිලධාරී හේමන්ත මහතා යුද හමුදාවේ නිලධාරීන්ට දිවා රාත්‍රියට අවශ්‍ය සියලු පහසුකම් සපයා දී තිබිණ.
09 දින සොයාගත් මෘත දේහය ගල් පර්වත ඇතුළු ඝන කැලෑවක් මැදින් සැතපුම් 8ක පමණ දුරක් වාහනයක් හමුවන තෙක් ගෙන ඒමට තිබූ අසීරුතාව නිසාත් ප්‍රදේශයේ පැවති කළුවර, ඝන මීදුම නිසාත් මෙහෙයුම් සිදුකළ කණ්ඩායම මෘත දේහය වැටී තිබූ ස්ථානයේ එදින රාත්‍රිය නිරාහාරව ගත කර තිබේ.
පසුදින එනම් 10 දින ඕජස් ගලමින් තිබූ දිනුරගේ මෘත දේහය පොලිතීන් බෑගයක ඔතා කරට ගත් නිලධාරීන් පැය තුන හතරක කාලයක් ඝන වනයේ තිබෙන ගස්, වැල්, ගල්, පර්වත, දිය කඩිති මතින් එගොඩ කොටගම ගම්මානය වෙත පැමිණියේය. පසුව පොලිසිය බාරයට ගත් දිනුරගේ මෘත දේහය පී. සී. ආර් පරීක්ෂණයකට ලක්කර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේය.
යුද හමුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කැලයේ සිට කොටගම ගම්මානයට කර මතින් ගෙනා මෘත දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා 10 දින සවස මඩොල්සිම පොලිසියට බාරදීමෙන් පසු බදුල්ල මහ රෝහලට ගෙනවිත් මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
පස්සර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහගේ නියෝගය මත මෘත ශරීරය පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට පැවරීය. පී.සී.ආර් පරීක්ෂණය වාර්තාව අනුව කොරෝනා ආසාදිතයකු නොවුණ නිසා බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. එහිදි මරණයට හේතුව ශරීරයේ අභ්‍යන්තර හා බාහිර කොටස් වල බාහු හා අස්ථි බිඳීමෙන් ඇතිවූ බරපතළ තුවාල නිසා සිදුවූ මරණයක් බවට තීන්දු විය.
පසුව මෘත ශරීරය මියගිය අයගේ බිරිය වන නීතිඥ ශ්‍රිමාලි ධර්මපාලට බාරදුන් අතර ආදාහන කටයුතු 12 දින කළුතර මග්ගොන ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිත ය.
ලෝකාන්තයෙන් ප්‍රපාතයට ඇද වැටුණ දිනුර විජේසුන්දරගේ දේහය සොයාගැනීමේ මෙහෙයුම් කටයුතු වලට බදුල්ල යුද හමුදා කඳවුරේ බ්‍රිගේඩියර් අනුර දිසානායක, කර්නල් ප්‍රියන්ත රාජපක්ෂගේ උපදෙස් මත යුද හමුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කළේය. ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ උපදෙස් මත මඩොල්සිම හා බිබිල පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ ද සහාය ලැබිණි. එගොඩ කොටගම ග්‍රාම නිලධාරී හේමන්ත වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ගම් වැසියන් මෙහෙයුම් කණ්ඩායම් සඳහා අවශ්‍යතා සැපයීය.
![]() |
![]() |
දිනුරගේ දේහය ගෙන එන අයුරු |