පොලීසියට වෙට්ටු දාපු කුඩු යුවළ කොටු වූ හැටි | Page 2 | සිළුමිණ

පොලීසියට වෙට්ටු දාපු කුඩු යුවළ කොටු වූ හැටි

අල්ලාගත් කුඩු තොගය සහ සැකකාර යුවළ පැමිණි සුඛෝපභෝගි මෝටර් රථය

කුණු පළාතේ පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් දින සක්‍රීය වෙමින් ඇත්තේ එහි ගම් නියම්ගම් ද ජාවාරකරුවන්ගේ ගොදුරු බවට පත්වෙමිනි. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රොහාන් ද සිල්වා විසින් විශේෂ ක්‍රියාන්විතයක් දියත්කර ඇත්තේ ප්‍රධානකොට තරුණ පරපුර මත් රකුසාගෙන බේරා ගැනීමේ අරමුණෙන් යුතුවය.

පසුගිය දින කීපය තුළ ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා අනුව වැලිගම මිදිගම ප්‍රදේශය දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි යන්න සඳහන් විණි. ඒත් සමඟ මත් ජාවාරම්කරුවන්ද තම මත් ජාවාරම්හි සැලසුම් වෙනස් කරමින් ක්‍රියාත්මක වන්නට විය. ඒ පිළිබඳව තොරතුරුකරුවන් මඟින් පොලිසියටද ‍බොහෝ තොරතුරු ලැබෙමින් තිබිණි. ඒ අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ට විශ්වාසදායි තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබිණි.

පසුගිය නවවැනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද ‍තොරතුරෙන් කියැවුණේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගෙන යාමේ සැලැස්මක් තිබෙන බවයි.

ලද තොරතුර පිළිබඳව එසැණින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් විසින් උසස් පොලිස් නිලධාරිහු දැනුවත් කළහ. ඒ අනුව පළමුව දැනුම් දුන්නේ මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ටය.

දෙදෙනා එක්ව තමන් ලද තොරතුර දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම වැටලීම වෙනුවෙන් සිදුකළ යුතු මෙහෙයුම පිළිබඳ රොහාන් ද සිල්වා දුන් උපදෙස් තුළින් දෙදෙනා තුළම ඇතිවූයේ පිබිදීමකි. ඒ අනුව ජාවාරම්කරුවන් කොටු කිරීමේ දැල එළීමේ සැලසුම සකස් කෙරිණි.

සැලසුමට අනුව පොලිස් කණ්ඩායම් කීපයක්ද සූදානම් කරගත් සමන් ඊළඟ මෙහොත එන තෙක් බලා සිටියේය. ඒ අතර නාදවූ දුරකථනයෙන් සමන්ට මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ ඊළඟ හෝඩුවාව ලැබුණේය.

“සර් අද රෑට බඩු එනව... මොකද කරන්නෙ...” සමන් ලද තොරතුර තම උසස් නිලධාරියා වූ චන්දන හේරත්ට කීවේය. 

“ගුඩ්... මම සීනියර් ඩී. අයි. ජී. සර්ට කියල පර්මිෂන් ගන්නම්. ඔයා ඉක්මනට කණ්ඩායම් දැනුවත් කරන්න. හැබැයි ඉන්පොමේෂන් එක ලීක් වෙන්න දෙන්න එපා”

පොලිස් කණ්ඩායම සූක්ෂම මෙහෙයුමක් සඳහා පිඹුරුපත් සකසද්දී ඒ පිළිබඳ කිසිත් නොදත් ජාවාරම්කරුවන් තම අලෙවි ජාලයේ ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියේය. ඒ බස්නාහිර පළාතේ සිටයි. ජාවාරමේ ප්‍රධානියාගේ සැලැසුම් අනුව ක්‍රියාත්මක වන අතරමැදියන් දෙදෙනෙකු වූ මහනුවර සුදුහුම්පොළ කවිෂ්කා හා මීගමුවේ කට්ටුව වෙසෙන ජෙහාන් පොලීසිය මඟහැර දකුණු පළාතේ සිට කොළඹට හෙරොයින් තොගයක් රැගෙන යාමේ මෙහෙයුමට එක්ව සිටියහ. ඒ අතරේ ඔවුනගේ සැලැස්මේ බොහෝ තොරතුරු මාතර පොලිස් නිලධාරින්ට සැලවෙමින් තිබිණි.

නවවැනිදා මධ්‍යම රාත්‍රිය වෙද්දී සුඛෝපභෝගී මෝටර් රථයකට ගොඩවූ කවිෂ්කා හා ජෙහාන් කටුනායක අධිවේගී මඟට පිවිසියේ මාතර බලා යාමේ අටියෙනි. විවාහක යුවළක් ලෙස පෙනී සිටිමින් පොලීසිය නොමඟ යැවීම දෙදෙනාගේ අරමුණ විය.

දහවැනිදා අලුයම දෙක පමණ වෙද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඇතුළු කණ්ඩායම හක්මණ බලා පිටත් වූයේය. සමන් ප්‍රමුඛ කණ්ඩායම හක්මණ දෙනගම දක්වා ගමන් කරද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් ඒ අවට සියලු පොලිස් ස්ථානවලින්ද විශේෂ පොලිස් කණ්ඩායම් මෙහෙයුම සඳහා සූදානම් කළේය.

අලුයම තුනහමාර වෙද්දී පොලිස් කණ්ඩායම් නියමිත පරිදි ස්ථානගත කෙරිණි. ඒ අතර කටුනායක සිට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටි කවිෂ්කා හා ජෙහාන් මාතරින් පිට නොවී බෙලිඅත්ත දක්වා ගමන්කළේ තම ප්‍රධාන ජාවාරම්කරු ලබාදුන් උපදෙස් අනුවය. ඒ පොලීසිය නොමග යැවීමේ අටියෙනි. එහෙත් මේ තමන් ගමන් කරමින් සිටින්නේ පොලිස් දැල තුළට බව කවිෂ්කා හා ජෙහාන් සිහිනෙන්වත් නොසිතූහ.

අධිවේගී මඟ ඔස්සේ පැමිණි කවිෂ්කා හා ජෙහාන් අලුයම පහයි දහයට පමණ බෙලිඅත්ත පිටවීමේ දොරටුවෙන් පිටව හක්මණ දෙසට පැමිණ දෙනගම හරහා මුලටියන මාර්ගයෙන් දෙයියන්දරට ගමන් කරමින් සිටියේය. ඒ අතරතුරදී හෙරොයින් තොගයක් ද දෙදෙනා විසින් මෝටර් රථයට පටවා ගැනිණි.

මේ අතරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඇතුළු කණ්ඩායම එම මාර්ගයේ සැක සහිත රථ වාහන පරීක්ෂා කරමින් සිටියේය. එහිදී තරුණයකු පැදවූ මෝටර් රථයක් අණ නොතකා විදුලි වේගයෙන් ඇදෙද්දි සැක කළ පොලිස් කණ්ඩායම් ඒ පසුපසින් පැමිණි මෝටර් රථයටද නවතින ලෙස අණ කෙරිණි. එහි පැමිණියේ කවිෂ්කා හා ජෙහාන්ය. එකිනෙකා අතර ලොකු වයස් පරතරයක් තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවන අයුරින් විවාහක යුවළක් ගමන් කරන්නාක් මෙන් පැමිණි දෙදෙනා පොලිස් අණට සිය රථය වහා නතර කළේය.

සැණින් රථය වෙත ආරක්ෂිතව ළංවූ පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කරද්දී එහි පසුපස සඟවා තිබූ හෙරොයින් පැකට්වලින් සමන්විත පාර්සල් දෙකක් සොයාගත්තේය. රථයේ පැමිණි යුවළ බියට පත්ව පවසන්නට වූයේ අතරමගදී ගිනිඅවි හිසට තබා යම් පිරිසක් මෙය රැගෙන යන ලෙස බල කළ බවයි. ඒ වන විට වේලාව අලුයම හයයි දහයට පමණ විය.

සැකකරුවන්ගේ ප්‍රකාශයන් පිළිබඳ එතරම් තැකීමක් නොකළ පොලිස් කණ්ඩායම යුහුසුලුව අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර අධිවේගී මාර්ගයට පිවිසෙන සියලු මං ද අවහිර කළේය.

ඒ ක්ෂණයකින් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ද සිද්ධිය වන ස්ථානයට පැමිණියේය. ඒ අතර රථය අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට මීටර් දෙසීයක් දුරින් මාර්ගය අයිනේ සඟවා තිබූ තවත් හෙරොයින් පැකට් සහිත පාර්සල් කීපයක් පොලීසිය විසින් සොයා ගත්හ. අත්අඩංගුවට ගත් පාර්සල් සියල්ලේ හෙරොයින් පැකට් හැට අටක් තිබූ අතර එහි බර කිලෝ හැත්තෑ හතරයි ග්රෑම් නිවසිය හැත්තෑපහක් පමණ විය. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි අසූවකට ආසන්න විය.

“ලංකාවේ දකුණු මුහුදු තීරය හරහා මත්ද්‍රව්‍ය රට තුළට එන බව මේ සිදුවීමෙන් පැහැදිලියි. වැලිගම මිදිගම දොස්තරවත්ත නම් ප්‍රදේශයේ දකුණු පළාතට කුඩු බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති බව විමර්ශනවලින් පැහැදිලි වෙනවා.

පසුගිය දිනෙක දොස්තර වත්තෙ හෙරොයින් කිලෝ හතළිස්පහක් හසුවීමෙන් පසු මේ මත්ද්‍රව්‍ය තොගයද එහි තිබී ඉවත්කළා ද යන්න සැකයක් තිබෙනවා. මේ සිදුවීමේදී අත්අඩංගුවට ගත් දෙදෙනා විවාහක අය. ඔවුන්ට වෙන්ව වෙන්ව දරු පවුල් සිටිනවා. සැකකරුට වයස විසි නවයයි. සැකකාරියට වයස තිස්අටයි. මොවුන් කලින් ව්‍යාපාරයක් කළ අය බව හඳුනාගෙන තිබෙනවා.

මේ දෙදෙනා ජාවාරමේ අතරමැදි බෙදාහරින්නන්. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස වැලිගම පදිංචි දැනට රටින් පැන ගොස් සිටින ජාවාරම මෙහෙයවන බවට සැල වන රුවන් නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා බවට සැක කරනවා. පසුගිය මාස හයක කාලය තුළ ජාවාරමේ යෙදෙන ප්‍රධාන සැකකරුවන් දහතුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා”

පසුගිය 10 වැනිදා සවස මාතරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

පොලිස් නිලධාරීන්ගේ මෙම අභීත ක්‍රියාව අගේ කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙවැනි වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට ත්‍යාග සහ ප්‍රසාද දීමනා ඇතුළු ඇගයීම් ලිපි නිකුත් කිරීම මෙන්ම වැටුප් වර්ධක ලබාදීමේ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසිය.

සැකකරු හා සැකකාරිය දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකිරීමට පොලිසියට අවසර ලැබිණි.

Comments