
පසුගිය දහවැනිදා සවස් යාමයේ කොළඹ ජාතික රෝහලට පුද්ගලයකු ඇතුළත් කෙරුණේ දෙඅත් සහ බෙල්ලද පිළිස්සීම නිසාවෙනි. එම පුද්ගලයා 62 හැවිරිදි සුජීව ගමගේ නමැත්තෙකි. එසේම ඔහු බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන සියරට සහ තවත් වෙබ් අඩවි කිහිපයක නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කරන බවද හෙළි විණි.
දඹදෙණිය, උඩවෙල වත්ත ප්‍රදේශයේ පදිංචි තමන් දිනපතා මීරිගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියෙන් කොළඹට පැමිණ තම සේවා ආයතනයට පැමිණෙන බවද සඳහන් කළේය. 1987 වසරේ සිට විකල්ප මාධ්‍ය ධාරාවන්හි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන තමනට දහවැනිදා රැකියාවට ඒමට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටියදී පෙරවරු හතට පමණ වූ අකරතැබ්බය පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරිණි.
ඔහුගේ පැමිණිල්ලෙ වූයේ, දහ වැනිදා සුපුරුදු පරිදි රැකියාවට එමින් සිටියදී හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවයි. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උදෑසන හතට පමණ මීරිගම බෝගස අසලදී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු තමාට අත වනා කතා කළ බවයි. ඒ මොහොතේ වෑන් රථය අසලට ගිය තමා එහි වූ පිරිස වෑන් රථයට දමා ගත් බවයි. අනතුරුව ඔහුගේ හිස සහ මුව වැසෙන සේ කළු පැහැති බෑගයකින් වැසු බවත් ගිනිඅවියක්ද අතැතිව සිටි එම කණ්ඩායම විනාඩි හතළිස් පහක පමණ දුරක් ගොස් තමාව එක්තරා ස්ථානයකට රැගෙන ගිය බවයි. එම ස්ථානයේදී දිගින් දිගටම ප්‍රශ්න කරමින් කිසියම් 'චිප්' පතක් නැතිනම් දත්ත ගබඩා කරන මෙවලමක් ඉල්ලා සිටි බවයි.
අනතුරුව මුව වසා පැය එකහමාරක පමණ දුරක් රැගෙන ආ බවයි. එහිදී කොළඹට රැගෙනවිත් බේස්ලයින් මාර්ගයෙන් මාලිගාවත්තට දිවෙන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියෙහි තාප්පය දෙසට මුව හරවා තමා බස්සවා පිරිස ඔහුට හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පලා ගිය බවයි. ඒ වන විට වේලාව සවස 1.30ත් 2ත් අතර බවයි.
පැහැර ගත්ත වුන් බාරයේ තිබූ තම ජංගම දුරකථනය එම ස්ථානයේදී ලබා දීමෙන් පසු එම දුරකථනයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට ඇමැතුමක් ගත්තද ඊට පිළිතුරු දුන්නෙ ඔහුගේ බිරිය බවත් එසැණින් ත්‍රිරෝද රථයක නැඟී චතුර සේනාරත්නගේ තිඹිරිගස්යාය කාර්යාලයට ගිය බවයි. සවස දෙකට පමණ එම කාර්යාලයට ගොස් සිටියදී රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාද පැමිණි බවත් තවද ඔහුගේ මිතුරකු වන සරත් නමැත්තාද එම ස්ථානයට පැමිණි බවද ඔහු සඳහන් කළේය. එම ස්ථානයෙන් සවස පහට පමණ රාජිත සේනාරත්නගේ රථයකින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකුද කැටුව මිතුරු සරත් සමඟ පැමිණ පිළිස්සීමෙන් වූ තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බවයි.
ජාතික රෝහලේ පිහිටි රෝහල් පොලිසියට ලැබුණු සුජීවගේ එම පැමිණිල්ල යොමු කෙරුණේ ඔහු පැහැර ගැනීම සිදුව තිබූ අදාළ ප්‍රදේශය වන මීරිගම පොලිසියටයි. ඒ අනුව මීරිගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි.
මීරිගම පොලිසියෙහි විමර්ශනයද සිදුවෙද්දී මෙවැනි විමර්ශනවලට අතිදක්ෂ නිලධාරින්ගෙන් සමන්විත කොළඹ අපරාධ කොට්ඨාසයද (CCD) සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කළේය. විමර්ශන නිලධාරිහු මෙකී විමර්ශනයේදී මාධ්‍යවේදියා සඳහන් කළ කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කරමින් ඔහු කී ප්‍රදේශයන්හි සීසීටීවී දසුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරිණි.
එම විමර්ශනයේදී පොලිසියට ඔහු ආගිය කිසිදු ප්‍රදේශයක එම කාල සමයන්හි සීසීටීවී දසුන්හි මොහුගේ රුවක් දක්නට ලැබී නැත. එහෙත් එම කාල පරාසය තුළදී සුජීව මීරිගම සිට පැමිණි දුම්රියකින් දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් බැස යන ආකාරය ඒ අවට සීසීටීවී දසුන්හි මනාව සටහන් වී තිබී පොලිසිය අනාවරණය කරගත්තේය. එසේම සුජීව රෝහලට රැගෙන ගිය සරත් නමැත්තාගෙන් පොලිසිය ලබාගත් ප්රකාශයකින්ද හෙළි වූයේ සුජීව එදින බස් රථයකින් පැමිණ කැලණි පාලම අසලින් බැසගත් බව තමාට කී බවයි. ඒ අනුව පොලිස් විමර්ශනයේදී ඔහුගේ පැමිණිල්ල පිළිබඳ බොහෝ සැකසංකා මතුවිණි.
දින හයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ රැඳි සිටි සුජීව ගමගේ පසුගියදා නික්ම ගොස් තිබිණි. රෝහලෙන් නික්ම ගිය සුජීව සහ ඔහුගේ බිරිය මෙකී විමර්ශනයට අදාළව පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කළහ. එහිදී සුජීවගේ බිරිය කියා තිබුණේ, පසුගිය නව වැනිදා සවස් යාමයේ තමන් සුජීවගේ නැඟණියගේ නිවෙසට ගිය බවත් පැමිණියේ 10 වැනිදා සවස් යාමයේ බවයි. එසේම තමන් මෙවැනි සිදුවීමක් දැනගත්තෙ 10 වැනිදා බවයි. තවද තම සැමියා නැඟණියගේ නිවෙසේ සිටියදී දුරකථන ඇමැතුමක් දෙමින් චිප් පතක් ගැන විමසූ බවත් ඇය සඳහන් කළාය.
ඒ පිළිබඳවද පොලිසියට කිසියම් කුහුලක් මතු විය. එසේම ඇගේ පාපෝච්චාරණයෙන් සුජීව නව වැනිදා රාත්‍රියේ නිවෙසේ තනිව සිටි බවටද ඉන් හෙළි විණි.
සුජීව කී ස්ථානයන්හි එම කාල පරාසයන්හි සීසීටීවී දසුන් කිසිවක ඔහුගේ රුවක් දක්නට නොලැබීම නිසාවෙන් පොලිසියට ඔහු පවසන්නෙ මුසාවක් බවට සැකයක් ඇති විණි. එම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවූ සුජීවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.
එහිදී ඔහු පවසන්නට වූයේ තමන් පවසන්නෙ සත්‍යයක් බවත් එහෙත් ස්ථානයන් නිවැරැදි නොවන බවයි.
"එහෙනම් සත්‍ය කියනවා..." විමර්ශන නිලධාරිහු කියන්නට වූහ.
"නවවැනිදා බිරිය හිටියෙත් නෑ... එදා රෑ නිවෙසට හතර දෙනෙක් ආවා... ඒ කිසිම කෙනෙක් මං මීට කලින් දැකපු අය නෙවෙයි... ඔවුන් මගේ අත් දෙකම පිච්චුවා... පස්සෙ මගේ චිප් එකකුත් අරන් පැනලා ගියා..."යැයි සුජීව කියන්නට වූයේය. එහෙත් පොලිසිය එම කතාන්දරයද පිළිගන්නට මැළි වූයේ ඔහුගේ හැසිරීම් රටාවන්හි වූ වෙනස්කම් නිසාවෙනි.
තවදුරටත් පොලිසියෙන් ගැලවීමක් නොමැති බව දත් සුජීව සත්‍ය කතාන්දරය හෙළි කෙරිණි.
ඒ මෙවන් කතාවකි. නිවෙසේ කිසිවෙක් නොවූ නවවැනිදා රාත්‍රියේ ඉඩමේ ගිනිමැලයක් පත්තුකොට ඉන් මේසන් හැන්දක් රත්කරගත් සුජීව තමාගේම දෙඅත් සහ බෙල්ල ප්‍රදේශය පුළුස්සාගෙන තිබිණි. එදින රාත්‍රිය පිළිස්සුම් තුවාල සහිතව ඔහු නිවෙසේ ගත කළේය. පසුදා පෙරවරුවේ රැකියාවට යන සුපුරුදු වේලාවට නිවෙසෙන් පිටත්ව කොළඹ - නුවර මාර්ගය ඔස්සෙ ශීඝ්‍රගාමී බස් රථයකින් කොළඹට පැමිණියේය. ඔහු කැලණි පාලම අසල බස් නැවතුම්පොළෙන් බස් රථයෙන් බසින විට පෙරවරු අටට පමණ වී ඇත. තම රංගනයට එම වේලාව නුසුදුසු හෙයින් සුජීව නැවත දුම්රියෙන් මීරිගමට ගොස් තිබේ.
නැවතත් මිරිගමින් දුම්රියට නැඟි ඔහු කොළඹ බලා පැමිණියේ. එහිදී සවස 1ට පමණ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් බැස ගිය බව පොලිසියට හෙළි කළේය. ඒ වන විට පොලිසිය අනාවරණය කරගෙන තිබු දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල සීසීටීවී කැමරාවක සවස 1.10ට පමණ ඔහුගේ රුව මනාව සටහන් වී තිබිණි. ඒ දුම්රියෙන් බැස ඇවිද යන ආකාරයයි. ඉන් එම කතාන්දරයේ නිවැරැදිතාවය ගැන පොලිසියට තහවුරු විණි. එතැන් සිට ත්‍රිරෝද රථයක නැඟී චතුර සේනාරත්නගේ තිඹිරිගස්යාය කාර්යාලයට ගොස් රෝහල්ගත වූ සිද්ධි දාමය සත්‍ය බව විමර්ශන නිලධාරිහු වැඩිදුරටත් අනාවරණය කරගත්හ. එසේම එලෙස ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටියදී සුජීවට ලැබුණු දුරකථන ඇමැතුමක් ගැනද පොලිසිය දැඩිව අවධානය යොමු කළේය. එම ඇමැතුම ලැබී තිබුණේ මහරගම මුද්‍රණාලයක හිමිකරුවෙකුගෙනි. ඔහුගෙන්ද පොලිස් ප්‍රශ්න කිරීම් සිදුවිණි.
"සර්... ඔය සුජීව කියන පුද්ගලයා ලක්ෂ 52ක් මට දෙන්න තියෙනවා... පහුගිය පෙබරවාරි 28 වැනිදා ඒ මුදල දෙන බවට පොරොන්දු ගිවිසුමකුත් අත්සන් කළා... මං ඒ මුදල ඔහුගෙන් දිගින් දිගටම ඉල්ලමින් හිටියේ... ඉතින් පහුගිය 10 වැනිදා හවස දෙක වෙනකොට දෙනවා කියලා පොරොන්දු වුණා... මොහු මගේ මුදල් දෙන්න වෙනවට කරපු රඟපෑමක් මේක සර්..."
එසේම විමර්ශන නිලධාරිහු සුජීව විසින් සිදුකර ඇති තවත් මුදල් වංචා රැසක්ම අනාවරණය කරගැනිණි. ඒ අනුව ඔහුට එරෙහිව රුපියල් ලක්ෂ 350ක වංචාවකට අදාළ නඩුවක්ද, තවත් රුපියල් ලක්ෂ 42ක මූල්‍ය වංචා නඩුවක්ද තිබෙන බව සැලවිණි. සුජීව සිදුකළ බොරුව අතේ පත්තු වෙද්දී ඔහු පොලිසියට කියන්නෙ මුහුණුපොතේ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට එවැනි වංචාවක් සිදුකළ බවයි. එහෙත් පොලිසිය මෙකී වංචාකාර මාධ්‍යවේදියා මෙලෙස හැසිරුණේ කුමක් අරබයා ද? මෙවැනි අසත්‍යයකින් බලාපොරොත්තු වූයේ කුමක් ද යන්න පුළුල් ලෙස විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය. විශේෂයෙන්ම වත්මන් රජය අපහසුතාවට පත් කිරීමටත් ජාතීන් අතර විසංවාදයක් ඇති කිරීම මෙන්ම මේ දිනවල ජීනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුව සමයේදී මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් සිදු කරන්නෙ කුමක් නිසා ද යන්න දිගින් දිගටම සොයා බලමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.