තරු­ණි­යන් 14,022ක් මුද­ලා­ලිලා කරන ‘අපේ ගමේ අපේ කඩේ’ | Page 2 | සිළුමිණ

තරු­ණි­යන් 14,022ක් මුද­ලා­ලිලා කරන ‘අපේ ගමේ අපේ කඩේ’

පේ රටේ කාන්තා පරපුරට පසුගිය කාන්තා දිනයේ ලොකු තෑග්ගක් ලැබිණි. ඒ අපේ ර‍ෙට් කාන්තාවන් 14022ක් අලුත් ව්‍යවසායකයන් බවට පත්කිරීමට අවස්ථාව ලැබීමයි.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 14022 හි තෝරා ගත් මාර්ගයක් සංවර්ධනය කිරීමේදී නව නිවසක් ද යාබද ව්‍යාපාරික ස්ථානයක් ද “අපේ ගමේ අපේ කඩේ” නමින් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් තිබේ. ඒ සැම අපේකඩේ වෙළෙඳ සලකම මෙහෙයවීම කාන්තා ව්‍යවසායිකාවක් මගින් සිදුකිරීම මෙහි විශේෂත්වයවේ. ඒ මඟින් රටපුරා කඩිනමින් තරුණියන් 14022ක් තරුණ ව්‍යවසායිකාවන් ලෙස අලුතින් බිහිවන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන ආරම්භ කළ අතර මේ අනුව සෑම ගමකින්ම ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ ඍජු දායකත්වය ලබා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මූලික කොටගෙන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු පවුල් 14022ක ආර්ථිකය ද ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මුල් වැඩසටහන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම මීගොඩ දෙහිපේදි ආරම්භ විය. කාන්තා දිනයට සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පයාගල දුම්රිය ස්ථානය අසලදී ආරම්භ විය. මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද සහභාගි විය.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැඩසටහන මිහින්තලය ආලකමන්දාව ප්‍රදේශයේදි සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා කුඩා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව ග්‍රාමීය මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ගේ සංකල්පයක් මත ඉදිවූ home shop කාන්තා දිනයේදි ආරම්භ කිරීම සතුටට කරුණක් බවයි.

“මේ ව්‍යාපාරය සඳහා සුදුසුම කාන්තාවන් අපි තෝරා ගන්නවා. ඊළඟ දවස් 35 ඇතුළත අලුත් නිවාස හා අපේ කඩේ විවෘත කිරීමට කටයුතු කරනවා. සිංහල අවුරුද්දට කලින් ඒ අපේ කඩ ටික විවෘත කිරීමයි අපේ අභිලාෂය. මේ මඟින් මාර්ග සංවර්ධනයේ අලුත් සංවර්ධන ක්‍රියාදාමයක් අපි ආරම්භ කරනවා. පාරක් පිළිසකර කිරීමත් සමඟම නියම පාලන මිලට බඩු විකුණන කඩයක් සෑම අලුතින් හදන පාරක් ඉදිරියටම අපි ලබා දෙනවා. සෑම ගමකම කාන්තා ව්‍යවසායිකාවන් ඇති කරනවා. අපේ ගමේ අපේ කඩෙන් home shop වෙතින් ගමේ අයට නියම පාලන මිලට බඩු විකිණීම අපේ අරමුණයි. ‍

‍ගමේ නිපැයුම් මිලදී ගෙන නගරයේ වෙළෙඳ‍පොළට ඒවා යැවීමට සම්බන්ධීකරණයටත් සුදුසු කටයුතු කරනවා. ඒ සමඟ සතොස සමූපකාර වැනි අලෙවි සල් මේ ගමේ කඩේට සම්බන්ධ කිරීමටත් කටයුතු කරනවා. මෙහි ප්‍රධාන අරමුන අපි හදන මාර්ගයට අදාළව ගමේ කාන්තාවන්ගේ ඍජු දායකත්වය ආර්ථික ක්‍රියාවලියට එක්කර ගැන්මයි.” ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ග්‍රාමීය මාර්ග හා අවශේෂ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසන්නේ මේ අපේ කඩේ මඟින් ගමට සහන මිලට බඩු විකිණීමට, ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මෙන්ම නිෂ්පාදනය කරන නිපැයුම්වලට පොදු වෙළෙඳාම් කිරීමේ ස්ථානයක් බවට පත් කරන බවයි.

“මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අමාත්‍යාංශ හා ආයතන ගණනාවක සහය අපට ලැබෙනවා. අප අමාත්‍යාංශයේ ආයතනවල උපකරණ, යන්ත්‍රසූත්‍ර මෙන්ම තාක්ෂණික සහයත් මේ සඳහා යොදා ගන්නවා.” ලන්සා මහතා කියයි.

මේ පිළිබඳව අදහස් පළකරන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මේ අපේ කඩේ වැඩපිළිවෙළ මඟින් ගමේ ජනතාවට නගරයට නොගොස් සහන මිලට ඉහළ ප්‍රමිතියේ ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ලබාගත හැකි බවයි.

“කොරෝනා සමයේ රැකියා අහිමි වූ හා ආදායම් අහිමිව සිටින ජනතාවට වෙළෙඳපොළේ පවතින උපරිම මිල ගණන්වලට වඩා අඩුවෙන් සතොස හා සමූපකාර අලෙවිසල් වල අඩු මිලටම භාණ්ඩ ලබා ගැනීමට මේ ක්‍රියාවලිය යටතේ ග්‍රාම නිලධාරි වසම් 14022ක ජනතාවට අවස්ථාව ලැබෙනවා.”

මේ වැඩපිළිවෙළ රටෙහි ඉතිහාසය වෙනස් කිරීමේ වැදගත් සංධිස්ථානයක්. මේ අනුව අඩු ආදායම් ලාභී ජීවන අරගලය මැද අමාරුවෙන් දිවි ගෙවන පවුලක් නිවැරැදි ලෙස තෝරා ගෙන නව නිවසක් හා නව වෙළෙඳ සැලක් ලබාදීම සිදුකරනවා. ඒ අනුව මෙඟින් අපේ රටේ ගම්වල ආර්ථික ප්‍රවර්ධනයක් මෙන්ම පවුල් 14022කට දියුණුවට ළඟාවීමට ද අවස්ථාව ලැබෙනවා යැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ යටතේ ගමට ලැබෙන අපේ කඩේ පැය 24 පුරාම ක්‍රියාත්මක ග්‍රාමීය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවයි.

වෙළෙඳ ඇමැති අචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන හා ග්‍රාමීය මාර්ග හා 
යටි­තල පහ­සු­කම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා හෝමා­ගම මීගොඩ දෙනි­යේදි ‘අපේ ගමේ අපේ කඩේ’ සඳහා මුල්ගල් තැබූ අව­ස්ථාව. 
මහා­මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කළු­තර පයා­ග­ලදී අපේ ගමේ අපේ කඩේ හිමි­ක­මක් ප්‍රදේ­ශ­වාසී ව්‍යව­සා­යි­කා­ව­කට ලබා­දුන් අව­ස්ථාව. ළමා සංව­ර්ධන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද මෙම අව­ස්ථා­වට එක්විය.

“මෙය දිවයින පුරා දීපව්‍යාප්ත ලෙස අප ළඟදීම ආරම්භ කරනවා. පාලන මිල යටතේ ආහාර ද්‍රව්‍ය විකුණන හා පැය 24ම ක්‍රියාත්මක මෙම වෙළෙඳසැලට ගමේ වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය හා නිපැයුම් නගරයේ වෙළෙඳපොළට යැවීමට ද ඉඩකඩ ලබා දෙනවා. මෙහි ව්‍යවසායිකාව ලෙස අප තෝරා ගන්නේ බොහෝවිට දුප්පත් සමෘද්ධි ලාභීන් පමණයි. ඉදිරි මාස හය ඇතුළත මේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකර ප්‍රතිලාභීන්ට ලබාදීම අපේ අපේක්ෂාවයි. මේ වැඩසටහනින් අඳුරුනීතිය වැනි කාලසීමාවලදී පවා ගමේ අයට සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉක්මණින්ම ලබාගන්න පුළුවන්. ඒ අනුව මින් ඉදිරියට අඳුරුනීතිය වැනි කාලසීමාවලදී සල්ලි තියාගෙන බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ.” යැයි ලේකම්වරයා පවසයි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අපේක්ෂාව මාර්ග සංවර්ධනය හා අපේ කඩේ ඉදිකිරීම් මගින් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත් මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා පවසයි.

අපේ ගමේ අපේ කඩේ වැඩසටහනට නිවාස ඉදිකිරීමේදී වෙළෙඳසැල් ඉදිකිරීමේදී තාක්ෂණික සහය ලබාදෙනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා පවසන්නේ මෙම වැඩපිළිවෙළ අනුව ග්‍රාම නිලධාරි වසම් 14022ක නව නිවාස හා නව වෙළෙඳසැල් ඉදිකිරීම තම අධිකාරිය මගින් පූර්ණ අධීක්ෂණයකට ලක්කරන බවයි. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය පසුඇගයීම හා සැලසුම් සකස් කිරීමේ සහය ආදිය ලබාදෙන බවත් රේණුක පෙරේරා මහතා පවසයි.

 

Comments