අවුරුද්දට කැට ගසා කොවිඩ් බෝවී වැසුණු කළුතර දොඩන්ගොඩ ගමක් | සිළුමිණ

අවුරුද්දට කැට ගසා කොවිඩ් බෝවී වැසුණු කළුතර දොඩන්ගොඩ ගමක්

තුන්වැනි කොරෝනා රැල්ලත් සමඟ රට තුළ හුදෙකලා කළ දෙවන ග්‍රාමසේවා වසම වූයේ කළුතර අධිකාරිගොඩය.

දකුණු කළුතර පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ පිහිටියේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරකය. එය අයත් වන්නේ මතුගම මැතිවරණ කොට්ඨාසයටය.

කළුතර නගරයේ සිට සේරුවිට මාර්ගයේ පලාගොඩ පන්විල ආදි ගම්මාන ද රිච්මන්ඩ් කාසල් මන්දිරය ද පසු කරගෙන ගිය විට අධිකාරිගොඩ ගම්මානය හමු වේ.

අධිකාරිගොඩ ප්‍රදේශය පසුගිය සතිය පුරා රට පුරා ප්‍රසිද්ධ වූයේ වැඩි කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වීම හේතුවෙන් හුදෙකලා කළ ප්‍රදේශයක් ලෙසටය. කොස්හේන, අළුත්හේන, පෙර පාසල් මාවත හා ලින්රෝස්වත්ත යන ප්‍රදේශ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් වන අතර ඉන් හුදෙකලා බවට පත් කරන ලද්දේ කොස්හේන ගම පමණි.

මීට හේතුවූ මුල්ම නිමිත්ත වූයේ ඉකුත් 20 වැනිදා එම ගම්මානයේ වෙසෙන පාණදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවක් කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමඟ ය.

සේරුපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයට අයත් වන්නේ සේරුපිට, බොලොස්ගම, රෙමුනගොඩ, කොහොලාන, ගමගොඩ සහ ඉන්ද්‍රාගම යන ගම්මානය.

ඇඟලුම් සේවිකාව ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ සේරුපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.ඩී. වනසිංහ එම රෝගියාගේ සමීපතමයන් 24 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කළ අතර ඉන් 16 දෙනෙකු තවත් ආසාදිතයන් බවට හඳුනා ගන්නා ලදී.

ඒ අනුව ඉකුත් 22 වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණ 99 කින් ආසාදිතයන් 55 දෙනකුද, 23 වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණ 160 කින් ආසාදිතයන් 15 දෙනකු ද හඳුනා ගත් අතර ඊට පසු සිදු කළ පීසීආර් පරීක්ෂණ 364 ක ප්‍රතිඵල 28 වැනිදා වනවිට ලැබීමට නියමිතව තිබුණි.

මේ අතර රෝග ලක්ෂණ සහිතව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබූ මෙම ගම්මානයේ අයෙකු ද කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබූ අතර ඒ අනුව ඉකුත් 28 වැනිදා උදේ වනවිට කොස්හේන ගම්මානයෙන් හඳුනා ගෙන තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 71කි.

හඳුනාගත් ආසාදිතයන් අතර පාසල් වෑන් රථ රියැදුරෙකු, රිය සහයක වූ බිරිඳ හා ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද වෙති. එම පාසල් වෑන් රථයෙන් කළුතර නගරයේ පාසල් කීපයකටම සිසුන් ප්‍රවාහනය කර තිබූ අතර එම පාසල්වල සිසුන් විශාල පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන ලදී.

හඳුනා ගත් ආසාදිතයන් අතර වයස අවුරුදු 6ක ළමුන් දෙදෙනකු, අවුරුදු 7ක ළමුන් දෙදෙනකු, අවුරුදු 8ක එක් දරුවකු ද සිටින අතර පාසල් ළමුන් 05ක්ද ඒ අතර වේ.

අවුරුදු සමයේ මෙම ගම්මානයේ එක් නිවසක අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර ඊට ගම්වැසියන් විශාල පිරිසක් සහභාගී වී ඇත. මේ අතර ගමේ පැවැති කැට පොළකට ද විශාල පිරිසක් සහභාගිවී තිබේ. රෝගය මේ තරම් පැතිරී යාටම බලපා ඇත්තේ මෙම අවස්ථා දෙක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හඳුනාගෙන තිබේ.

ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය තේරුම් ගත් සේරුපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.ඩී. වනසිංහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනත් ස්ථානයක සිදු කිරීමට සූදානම් කර තිබූ පීසීආර් පරීක්ෂණ වැඩසටහනක් කොස්හේන ගම්මානයේ පවත්වා ගැනීමත් සමඟ රෝගීන් විශාල පිරිසක් හඳුනා ගැනීමට උපකාරී වී තිබේ.

කොරෝනා දෙවැනි රැල්ල හට ගත් අවස්ථාවේදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසමින් බණ්ඩාරගම අටුලුගම වැනි ප්‍රදේශවල ජනතාව කටයුතු කළ ආකාරය අපට මතක ඇත. එහෙත් කොස්හේන ගම්මානයේ ජනතාව මෙම රෝග නිවාරණ වැඩසටහන්වලදී ඉතා ඉහළ සහයක් දැක්වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කරති.

ගමේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජික එස්. පියල් මහතා ඇතුළු ගම්වාසීන් පීසීආර් පරීක්ෂණ සඳහා ආ එක් එක් ගම්මානවල ජනතාව වෙත වෙනම ස්ථාන පිළියෙල කර ලණු ඇද පෝලිම් සකස් කර දෙමින් ඉතා ඉහළ සහයක් ලබා දුන් බව ඔවුහු ප්‍රකාශ කරති.

මේ අතර දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙනිල් විශ්වශාන්ත මහතාගේ උපදෙස් මත එම ස්ථාන විෂබීජහරණය කිරීම සඳහා ප්‍රාදේශීය සභා සේවකයන් යොදවා තිබුණි.

මෙම ගම්මානය හුදෙකලා කිරීමත් සමඟ ඉන් එහාට රෝගය පැතිර යාම වළක්වා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇත.

කොස්හේන ගමට පිවිසෙන මාර්ග හතරක් පොලිස් මාර්ග බාධක යොදා වසා දැමූ බවත් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළ රථ දෙකක් යොදවා රෝගයෙන් ආරක්ෂාවීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කළ බවත් කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා කීය.

යුධ හමුදා නිලධාරීන් ද මෙම මාර්ග බාධකවල සේවයේ යොදවා තිබුණි.

කොස්හේන ගම්මානයෙන් හඳුනා ගත් රෝගීන් හික්කඩුව ආරච්චිකන්ද, වැලිගම, හම්බන්තොට, ධර්ගා නගරය සහ කළුතර පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බැසිල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු, කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.සී.සී. රෝහණ, සේරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.ඩී. වනසිංහ, කලමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක තාරක සඳරුවන්, වස්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එස්.ඩී. කුමාර හා බෝම්බුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ. ලහිරු සඳරුවන් යන අය මෙම ගම්මානයේ රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ කටයුතුවල දිවා රාත්‍රියේ නිරතව සිටිති.

කොස්හේන ගම්මානයේ මේ වන විට රෝගය පැතිරීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති අතර පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල රැසක් තවදුරටත් ලැබෙන්නට නියමිතව තිබුණි.

ගමේ ජනතාව මෙම රෝග නිවාරණ වැඩසටහන්වලදී ඉතා ඉහළ සහයක් දැක්වූ බව මහජන පරීක්ෂකවරු පවසති

Comments