කෘෂි ඉති­හා­සයේ යෝධ පිම්මක් | Page 2 | සිළුමිණ

කෘෂි ඉති­හා­සයේ යෝධ පිම්මක්

ජනා­ධි­ප­ති­ ගෝඨාභය රාජපක්ෂයන් හා ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් රසා­ය­නික පොහොර තහ­නම් කිරීම පිළි­බඳ සාක­ච්ඡා­වට එක්වූ අව­ස්ථාව
ජනා­ධි­ප­ති­ ගෝඨාභය රාජපක්ෂයන් හා ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් රසා­ය­නික පොහොර තහ­නම් කිරීම පිළි­බඳ සාක­ච්ඡා­වට එක්වූ අව­ස්ථාව

මෙරට ඉතිහාසයේ පමණක් නොව ලොව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අලුත් වාර්තාවක් තබමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ඓතිහාසික තීරණයකට එළඹ ඇත. ඒ වනාහි වසරකට රුපියල් කෝටි 12,000 ක් ප්‍රතිලාභ අපේ රටේ සියලු ජනතාවට හිමිවන හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනංවන පරිදි රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ගත් සුවිශේෂි තීරණයයි. මේ අනුව රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අවධාරණය කරයි.

 

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නැතිවීම අරමුණට ළඟා වීමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුම්වත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

“නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට ඒ නිෂ්පාදන වේගවත් කළ යුතුය.“ යන්න “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව විය.

එය යථාර්ථයක් බවට පත්කිරීමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ - ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සන්දේශය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ එය අනුමත කළේය.

ශ්‍රී ලංකාව රසායනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 - 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පළිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළ ද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පස නිසරු වී අස්වැන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇළ දොළ ජලය දූෂණය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවතී. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණ දෙන අභියෝගයක් බවට පත්වී ඇත.

රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවීන් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බවට ජනාධිපතිතුමා සහතික වෙයි. අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඍජුව මැදිහත්වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදී විෂයයක් බැවින් විරෝධතා පැමිණිය හැකිය. ආගමික නායකයන්, ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළඟාවිය හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් සඳහන් කළේය.

මෙරට ගොවි පවුල් ලක්ෂ 18.5කට ඍජුව හා අපේ රටේ ලක්ෂ 200 ක්වූ සියලු ජනතාවට පොදුවේ සෙත සලසන මේ සුවිශේෂි කටයුත්ත මෙරට කෘෂි ක්ෂේත්‍රයේ පමණක් නොව පාරිසරික හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම නිරෝගිමත් පුරවැසියන් බිහි කිරීමට ප්‍රයෝජනවත් වන බව කෘෂි විද්‍යාඥයෝ පවසති.

ජනාධිපතිතුමා පවසන පරිදි ඉදිරියේ ඛනිජ තෙල් මිල වැඩි වුණොත් අපේ රටට රසායනික පොහොර ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 8000 ක් පමණ වැය වේ. එමෙන්ම අපේ රටේ පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 5000 ක වඩා වැය කරයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලීය සංඛ්‍යා ලේඛන අනුව අපේ රටට වසරකට සාමාන්‍යයෙන් පොහොර මෙට්‍රික් ටොන් 1260000ක් පමණ අවශ්‍ය වේ. ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රු. කෝටි 5600 කි. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අනුව වසරකට අපේ රටට පළිබෝධනාශක වල්නාශක මෙට්‍රික් ටොන් 5500 ක් පමණ ගෙන්වනු ලැබේ. ඒ සඳහා වසරකට වැයවන මුදල රු. කෝටි 900 ක් පමණ වේ.

එම කාර්යාලයේ කටයුතු පිළිබඳ කළ විගණක පරීක්ෂණය අනුව හෙළිවී ඇත්තේ මෙරටට ගෙන්වන කෘමිනාශකවල හා වල්නාශකවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය 200 න් මෙරටදී පරීක්ෂා කරනු ලබන්නේ විෂ වර්ග 18ක් පමණක් බවයි.

සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව මෙරට අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක 12ක නිදන්ගත වකුගඩු රෝගය දැන් වැඩිවෙමින් තිබේ.

දැනට නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මෙරට වකුගඩු රෝගීන් 145,000ක් පමණ සිටින බව පර්යේෂකයෝ පවසති. එමෙන්ම පුද්ගලයන් 24,000 ක් පමණ මේ නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බවද පර්යේෂණ දත්ත අනුව හෙළිවෙයි.

මෙම රෝගයට ප්‍රධාන හේතුවක් වන්නේ රසායනික පොහොරවල වල් නාශකවල කෘමිනාශකවල අඩංගු විෂ රසායනික බවට මේ ගැන පර්යේෂණ කරන එතෙර මෙතෙර පර්යේෂකයෝ පවසති.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසන පරිදි මේ මඟින් වස විස නැති ආහාර රටටම ලැබෙන අතර වකුගඩු රෝගය, නිල් දරු උපත් අවම වීම සිදු වේ.

මේ සියලු කරුණු අනුව ජනපති හා ඇමැති මණ්ඩලය ගත් තීරණ අනුව මේ නව තීරණය නිසා රටට වාර්ෂිකව රුපියල් කෝටි 12,000 - 14,000 අතර මුල්‍ය ප්‍රතිලාභ ද ලැබේ.

“අපිට මේක අභියෝගයක්. ඒත් අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා. දැනට අප සතුව ඇති කාබනික පොහොර ඒකක දියුණු කරන අතර පාරම්පරික වල්නාශක ද, පළිබෝධනාශක ද තව නිපදවා ව්‍යාප්ත කරනවා.“ ආචාර්ය වීරකෝන් පවසයි.

අලුත් තොරතුරු අනුව අපේ රටට වී වගාව සඳහා පොහොර මෙට්‍රික් ටොන් 383000 ක් හා අනෙක් බෝග වලට පොහොර මෙට්‍රික් ටොන් 877054 ක් ගෙන්වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ හා පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ පවසන්නේ අපේ පොහොර භාවිතය ඕස්ට්‍රේලියාවේ මෙන් පස් ගුණයක් පමණ වන බවයි. නමුත් අපේ අස්වැන්න ඕස්ට්‍රේලියාව මෙන් සියයට 50ක් පමණක් බවත් ඔහු පවසයි.

දකුණු ආසියාවේ වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන රට තමයි ශ්‍රී ලංකාව. අපි හෙක්ටයාර් එකට කිලෝග්‍රෑම් 284ක් රසායනික පොහොර භාවිතා කරනවා. බංග්ලාදේශය අපිට යටින් තියෙන රට. ඔවුන් හෙක්ටයාර් එකට කිලෝග්‍රෑම් 264ක් පමණ භාවිත කරනවා. නමුත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අපි තරම් රසායනික පොහොර භාවිත කරන්නේ නැහැ. ඉන්දියාවේ හෙක්ටයාර් එකට කිලෝග්‍රෑම් 153යි භාවිත කරන්නේ. ඕස්ට්‍රේලියාවේ භාවිත කරන්නේ හෙක්ටයාර් එකට කිලෝග්‍රෑම් 64යි. අපිට වඩා සාපේක්ෂව දෙගුණයක වැඩි අස්වැන්නක් ලබාගන්නවා. ඒ නිසා රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර භාවිත කිරීම මැජික් එකක් නෙමෙයි. කරන්න පුළුවන් නිසි ක්‍රමවේද සහ අනිකුත් පියවරයන් නීති රීති ඇතුව ක්‍රියාත්මක කරන්න පුළුවන්.“ මන්ත්‍රිවරයා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ සම්බන්ධව ඉදිරි කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කරන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ කාබනික පොහොර නිපදවීම දිරි ගැන්වීමට ලබන වසරට රුපියල් කෝටි 100ක් වෙන්කර ඇති බවයි.

කාබනික පොහොර මහා පරිමාණයෙන් නිපදවීමට නිෂ්පාදකයන් 19ක් මේ ව්‍යාපෘතියට ළඟදීම එක්කර ගන්නවා. කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම සඳහා වන මහා පරිමාණ ආයතනයක් ලෙස ස්ථාපිත කරනවා. ඒ සමඟම සෑම ගොවිජන සේවා කොට්ඨාසයකටම පොහොර ලේකම් කාර්යාලයේ අනුයුක්ත සංවර්ධන නිලධාරින් 562ක් පත්කරනු ලබනවා.

ඊට අමතරව පළාත් පාලන ආයතන 341ක් මඟින් දිනපතා එකතු වෙන කසළ යොදාගෙන කාබනික පොහොර ඒකක 341ක් බිහිකරන බවත් අමාත්‍යවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන පොදුජන පෙරමුණු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උපුල් ගලප්පත්ති පවසන්නේ අපේ රටේ පිළිකා හා වකුගඩු රෝගත් අවම කිරීමට ගත් මේ ඓතිහාසික තීන්දුවට සියලු දෙනා සහාය දිය යුතු බවයි.

අපේ රටේ වර්තමානයේ දවසකට අලුතෙන් පිළිකා රෝගීන් 64ක් පමණ හඳුනා ගන්නවා. ඉන් 38ක් පමණ දවසකට මිය යනවා. 2018 වසරේදී අලුතින් පිළිකා රෝගීන් 23,530ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් 14,000ක් පමණ මිය ගිහින් තියෙනවා. වකුගඩු රෝගීන් ගත්තොත් එහෙමයි අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට යන දිස්ත්‍රික්ක වකුගඩු රෝගීන් බහුල කලාප බවට පත්වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි විෂ රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ ජලයට එකතු වීම. ඒකට ප්‍රධානතම දායකත්වය සපයන්නේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය. ඒ නිසා අපේ මේ තීරණය ගත්තේ ඉතා අපහසුවෙන්. මේ ජනාධිපතිතුමා ගත් තීරණයට අපි ඉතා ගරු කරනවා. මෙය මේ රටේ උපන් නූපන් දරුවන් වෙනුවෙන් ගත්ත ඓතිහාසික තීන්දුවක් යැයිද මන්ත්‍රීවරයා පවසයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රගතිශීලී ගොවි ජන සම්මේලනයේ සභාපති කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස පවසන්නේ මේ තීන්දුව ගත්ත එක වටිනා පියවරක් බවයි. මේක අත් දෙකම උස්සලා අපි අනුමත කරනවා ඔහු පවසයි.

මේ කාබනික ගොවිතැන මඟින් මේ පොළොව සුවපත් කරපු කට්ටියක් ඉන්නවා. ඒ අය අතීතයේ හුදෙකලා ලෙස මේ වැඩේ කරගෙන ආපු ආකාරය සොයා ගත යුතුයි. අපි විශ්වාස කරනවා මේකට සම්බන්ධ සේරම අය එකතු වෙලා මේ වැඩේට ආදරෙන් මේ කටයුත්ත කළොත් මේක අපට ජය ගන්න පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත. ආණ්ඩුව අදියර තුනකින් හතරකින් පිළිවෙළට මේ වැඩේ කළ යුතුයි.

මේ සඳහා සම්බන්ධ විය යුතු අමාත්‍යාංශ 9ක් තිබෙනවා. කෘෂිකර්ම, මහවැලි, ඉඩම්, වාර්මාර්ග වැනි ඒ අමාත්‍යාංශවල නිලධාරින් බලධාරින් එක්වී මේ පොහොර තහනමට සහාය දැක්විය යුතු බවද ජයතිස්ස මහතා පවසයි.

 

Comments